Thursday, July 31, 2014

යළි යළිත් හමුවෙන්න ගිවිසා



ඔබේ පපුතුර හඬනු ඇසුණා
ඔබේ හද ගැබ ගල්ව තිබුණා
හුස්ම ගන්නා වරක් පාසා
ඔබේ අත් මා දෑත වෙලුණා

පිය නඟන් ආ කටුක මං තුළ
දෙපා තැවු ගල් මුගුරු හඳුනා
විසල් සුනිමල් සියපතක් වී
ඔබ මගේ හද විලෙහි පිපුණා

කල් ගෙවී අප වෙන්ව යන දින
යළි යළිත් හමුවෙන්න ගිවිසා
ඔබේ රතදර සිපගනිමි පිය
ඔබ මගේ හද ගබේ රන්දා

Picture - Aldo Balding

පුරා හඳ (ed. 1)



සමන
ලුන් පැමිණි විට උයනක්
කොතරම් සුන්දරද සොඳුරිය
වලාකුළු ලුහුබඳින ගගනකි
මවන්නේ නිතොර මල්කම
වලා ඉදිකටුහි ඇමිණුණ
සිඳු නූල් පටය නැඟෙන්නේ නුබ
කලා සොළොසෙන් එකකි මම
මකා දමන්නේ ලවනින

අතිශය රොමෑන්තික
වැසි සහ සුළං හමා යන
අසාධ්‍ය රෝගියෙකු මෙන් රාත්‍රිය
සිය වමත ඔසවන විට
සැඳෑ කල මනාලියක් මෙන්
දෘශ්‍යමානව ඔබ
ශ්‍යාම වර්ණ අහස් කෙස් අතරට
විසි කරයි කුසුම් රත

අතීතයේ අස් කොන් වලින්
හැඩිව ගිය චිත්‍රයක අවසන
ප්‍රේමයෙන් මුසපත්ව
ඔබ විතරක් හිඳී
පුරා හඳ මෙන් තෙතව

Picture -
Diego Dayer

Tuesday, July 29, 2014

මඟුල් ගෙදරක්



උස් කර සාරි හැට්ටයේ සමනලයෙක් ගැසූ මම දිලිසෙන ලා කොළ පාට සපත්තු දෙක අතින් ගත්තා. "ඔක්කොම හරි, ඉක්මන් කරන්න.. ඉක්මන් කරන්න.." ඉබ්බත් අරන් ගේට්ටුවට දුවන් ගියා.. සිසිරයේ සීතල සුළං අතරේ වටපිට ලා පාට වෙලයි තිබුණෙ.. "කොහෙද දුවන්නෙ.. මෙන්න මෙහෙ එන්න.. දැනටමත් කියපු වෙලාව පහුවෙලා" සුළඟත් එක්ක දුවන්න සැරසුණු සාරි පොට ඒ හඬට හැරිල බැලුවා.

එතකොටම කුලියට ගත්තු මෝටර් රථය උද්‍යාන වීථියෙන් මතු වුණා. මා උස්සාගත් එය වේගයෙන් ගාලු පාර වෙත ඇදී ගියා.

"පෝරුව දහයට. අනිවාර්යයෙන්ම එන්න" මට ටෙලිෆෝනය දිගේ ආ ඒ කටහඬ මතක් වුණා.. දැනටම දහයයි.. කඩ වීථි පසු කරමින් ඉස්සි ඉස්සී උඩ බලන මුහුදු වෙරළවල් පසු කරමින් ඉගිල්ලෙන්නා වගේ වේගයෙන් මම දකුණටත් වමටත් පැද්දුණා.. ක්ෂණ කිහිපයක නින්දකට පසු ඇහැර බලද්දී, නගර මාවත් ගහ කොළින් පිරුණු මාවතක් බවට පෙරළී තිබුණා.. රියැදුරා වෙනසක් නැතිව සුක්කානම කරකවමින් සිටියා..

ඉදිරිපිට පාරේ තිබුණේ අලුපාට ස්වභාවයක්.. මිහිදුමක්ද? ඇස පෙනෙන මානයෙන් නොසෙලවෙන තාලෙට ගඟක්.. ගස් අතු සලිත කරන සුළඟක්.. "තැන හරි" විශාල ගල් බංගලාවක් ඉදිරිපිට වාහනය නතර වුණා.."හරි වෙනස්" මට හිතුණා.. ඈතින් පෙනෙන විශාල ගල් බංගලාව වෙත ගමන් කළ ගල් ඇල්ලූ පාර දෙපස කප්පාදු කළ උස් පඳුරුවලින් ගහණ වෙලා තිබුණා..

සපත්තු දෙක ඇතුළේ කකුල් සිරකරගත්තු මම හෙමින් හෙමින් පාර දිගේ ඉහළට ඇදුණා.. ගඟ දෙසින් දිගින් දිගටම සුළං හමා ආවා..

"ඇතුළෙද දන්නෑ මඟුල් ගේ.. කෝ මේ පින්තූර ගන්න කෙනෙක්වත් නෑනේ පෙනෙන්න.. කොහෙන්ද මේකට ඇතුළු වෙන්නේ.."

රතු පාට තොල් සායම් ගා ගත් කාන්තාවක් පිළිගැනීමේ කවුළුවේ සිටියා.. ඇගේ දෙතොල් අතරින් නිවාගන්නට බැරිව දැල්වෙන හිනාවක්! "වෙඩින් එක කොහෙද?" මම ඇහුවා.. "ඒක ඉවරයි නෝනා" ඇය කිව්වා.. හරිම අමුතුයි.. මම ගල් බංගලාවෙන් එළියට බැස්සා

සුදු පැහැති විශාල කිරිගරුඬ පිළිම  ඉහළ එස වූ අත් සමඟ උද්‍යානයේ තැන තැන නැඟී සිටියා.. බිම පුරා තැන තැන ජපන් රෝස මල්..පය පැකිළෙන්නට ගිය මා දිය බිඳි විදින ජල මලක් ළඟ සිමෙන්ති බංකුවක වාඩි වුණා.. දෙවඟනකගේ විශාල  කිරි ගරුඬ පිළිමයක් ජල තටාකයක් මතට වතුර ඉහිමින් උන්නා... එක් වරම උද්‍යානය පුරා නැඟී සිටි කිරි ගරුඬ පිළිම මහා හඬින් හිනා වෙන්න ගත්තා..

සපත්තු දෙක අතින් ගත් මං ගේට්ටුවෙන් එළියට විසි වුණා. ඔර්ලෝසුවේ දහයයි හතළිස් පහ සටහන් වෙලා තිබුණා.

Picture - Michael & Inessa Garmash

Monday, July 28, 2014

සන්ධ්‍යාව පැමිණ



සන්ධ්‍යාව පැමිණ
නිල් පාට පොරෝනාව මත
ඉහිරවයි රෝස පෑ වලාකුළු

මලකට වඩා විසිතුරුව
ඔංචිල්ලා පදියි
පරඬැල් පත්

ගඟ නැවත වංගුවක
මල් මාල පළඳනා
ලිහයි ඉවුරත

Picture - Christiane Vleugels

පුරු පුරුව



ජනෙල් පඩි මත
රැඳුණු හිම දැක
අවලාද නඟයි පූස් පැටියෙක්
කළු පාට හදවතක පුරු පුරුව
රැගෙන යයි සීතල සුළඟ

Picture - Lucie Bilodeau

පියාපත් බිඳි තුහින



සීතල සුළං හමා එයි
කවුළුව අතරින්
ශෝකී රාවයක් නඟමින්
ජනෙල් පඩි මත නතර වෙයි
පියාපත් බිඳි තුහින

Picture - Andrei Belichenko

අලුත් පිදුරු සුවඳ



කෑම පිසින උදුන්
අඬගසයි ගොවි තැනට
නැවුම් සුළඟක් හමයි
වතුපිටි පසුකර
අලුත් පිදුරු සුවඳ
විසිරෙයි හාත්පස

Picture - Anne Hardy

සීත සෘතුව



අසු පිට නැඟි සීත සෘතුව
අමතයි තුෂ්නිම්භූත වනාන්තරයක්
'නවතිනු, ගලවනු සෑදල'
සිසිරය අසයි වනයෙන්
සුදු කර ගැනුම අවැසිද
ඔබේ හිස කෙස්

Picture - Ivailo Petrov

ජනවාරිය උදා වෙයි



ප්‍රීතිමත් ගී ගයයි
රන්වන් කුරුල්ලෙක්
දෙසැම්බරය ගෙවී ගොස්
ජනවාරිය උදා වෙයි

Picture - John Michael

ලාක් කුරුල්ලෙක් ගයයි



ලාක් කුරුල්ලෙක් ගයයි නොනැවත
නිමා වූ සිසිරය ගැන
හිම සුදු පාට ගැන
වසන්තයේ පිපුණු මල්
අසා සිටී පුදුමයෙන්

Picture - Karen Wallis

චුත වීම


වන වදිමි ළපලු මල් සිප ගමි
කුරක්කන් පැහෙන බිම් අමතමි
කුරුල්ලන් වරන කවි අහුලමි
හිටි ගමන් ගුඩුස් ගා චුත වෙමි

කඳුරු කඳු මුදුනටම ඇවිදිමි
අඳුරු ගල් පොත්තකින් මතු වෙමි
රිවි පබා වීසි කර සැතපෙමි
ඇඬෙන දුක් වන ගබෙහි සඟවමි

පැසුළු යම ඇසෙන වීණා නා
අසුරු සැණකින් වනට ගෙන ආ
බැණ නොබැණ මසුරු හිත බැඳි රා
බැදි දවුල හා පෙරයි මධු රා

Picture - Bogdan Prystrom

ඉස්සර නං තිබුණ බොහොම දේ..



සම්මුඛ පරීක්ෂණේට යන කොට සහතික කිහිලි ගහගෙන
ඉස්සර නං තිබුණ බොහොම දේ හිත යට කෙඳිරි ගා ගෙන
බුදු හාමුදුරුවන්ට වැන්ඳට පුරුදු විදිහට උදයට
දැන් හිස් හිතකි එය ඉකියක්වත් නොවෙන තරමට

අවුරුදු පහකට පෙර දිනෙක අම්මා ගෙනා සාරිය
රස්සාවෙ පළමු දවසට අඳින්නට කියා
තැන තැන කාවො කාලා
තෑගි දෙන්නත් කලින් වෙන කෙනෙකුට

නවතන්නේ කෙසේදැයි සිතමින් ඉන්න විට
ඉබේම නැවතුණා අකුරුත් ලියනු බැරි ලෙස
ලේ ගලනවා නිකරුණේ ගෙවෙන දින ටික
වේදනාවක් විතරයි හිත එක දිගට පෑරෙන

පොඩි කාලේ ඉඳන් අම්මා එකතු කළ දේපල
පොඩි වෙලා දැන් විසල් වූ ලෝකය තුළ
හිත හීරුණත් නොදැනුණා වගේ ඉන්න කොට
අම්මා ඉන්නවා දොරකඩ මල්සරා එයි කියා බලාගෙන

Picture - Helena Wierzbicki

Saturday, July 26, 2014

උරා බොන 'මුත් මුහුද ගඟ දිය



ගඟ
තල්ලු වී ගොස්
වැටෙයි
මුහුදට

මුහුද සුළැඟිල්ලෙන් කඩයි
සුනිල සේලය

උරා බොන 'මුත් මුහුද ගඟ දිය
වික විකා මුදු ගඟෙහි සේලය
කවුරු නම් අමතාද ඉක්බිති
මුහුද මිස ගඟ

Picture - Lucie Bilodeau

සුරංගනාවියක් මං



සුරංගනාවියක් මං
ඔව් ඔව් සුරංගනාවියක් මං
වස්දඬු රාවෙට නැළවෙන
අත්තටු සල සල ඇවිදින් - මිහිරි සුවඳ බොන
සුරංගනාවියක් මං

දේදුන්නේ පාට අරන් මහ පොළොව එනා
වැසි දිය හා කලත කුසුම් පාට කරමිනා
සුවඳ ඉඹින සුවඳ බලන සුළඟ සමඟිනා
මරු කතර දිගේ තුරු ඇට ගෙන ඇවිද යනා

කඳු සිරසේ මීදුම ළඟ නතර වෙන මඳක්
සුදු සේලේ ගෙත්තම් ලන රෝස පෑ බිඳක්
තටු විහිදා රඟන අතර සතුටු පිරි ගසක්
බිම වැටෙනා ඉදුණු පතක දුක දකින හදක්

Picture - James Browne

Friday, July 25, 2014

තරහ අවසර මහැඳුරිනි



තරහ අවසර මහැඳුරිනි
වෙනෙකෙකු නැතුවද - මටම පැවරූ දෙසුමට
නැඟ සබා ගැබ දැන්
එඩි පෙන්විය යුතුද මා
දේදුන්නක් වගේ
මැවිය යුතුද පාට හත
හිනැහිය යුතුද - මහත් අබිමනින් නැඟ

විභාග ගොඩයි වැඩ ගොඩයි
අවිවේකී දින ගොඩයි
පැවරුම් ගොඩයි අමතර වැඩයි
ලියවෙන්න පොර බදින කවි ගොඩයි
මේ හැමකක් කළත්
සල්ලි විතරක් පොඩ්ඩයි

අමාත්‍යාංශෙට කියන්නට ඇති 'කුරු ගොඩයි
සැලසුම් බිඳෙන වෙහෙසත් ගොඩයි
නඟින්නට තියෙන නඟින්නට නොදෙන කඳු ගොඩයි
මසකට හමාරකට පිරෙන ඇරයුම් පත් ගොඩයි
සමරන්නට සුදුසු සිනහවල් ගොඩයි
සල්ලි විතරක් පොඩ්ඩයි

තරහ අවසර මහැඳුරිනි
පෙන්විය යුතුද සත් වර්ණ තවත් මං

Picture - Edna Cropton

Thursday, July 24, 2014

තීන්ත බිඳුවක්



පින්සල් තුඩින් බේරුණු
නිල් පාට තීන්ත බිඳුවක්
ගලා යයි කඳු නිම්න පහළට

Picture - Kinuko Craft

සුදු රැස් ඕවිල්ල



හඳ මාමා රැස් එවලා මවනා සුදු ඔන්චිල්ලේ
නංගියි මමයි රෑ කාලේ ඉඳ නැළවෙන්නේ
සුදු සීයා අපි දෙන්නට කතා කියන්නේ
නිදි දෙව් දූ හා මහ දුර ගමනක් යන්නේ

ඕවිල්ලේ වැල් දෙපොටේ අමුණන්නට මල් ගොඩයි
කඳු නිම්නේ ගඟ ඉවුරේ පිපිල තියෙන්නේ
මල් දෝතක් අරගෙන අපි ආපහු එන්නේ

පෑවිල්ලේ ගඟ සිඳිලා දිය බිඳුවක් නැති පාටයි
කඩා ගෙනා පාට පාට මල් මඤ්ජරි කොයි
හඳ මාමත් නෑ සුදු රැස් ඕවිල්ලත් නෑ

Picture - Kinuko Craft

මෙන්න මෙහේ එන්න..


මෙන්න මෙහේ එන්න
අම්මට හොරෙන් ඉඹින්න
වැඩ විතරක් නෙවෙයි ලෝකෙ තියෙන්නෙ අයිරිෂ්
කඳුකරෙන් ගෙනාපු මල් නුඹෙ ඉසේ ගහන්න
තත්පරයක් දෙන්න මට ඔබේ හැඩ බලන්න

Picture - Ferdinand Georg Waldmüller

කඳු



හිස ගස්සයි
දුමින් බර කඳු හිස
කිවිසුමක් ගිය මල් ළමයෙක්
හැරී බලයි මව දෙස

Picture - Kinuko Craft

ඔබ එන්න



ඔබ එන්න
ඔබෙ - විසල් අත් විදාගෙන ඔබ එන්න
කොණ්ඩයෙන් ඇද පැනයන්න
පොත් කුරුටු සටහන් විසුරන්න
හැම පිටුවකම ඔබ සැඟවෙන්න

මා හඬ නඟන කල සබා ගබයක
ඔබ අබිමුවට වී හිනැහෙන්න
අකුරු ඉස්පිලි අසිහි කරමින්
අසුරු සැණයෙන් පැන යන්න

ඔබ එන්න
අනේ ඔබ එන්න

Picture - Ricardo Fernández Ortega

Wednesday, July 23, 2014

නියාම ධර්මය



එක්කෝ නැන්දම්මා ගොලු විය යුතුය
නැත්නම් ලේලිය බිහිරි විය යුතුය
එයය නියම නියාම ධර්මය
විවාහයක පැවතීම පිළිබඳ

ගුණවන්ත භාවයෙහි ආඪ්‍ය බව
නැන්දම්මාට දිය යුතුය
සැණින් ඈ දෙව්ලොව වැඩිය යුතුය
අහෝ දෙවියනි භාර ගනු මැනව ඇය

...............

පොඩි නංගිගෙ ලේලි බලන්නට එපායෑ
දරු පැටියෙකුත් ඉන්නවා රස්සාවකුත් තියෙනවා
ලොකු අක්කගෙ දූ මහ බැංකුවේ
උයන්නත් දන්නවා මහන්නත් දන්නවා
මල්ලිගේ ලේලිගෙ දෑවැද්ද ලක්ෂ එකසිය හැටක්
නංගිමයි කිව්වෙ, දැක්කද මූණෙ සීදේවි පාට
ඔබ කියන වචනයක් පාසා
සුවඳ පැන් ඉසිය යුතුය ඔබ වෙත දෙවිවරු

Picture - Cunde Wang

Sunday, July 20, 2014

විසි වසරත් දඬුවමක්ද????



විසි වසරත් දඬුවමක්ද
ලක්ෂ අටත් නින්දාවකි
මා සැළමුතු හද වනසා
තලා දැමූ හිවලුනේ
මා පිවිතුරු සම උගුලා
රත් වූ යදමින් සිර කොට
මරා දැමූ හිවලුනේ

මගේ ජීවිතය විසි කර
කුණු ගොඩකට දුගඳ හමන
සිය දහස් වරක් යළි යළි මරා දැමූ හිවලුනේ
මරණයකට වුව නොතරම් නිගා දෙවූ හිවලුනේ

විසි වසරත් දඬුවමක්ද
ලක්ෂ අටත් නින්දාවකි
ප්‍රකම්පිත හදක් ඇත්නම්
අසන දකින මිනිසුනේ........

Picture - Victoria Stoyanova

Wednesday, July 16, 2014

කවි කිවිඳියන්ට ඇරයුමක්- කවි සියපත - 2014


නවක කවි කිවිඳියන්ගේ නිර්මාණ ඇතුලත් 'කවි සියපත' කාව්‍ය සංග්‍රහය 2014 වර්ෂය සඳහා ප්‍රකාශයට පත් කිරීමට එහි සංස්කාරකවරු කටයුතු සම්පාදනය කරමින් සිටිති. මෙම කාව්‍ය සංග්‍රහයට නවක කවි කිවිඳියන්ගේ නිර්මාණ 100ක් අඩංගු වේ.

2014 සාහිත්‍ය මාසය අළලා ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිත මෙවර කවි සියපත සඳහා නිර්මාණ බාර ගැනීම දැන් සිදු වේ. තම කාව්‍ය නිර්මාණ කෘතියක් ලෙස ප්‍රකාශයට පත් නොකළ කවි කිවිඳියන්ට මේ සඳහා දායක විය හැකිය. එක් අයෙකුට කාව්‍ය නිර්මාණ 3 ක් ඉදිරිපත් කිරීමට හැකිය. තම නිර්මාණ A-4 ප්‍රමාණයේ කොළයක තනි පැත්තේ ලියා පසු පිටේ නම, ලිපිනය හා දුරකථන අංකය සඳහන් කර 2014 අගෝස්තු 10 දිනට පෙර සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ යන ලිපිනයට එවන ලෙස ද කවරයේ ඉහළ වම් කෙළවරේ 'කවි සියපත 2014' ලෙස සඳහන් කරන ලෙස ද සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටිති. කවි සියපත 2014 ග්‍රන්ථය එළිදැක්වීම 2014 සැප්තැම්බර් මාසයේ දී උත්සවාකාරයෙන් සිදු කෙරෙනු ඇත.


Picture - Lynn Sanguedolce, American Artist (b. 1959)
Source - Boondi.lk

මල් පිපෙයි මටම පමණයි!



අගුළු බඳැණය තර කරමි
කවි සූරා අහකට දමමි
කිසිවෙකුට දකිනු බැරි ලෙස
සක්මන් කරනු බැරි ලෙස
ඇතුළු වනු බැරි ලෙස
අගුළු බඳැණය සිර කරමි

මල් පිපෙයි මටම පමණයි
ඔබට විඳිනු බැරි වෙයි
සල් මල් හුස්මකින් සසැලෙයි
බෝ පතක් මෙන් තුර හැර නිසල වෙයි

මල් පිපෙයි මටම පමණයි!

නොදන්නා බැවින් මා මා වගේ වෙන කෙනෙක්
මට මලක් දුන්නාට කමක් නැත
නටුව මත තබා මල එහෙත් මම නික්ම යමි
මල් සුවඳ මිස මලක් උරුම නැත

මල් පිපෙයි මටම පමණයි!

Picture - Pier Toffoletti, 1957

දෙවියනි දැන් ඔබ මට කියා දිය යුතුය



ඇදී යමි විසල් ද්වාර මන්දිර තුළින් ඈතට
පසු කර යමි ගිම්හානයේ මිශ්‍ර පැහැති කැටයම්
දැක ගත හැකිය ඉන් එක් රූපයක ඔබෙ රුව යන්තමට
දෙවියනි දැන් ඔබ මට කියා දිය යුතුය
ලිවීම නොව ලිවීම නවතන විදිහ
ප්‍රේමය නොව ප්‍රේමයට අගුළු ලෑ යුතු විදිහ
සත්‍යය නොව සත්‍යය වීසි කොට පසුම්බිය පුරවන විදිහ

Picture - Edward Petrovich Hau, from Revel, Russsia (today Tallinn, Estonia) (1807 - 1888)

ඉඟුරු මල්



ඉඟුරු මල්
ඔය දිගට පිපි
සොයනවා ඇති තවම
අපගේ සිනහ රැළි
තිඹිරි පැල්ලම් පිපුණු
සුදෝ සුදු නැති සුදු ගවුම් සුළි
සොයා වෙහෙසව රිදෙනවා ඇති
ඉහළ එසවුණු ඔවුන්ගේ බෙලි

බුලත්විට සෙල්ලම් තවත් නැති
ඉඟුරු ඇට රාමෙට හපන් නැති
මහ අමුතු සත්තුය අපි
ඉඟුරු මල් දන් නැතුවැති
ආයෙ එන් නැති සිනා ගඟුලක්
ඉඟුරු මල් සොයනව ඇති

Picture - http://plantasyjardin.com/2010/11/lantana-camara-%E2%80%93-lantana-%E2%80%93-bandera-espanola/

කොහේ සිට පැමිණියෙද



කොහේ සිට පැමිණියෙද
ඔබේ බඳ වෙළා සිටිනා කිඳුරු අත
කොහේ සිට පැමිණියෙද
ඔබේ මුව වසන සුන්දර සිනහව
කොහේ සිට පැමිණියෙද
මගේ හිත දවන සුකුමල කිඳුරු අත
කොහේ සිට පැමිණියෙද

තබන්නෙද ඈ ඔබේ මුව මත කිඳුරු හාදු
සලන්නෙද සුළං සේ විසිර යන සුදු සාලු
මකන්නෙද ඈ ඔබේ හිතේ ලියැවෙන පාළු
මට වඩා ඈ ඔබට කොහොම නං වෙද යාළු??

සුළඟ සේ ඈ ඇවිත් වසා ගතිදෝ දෑස
වරල් සලමින් වටා වෙළාගතිදෝ දෑත
සකම්පිත රළක් අස සසල විද ගං දෑල
එසැණකින් ඈ නුඹේ සොරාගතිදෝ දෑන??

Picture - Victor Nizovtsev

ඔබ පුදුමයක්



ඔබ පුදුමයක්
ඔබ කියාගන්නත් බැරි තරම් පුදුමයක්
ඔබ සිහිනයක්
සැබෑ වෙන්නට සිතන්නත් බැරි සිහිනයක්

දෙව්ලියන් ඉගිලෙන
විදුලි මිණි එබ්බවූ
විසල් අහසක් යට
දකින්නට බැරි නිලංකාරය
මටම නොපෙනෙන
ඔබ සිහිනයක්

සිඳු රළින් ඔපලන
මුතු පබළු අත ගෙන
විසල් සයුරක් අස
ලවණ සුළඟට ඇස රිදෝගෙන
මටම නොපෙනෙන
ඔබ සිහිනයක්

Picture - Susan Bourdet

Only in your arms



ඔබට පමණි ආලය කරන්නේ පෙම්
ඔබ දෑත තුළ පමණි හිඳින්නේ මම්

විසල් අහසක තරු නෙළන අලුයමේ
ඔබේ උර මත පමණි හිස තියන්නේ මම්
සිහිනයෙන් සිහිනයට ගොලු වෙවී
ඔබේ නම පමණි ගයන්නේ මම්

නඳුන් උයනක මල් වුවන් ඇහැරලා
ඔබේ මුදු සුසුවඳ පමණි සොයන්නේ මම්
අරවින්දයක් වෙලා හිනැහිහී
ඔබ පමණි ම'හද අඳින්නේ මම්

Picture - Max Ginsburg

දුක්ඛිත කවියක්


එච් කියලා ගැහැණු ළමයෙක් හිටියා
එයා තමයි අතිශයින්ම සුන්දර ළමයා
එම් කියලා ගැහැණු ළමයෙක් හිටියා
එයා තමයි පන්තියෙන්ම දක්ෂම ළමයා
මේ දෙදෙනම ඔබට ආලය කළ කල
මම හරිම කොට කැත කළු මහත
දුක්ඛිත කවියක් වුණා

ඔබට තිබුණේ පුළුල් උරහිස්
ඔබ බැලුවෙ නෑ ගැහැණු ළමයින් දෙස
එහෙත් ඔබ එච්ටයි එම්ටයි
කැමති බව දැන සිටියහ මා මිතුරියෝ
අපොයි ඉතින් මම
හරිම කොට කැත කළු මහත
දුක්ඛිත කවියක් වුණා

ඔබට තිබුණේ හරිම ගැඹුරු
කඩවසම් ඇස්
ඒත් මා දන් නෑ කඩවසම් වචනයෙහි තේරුම
මා ඔබට ආදරය කළා
ඒ වගෙයි, මා දන්නෙ නැහැ හේතුවක් එයට

මා පුරුදු වුණා ඔබට ආදරය කරන්නට
අපි දෙබස් ලිව්වා කට පාඩම් කළා
එහෙත් ස්තූතිවන්න දෙවියන්ට
මට කිසිදිනෙක ඔබ ඉදිරිපිට
කතා කරගන්න බැරි වුණා

එච් කියලා ගැහැණු ළමයෙක් හිටියා
එම් කියලා ගැහැණු ළමයෙක් හිටියා
මේ දෙදෙනම ඔබට ආලය කළ කල
මම හරිම කොට කැත කළු මහත
දුක්ඛිත කවියක් වුණා

Picture - Feng Chang Jiang

ඒ ගැට පිච්ච ගස



ගැට පිච්ච ගස
පාසලේ බුදු මැඳුර ඉස්සරහ තිබුණ
හැම උදෑසනම
එක එක මල අත තැබුව
හැර යන විට පාසල
අපෙ රහස් වළලන්න ගිවිසුව
හීන් පිනි කඳුළක්
හෙළා අවසන අත වැනුව
ඒ ගැට පිච්ච ගස
අපේ ගැට පිච්ච ගස

ගැට පිච්ච ගස අසල සිට
දවසක් ඔබ උදෑසන සබය ඇමතුව
මගේ යෙහෙළියනගේ අත මිරිකුම් ඇතිව
ලබ්-ඩබ් හඬක් මිස වෙනත් කිසිවක් නොඇසුණ
ගැට පිච්ච ගසට මතකැති තවම
පුංචිය කියා සිතුණට මහ විසල් බර මතක

ඒ ගැට පිච්ච ගස
අපේ ගැට පිච්ච ගස

Picture - Catrin Welz-Stein

නිල් නිම්නයට ඇදී ගිය මිතුර


ඉර නැඟෙයි සඳ බැසෙයි ගංගාවල් දිව යයි
අනන්ත වූ ආකහේ අපි ඈතට ඇදෙයි
ඔරලෝසු කණු බිමට හැරී ඉකිබිඳ හඬයි
ආපහු යනු බැරිව මගේ පය පැකිළෙයි
මට උදාසන කල ඔබට හරි ගණ රැයයි
පැය කටුව අපි දෙදෙන අතට ගෙන කරකවයි

හරිම පුදුමයි ඔබත් හරිම පුදුමය ඔබෙ ඇසුත්
හිනා වුණු නොව නුඹට හිනා ආ මා දකින විට
දුමින් පිරි රේල් මං අතර මා අතරමං කල
ඔබ හිනා වෙවී නිල් නිම්නයට ඇදී ගිය

හරිම පැරණිය කිසි කතාවක් නැති වුණත්
කොළ පාට සීත දුර ඈත නගර තෙම
රොබරෝසියා දරා රෝස පාටට හිටිය
අතර දැමු කම්හලක ඉදිරිපිට මල් දසුන

ඒ තුළින් ඔබ ඈත නිම්නයට ඇදී ගිය
රැළි ගවුම වීසි කර මා වලා මත තව
නිම්නයෙන් දුරු රටට ඔබට අමතක මතක
මා වෙළා පෙළන්නෙද මටම නොහැඟේ මිතුර

ඔබ හරිම පුදුමයක් ඉස්පිල්ලක් නොබැණ
මගේ හද ගෙන අතට පාට කරනා අරුම
එහෙත් ඒ බවක් තව ඔබම නොදනින පුදුම
එහෙත් ඒ බවක් තව ඔබම නොදකින පුදුම

Picture - Max Ginsburg
http://www.maxginsburg.com

මට කියනවද ඔබව සිපගන්න



මට කියනවද ඔබව සිපගන්න
මට දෙනවද මොහොතක්
ඔබට ආලය කරන්න
ජීවිතේ එකම එක පිටුවක්
ජීවිතේ එකම එක පිටුවක්
ඔබට ආදරෙයි කියන්න
ඔබව සිපගන්න

දූවිලි සුළං ඈත් කර මගෙ හිතින්
රැවුල් කොඳ සියක් ඇනි ඇනී මුදු වතින්
මට දෙනවද ඔබේ හදවත සිඹින්න
රතුම රතු රෝස මලක් එහි තියන්න

ඔබේ හිස කෙස් අවුස්සා දැවටෙන්න
ඇසිපියට පවා ගැහෙන කවියක් වෙන්න
මගේ හදවත බැරිද අරගෙන යන්න
මට අයිති නැති මගේ හද ගෙනියන්න

Picture - Mark Spain

පියෝනී මලකට කියනවද?



ඔබේ මල්වත්තේ පිපෙන
පියෝනී මලකට කියනවද
කිසිදා නොදුටු ඔවුන් ගැන
දේදුනු සිහින අපමණ

රෝස පෑ කොපුල් පුල්
මත තබා පිනි උදුල්
සිනාසෙන හැටි මෙවුල්
කිකිණි ලෙළවා මල්

සිනිඳු සේලය නටු
අත්වලින් ඔසවමින්
උදෑසන රඟනවද
ඔවුන් නර්තන මින්

හිස තබා තුරු පතක
නිදා ගන්නට ලොබින්
හිරුට අත වනනවද
එපා එන්නට දැන්

ඔබේ මල්වත්තේ පිපෙන
පියෝනී මලකට කියනවද
මුහුදු සත් ගවු එපිට
පිපෙන සිහිනයක වග

Picture - Chelìn Sanjuan

ගස අරන් ගිහින් හොරූ



සඳ බලන්න අපි නැග්ග
ගස අරන් ගිහින් හොරූ
දුවමු දුවමු දුවමු අම්මට කියන්නටා
ගසේ බඳත් නෑ - ලස්සන - අතු රිකිලිත් නෑ
සෙල්ලම් කර වෙහෙස නිව්ව
ගස් කුඩයත් නෑ

හොරු අරන් ගිහින් ගස අර අර බලන්නකෝ
අම්මෙ අම්මෙ අම්මෙ අනේ අර බලන්නකෝ
ගස හොයාන ආපහු මට ගෙනත් දෙන්නකෝ
කෝ කෝ කෝ අම්මෙ අපේ ලස්සන ගස කෝ

ගස් අම්මා තාත්ත වගෙ කිව්වෙ අම්මනේ
අපිත් එක්ක තරහ වෙලා ගස ගිහිල්ලනේ
ඒත් කිව්වෙ නෑ අපි නං හිත රිදෙන දෙයක්
ගිහින් වෙන්න බෑ හොරු ගෙනිහිල්ලාම මිසක්

කොහොමද අපි හොයාගන්නෙ අපෙ නැතිවුණ ගස
ගසුත් වටපිට සද්දක් නෑ නොකියා රහස
ඒත් එක ගසක් උස්සා පාත නැවුණු හිස
"ගස් දහසක් සිටවනු පුත" කිව්වා අම්මේ

Picture - James Browne

මල් උයන් පසු කොට



ඇසිඩ් රැල්ලකට ගසා යමි අහකට
එහෙත් ඉහිලිය නොහැක ඉරුවාරද මට
ආයුබෝවන් කියන්නට ඔබට ඇතැම් විට
ළඟත් ඇති මා නොදැන හිටියට

යන්න යමි එකල්හී
මල් උයන් පසු කොට
හිසද හිත පාරනා
පිහි පහර දුරු කොට

කඳුකරය නවතිමි
උස් විසල් ගසක් යට
උරා බොමි සඳ එළිය
විඩා නිවනෙමි වැතිර

කොත් කැරැල්ලක් පෙනේ
කඳු ඉසෙහි නතර වුණ
හිස මුඩු ගාමි මම
නිවන් යමි එහි සෙවණ

"නොවේවා මින් මතුව ගිහි ගෙයක් මා නමින්
මිදී භවයක මඟින් ඉවත් වෙමි සැනසුමින්"
පැදකුණු කරමි දුක යනෙන මඟ පෙන්නුව
උදාවේවා මට උතුම් අරහත් සුව

Picture - Claude Monet, from Paris (1840 - 1926)

පියෝනී ඒ ඔබේ ඇස්



සිනාසෙන්නට වගෙම හඬන්නට නොහැකි ඇස්
පියෝනී ඒ ඔබේ ඇස්
බැස යන ඉරේ රත සායම් ගෑව ඇස්
හඬන්නට වගෙම සිනාසෙන්නට නොහැකි ඇස්
ඒත් කවියක් වගේ සරෙන් සර ගැයෙන ඇස්

දම්පාට විල් තෙරක රන් පාට අඳින ඇස්
පෙමින් පෙම් බස් නොදොඩ ප්‍රේමයෙන් ගැහෙන ඇස්
පියෝනී ඒ ඔබේ ඇස්
පෙම් බැඳ සිතට සොඳ අලංකාරය පිරුණ
සහකාරියක් හොයා දුන්නු ඇස්
ඒ වුණත් හඬන්නට නොහැකි ඇස්

පියෝනී ඒ ඔබේ ඇස්
සිනාසෙන්නට වගෙම හඬන්නට නොහැකි ඇස්

Picture - Sir Tomas F.Dicksee

Tuesday, July 15, 2014

ඔබ බැස යන්න



ඔබ බැස යන්න
කැමති අහසකින්
කැමති විදිහකට
බැස යන්න

දොර කවුළු කිසි නොමැති
කුඩා කඳු පෙළක් මිස
ඇරෙන වැසෙනා නිබඳ
කුටි පෙළක් නොවෙම් මම

ඔබට පැමිණිය හැකිය
සිතුණු විටකදි සබඳ
එලෙස බැස යා හැකිය
යා යුතුයි සිති විටෙක

Picture - Sara Moon

Monday, July 14, 2014

කිරි පැණි


හඳ ඇතුළේ හඳ මාමා කිරි පැණි අරගෙන
පුංචි බබාලා දිහාම බලනා ලස්සන
අත්තම්මත් කිව්ව තමයි කිරි පැණිවල රස
පොළට යන්න ඕනෙම නෑ දැන් කිරි පැණි ළඟ

රන් වන් රන් පාටට හඳ මාම දිලෙන්නේ
රන් වන් රන් කිරිපැණි විතරයිද හදන්නේ
කිරිපැණි ගන්නට කොහොමද අහසට එන්නේ
ළඟට ළඟට එනකොට ඔබ ඈතට යන්නේ

නංගිටයි මටයි දුන්නොත් රන්වන් කිරි පැණි
නංගි නං නටයි සුර අංගනාවක් වැනී
වලාකුළු දැලින් පෙරලා ගෙනල්ලා පැණී
රස කිරිපැණි අරගෙන හඳ මාම ඇවිත් වැනි

පුංචි පුතේ පුංචි දුවේ දන්නවද වැඩක්
තරු බබාල ඉන්නව කිරි නැතුව මහ ගොඩක්
අම්ම තාත්තා ගිහින්ලු හුඟ දුර ගමනක්
ඔවුන්ට කිරි පැණි දුන්නොත් තරහාද හුඟක්

පොළවෙත් ඉන්නවා එහෙම මල් වගේ ළමයි
බඩගින්නේ අඬා කඳුළු ගල් වෙනා ළමයි
ඔබේ කෑම පිරි අත ඔබ දිගු කළොත් තමයි
මල් පිපෙන්නෙ පැණි ලැබෙන්නෙ පුතේ එහෙමමයි


මාමේ එහෙනම් කිරි පැණි අරගෙන යන්න
තරු බබාල ඔක්කෝටම බෙදලා දෙන්න
ඉතිරි වුණොත් මහ පොළොවට අරගෙන එන්න
බඩගිනි වුණු මල් ළමයිට බෙදලා දෙන්න

Picture - James Browne

ගස ගත්තා බකමූණූ පැටියව අතට



ගස ගත්තා බකමූණූ පැටියව අතට
මල දැක්කා හිනායනව ඒකට ගසට

මං හ්ම් හ්ම් කියන්නේ අර අහසේ සඳට
සඳට නින්ද යන්නේ එතකොටලූ හොඳට

ගස ගත්තා බකමූණූ පැටියව අතට
මල දැක්කා හිනායනව ඒකට ගසට

වලාකුළින් ඔන්චිල්ලා පදිනා ළමයින්
නිදන්නෙ මගෙ සංගීතෙට නොවිලා දඟයින්

ගස ගත්තා බකමූණූ පැටියව අතට
මල දැක්කා හිනායනව ඒකට ගසට

Picture - James Browne

බැලතණ මිටක්



බැලතණ මිටක් උගුලමි
කඳු පෙළ පිටු පා දුවමි
නියරෙන් නියරය පනිමි
ඔබෙ මල් බඳුන අස නතර වෙමි

ඔබ කෝප වෙනු ඇත ඇතැම් විට
සිනහව මැඩ ගෙන තදින
ඔබෙ මල් බඳුන කියයි වග තුග
ඔබ නොදැන හිටියට බොහොම

Picture - Julien Dupre 1851-1910

රතු පාට



වසන්තයෙහි පිපී ඇති මල්
බලන්න ඒවායේ රතු පාට
දිදුලන ඇස් පිහාටු මත
තැවරී ඇති 'මුත් සිසිර හිම

වසන්ත මල්වල කොපුල්
බලන්න ඒවායේ රතු පාට

Picture - Canip Taşkıran

Sunday, July 13, 2014

ඉරිඟු



අත්තම්මා ගිනි අස තබා
පුළුස්සන තුරු ඉරිඟු
අපි පෝලිමට බලා සිටියෙමු
උණු උණුව නැවුම් සුවඳින්
ඈ එක එක තබන විට පිඟානක
ඩැහැගැනීමට පොර කෑවෙමු
"උණුයි, දත් විනාස වෙයි"
කෑ ගාද්දී ඇය
පිළිස්සූ ඉරිඟු කරල් රැගෙන
ගේ වටේ පියෑඹීමු

ලිපක් ඇති 'මුත්
අද එහි ගිනි නොමැත
ගොඩ ගසා ඉරිඟු කරල් ඇති 'මුත්
පුළුස්සන්නට කිසිවෙක් නැත
පොරකන්ට, නටන්ට, කෑගසන්ට
කිසිවකට කිසිවෙක් නැත

එහෙත් අත්තම්මා
තවම ලිප අද්දර සිට
උණු ඉරිඟු කරලක්
දිගු කරන ලෙස දැනේ මට

Picture - Canip Taşkıran
http://caniptaskiran.com/

කවි අයිති ලියන්නන්ටම නොවෙයි!



කවි අයිති ලියන්නන්ටම නොවෙයි
ලියූ අකුරින් පෑරෙන්නන්ටදය මිත
සිතුවම් අයිති අඳින්නන්ටම නොවෙයි
සියලු පැහැයෙන් නැහැවෙන්නන්ටදය මිත
සමනලුන් අයිතිය මල්වලට නොවෙයි
මල් උයන් සිඹින සුළඟටද ඇත
කවි තිබෙන්නේ ඇවිලෙන්නට නොවෙයි
සිප වැළඳ එහි කිමිදෙන්න මිස

Picture - Francois Fressinier

දිගු කසුකුසුව



දේශනය අහවර වූ කල
මරණීය බයක ගිලුණාක් මෙන්
ශාලාව නිශ්ශබ්ද විය
ඔබ සියල්ලන්ම
හොඳ අය වන්නට බැරි යැයි
අනතුරුව දේශකයා කීවේය
නරක අයට එහෙත් හොඳ වන්නට පුළුවනැයි
යළිත් ඔහු කීය
එකල මුළු මහත් ශාලාව සිසාරා
පැතිර ගියේය දිගු කසුකුසුවක්

Picture - Margarita Georgiadis

ගැහැනිය ඔබේ වචනය ප්‍රේමයද?



කම්කරු සබඳතාවට
ඔබ කියන වචනය ප්‍රේමයද
ගැහැනිය!

සුදුමැලිවන තුරුම අත් - සෝදා රෙදි පොට්ටනි
මිරිකා තදින් වනා ගස්, ගල් අතර
දුවන්නී තොටුපළට ගරන්නී වැලි බඳුන් නිහඬව
මැණිකක් නොලබාම අඳුරත් එක්ක
උයන ගෙට වැදෙන්නිය
පොල් මටුලු සොයන්නිය
ගිනි දල්වන්නිය පොලන්නිය කොටන්නිය උයන්නිය
සිහින්වට කපන්නිය බදින්නිය තම්බන්නිය දවන්නිය
පුතුන් සැමියා වෙත බෙදා බත පුදන්නිය

හදිසියෙන් මතක් වී රෙදි කළුවරෙම දුවන්නිය
පුතුන්ගේ ලෙහුණු කලිසම් වාටි මහන්නිය
වෙහෙස වූ ඇස් විටින් විට අතින් මදින්නිය
කුස දැවෙන විට බෙදා බත්පතක් බුදින්නිය

හැළිවළං සෝදන්නිය පිහින්නිය
අවසන් අළු අරන් දාන්නිය
කා ඉවත ලා තියෙන බඳුන් අස රැඳෙන්නිය
අතු ගාන්නිය බිම
විසි කරන්නෙය මල් පාත්තිය වෙත දිය
දකින්නිය නිසා කල අවර හැරෙනා සඳ
තබන්නිය ගෙවී ගිය කොට්ටයක හිස

කියන්නෙය ඔබ මෙය
ප්‍රේමයැයි ගැහැනිය

නිවැරදිය
කෙලෙස නම් ඉහළ තියන්නද - කම්කරුවෙකැයි ඔබ
කිසිදු වැටුපක් නොලද කල

Picture - Carlo Caravagna

හිමාලය



හිමාලය
අඳියි ඔබෙ ඇස් දෙක
ලා තැඹිලි පාටට
හිම අතරින් මෑත්ව
සිනාවෙයී රන්වන් ලවන
සුදු පැහැති ලෝගුව
විසිකරමි කඳු ඉස
රතුවෙයි ඔබ කොපුල්
මා දුටු පරිද්දෙන්

Picture - Janel Eleftherakis

Saturday, July 12, 2014

කුණ්ඩලාභරණය



කුණ්ඩලාභරණය දමා ආවෙමි
අමතකව ඔබ කුටියෙහි
නැවත හමුවෙනු නැත එය
ඔබේ වත්සුණු සුවඳ විලසම

ඔබේ කුටියට ගලා ආ
සමුදුරෙහි ගොස තබා ආ එහි
නියං සායෙන් වෙළෙන කඳුකර
මගේ හදවත පෙළන්නෙහි තව

අහෝ ඔබ මා බැඳුණු බැමිවැල
ගෙවා සැතපුම් සත් සියක් දුර
ලුහුබැඳන් මා හඹා ආ වග
නොදුටු හැටි මා නැවතුමට පෙර

Picture - Rob Hefferan

මල් ඇට



සමහර මල් ඇට ඇත
පසට යට කළ පසුව
අඳුරට හා නියඟයට අසුව
එහිම මිය යන

සමහර වසන්තයන් ඇත
මඟට 'විත් ගොර බිරම් ලැබ
ආපසු හැරී යන

අඳුර තුළ සැඟවු කල
හුස්ම හිර වුණු මල් ඇට
දිය බිඳක් නොලද මල් ඇට
මතුපිටට මිහි නැඟුණු මල් වැටට
වඩා සුලබය

Picture - Danielle Richard
Inspired by Ruwan Bandujeewa's poem;
"
පසට යට කළ පසුව මල් ඇට
ඒ පසම ඉරාගෙන ඇවිදින්
මල් වැටක් සේ නැගෙන්නට පෙර
රංචු ලෙස නොව තනිව නිහඬව
විඳිති භූගත අන්ධකාරය ......"

මින් වසර තිහකට එපිට



පැරණි තානායමකි
අවපැහැව දියසෙවෙල බැඳී ගිය
ඉපැරණි කඳුගැටයකි
ඉන් එපිට සොවින් වැළපෙන
ඉඳහිට මතුවුණු නිල් ඇස් දෙකකි
උඩු මහල කවුළුවකින්
මින් වසර තිහකට එපිට
ගිම්හාන නිවාඩුවක

මල් නෙළන විට මා
බැස මිරිදියට හිමිදිරිය
දිය බෙරලිය මලක් විමසුව
අවපැහැ තිරය පහන් කළ
පහන් එළි දෙකකි එය
මේඝ දූතයක වෙළී දැල්වුණු

මින් වසර තිහකට එපිට
ගිම්හාන නිවාඩුවක

Picture - Hans Dahl (1849 - 1937)