Wednesday, April 29, 2015

ගලා යයි ගංගා



විසල් කඳු බඳ විසල් කඩතොලු
දැහැනකින් මුදවා
රිදී පාටට ගලා යයි ගංගා
ගිරි ශිඛර බිඳවා මිහිදුමින්
භූ ඵලක පුරවා
වර්ෂාව ඇස් දෙකේ හංගා
ගලා යයි ගංගා

කම්පනය කර ඉවුරු තුරු පෙළ
මලින් මල මන්දාරමින් පොරවා
පුබුදුවා දිය පොවා සෙනෙහෙන්
ගලා යයි ගංගා

ඔහේ රොද බැඳ ගලනවා මිස
ගඟ දියෙහි සුපිපේද පියුමම්බා
කුරුලු කිචිබිචි අතරමඟ හැර
ගලා යයි ගංගා

Picture - Ransirimal Fernando, Canadian Rockies

Saturday, April 25, 2015

ඒ ළමයා



ඒ ළමයා දැන් වියැළුණු පරඬැල වාගේ
ලොකු ළමයෙක් වෙන්න හිටං ආ ගිය දුර දුර වැඩියිලු
මල් පෙති සිඳිලා ගං ඉවුරට වැදිලා
තැන තැන සායම් වියැළුණු
මේපල් කොළයක්
සුළඟට වැටිලා

Picture - Marta Wołtosz 

Saturday, April 18, 2015

සොයා මැනවින් ඉවත් කළ මැන



නුවර දනෝ බැන වදිති
නින්දා අපහාස කරති
පල නැති රුකැයි කියති

මම යනුවෙන් කෙනෙකු නැති නම්
එසේ නම් පවතීද
නැති කෙනෙකුට කරන බැනුම් අවමන්

නොපවතින කෙනෙකු වෙත කරන නොපවතින දෙයින්
වේදනා හටගති නම්
එය දොසකි ඔබ තුළම
සොයා මැනවින් ඉවත් කළ මැන

Picture - Daniel Gerhartz

දඬුවමකි ජීවිතය



මට මරා දැමිය හැක මා සිරුර
එහෙත් මට මරා දැමිය නොහැක
මගේ මවුගේ එකම දරුවා
එහෙත් මට මරා දැමිය නොහැක
බිරිඳ, අත් අල්ලාගෙන ආ
සමඟ සොඳ සැමියා
එහෙයින් සාපරාධීය මරණය
සිත සහ සිරුර අයිති නොම වන
දඬුවමකි ජීවිතය

Picture - Frode Nyboe

Tuesday, April 14, 2015

සකුරා මල්හි පෙති



මෙතරම් රිදුමක්
මෙතරම් තැවුලක්
බලන්න
සකුරා මල් පෙති
ඉගිල යන හැටි
පූජියාමාවට

Picture - François Batet

ජීවිතයද නොනගතයකි



එහෙත් මිත
ඇතැම් කල
ජීවිතයද නොනගතයකි

Picture - Gerald Harvey Jones

Sunday, April 12, 2015

අනේ ඇත්තද



මල් පිපෙන්නද යන්නෙ
අනේ ඇත්තද
ගිම්හානයක්නෙ මම
අයින් වී යන්නම් එතකොට

Picture - Himali N. Liyanage

සැඟවෙන්න ඇත්නම්



සැඟවෙන්න ඇත්නම් මට
ඔබේ පින්තූරයක
කිසිවෙකුට නොපෙනෙනා ලෙස

Picture - Himali N. Liyanage

මජ්ඣිම නිකායෙන් අවසන් හුස්ම ගනිමි



මජ්ඣිම නිකායෙන් අවසන් හුස්ම ගනිමි
කියන්න,
සියතින් ගෙල නැසූ කල
විකල්පයක් නැතිද
අගතියට පත් වීම මිස

සුවඳ රෝස මල් හද ගවසා ගනිමි
අවසන් ගාථාව කියමි
මැටි පහන් දල්වනු බැරි හෙයිනි
බෝ මැඩ වන්න පතමි
අහෝ පැදකුණු කෙරුම නොදනිමි

Picture - Hiroshige [Utagawa Hiroshige (Andō Tokutarō); Japanese, Ukiyo-e, 1797-1858]

නොලියනු මැනවි මා මළ බව



නොලියනු මැනවි මා මළ බව
එ'ලෙසම ජීවත්ව සිටි බව
ජීවිතය-මරණය අතින් ගෙන
මොහොතින් මොහොත ගෙවී ගියා මිස
නොදනිමි ජීවත්ව සිටි බව
ඉඳින් දනිමිද කෙලෙස මළ බව

Picture - Brenda Burke

මවනු බැරි කිමද නිල් මහනෙල් උයන?



බක් මාසේ මල් බක් මල් පිපෙන්නේ
කොහා ඇවිත් තුරු 'ගිස ගී ගයන්නේ
නංගීටයි කැවුම් අතිරස මවන්නේ
තව නව මාසෙකින් මවු බව ලබන්නේ

අකුණු තුඩින් කණ අග පිපිරී නොයමි
පොකුරු පිටින් මල් නොපිපෙන හැටි දකිමි
සතුරු මුවින් එක කඳුළක හෝ නොවෙමි
අසුරු සැණින් බග සඳ කඳුළින් වසමි

කඳුළු තරං මිතුරෙකු සිටියෙද දිවිය
කිසිදු වරම් නොම විය පුද දුන් දෙවිය
දෙවිඳු ඉඳින් මා හද කුස විල වියන
මවනු බැරි කිමද නිල් මහනෙල් උයන?

Picture - Paintings of Jane

Saturday, April 11, 2015

ඔබ ගලන ගඟයි



ඔබ ගලන ගඟයි
සඳ වතුරයි
ඉළු ද්‍රැම ඉහළයි
ම'හද මලයි

උදුලන තරුවයි
නිහඬ රැයයි
හද බැඳි කවියයි
ගගන විලයි

කඳු බඳ මිහිරයි
දිය කඳුළයි
කතරට ගඟුලයි
සමන් මලයි

Picture Owner - As per the picture
Picture - Victoria Falls, Zambia - Zimbabwe

ජීවිතය ගැන හිතෙන්නෙම නැද්ද?



ජීවිතය ගැන හිතෙන්නෙම නැද්ද
මේසයක් 'සල කැරකෙන පුටුවක
වාඩි වී බර ගත් සිතින්
සිටිනවාට වඩා වැඩි යමක් ඔබට

දැනුම ගැන තොරතුරු ගැන වද නොවෙමි
ප්‍රඥාව ගමන කෙළවර ගැන දකිමි
නීතිය ලිවිසැරිය අණ පනත්වලින් එපිට
ජීවිතය ගැන ප්‍රඥාවකි
සීත කාමරයක නිලධරයන් ගැන
සිතමින් වද වෙමින් සිටිනවාට වඩා
වහනක් නැතිව කුසගිනි ඇතිව
කඩමාල්ලෙන් යුතුව මහමඟ ඇවිද යන මිනිසුන්ට
වටහා අවබෝධ කර ගත හැකි දෙයකි
ප්‍රඥාව ජීවිතය ගැන දෙයකි
ප්‍රඥාව සොයා යන්නෙක්
නැවතීම මිස ලුහුබැඳුම නොතකත්

ඉතින්
ලිපිගොනුවලින් කාර්යාල සටහනට වැඩි යමක්
ඔබට නොහිතෙන හැටි
ලොව පුරා විසිරෙන සුවඳ
නොදැනෙන හැටි

ඉතින් කොහොම හඳුනාගන්නද ඔබ
සීරුවට තුරු අගිස්සේ පිපෙන
සුවඳ වැඩි බක් මලක් දැක
කුඩා දැරියන් නටන හිනැහෙන හැටි
මහ උස් ගල් පව් නැඟ
දුවගෙන 'විත් දොළ පනින හැටි
ගස් වලින් වට පුස් වැල්හි
ඔංචිල්ලා පදින හැටි

පැවසුවොත් ඔබට ඒ ගැන
ඔබ පුදුම වනු ඇති
මනස් රෝ අංශයට වහා අමතනු ඇති
මන්ද-බුද්ධිකද බියව විමසනු ඇති
මාණ්ඩලික කුඩා දැරියන් නැති

Picture - Camels in Broome, Australia by Shahar Keren

Friday, April 10, 2015

ඝනීභූත කර වනපෙතක කඳු බිමක



කඳුකරයක අඩදැණි මිටියාවතක
ටර්පන්ටයින් පත් එකින් එක වැටෙන හවසක
වට්ටක්කා ගෙඩියක් තබා ඇති මෙන් ඉහළක
ඉර අතු පතරතින් පෙනෙන විට
මා ඝනීභූත කර රඳවා ගත යුතුය
හුස්ම ගන්නා වනපෙතක
කඳු බිමක

නිලධර වාදයෙන් ගැහෙන විට නගරය
යුද ගිනි ඇවිලෙමින් ලේ ගලන විට ලෝකය
බලය පෙන්වමින් බදා අල්ලා ගනිමින්
සිරගත වන කල රූපෙක
නානා ප්‍රකාර සාරි රෙදි පටලා ගත් ගත්
නළවමින් හිතට ගෙන ඇවිදින ගැහැණු උකුළු
මා වෙන් කර ඒ මාවතෙන්
ගෙන යායුතුය සිහිල් සුළඟ ගැවසෙන මල් පිපෙන
අහස් ගව්වට

යාඥා කළ යුතුය නොපමාව
කෙනෙකු ඇත හිත විමසන පිරික්සන
ආලෝකයට දිගු කළ යුතුය අත
සැණෙකින් වෙනස් කළ හැකි විලස මාවත

Picture - Peekaboo | by Max Ellis

කඳුළු ගඟයි මහ මුහුදයි



කඳුළු ගඟයි මහ මුහුදයි
එකතු වෙලා අඬන්නේ
තනි තරුවයි අලු අහසයි
බිහිරි වෙලා හිඳින්නේ
ගන රැයකට වන මැද බිය
මුවන් නොවෙද විඳින්නේ
සඳ නැති රැය හද බැඳි දුක
සඳ සාවියි ගයන්නේ

මරු කතරට හුස්ම බිඳක්
නොදෙන වලා
තුඟු ගිරි ඉස රැඳෙන්නේ
නෙරු අතරට ගලන සිනා
කඳු ඉස සිඳ දමන්නේ

නුබ කළුවර රිදී සිනා
ඉරිතැල්මෙනි මවන්නේ
කඳුළු ගඟක් එකතු වෙලයි
කවි පද ඇද හැලෙන්නේ

Picture owner - unknown
Honokohau Falls, Maui, Hawaii, one of the most spectacular waterfalls in the world.

ආයෙ ඒකෙ ලස්සනක් - විහිළුවක් නොවෙද මිත්‍රය



වැළපෙන කොට යම් මිනිසෙකු
ඉකිලන ළය, තාලය, විරිත
මං අහන්නේ එහෙම හොයනෙක
විහිළුවක් නොවෙයිද මිත්‍රයා

අඬන කොට ගිතාරය
තත් ගැලවෙනව ගැස්මට
වහින කොට වැස්ස
පිටාර යනව වැව් 'හෙම
ආයෙ එහි ලස්සනක්
හොයනවද මොකද බැන බැන

බිඳුමට සලිත වන පින්සලකි
මවන්නේ විශ්වයේ මත්කම
ඇද වැටෙන කොට වලාකුළු
පෙණ දමයි දිය ඇලි ඔක්කොම

ආයෙ ඒකෙ ලස්සනක්
විහිළුවක් නොවෙද මිත්‍රය

Piture - Brúarfoss, Iceland by JaZ99wro

ගමට යන්න හැදු බෑගය - වැළපෙයි අඳුරේ



සඳ මළ රැය
ගඟ ගල  ගල
ඉකිලනවා මඳ අඳුරේ
ඇහුණද මිතුරේ
ගඟක සුසුම් විලක තැවුල්
මුදු හිත මිස දුටුවෙද යම්
මිනිසෙකු මිතුරේ

හද පිරිපත ළතැව ළතැව
කඳුළින් ඔඩු දිවු මොහොතක
ඒ කඳුළත් උදුලනු වස්
පුද දෙමි අඳුරේ
සඳකත මිණ බැබළි බැබළි
සිතුණිද මිතුරේ

රංචු පිටින් කොවුල් පියා
නුබ ඉස නැඟ කඳුකරයට
මලින් මලට සිප ගනු වස්
ඉගිලෙයි මිතුරේ
ගමට යන්න හැදු බෑගය
වැළපෙයි අඳුරේ

Picture - Thierry Duval, French Watercolor Artist (b.1957)

අත් හදා බැලිය හැක




දැන් ඔබට රස විඳිය හැක
රස කැවිල්ලක් විලස මා හද
විකා බැලිය හැක
අත් හදා බැලිය හැක
ඔබ දත් පහර විස සහිතව
මිය යාද නොදනිමි
එසේ නැතහොත්
දැක ගත හැකි වෙද ඔබට
වළකගන්නට පෙර ගිලිහ යන
කඳුළු උල්පත
අභව්‍යය එය, එසේ නොසිතමි

මුරණ්ඩුකාරකමය, හිතුවක්කාරකමය
නොහොබිනාකමය
මාණ්ඩලික දැරියෝ නොවෙති
නින්දාවකි කඳුළු
ගෙයි යොදුන් දහසක් දුර කොට
එ'ගෙයි අම්මා තනි කොට
වසන්තය ආ බව කිය කියා ගයන කොවුල
ගෙල සිරකොට නසන්නද කියන්නේ ඔබ

කඳුළක ගැඹුරු උල්පත
තල තලා මිටෙන් අත් හදා බැලිය හැක

Picture - Igor Medvedev

ඔව්, අවුරුදු කියා ඇයි වෙනසක්



අවුරුදු නිවාඩුත් දෙන්න බෑ කියන කොට
හොටු පෙරාගෙන අඬනවා නිල් අහස

උනන තරමට වැඩ ඇති තැනක
වැඩ ඉවර කළ බව කියන්නත් බැරි නම්
කවියෙකුව නිදන්නට බැරි රටක
අඬන්නට දෙන්න මට මහ හයියෙන්

අවුරුදු කියා මොකෝ වෙනසක්
අම්මා මහ ගෙදර උන්නාවෙ තනියෙන්
අවුරුදු කියා ඇයි වෙනසක්
ඔව්, අවුරුදු කියා ඇයි වෙනසක්

Picture source - thewhisperofgod.wordpress

Thursday, April 9, 2015

ඔර්ලෝසු


ඉක්මනට යන්න ඉක්මනට යන්න
අටාමාරට ළඟයි
අත් ගස්ස ගස්සා කියයි
වේලාසනින් අද බොහොම
දැක්කද අහස් කුස උදා'ලෝකය
නිවී හැනහනේ යත'හැකි ඉතින්
කවියක් දෙකක් කියාගෙන
ඈඳිගත්තැකි ටික දුරක්
ළං වුණත් බැස යන තැන ළඟින්
නගර ශාලා වේලා යන්ත්‍රය
කියන්නේ එහෙමය තුටින්

කවුළුවක් ඇර සුළඟකට ඉඩ දෙමි
සාරියෙන් ඉරි තැලෙන ගත නොතකමි
සංසාරෙ 155 රිය මෙනි
එහෙත් අමතක නොකර හිනැහෙමි

❀ ❀ ❀ ❀ ❀ ❀ ❀ ❀ ❀ ❀ ❀

අත වනයි පාලම නොතකා
පාර පනිනා මිනිස් ගඟ වෙත
දැක ගැනුමට සන්තාපෙන් පිරුණු ඇස්
නඟිමි මරදාන පාලමට
සැඳෑ 'ලෝකේ නැහැවෙමින්
ඉස්ටේසමේ ඔර්ලෝසුව
විටක් සපන්නා මෙන්ය
සුදු අශ්ව කන් දෙස බලා ගෙන

Picture - Kiso Valley | Japan (by Oscar Tarneberg)

Tuesday, April 7, 2015

වහින්නට යැයි කියූ කල



වහින්නට යැයි කියූ කල
අහස ගුගුරා වහින්නට විය
සිනාසෙන්නට පැතූ සඳ
එක සිනාවක නැතිව නික්මිණ

වසන්තය එන බව කියූ කල
නුබ අරා ගිනි වැදෙන්නට විය
මලින් මල තුර'ගිස මලින කර
වසන්තය දුර ඇදෙන්නට විය

බඹර තුඩකට පිදුණු ආලය
මුවින් මුව ගුමු නඟන්නට විය
රිදුණු හිතකින් වැටුණු කඳුළට
දනන් දන මිල තබන්නට විය

Picture - Prokazov Boris

වර්ෂාව වී වහිනු මැන



මඳ ගන අඳුර
තරු පිරුණු රැය
වර්ෂාව වී වහිනු මැන
තරු 'ළිය කුමට
ඈ යුග නයන
අන්සතු වු බව කියන කල
තරු එළිය බිඳවා
වර්ෂාව වී වහිනු මැන

උයනට කුමට මල්කම් සුමට
ලවන මුදු සිහි ගෙනෙන කල
ගං-හෝ දියෙන් වන වසනු මැන
දෙපිය සටහන් මකනු මැන

විහඟුනි කිමද මී මියැසි සර
මුනිවතින් කවි කියනු මැන
බිඳි හද වළප නොම ඇසෙන ලෙද
සයුරු ගොස වී හිඳිනු මැන

Picture - Eduard Gordeev

Monday, April 6, 2015

සියක් චුම්බන තබා හද මත


අසනි වැසි වැස ගොර බිරම් අස
හඬන සියපත මඩින පිරිපත
සියක් චුම්බන තබා හද මත
ම'හද සුව කළ මැනව හිමි සඳ

උදා කල කලබල අහස මැද
කලා සොළොසක පොහෝ දා සඳ
බැස යන්ට හද නොරිසි තාපෙන
මිලින කර හෝ නදී කැළඹිණ

අහස ඔබමැයි ගඟද ඔබමැයි
නුබ අඳුරු කළ රැයද ඔබමැයි
එවන් නුබකින් මුදා නොහැරා
සඳක් වී යළි
උදාවන්නට ඉඩහරිනු මැන

සියක් චුම්බන තබා හද මත
ම'හද සුව කළ මැනව හිමි සඳ

PictureJohn Atkinson Grimshaw