Monday, July 14, 2014

කිරි පැණි


හඳ ඇතුළේ හඳ මාමා කිරි පැණි අරගෙන
පුංචි බබාලා දිහාම බලනා ලස්සන
අත්තම්මත් කිව්ව තමයි කිරි පැණිවල රස
පොළට යන්න ඕනෙම නෑ දැන් කිරි පැණි ළඟ

රන් වන් රන් පාටට හඳ මාම දිලෙන්නේ
රන් වන් රන් කිරිපැණි විතරයිද හදන්නේ
කිරිපැණි ගන්නට කොහොමද අහසට එන්නේ
ළඟට ළඟට එනකොට ඔබ ඈතට යන්නේ

නංගිටයි මටයි දුන්නොත් රන්වන් කිරි පැණි
නංගි නං නටයි සුර අංගනාවක් වැනී
වලාකුළු දැලින් පෙරලා ගෙනල්ලා පැණී
රස කිරිපැණි අරගෙන හඳ මාම ඇවිත් වැනි

පුංචි පුතේ පුංචි දුවේ දන්නවද වැඩක්
තරු බබාල ඉන්නව කිරි නැතුව මහ ගොඩක්
අම්ම තාත්තා ගිහින්ලු හුඟ දුර ගමනක්
ඔවුන්ට කිරි පැණි දුන්නොත් තරහාද හුඟක්

පොළවෙත් ඉන්නවා එහෙම මල් වගේ ළමයි
බඩගින්නේ අඬා කඳුළු ගල් වෙනා ළමයි
ඔබේ කෑම පිරි අත ඔබ දිගු කළොත් තමයි
මල් පිපෙන්නෙ පැණි ලැබෙන්නෙ පුතේ එහෙමමයි


මාමේ එහෙනම් කිරි පැණි අරගෙන යන්න
තරු බබාල ඔක්කෝටම බෙදලා දෙන්න
ඉතිරි වුණොත් මහ පොළොවට අරගෙන එන්න
බඩගිනි වුණු මල් ළමයිට බෙදලා දෙන්න

Picture - James Browne

No comments:

Post a Comment