Tuesday, June 30, 2015

'සකි, ඔබ මතක මුහුදකි, ඉවුරු නැත එහි කිසි'



උස් බිම් මැඳුරු අබියස සෙලවෙන රන් රසු දැල්ය
බරණ කෙස්වැටියෙන් සඟවා ගන්ට තනන යුවතියකි අහස
රෝස පෑ වලා නිරිත දෙසට පාව යයි සුළඟ සමඟ
ඔබ ලයිටරය අවුළුවා ගැඹුරැති හඬින්
සමාවෙන්නැයි කියයි

'සමාවෙන්න.. දන්නවද මා ඔබ දන්නා බව'
නික්මීම නොහඟවා ඉන්නට වෙර දරන අහස හිස් අවකාශයට
දුම් වළලු විසි කරයි ඔබ
ඔබේ ඇස් දෙක මෘදු පෙනෙන නොපෙනෙන කාන්තියකි විට විට
සිඳු රළ මඳක් ඉහළ නඟියි පාව එයි රළ කැරලි මාවතට

ගිද්දා නැටුමකට සැරසෙන්නාක් මෙන් වැනෙන වැටකෙයි පඳුරු
කුණාටුවකින් පෑරී ඇත මහ මුහුද දුර ඈත, ශීතලය අගනුවර කොතරම් දුරද එය
ඉකි බිඳුමකි, වැළපුමකි, දුම් වලාවකි රාත්‍රිය

'එය රිදවයි මා හද' වචන අරපරිස්සම් කරයි ඔබ
ඔබ ඔය කියන්නේ මල් පිපෙන්නට පුළුවන් බවද
'නැහැ, වැදගත් දෙයක් නොවෙයි.. විකාරසහගතයි'
'විකාර කියන්නේ හැම කෙනෙකුට පොදුයි'
ඔබ අත ගසයි, ගිනි පුපුරු පහළට විසි කරයි
'ඔව්, මල් පිපෙන්නත් පුළුවන් තමයි'

මැහැල්ලක් පිය නඟයි අවපැහැ ගෙවල් අතරින් වීථියෙහි
රබර් කිරි බඳුනෙකි ඈ අත, එක අතෙක සාරි ඇන්දූ වහු පැටවෙකි
ගොජ ගොජ ගා පිපෙයි කිරි එළිමහන් ලිපෙහි නැඟෙයි ගිනි
'බයගුල්ලෙක්' කිය කියා රළ ඇවිත් මකයි පිනි

දුක් ඈතට ගසා යන දුම් කුහරයකි ඔහු අත
කොක්කු ඉගිල යයි ළා කොළ පෑති කෙත් මත
රාත්‍රිය අවසන වැඩ වැරුමකි අවසන් වචන
'සකි, ඔබ මතක මුහුදකි, ඉවුරු නැත එහි කිසි'

Picture - FUTOSHI ESHITA, Hanayuishi Takaya

'සමාවෙන්න'



ඉතා උස කුළුණත
එක පසකී දිය වී ඇත්තේ හිරු රැසින්
වෙහෙසින් ආතුරව මෙන් පත් හැළී ගිය
මංපෙත් සුසුම් හෙළයි

මා කවුළුවෙන් එපිට බැලූ කල
වියැළ ගිය කොළ පෑ පඳුරු අතරින් මතු වූ
සිංහයෙකු මෙන්
රාත්‍රිය උදාවන්නට විය
වෘක ඇසක් මෙන් දිස්න දිදී
ආකාසයේ ඈත කොණක අඟහරු තාරුකාව ප්‍රාදුර්භූත විය
මම ඔබේ අතෙක එක ඇඟිල්ලක් අල්වා බැලුවෙමි
'සමාවෙන්න'
වීණාවකින් අහඹු ලෙස උපත ලද
ගැඹුරු ගැයුමක් මෙන් ඔබේ හඬ
මං හිතන්නේ ඝර්ම කලාපීය රටක් ගැන
සමාව ඉල්ලනවා විය යුතුය ඔබ

මාවතේ ඈත කොණ දුරකථන කම්බිය මත
කළු පාට මල් මෙන් පිපී උන් කපුටන්
ඔබ කොනිත්තන්නට වූ කල මේසයේ කොණක්
වලාකුළු මෙන් අහසට පාත් විය
ග්‍රීෂ්මයෙන් වචන සිඳී ගිය වාපියක් මෙන්
හිටිවනම නිසොල්මන් විය
අහෝ එ'යුවතිය කතා කළ යුතු වූ විට
'සමාවෙන්න'යි මම කීවෙමි

එක එක සුළං රැළි තුරු අතරින්
රූරා වැටෙන කල
කෝපි කෝප්ප ගැටෙන හඬ
මතු විය අවන්හල ඈත කොණින්
හදිසියේ පැමිණ කිසිවෙක්
පිස දමන්නට විය කවුළුවෙහි රැඳුණු දේදුනු
ඔහුගේ ඇඟිලි රටාවක් ශේෂ විය
පෘෂ්ඨයෙහි උච්ච කොණ

Picture - Karl Harald Alfred Broge (Danish, 1870-1955)

Friday, June 26, 2015

ඔබ අහනව නම් ඇත්තම ඇත්තට



ඔබ අහනව නම් ඇත්තම ඇත්තට
ඔබ තරං මිහිරි රහසක් නෑ
කියාගන්න බැරි වී ළතැවුණ

සඳ ගිලෙනව නම් මුහුදේ ඇත්තම ඇත්තට
පෙරඹර අහසේ මැවෙනා රඹවන් සිත්තම?
නිල නිලනව නම් හරිත නිම්න කඳු ඉස් ඔක්කොම
නී රළ මත සුමුදු සිනා කැලතෙන ලස්සන

ඔබ අහනව නම් ඇත්තම ඇත්තට

ගිම්හානය එන කොට මල් සූරා පොළොවට
වස්සානය වසන්තයකි කලඹන නිල'ඹර
ඔබ හොයනව නම් මිහිරි රහස තනිවම හිනැහෙන
සුවඳ නුඹය සියපත හද විල මත විකසිත

ඔබ අහනව නම් ඇත්තම ඇත්තට

Picture - Aldo Balding

ග්‍රීෂ්ම සුළඟේ,



ග්‍රීෂ්ම සුළඟේ,
කුඩා බැටළුවන් සිප සනසමින් ඈතට ඇදී යන
මිණිමෙවුල් රඟන්නා වැනිය ඔබ සිපගන්නා කල හරිත තැනි මත පිපුණු කුඩා මල්
රඹ පැහැය ගෙන ස්වර්ගයේ දොර ඇරෙන විට බස්නාහිර අහසින්
රළ කියන්නේ උඩ පැන පැන නටන යුවතියක්

මීනයන් ශ්වේත පැහැ බඩ පලිඟු පෙන්වා
රළ අතරින් ඇදී යන කල ඈතට
නිසංසල වෙසින් සාරියේ රැළි ගලවා
නිදහස් වන්නෙය මුහුද
එතැන් සිට උදාවන තෙක් මැදියම
බැලේ නැටුමක්ය කලින් කල පය ලිස්සා යන

මකරෙකු ලෙසින් කට හැර
පාත්වෙන කල වලාකුළු සඳ වෙත
ඇගේ කිංකිණි සිනහවය
විටින් විට නැඟෙන්නේ රැය

වස්දඬුව විසි කර ගදඹෙකි වශී වී ගෙන!

Picture - John William Waterhouse

පැළයක් පතන්නේ පොළොවකි



පැළයක් පතන්නේ පොළොවකි
තවානක් දැක හිනැහෙන්නෙ අමුණකි
මිහිලිය නටන වැසි අතර උදා වන සඳ සකි
කවියක් කියන්නේ මොහොතකි

Picture Source - http://www.earthporm.com/20-lonely-little-houses-solitary-soul/

Friday, June 19, 2015

වැරදි වේදිකාවක්



ඉස්ටේසම හරි වුණත්
වැරදි වේදිකාවක් ඔබ

Picture - Foleys Bridge,

Thursday, June 18, 2015

'මම ඔබ කඩා බිඳ නැවත තනමිය'



මල් උයනක ගං ඉවුරක මුණ ගැසුණහ ඔවුහු
'මම ඔබ කඩා බිඳ නැවත තනමිය' එකල්හි කීවේය ඔහු ඇයට
නගර ප්‍රාකාරයක තැනි බිමක මුණ ගැසුණහ ඔවුහු
එකල්හි කීවේය ඔහු ඇයට 'මම ඔබ කඩා බිඳ නැවත තනමිය'

ගඟ ගලා බැස්සේය නිහඬව, උණ පඳුරු පවා 'හ්ම්' හඬක් නොනැඟීය
අත ගලවාලන්ට බියෙන් මෙන් සුළඟ අල්ලා සිටියේය තුරු පෙළ
දරා ගත නොහී අතු බිඳෙන්නට විය තුරු ඉදිරී මහ පොළොව බමන්නට විය
දුරකථන සංඥා පවා භීතියෙන් සැලෙන්නට විය

'මම ඔබ කඩා තනමිය' 'මම ඔබ කඩා තනමිය' එක හඬින් අකුණු ගසන්නට විය
විදුලි සැර වැදී හිටි වන පොළොව ඉරි තැලෙන්නට විය
හිටිහැටියෙ කඳු නාය ගිය පසු බෙලිතෝර වැසි නිවෙන්නට විය
කුඩා තාරකා'ළියක සැඟවී සේපාලිකා මල් පිපෙන්නට විය

Picture - Stolyarov Vadim

රිසි නම් නුඹ



* "මම කියන විදිහට ඉන්න ඇයි උඹට බැරි?" පෙම්වතෙක් පෙම්වතියගෙන් අසනු ඇසිණි.

පෙම්වත
මරණයක්ද
ප්‍රේමය?

මා ඉන්න විදිහට
රිසි නම් නුඹ
පෙම් කරනු මැන

Picture - http://www.earthporm.com/20-lonely-little-houses-solitary-soul/

Wednesday, June 17, 2015

ප්‍රේමයයි සොඳුර ඔබ ගැන



"මා සඳට කැමති බව දැන"
සඳ නෙළා ගෙනැත් අහසට
"මා මලට කැමති බව දැන"
තුරු සියක් මවා හිනැහෙන
මා කිරිල්ලියක් බව දැන
දොර කවුළු පියන් හැර ගෙන
කඳු ඉසහි රැඳෙන දේදුනු
පැහැ කරයි සතුට ගැන ගැන

ගඟ ඉවුරු අසල හිඳ වෙණ
වයයි මිහිරි තුඩ'ගින
රළ අතර විහිද උපදින
පැතුම් ඉපිද මියයන
කඩවසම් ඉවුරු ඉහ ළඟ
නවතින්න බැරිද අසමින
දෑසමන් මලකි හිනැහෙන
ප්‍රේමයයි සොඳුර ඔබ ගැන

Picture - R. Hefferan

(මෙහි 3වැනි පෙළ සහ 4වැනි පෙළ නන්දා මාලිනිය විසි ගායනා කරනු ලැබ ඇති ගේය පද රචකයා කවුරුන්දැයි ම'විසින් නිශ්චිතව නොදන්නා ප්‍රකට ගීතයෙන් උපුටා ගනු ලැබිණ.)

හේශාරවය නඟයි බැස යන හිරු



'තබනු මැන සැදෑලය අසු මත'
හේශාරවය නඟයි බැස යන හිරු
හිම තුහින නෙරු අතර අතරමං වෙයි
ගලා යයි මිහිදුමක් මෙන් වන පෙතෙහි

කුඩා උණුසුමකි හදවතෙහි
කවුරුන්ද සලකන්නේ එය
සී සෑමි, වැපිරීමි,
වස්සානයද ගිම්හානයද පසු කළෙමි
යා යුතුය වන පෙතට, සැඟවිය යුතුය
පහන් තරුවකි එවන් කල,
දැනෙන නොපෙනෙන ඉළු ලිය

Picture - Guram Dolendzhashvili

Sunday, June 14, 2015

බැරෝ මීටරයක වියළි ඇස්



මිහිරිම දවස් විසිරිලා ගිහින්
සරත් සමයක හැම පතම බිම දිගා වී මෙන්
බැරෝ මීටරයක වියළි ඇස්
කඳුකරය සීරි ගොස්
බලන්න ඔබ නෙළා දුන් දේදුන්න
සුළඟ හා පාවී යයි

Picture - http://www.natural-designs-studio.com/journal/2015/6/1/country-scenes

Saturday, June 6, 2015

කවි ගලන සමවාරයක්*



හිම සූරයි වීදුරු කවුළු පත් වැළපෙන වලාකුළු හිම කෙත්
තිරිඟු අහුරක් විසි කරන කුඩා කෙල්ලන් පේළියක්
ක්ලෝඩ්ගේ ඇස් ළඟ ඉර වුණත් පළිඟුවක්
ඔබ ඉරා දැමු කල හදවත කවි ගලන සමවාරයක්*

Picture - Alex Russell Flint, British Realist Artist (b. 1974)

Friday, June 5, 2015

ආලෝක තීරුවක් වගේ දියව යන මාවත්



විලෝ තුරුපත් වගෙයි ඔබේ කවි! ශෝකී නාදයක් අමන්දානන්දයක් දැනෙන්නේ.. රළ පෙළක් වගෙයි වැළපෙන්නෙ කැලඹෙන්නෙ! ධූමයක් වගෙයි පිච්චෙන්නෙ! වෙරළ තීරයක ඇවිදයන්නා වගෙයි, මිටියාවතක සැතපෙනවා වගෙයි! සුවඳ විතරමයි හමන්නෙ

ගනඳුරින් උත්ථාන වන තාරුකා එළියකි කැඹෙන්නෙ
ක්ෂිතිජ ද්වාරය හැර මාවවුලන්ය ඉගිලෙන්නෙ
පෙම් බඳින්නයි යන්නෙ වීණාවෙ තත් බිඳෙන්නෙ
දිය තාලි බිඳ ලැවැන්ඩර් මල් වගෙයි රළ පෙරළෙන්නෙ

ලප කැළැල් සැඟවු සඳක්දැයි සිඳු මුහුණ සංකාවක්ය රාත්‍රිය
ජාවාරම්කාර අන්ධකාරය ක්‍රීස් ක්‍රීස් හඬ මහ වනය ගිල ගනී
භද්‍රාමය ඇස් විටින් විට උදහස්ව වඩදිය කැලැත්තෙයි
උදහස පවා උදාසීනව වෙරළ මත වැළපෙයි

පිහියක් වගෙයි මතුවෙන්නෙ සම කපාගෙන යන්නෙ
කළු පාටය හදවත, කළු මැණික් බෙංගාලයෙන් මතුවෙන්නෙ?
දියවැල් පසුරු ගා මීන ඇස් දෙකකි පෙරළෙන්නෙ
පැරිසියේ විතරද සමුදුරට සමුදුරක් එක්වෙන්නෙ?

දියබත් වූ ඔසරිය මිරිකා හරින අහස, සීතලෙන් ගැහෙනවා අලු පාටයි කොළඹ
අවන්හල බිත්තියේ වැළපෙන වලාකුළු, මසාලා තෝසෙ මෙන් බොකුටු කරගෙන දිග ඇස්
උණුසුමක් කියන්නේ තනිකමක්, කෝපි කෝප්පෙත් සීතලක්
මසාලා තේ පිරුණු ඔබේ ඇස් ආලෝක තීරුවක් වගේ දියව යන මාවත්

Picture - Wang Yu-yuan