Friday, January 31, 2014

කුඩා ය මගේ ලෝකය

සාම්ප්‍රදායික ජීවිතය
පියයැ කී කල
එකල්හී ඔව්හු
සිනාසුණහ මා වෙත

කුඩා ලෝකයක අප්‍රකට ව
උයමින් මහමින් ගොතමින්
විටින් විට ලියමින්
පසු වෙමි නිසොල්මන් ව ම
මෙ බිම තුළ
මා හඳුනන්නෝ විරල වෙති
කුඩා ය මගේ ලෝකය
මෙ බිම පවා කොතරම් කුඩා ද
අසල්වාසී බිම් ළඟ
කොතරම් නොතරම්ද ලෝකය
මහත් අවකාශයක

රාත්‍රී වන ගබ අසල
නිවස්නෙන් එළි බට කල
පෙනේ මට මිණිය නොහී
දහසකුත් තාරකා හා එළි තිත්
මගේ සුසුමක් පවා
කොතරම් අවශේෂද
හැඳිනිමි, මම සිනා වෙමි
උල්ලසිත සම්භාෂණ
ගිලී යයි මඳ අඳුරෙහි

කරුණාව උල්පත
පැන නඟින්නේ එතැනිනි
උණුසුම් ව දිලෙන
කුඩා හදවත් තිතකිනි

Photo courtesy - forwallpaper.com/wallpaper/china-morning-fisherman-boat-lantern-light-cormorants-river-108807.html

උදෑසන පොකුණ


කුඩා කළයක් පැමිණ
රැළි පොරෝනා ඇද ඇහැරවයි
නාවර පෙරා ගත්
උදෑසන පොකුණ

Picture Courtesy - Lautir, Milan, Italy
Source - saatchiart.com

Thursday, January 30, 2014

Wednesday, January 29, 2014

අම්මා අම්මා අම්මා ..


මාංචු දමා ගෙනයමින් සිටි රිමාන්ඩ් භාරයේ සිටින අම්මා හා කතා කිරීමට ඉඩ නොලද දරුවෙක් උසාවි බිමේ කෑ ගසා හඬයි.

- පුවතක්

ඇදගෙන යයි අම්මා
බැඳ දමා ඇත ඇගේ අත්
කළු බඩ තඩි මිනිසුන්
මුර කරයි යනු නොදී ඇය වෙත

අම්මා අම්මා
දිව රෑ මියුරු කතන්දර කී අම්මා
බත් කැඳ හෝ මවා
මා දිවග තැබු සුපෙම්මා

සඳ පායලා රැය රන් තැටි
තිබේ ඒ මත ඔබ පෙවූ කිරි
බඩගිනි වුණත් මම
දිගු කරන් නෑ අත අම්මා

අම්මා එන්න අම්මා
මා ළඟට ගන්න අම්මා
මගේ කුඩා දත්වලින් සපා
දම් වැල් බිඳ දමන්නද අම්මා

Picture Source - vincentmars.com

දම් බිඳ මගේ සුදු අම්මා එන්න හැරි


මාංචු දමා ගෙනයමින් සිටි රිමාන්ඩ් භාරයේ සිටින අම්මා හා කතා කිරීමට ඉඩ නොලද දරුවෙක් උසාවි බිමේ කෑ ගසා හඬයි.

- පුවතක්

පන්හිඳ අතට අල්ලාගෙන යන්න බැරී
දුන්හිඳ වගේ සා දුක ඉවසන්න බැරී
සන්හිඳ පාමුලට දෙවියන් එන්න බැරී
දම් බිඳ මගේ සුදු අම්මා එන්න හැරී

දින දින කල් යනව අම්මා එන දිනය
වණ වී දිරන ගෙයි ලී කඩුලු ද සොවෙන
මා එක්ක ම නිතර දිව රෑ නිදි මරන
සඳ තරු පවා මුමුණයි වෙහෙසලු බොහොම

අම්මා තාත්තා උළු ගෙදර කියලා
එක වසරට නොගෙන හරවා එවාලා
පොත් පත් බෑගය ම ගෙයි පිල නිදාලා
ඉන්නව පෑන් පැන්සල් දෙස බලාලා

අම්මා එනව නම් ගෙන උණුසුම් අදර
ඉස්කෝලේ මොකට මං ඉන්නව ගෙදර
අම්මගෙ තුරුල තරමට කොතැනද මිහිර
මං හිනැහෙමින් කියනව එදිනට ඇදුර

News Source - http://www.dinamina.lk/epaper/art.asp?id=2014/01/30/pg07x_0&pt=p&h=

විවේචනය - ලංකාවේ උසාවි තුළ විවිධ හේතු නිසා ඔහේ නඩු කල් යයි. නීතිපති උපදෙස් නොමැත.. ආදිය කියමින් අදාළ ලියකියවිලි රජය වෙනුවෙන් නිසි කලට ගොනු නොවෙන නඩු ඇත. මෙම නඩුවල වින්දිතයා ලෙස පෙනී සිටින අය නඩුවට නොපැමිණෙන අතර චෝදනාව ලද පුදගලයා චෝදනා පත්‍ර ගොනු කිරීමක් නොමැතිව ම උසාවියට කල් යන දිනය දැන ගැනීමට පැමිණේ. එහෙත් යටත් පිරිසෙයින් ඒ සඳහා නීතිඥ ගාස්තු ලෙස රුපියල් පන්දහසක් හෝ ඔහු/ඇය ගෙවයි. එහිදී ද, අදාළ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා ම බොහෝ විට නො එන අතර කණිෂ්ඨ නීතිඥවරයෙකු ඒ වෙනුවට එවයි. ඇතැම් විට ගාස්තු ලබා ගෙන නොපැමිණ ම සිටියි. (කල් යන බව දන්නා බැවින් ම විය හැක.) චූදිතයා නොපැමිණියහොත්, වරෙන්තු වෙයි. විනිසුරුවරුන් ද අදාළ ඊළඟ පියවර කඩිනමින් ලබාගන්නා ලෙස තදින් ම අදාළ පාර්ශවයන් දැනුවත් කළ ද, ප්‍රායෝගික ව කිසිවක් සිදු නොවේ. චෝදනා ලබන්නෝ සැම විට ම වරදකරුවන් නොවෙත්. ඇතැම් විට ඔවුහු අත්‍යන්ත නිවැරදිකරුවෝ වෙත්.

Picture -
Alexei Antonov, Russian/American, born 1957

මිහිරි කිංකිණි නාද



වසත් කාලය පැමිණ
කවුළුවෙන් එපිට සිට
අඬගසයි මල් නෙළන්නට
පැමිණෙන්නැයි නැවත එහි

දියතෙන් නික්ම ගිය පසු
අඳුනා ගනු රිසි නොවිණ
පෙර මගේ යැයි මා බදා හුන් සිරුර
පොරෝනාවක් මෙන් උණුසුමැති ව
ඇවිද යමි උදා සිසිරයට
හැකි විගස

සූර්ය රශ්මියට පෙරළෙයි ලෝකය ම
එහෙත් එය නොම ගනී ගිනියමක් කිසියම් ම
සියුම් තන්තූන් ගෙන වියා ඇති දුහුල් සළු
අතර නොගැටී ඇදෙන ලෙහෙසි ගමනකි නිතොර

සිතියමින් මඟ ලකුණු හෙළි නොකළ කිසි විටෙක
උද්‍යාන මාවත් කිසිදු මිනිසෙකු නැති ව
නමක් නැති නැතැක් මල් පුරා ගෙන මඳ සුළඟ
රැගෙන එයි මිහිරි කිංකිණි නාද විටින් විට

Picture - Claude Monet (French, Impressionism, 1840-1926): The Church at Varengeville, 1882

Monday, January 20, 2014

ඉතින් මම් රිදුමකට සමුදෙමි



හිස රදය දරා ගත නොහැකි ව තරුණයෙක් පුංචි ලෝකාන්තයෙන් පහළට පනී.
- පුවතක්

මෙතරම් වෛද්‍ය ක්‍රම දියුණු ලෝකයක එය එසේ වී යැයි සිතා ගත නොහැකියි. කිසියම් මානසික ව්‍යාධියක් විය හැකියි.
- මතයක්

නහර මං පුරාවට ඇවිදින
අහල සම්, මස්, පේශි මිරිකන
එකිනෙකා තල්ලු කර පොර කන
ඉදිකටුය ඉස දිගට ඇමිණෙන

ඇස ඇසි පියන් හරිනු නොහැකියි
ආලෝක කඩු තුඩින පෑරෙයි
කණ ඇනෙන හඬ පවා ක්රූරයි
හිස තුළැ ම ගල් බෝර පුපුරයි

නැගිටිමිය ගුලි ගැසෙමි මිරිකෙමි
බිඳුණු හිස වාරු කර හිඳ ගමි
ඉකිය වුව හිස මත ම නවතමි
සියුමැලි දෙඅත් කොහිද නොඅසමි

වෙදුන් ජීවක කොහිද නොදනිමි
ඔසුන් වන ඇති තැනෙක නොදකිමි
රිදුම් පිරි මැදි අතක නොලදිමි
ඉතින් මම් රිදුමකට සමුදෙමි

ගිරි බෙයඳ මම නුඹට අමතමි
වලා සළු අතර හිස සතපමි
පලා පල්ලව මලක් සිප ගමි
කලා පිරි සඳ මඟට ඉගිලෙමි

තුඩින් තුඩ නොපාරා හිස වණ
සිඹින්නට සුඛ මරණැ සපැමිණ
ගිලන් වුණු හිතින් දුක විමසන
මිතුර ඉස දුක සොරා ගනු මැන

කර්තෘ ආඛ්‍යානය - මේ කියන හිසරදයේ වේදනාව කොතෙක්දැයි වටහා ගත හැක්කේ එය සැබවින් ම විඳ දරන අයෙකුට පමණි. එය කිසි සේත් විඳ දරා ගත හැකි වේදනාවක් නොවේ. කොතරම් වෛද්‍ය ක්‍රම තිබුණත් එය එසේ සුව වන්නක් ද නොවේ. මෙම හිස රදය විස්තර කළ එක් ලේඛකයෙක් මා හට හමු වී ඇත. ඒ අන් කිසිවෙකු නොව එදිරිවීර සරච්චන්ද්‍රයන් ය. සිය 'වල්මත් වී හසරක් නුදුටිමි (1962)' කෘතියේ මේ ගැන දීර්ඝ විස්තරයක් ගෙන එන්නේ, හිසරදයෙන් පීඩා විඳින අය අසල සිටිනා පිරිසට.. "මේ වේදනාව උසුලන්නාට පිහිට වන්නට බැරි නම්, කරදර නොකර හිටපල්ලා'යි අඟවමිනි.

එහෙත්, අසල සිටිනා කවරෙක් එය ගණනකට ගනිත්ද?


See more - Thou, Migraine,

Picture - Karol Bak

Saturday, January 18, 2014

කියවන්න නොහැකි කවි



කියවන්න කැමති

කියවන්න නොහැකි
කවියක් වෙලා ඔබ
ඇස ළඟම අඬනවා
මලින් මල එකතු කර
නුඹෙ කවිය අඳිනවා
කියවන්න නොහැකි වුණු
කවි හුඟක් තියෙනවා
වන පෙතට සිඳු රළට
එකව් විසි කරනවා

Picture -
Alexey Zaycev

කඳු මුදුන්



මගේ ගෙදර දෙපැත්තකින් වෙල් යායකින් වට වෙලා තියෙන්නේ.. එක පැත්තක් කැලෑව.. අනෙක් පැත්තෙන් ඔය.. මගේ කාමරේ කවුළුවෙන් පෙනෙන්නේ නිල් පාට කඳු මුදුන්.. කඳු ඇරඹුමකයි අපි ඉන්නේ.. ලෝකයෙන්, සොබා දහමෙන් මීට වඩා කෙනෙකුට ලැබෙන්න ඕන මොනවද කියල මට හිතාගන්නවත් බෑ..

ඒ වනාන්තර මැදින් අපි දිව ගියේ පුංචි යක් කෙල්ලන් වගේ..

කඳු මුදුන් අතරින් පෙරී එන සන්ධ්‍යා හිරු එළිය දිහා වෙල් නියරවල වාඩි වෙලා අපි බලන් හිටියා.. සමහර රාත්‍රී කාලවල අපි වෙල් ඉපැනැලි වෙත ඇවිදන් ගියා.. එහෙම දවසක ඈතින් ගිනි ඇවිල ඇති කඳු මුදුන් පෙනුණෙ කෝවිලක පහන් වැටි වගේ..

කුඩා දරුවන්ටමැයි සිය පල බෙදා දුන් කුඩා සියඹලා ගහක් ඒ වෙල් එළියෙ තිබුණා.. මේ පාර ගෙදර යද්දී, ඒ ගහේ අයිතිකාරයා ඒක කපා පෙරළා දමා තිබුණා.. මගේ හිත වචනයක්වත් කියාගන්න බැරි තරමට නරක් වුණා.. "එයා කොහොමද ඒ ගහ කපන්නේ.. ඒක අපි හැමෝගෙම සියඹලා ගහ.." මම කිව්වා.. "ඒක ඔයාගෙ වෙන්නේ කොහොමද ළමයෝ.. ගහේ අයිතිකාරයනෙ ගහ කපල තියෙන්නේ.." අම්මා කිව්වා..

ඒත් ඒ කුඩා දිය පාර ළඟ පුංචි සියඹලා ගහේ මතකය මගේ හිතේ හැමදාම තියේවි.. හැමදාම ඒ ගහ එතැන තියේවි..

දැන් මාත් එක්ක ගමේ ජීවත් වුණු හුඟක් අය එහේ නැහැ.. ඒ අය යන්න ගිහින්.. තව ටික දවසයි මමත්.. ඒත්, ඒ සුන්දර ගහ කොළන්, කඳු මුදුන් හෙට ජීවත් වෙන හැමෝටම ඉතිරි වෙන්න ඕනෑ..

කඳු මුදුන් කියා හිතා ගෙන නැඟපු කඳු මුදුන් වලින් මටත් හෙමිහිට බැහැල යන්න ඕනෑ..

Painting -
Albert Bierstadt

කැලෑ කෙල්ලක් මං



කැලෑ කෙල්ලක් මං
වන අතු රිකිලි ඉඳන් මල් පල මුල් දන්නා
ගල් තලාවක් මත වැටී හිතු හිතු මුමුණන්නා
නෑ මේ කැලෑවේ මා ගෙල සිඳින සතුන්
කණ් පුරා විහිදෙයි සකුණ වෙණ වැයුම්
මගේ හිතේ නෑ සුවඳ මිසක කිසිවක්
තාපයෙන් මිදී තුටුයි නොවෙද පැමිණුම්
ශ්‍යාම වර්ණ සොඳුරු ගණ වනයට මම්

Picture - denis-nunez-rodriguez

Friday, January 17, 2014

සන්තාපය



සන්තාපය තනයි ඔබ සන්තෝෂය වෙත
සහැසි ව රැගෙන යයි සියල්ලම ඔබේ නිවසින් බැහැරට
එනයින් ම අලුත් සතුටට ඉඩ තිබේ ඇතුළු වන්නට
ඔබ හද 'ත්තෙන් සලයි පඬු පත් එය
එනයින් ම එහි නැඟෙන්නට හැකි හරිත පල්ලව නැවුම්
ඉහළට අදියි දිරාපත් මුල්
එනිසා වැඩෙන්නට ඉඩ ලබයි පාත සැඟවුණු අලුත් මුල්
කවරනුමුත් සැලෙයි සන්තාපය ඔබ හදින්,
සුසොඳ දේ ගනී එහි තැන්
- රූමි

Sorrow prepares you for joy.
It violently sweeps everything out of your house,
so that new joy can find space to enter.
It shakes the yellow leaves from the bough of your heart,
so that fresh, green leaves can grow in their place.
It pulls up the rotten roots,
so that new roots hidden beneath have room to grow.
Whatever sorrow shakes from your heart,
far better things will take their place.
~ Rumi

Picture -
Igor Morski 1960 - Polish Surrealist

දෙහිවල



රන් පෑ රවුම් මකර කටක්
ඔක්කාරය කරයි
ගිනි පුළිඟු
සයුරට

Picture - Andrey Lyssenko

I am dating someone, even though I'm married.



In the heavenly vault
It's garden with stars
Alike his caress
kept my top knot hairs

His not soft palms
Aloned a poetess' soul?
How can I be calm

Beside you, sweet balm

From the morn to eve
Erasing all heart grieve
Often pen you missive
Without breathing to live

Oh, I am dating someone
Someone is my husband
Even though, not single
Long to be his bangle

A poorrrrrr poem :P :P

Picture - Willem Haenraets

Thursday, January 16, 2014

ලැවීනියා මතකද..?



ලැවීනියා මතකද
සුදු මුදු වෙරළ රළ මැද
බිඳ බිඳ බැඳුණු සෙනෙහස
ලැවීනියා මතකද

පෙති පෙති කුසුම රොන් ඉති
හද ගල්ලවා මිහිරැති
ගලනාදරය සයුරැති
ඉපිලන්න දිවි මල් පෙති

අම බී පෙමින විශ්‍රැති
නටන මුහුදට නම් හති
නුඹ නොමැති තැන පෙම්වති
ජීවිතය මොකටද ඇති
ජීවිතය මොකටද ඇති

Picture - Peter Quidley

Wednesday, January 15, 2014

ස්ට්‍රෝබෙරි



ස්ට්‍රෝබෙරි සුවඳ දිය වෙයි
වැසි දියෙහි
හවායි සුළඟක එතෙමි

by Thanakorn Chaijinda. Thailand

කෝපි කුඩු



කිරි දියෙන් කැලතෙන
රමණීය අහස් බඳුන
කෝපි කුඩු විසුරමින්
වක සඳ

Picture - Armand Guilaumin

වැස්ස.. නිළි වැස්ස


වැස්ස
නිළි වැස්ස
ලිහුණ සළු දිග හරින
තුහින
සුදු තුහින
මිදුණ පෙම රස බලන

මීදුම දුම වගේ ගලන
කඳුබඩ නිවහනක මුහුළ
අතර යම් තාලයක් වෙද
අමා ආලය පමණ

වැස්ස
නිළි වැස්ස
ලිහුණ සළු දිග හරින

Picture - Carl Valente

Tuesday, January 14, 2014

සුපෙම් සේලරුව



මෝසම් නලකින් පහර කෑ
දිය වැලකි මම
රන් සයුර වෙත ඇදී යන
සේලරුව

පදවන්න නැව
රිසි ලෙස
ඔබ පයට පා වියන වෙමි මම
අඳුර නැඟි ආකාසයට නොබිය ව
පදවන්න නැව
සේලරුව

හිත දවන විරහව
මතක බැමි සිඳ සිඳ
නුඹ ව රිසි ලොවකට
සුවඳ පෙම් බැඳ බැඳ
රන් ආකාසයට දැන්
පදවන්න නැව
සුපෙම් සේලරුව

Picture - Ton Dubbeldam

Saturday, January 11, 2014

සිලිලංගනා



කන්ද මුදුනත තුහින තුඩකින්
වෑස්සෙන මන රංගනා
වන්දනාවක සමනලුන් පය
විඩා නිවි සිලිලංගනා

කුංචනාදය වන පෙතින් එන
මං පෙත්හි මියු නංවනා
මල් මඤ්ජරී තැනි ගිම්තලා
රෑහි තුඩ තුඩ නැංවෙනා

අහසි'ඟුණු* මත වැටුණු සිකි පිල
සිප ගන්ට සිඳ අංගනා
දැන් එතැයි දැන් එතැයි බල බල
ගිරිස නැඟි ඉර අංජනා

*අහසිඅගුණු - අහස් අංගණය

Picture - Claude Monet - Weeping Willow, 1918-1919

කවි පිටුව ඉරා දමා අහකට - බ්ලොග් පිටු සියක් දැම්මත් මොකටද?



කවි පිටුව උදුරා අහකට
බ්ලොග් පිටුන් සියක් මොකටද?
සමනලුන් විසි කර අහසට
මල් උගුලුවෙද සකිසඳ

සක්වල නිහඬ බව විසිරෙන
විස්තරණ නගරෙක විස්තර
රළ නඟන පිටිසර සුළඟක
ලියා තැබුවොත් කොහොමද

ගළදොරැ දොරැ නැඟෙන විරහව
ගසගැසිහු පෙරළා දැමුවම
දිය හා හඬා වැටි සයුරට
වැසි වී කුමට වැස වර

Picture - Boris Prokazov

Friday, January 10, 2014

හැකි නම් කියා දෙන්න මට


හැකි නම්
කියා දෙන්න මට
නවත්වන්නට
මෙහෙම කවි ලියැවෙන එක
නැතුව නම්
කියන්නට එපා ඔන්න
වැනසුවේ යැයි
ඔබේ කවි කෙත

Picture - Duane Alt, American, Born 1935

බැරිද මට?



සීතල කාමරයක ගැහි ගැහී
නිදිමතින් කැරකි කැරකී
ඉන්නවට වඩා බැරිද මට
උද්‍යානයක උයන්පල්ලෙක් වෙන්න
මල් දිහා බල බලා
කඳු බෑවුමක වැතිරෙන්න
සන්ධ්‍යා සමයක අහස මත
රෝස පෑ වලාකුළු අතුරන්න

Picture - Pamela Colebourn, British

උමතු වෙමි




උමතු වෙමි
සුන්දර ම හාද්දක් පතමි
පැන දුවමි
කුරුලු හදවතක 
නතර වෙමි

ඇස ගැටෙමි
කලපුවක සුළඟ මෙන්
කරකැවෙමි
බිඳ වැටෙමි
වෙණ තතක් මෙන්
බිඳ වැටෙමි

ඔඩු දුවමි
තුරක මල් මෙන්
ඔඩු දුවමි
අතර කෙමි
සුවඳ ප්‍රේමය
විසි කරමි

අහසට - විසි කරමි

Pictures - Brent Lynch, Canadian

Thursday, January 9, 2014

ආදරණීය ටොම්,


මොනතරම් ප්‍රේමාන්විත ලියුමක්ද? ඒත්, ටොම්, මෙතරම් සුන්දර, විරහවෙන් හද දවන වදන් කියා ඔබ, මට විහිලු කරනවාද, ඔබ අමතක කරන්නැයි.. මම ඉන්දියන් සාගරය දිහා බලා ඉන්නවා.. ඔබේ මගේ හද මෘදු ම වැලි මත අඳිමින්.. ඔබත් මමත් දකින්නේ එක ම මුහුදක එක ම රැළි ටොම්.. එය වෙන් කර තිබෙන්නේ හුදෙක් මිනිසුන්.. එහෙව්, මුහුදු රැල්ලක තබා මම මගේ හිත පා කර එවනවා ඔබ වෙත..

මේ වෙරළ මත, සියල්ලන් නිදි ගත් රැයක, කුඩා සිප්පි කටු ඇහිඳිමින් ඔබ මගේ කෙහෙරැළි මත ඇමිණුවා මතකද? එක ම නිසංසල හඬකින් මුහුද සිප ගලා ආ සීත කෝඩය ඔබේ මගේ හද උණුසුම් කළා මතකද? ඔබ සුන්දර ම වචන සියුම් සුසුමකින් මිමිණුවා මතකද? මේ අහස, මේ මුහුද ඔබේ මගේ වචන අරගෙන කතා කරන හඬ ඔබ කොහේ හිටියත් ඇහෙනවා නේද ටොම්..?

ඔබ කොතැන හිටියත්, ඔබ හිඳින තැන ගැන මවා ගත්තු මගේ ම චිත්‍ර තියෙනවා ටොම්.. ඒ චිත්‍ර ඇතුළේ ඔබ ඔතැනත් මම මෙතැනත්, ඔබ මෙතැනත් මම ඔතැනත් එක විට ම ඉන්නවා ටොම්.. ඔබ නොකිව්වාට ඔබට එය දැනෙන බව මා දන්නවා..

සිහින් සුළඟ, වෙරළ මත වැතිරෙන කළු මුහුද, තුරු අතරින් පෙරී එන සඳෙළිය, වෙන එකක් තියා 'වට ගණ ම ගණ කළු අන්ධකාරය මගේ හිත පුරා අඳින්නේ ඔබේ ඇස් දෙක විතරයි.. මා උපදින්නෙ ඔබේ හදවතේ නිසා, ඔබට මියයන්නට බෑ ටොම්..

පෙම්වත, මහ මුහුද මත පිපෙන සූර්යයා මෙන් ඔබ මගේ අධ්‍යාත්මය විදා ගෙන දිලෙන කොට, ඔබට ඇති ආදරය මම සඟවන්නෙ කොහොමද? මගේ හද මහ මුහුද මෙන් ඔබේ නම කිය කියා ඝෝෂා නඟනවා ඉතින්..

හදින් එන නෙක හැඬුම් ඉකියක් නොවී මහා සංධ්වනියක් කොට කුරුලු තටු මතින් මා ඔබ වෙත එවන්නම් ටොම්.. ඇසෙනවද ඔබට සකුණ සර ඔබ ඉදිරිපස දිගු දර්ශනය තුළින් නැඟී එන..

පෙම්වත, වචන වලට පෙරළන්නට ඕනෑ නෑ.. ඔබේ නිහඬබව වුණත් ස්මරණ තුළින් ගලා එන මහා ආදර කාව්‍යයක් වෙන කොට..

ඔබට ඇති ආදරෙන් අහෝ මා මියැදෙන්න යනවා ටොම්.. මගේ පෙම්වත, ඔබ වෙන් ව ගියේ නෑ කවදාවත්.. දහසක් දහසක් මුහුදු පරයා අපි හැම මොහොතෙ ම හමුවෙනවා ටොම්..

ඔබේ දිව්‍යමය ආලයෙන් මුසපත් වෙමින් මා ඔබ තුළ ම ටොම්..

ආදරෙන්,
ඔබේ ම ලැවීනියා

Picture - 'The Sleeping Dictionary' Film

කවුරුද අස්වැන්නට ගිනි තිබ්බේ?

Victor Gabriel Gilbert, La Moisson

දුමෙන් වැසීලා අටුව ම බණ්ඩී
කවුරුද අස්වැන්නට ගිනි තිබ්බේ
කවුරුද අස්වැන්නට ගිනි තිබ්බේ
කවුරුද අස්වැන්නට ගිනි තිබ්බේ

හඬන්නෙපා දැන් මගෙ හිත අවුලා
අපේ කඳුළු මදි එ ගිනි නිවෙන්නට
කන්නක දුක් ගිනි පිස දා ලන්නට
සමුදුරු බඳුනක කඳුළක් ඕනැය

පස පෙරළා අපි අලුතින් කුඹුරක
අලුත් හදවතක් පෙරළා ඉසිමූ
වැසි පලවා ඉරි තැලෙනා පොළොවට
ඇළ පාරක් වී හෙමිහිට ගලමූ

Picture -
Victor Gabriel Gilbert, French, 1847 - 1933

දේදුන්න



පාට හතක් වෙලත්
අව් වැසි දෙක ම අතරේ
එකට පායයි
දේදුන්න

Picture - http://christophermartinphotography.com/tag/rainbow/

පර සතුරො ඇවිත්



පර සතුරො ඇවිත්
ගම් බිම් ගිනි ලයි
දොරගල පපුවට වෙඩි උණ්ඩ වැදෙයි
මට යන්න බයයි
හිත අවිය අරන්
නුඹ සුවඳ පුරන වෙල් දහස පැනන්
නුඹ සුවඳ පුරන වෙල් දහස පැනන්

අඹ මල් සුවඳයි
නා මල් නයනයි
හිත උතුරායද්දී වාරු නගන්
ඉබ්බන්නා ඔය ගල් පොත්තක් මත
අරුමටවත් නොඇහෙන්න තරං
හෙමිහිට මං ඇඬුවා
සුදු මැණිකේ

හිර කපොලු ළඟයි
හිත වෙර ම නඟයි
ආදරය කඩන් එන නහර දරන්
නුඹට අයිති මගෙ පපුව අරන් මං
ආයෙ නොආවත් පරිස්සමින්
රන් කඳ පරිස්සමින්
පරිස්සමින්

Picture - Françoise-Nielly

Wednesday, January 8, 2014

ඔව් ඔයා නාවොත් නම්



අන්නා හසාරේ වගේ
උපවාස කරනවා මං
ඔව් ඔයා නාවොත් නම්
පොළට යන්නට මා එක්ක

රෝස පෑ තැවරුණු
සන්ධ්‍යා අහස යටින්
හීතල සුළං වැදි වැදී
හෙමින් ඇවිදන් යන්න

ගෙවතු කඩලු පසු කරන්
හොරෙන් එබිකම් කරන
මුසෙන්ඩාස් දුටු විට
කොනිති ලා පෙන්වන්න

ඉඟ සොල්ලා නටන
කැකිරි ගෙඩි දෙස නොබලා
අහිංසක බොංචි මිටියක්
කූඩයට දා ගන්න

ඔරොවගෙන බලන
වට්ටක්කා සමඟ
මූණ එල්ලාගත්තු
පතෝල ද නරඹන්න

මෙන්න මේ ඉදුණු අඹ
දඹල හා තැඹිලි තුඹ
දැන් ඉතින් නුඹ කියයි
හිනැහි හිනැහී බොහොම

නාවොත් නං මං ඉතින්

Picture - Oleg Ildyukov

මොන තරං සුන්දරද ඔබ ගෙතුළ ඉන්න කොට



ස්වප්න නැටුමකින්
උත්කර්ෂවත් කරවන්න මා
මොන තරං සුන්දරද
ඔබ ගෙතුළ ඉන්න කොට
සැර වදන්වලට බියෙන්
උරහිසේ එල්ලිගෙන

මට මතකයි දවසක්
හිතේ දුක වැඩිවෙලා
පපුවෙ අමාරුවක් හැදුණා ඔබට
ඔබේ චුරුචුරු කතා නැතු ව
ගඟත් මුහුදත් ළිඳත් නැතිවුණා ගෙදර
මූසල නිහඬකම බඩගින්නට එකතු වී
කස පහර දෙද්දිත්
හෙල්ලෙන්න බැරි වුණා මට
උන් හිටි තැනින්

කනාටු පොල් ගහක් යැයි
අම්ම කිවු එකට
මොන එහෙකට ඔබට
දුක හිතුණාද ඔච්චර

අන්තිම වරට ඔබ යන්න යද්දී
හෙමින් කෙඳිරි ගෑවේ කියමින්ලු මගේ නම
ඔයාගේ අම්මා එහෙම කිව්වා
මා දිහා රවාගෙන
ගෙවන වාට්ටුවක ඔබ තියාගෙන
මට ඉන්න හයියක් නැතිවුණානේ ළඟ
ඔබෙ හිතට මගේ හිත තියාගෙන

ඔබ ඔහොම ආවත් බය හිතෙන් නෑ මට
ඔබ ගෙතුළ ඉන්න කොට
මොන තරං පිරිලද

Picture - Colin Staples

Tuesday, January 7, 2014

නිමාව


රසිකා ගුණවර්ධන :

ගිලන් වූ සැන්දෑ'ග
රන් පිඟානක් වැටෙයි
ලුණු වතුර කොරහකට

අනිල් හේරත් :

අසිරි ලත් උදාවක
දිස්නය නොවෙනස්ව එහෙමම
රන් උකටලී ලෝහයකි

කඳු :

විසිර ගිය දුහුවිලි
තැනින් තැන රළ සමඟ
නඟී උඩ පහළ කෙළිලොල් ව

අනිල් හේරත් :

පණසුන් හුණු ගෙවල්
වැලි බදා කිමිදෙති
මිහිදන් වනු නොරිසිව

Picture - ClaudeMonet

කුඩා පයින් ගස්



වලාකුළු මල් පැළඳ
කියුඹු තුඩු අග
බඳ ලෙළවමින් රඟයි
කුඩා පයින් ගස්

Picture - © markscarlson.com
Picture source -
greatlakesphototours.com

ඇතිරුවෙමි මගේ හද රාත්‍රී අහස මත


ඔබේ බංගලාව දුටුවෙමි
විදුලි පහන් එල්ලා තිබෙන රඟමඬලක් ව රැයක
සඳ අලවා තිබිණි ඇගේ මුහුණට
එහෙත් වැසිය නොහැකි ලප කැළලක් විය ලවන මත
මම මගේ හද ගෙන
රාත්‍රී අහස මත ඇතිරුවෙමි

Picture - Angela Sekerak, American

දොළොස් වසකට පෙර


සුවඳ දෙන මතකයකි
දොළොස් වසකට පෙර
කඳු දුන්නක අප මුණ ගැහුණු
පළමු සිතුවිලි, පළමු හැඟුම්
තුඩින් තුඩ ගයා හිනැහුණු

ගහක මල් පිපිලායි ඔබ
පාසලේ කොරිඩෝවට වෙලා ගයපු
සරසවියෙ අන්තිම බංකුවේ ඉඳගෙන
මැකියාවෙලීට හිනැහුණු
අකුරු ලියන්නට බැරි තරමට
සීතල ගොඩ ගලපු දවසක
පෑන් විසි කර ඉවතට
අයිස්ක්‍රීම් කන්නට දුවපු

මිතුරිය ඔබ
දොළොස් වසකට පෙර
කඳු දුන්නක මුණ ගැසුණු

Picture - Everett Shinn, American, 1876 - 1953

මුහුද සහ අහස


නරක පණිවිඩ කියාගෙන
අඬගායි මුහුද අහසට
වලාකුළු ගවුම අතින් ගෙන
අහස දිව යයි ඈතට

Picture -
Normann Adelsteen, Norwegian, 1848-1918

නිල් පාට තට්ටු ගවුමක්


නිල් පාට තට්ටු ගවුමක්
රැළි නඟන මුහුද

මුතු බෙල්ලන් අල්ලා ඇති
ගවුමේ තැන තැන

Picture 0wner - unknown

දොර ඇරපිය!


'තිලක සිත' හි පළ ව තිබූ 'සොඳුරු මුස්පේන්තු දවස්' කියවීමෙන් අනතුරු ව ලියමි.

හොස්ටල් ජීවිතේ මට අප්සට් ම වුණේ මා කිසිවෙකුට බැන වදින හැටි දැන නොසිටි නිස යි. ඒ නිසා, කරන කියන හැම එක ම පිරිමහගන්නට වුණේ කඳුළෙනි. දිවේ නොගෑවී නොසරුප් වචන කියන කෙල්ලන් මුල්වරට දුටුවේත් එහිදී යි. ඒ දවස්වල මගේ කොට්ටය වැස්සට අසු වූ ලුණු පාන් ගෙඩියක් මෙන් විය.

මගේ එක රූමෙක් වූයේ තද සීනියර් කමක් ඔළුවට ගෙන හිටපු සීනියර් පප්පියකි. ඇය නිදාගත් විට හ්ම් සද්දයක් ඇහෙනවාට ඇය කැමති වූයේ නැත. අනෙක් අපට ඉන්නට සිදු ව තිබුණේ ඒ පිළිවෙළටය. මා එතරම් සද්ද බද්ද නොදාන පාඩම් නොකර ඔහේ නිදාගන්නා කෙල්ලක වූ බැවින් මට එය හැමවිට ම ගැටලුවක් වුණේ නැත. එහෙත් ඇය අප නිදා සිටිද්දී අප වෙනුවෙන් ඒ පිළිවෙත ක්‍රියාත්මක කළේ නැත. ඇගේ මිතුරියන් කාමරයට ගෙන්වා ගෙන හැකිතරම් කෑ කොස්සන් ගැසුවාය.

ඇය අපේ බඩු හිතේ හැටියට පාවිච්චි කළ අතර මට එපා ම කළ දේ වූයේ මගේ කැමරාවලට අත තැබීම ය. මම එ කල ඡායාරූපකරණයෙහි යෙදුණු අතර මා නැති අතර කිසිදු විමසීමකින් තොර ව ම එ කල මා හැකි තරං පරිස්සම් කළ කැමරා එහේ මෙහේ ගෙන යෑම මට මහත් හිසරදයක් විය. එහෙත් එයට විරුද්ධ වීමට මම එකල නොදැන සිටියෙමි. හොඳ වෙලාවට මගේ හොඳ ම කැමරාවෙන් ප්‍රයෝජන ගැනීමට ඇය දැන සිටියේ නැත.

අපට පාඩම් කිරීම සඳහා වෙන ම කාමරයක් තිබූ අතර මා එහි පාඩම් කළේ විභාගය අතර තදියමේ සහ යම් යම් පැවරුම් ලැබුණු විට පමණ ය.එහෙත් මට එකල නිතර පැවරුම් හා විභාග වූයේ ඉගෙන ගැනීමට තිබූ මෝඩ කැමැත්ත නිසා වෙනත් ඩිප්ලෝමා හා අධ්‍යයන පාඨමාලා රැසකට ම උපාධියට අමතර ව කර ගසා තිබු බැවිනි.

ඉතින්, පාඩම් කාමරයට වී පාඩම් කල කිසි දවසක නැවත නිදාගැනීමට කාමරයට යෑමට ලැබුණේ නැත. කිහිපවරක් තට්ටු කළ 'මුත් කිසි විටෙක දොර ඇරුණේ නැත. මුළු රැය ම පාඩම් කාමරයට වී තනි ව බියෙන් ගැහෙමින් අඬමින් බොහෝ රාත්‍රීන් ගෙවී ගියේ ය.

ඒ මදිවාට හොස්ටලය ගැන කියවෙන කොතෙක් නම් හොල්මන් කතාද? නරක ම දෙය මීට පෙර දින දෙකක් ම අමුතු ම ආකාරයේ ශබ්ද කිහිපයක් අපේ මහලින් ම මගේ කණ වැකී තිබීම ය. ඒ එක දිනක්, අපි දෙතුන් දෙනෙක් පමණක් මුළු හොස්ටල් එකේ ම හිටි දවසකි.

පාඩම් කාමරයේ කවුළු විවර ව තිබෙන්නේ මහ පාරට ය. මැදියම් රැයෙන් පසු එතැන ඉඳ ගෙන 'සූ සූ' කියන මිනිස්සුන්ගේ සද්ද බද්දත් මැකී යන්නේ ය. පාඩම් කාමරයට වී සිටි රැයවල දී කඳුළු පොදි පිටින් ඇතැම් විට ඇසින් ගිලිහී යයි. ඒ අතරේ මට හොල්මන් ම මතක් වෙන හැටි. මේ දැන් දැන් දොර ඇරගෙන පැමිණෙන හොල්මනක් අතිඋත්කර්ෂවත් හොල්මන් නැටුමකින් අනතුරු ව මා බිලි ගනීවිද?

ඒත් ඇයි මං මේ හැටි හොල්මන්වලට බය වෙන්නේ? හොල්මන්වලට වඩා මේ මිනිස්සු කොච්චර නපුරුද? කාමරේට එන්න බැරිවෙන්න ඇතුළෙන් අගුලු ලා ගෙන නිදියන එක.. බුදු හාමුදුරුවනේ, ඉවසීමෙන් සැනසීම ලැබෙන්නේ කොහොමදැයි මම කන්නලවු කළෙමි.

කාලයක් මේ ගැහැට මැද ගෙවී ගියේ ය. මට කතා කරන්නට පුළුවන් වුණේ කථික තරගවලදී විතරය. අනෙක් විටදී, බැනීම කෙසේ වෙතත් සද්දෙට කතා කර ගන්නට වත් නොහැකි වීම කවර නම් නුගුණයක්ද?

දවසක් අන්තිම දින වෙනකල් ම කර ගැනීමට නොහැකි ව තිබූ පැවරුමක් කරමින් මම මුළු රැය ම පාඩම් කාමරයේ ගත කළෙමි. වෙලාව උදෑසන 6.25 විය. දෙයියනේ ඇමුණුම් ටික කාමරේ.. තව කොච්චර වැඩ කරන්න තියෙනවද.. මම කාමරයට දිව ගියෙමි.. දොරට කිහිපවරක් තට්ටු කලෙමි. එ දින කාමරයේ සිටියේ අර පෙර කී තැනැත්තිය පමණි. දොර ඇරුණේ නැත. මම නම කියමින් කිහිපවරක් හඬ ගෑවෙමි. කිසිදු ශබ්දයක් නැත.

"ඇරපිය දොර... ^@(^&!(^(^(^!(ඵ්!(!(!^!$^#^&&*(()____" මම දොරට පයින් ගසමින් කෑ ගැසුවෙමි. මම මගේ හඬින් ම බය වුණෙමි. දොර ඇරිය කෙනාත් දොර ඇරියේ බියෙනි.

එ දින සිට කිසි දිනෙක මා හට කාමරයේ දොර නොවැසුණු අතර කිසිවෙකු මා හට බැන වැදුණේ නම් ඒ දෙවරක් සිතා මතා විය හැක.

එදායින් පසු ව ද මම කිසි කෙනෙකුට තව ම කෑ ගසා බැන වැදී නැතත් එදා මා උගත් පාඩම ජීවත්වීම සඳහා මා උගත් වටිනා ම පාඩමකි.

මුදු බවින් බැහැර වීම ස්වභාවයෙන් අසීරු වුවත්, ඉවසීම යනු මුදු බව ඇති ව වේදනා විඳීම නොවේ. අද විනය පරීක්ෂණ මණ්ඩලවල ද විනිශ්චය මණ්ඩලවල ද කටයුතු කිරීමට සිදු වන බොහෝ අවස්ථාවලදී මා හට වැදගත් වන්නේ මේ පාඩමයි. විනය සම්බන්ධයෙන් මා වෙත එන නිලධාරීන් හෝ මූල්‍ය ගැටලු සම්බන්ධයෙන් මා වෙත එන නිලධාරීන් මා ඉදිරියේ කුඩා දරුවන් මෙන් හඬා වැටෙන අවස්ථා සුලබ වේ. එහෙත්, ඒ කිසිවෙකුට මගේ හදවතේ අංශුමාත්‍රයක ඉඟියක් දකින්නට මම ඉඩ නොතබමි. මගේ හැසිරීමේ හා ප්‍රශ්නවල තද බවින් සලිත වන ඔවුහු ඇතැම් විට ආපසු යන්නේ මට ද සාප කරමින් විය හැකි ය. ඇතැම් විට, ඔවුන්ගේ ජීවිතයට වැදගත් විය හැකි උපදෙසක් ඒ මොහොතේ ම ප්‍රකාශ කරන නමුත් ඔවුන් වෙනුවෙන් ඉටු කළ හැකි සාධාරණයක් වෙතොත් මා එය ඉටු කරන්නේ පසු පියවර වන වාර්තාවන් තුළින් පමණි.

Picture - Priscilla Warren Roberts, American, 1916 - 2001

Sunday, January 5, 2014

මගේ හිත අඳුරු අගාධයක්


මගේ හිත අඳුරු අගාධයක්
හිත නොරිදෙනා තෙක්
බිඳෙන් බිඳ එළිය දැකුමට
හිත රිදෙන සියුම් පිපුරුම් අවැසි

ඔබ හිතුවාද එසේ නොවේ කියා
එසේ නම් විය හැකි ඔබේ සිත
පිපුරුම් ඇති කරන සුලු වස්තුවක්
විසල් පිපුරුමෙන් පිරි
ගිනි ජාලා සහ දුම් වළලු ඇති
ශ්වසන අපහසු ව ඇස් ඇරුම නොහැකි

Picture - Jeanie Tomanek, American

Saturday, January 4, 2014

ප්‍රශ්න පත්‍ර



එළි පුඤ්ජ තබා මුදුනත ම
අසමත් වූ බැවින් ඔක්කොම
පන්දම් අත නොලා කළුවරෙම
කඳු මුදුන් බැස ආමි

එහෙත් දින පොත නැවතුණේ නැත
දින දසුන නොම නැවතුණි ය
දිනෙක මම මතු සබඳ
පැන පතක පැනයක් ව
නැඟෙමි නෙක සිසුන් අස

Picture - Cathrine Langwagen