Friday, February 27, 2015

මනින්නට බැරිය අකුරින් ඉලක්කමින්



පුතේ
රෝද පුටුවෙන් ඇවිදීම
දෙපයින් ඇවිදින්නා මෙන් නැත පහසු
විදුලි පුටු ගන්න තරමට
ඔබත් විය නොහැක පොහොසත්

යුක්තියෙන් දශමයක් හෝ
සුව කළා නම් ඔබේ දුෂ්කර ජීවිතය
සතුටක් මිස එය
වෙනත් කිසිවක් විය හැකිද මිනිසෙකුට

හුදු තර්ක ගෙන 'විත් ඇතමුන්
මැන බලති ඔබ ලද පිහිට අකුරින්
එහෙව් අය නොදන්නවා විය හැක
අහිමි වූ හැටි ඔබට පියතුම
දුක් විඳි හැටි මවුද රෝ දුක් ගෙන

පුතේ
ලෙඩ ඇඳින් ඇඳට ඇවිදින දයා ගෙන
රෝද පුටුවෙන් ඇවිදීම
දෙපයින් ඇවිදින්නා මෙන් නැත පහසු
කඳු උයන් පසු කර දුවන්නට බැරි එක
මනින්නට බැරිය අකුරින් ඉලක්කමින්

Picture - Charles Courtney Curran 1861-1942

Wednesday, February 25, 2015

කනගාටුව



"අපට නම් කම්පියුටර් ලැබුණෙ නෑ.. පළවැනි දවසේ වාඩිවෙන්න ලැබුණෙත් චීෆ් ක්ලාක්ගේ මේසෙ පැත්තක. සති දෙකක් ගියාට පස්සෙයි ඉන්න තැනක් ලැබුණෙත් යන්තං" රාජකාරී ඉටු කරනු වස් වෙනත් නිලධරයන්ට පරිගණක ලැබීම පිළිබඳ ගණක අධිකාරිනී ප්‍රධානියා වෙත සිය කනගාටුව පළකරයි.

ගණක අධිකාරී
ඔබ උගත් ශාස්ත්‍රයේ නොමැති විය හැක
ඊර්ෂ්‍යාව මඩින මඟ
මල් පිපෙන විල්වලත්
මඩ දකින එකම පුදුමය

අප ඉල්ලුවේ නැත වෙනම කුටි
කැරකෙන පුටු, පරිගණක, දුරකථන
සිහිනෙකින්වත් පැතුවෙ නැත
කඳුකරයක් මුහුදු වෙරළක් මෙන්
වෙනත් කිසිවක්

එහෙත් පැමිණියේ අප
මල් උයනකින් නිල නඟන ගං තෙරකින්
නොවේය ඒ දුහුවිලි පිරුණු මංපෙතකින්
මුදල් මෙන් එනිසා
ගණනය කළ නොහැකි බව මිනිසුන්
අලුත් පන්තියකින්වත්
උගන්නේ නම් මැනව මැනවින්

Picture - Elvira Amrhein

Tuesday, February 24, 2015

A Brief History of Time



ප්‍රේමයට සෙවණැල්ලක්ද ඔබ
මහ රෑ පවා පතිත විය හැකි
ආලෝකයක් වුවමනා නැති
ආලෝකයට මඟ ඇති
වැසි වැටෙන තැන වඩ වඩා තෙතබරිතව පෙනෙන
මකන්නට බැරි පලවා හරින්නට බැරි
කාලයේ කෙටි ඇමුණුමක්ද ඔබ

Picture - Thierry Duval, French Watercolor Artist (b.1957)

Monday, February 23, 2015

බුදු හිමියන් දුටිමි උදෑසන



හදිසියෙම
බුදු හිමියන් දුටිමි උදෑසන
පුදුම වීමි මම
එහෙත් සියල්ල නිසලව තිබිණ

රිදුම් දෙමින් තිබිණ
සිරුර හැම සෛලයක්ම
ඉදිකටු ඇමිණ ඇත්තා සේ
ළය මැදින් ගලා යමින් තිබුණි ලෝ දිය
මට ඇසීමට තිබුණි පැනයක්
මන්ද නිවැරදි මිනිසුන් බයින් මෙතරම්
මන්ද නිවැරදි මිනිසුන් පිළිස්සෙමින් අප්‍රමාණිකව

කිසිත් නොවදාළහ උන්වහන්සේ
අප්‍රමාණව සැනසීමට වුණෙමි මම එහෙත්
යම් දිනෙක පිළිස්සීමද ජයගත්
මිනිසෙකු සිට ඇති බව දත් නියාවෙන්
මෝහය නිසා විය හැක
සදොස් අය සතුටින්
ධ්‍යාන දුර නිසා විය හැක
නිදොස් අය හිසරදය දරා ගත්
දුක්ඛදායි රාත්‍රීන් සමඟින්

Picture - Elvira Amrhein

කවිය සහ ආතතිය



සොබා දහම හොඳ මිනිසුන් අත කවිය සහ කලාව තබන්නේ වෙන යම් දෙයක් නිසා නොව, නිවැරදි දේවල් කරන විට ඔවුන් වෙත ඇති කරනු ලබන ආතතිය සමනය කරනු සඳහාය.

Picture - Franco Clun

තුරු තෙම


මුලින් ඇද දමා පහළට
තල්ලු කර බෑවුමක හෙළකට
හිස ගසා දැමූ පසුවත්
හිඳියි සෘජු වූ කයින් තුරු තෙම

Picture - Alexander Antonov

ආතතිය



හරියටම කිව්වොත් හරිම ආතතියය
එහෙත් පුරුදු ලෙස පොතක් කියවමි රෑට
කල්පනා කරමි කොහෝ හෝ රටක දියැවෙන හිම කැටිති ගැන
සීතල සුළං හමා යන විල් ගැන
කඳු අග්ගිස්සේ පැළඳ ඇති දේදුනු පළඳනා ගැන
මිහිදුමෙහි දියවෙන රොබරෝසියා මලක රෝස පැහැය ගැන

මොනතරං සුන්දරද ජීවිතය
මඩ ගොහුරු පවා සියපතක සුවඳ පතන කල

Picture - Elvira Amrhein

බලහත්කාරයෙන් අත්සන් ගනු පිණිස



බලහත්කාරයෙන් අත්සන් ගනු පිණිස
ලක්ෂ 38ක චෙක්පතක් ඔබගේ මේසය මත ඇති විට
ඔබ කරන්නේ මොනවාද
අනේ මට මේ දැන් කියනවද?
ජීවත්ව සිටින අවසාන තත්පරයේ
සත්‍යය මත සෘජුව
අනේ මට දැන් කියනවද
ඔබ කරන්නේ මොනවද

ලස්සනයි අගෙයි නොකියා
ඔබට කිව හැකි අන් යමක් තියෙනවද
යක්ෂයා නිය දිගු කරන විට ගෙල වෙත
අවසන් තත්පරයේ කියනවද

Picture - Jeremy Lipking, from California, US (b. 1975)

Sunday, February 22, 2015

වියළි වන පෙත පසු කරනු මිස?



ගසා යන විට වියැළි වනයක
සාපිපාසා ඇතිව නොනැවත
අහඹු ලෙස මුණ ගැසුණු ඌලකි
තෙම තෙමා හද දවන්නේ

දිය බිඳෙන් බිඳ පව් මතට ගෙන
විසිරුවා මේකුළෙන් ඉවතට
වියළි වන පෙත පසු කරනු මිස
නැතිද වෙන මං තිබෙන්නේ

Picture - Sanford Robinson Gifford, from Greenfield, New York, US (1823 – 1880)

Saturday, February 21, 2015

ඔබගෙත් කවි



හද මස් පිඬු පෙරළ පෙරළ
දුක් ගින්නෙන් ළතැව ළතැව
දහසක් කවි විසිවෙන්නේ
එහෙවු දුක් දරා ලියැවෙන
කවි සුළකුරු
නොවේය ඒ මටමැ අයිති
ඔබගෙත් කවි ඒ වන්නේ

කියවන කල ඔබ හද මත
සෝ ළතැවුල් ඇතිවන්නෙද
දුකින් උපැද වූ කිසියම්
පොරොත්තුවක් දළුලන්නෙද
ඒ කවි නෑ මටමැ අයිති
ඔබගෙත් කවි

කළුවර ගන තනිකම පිරි
රාත්‍රියක හුදෙකලාව
කියවන විට ඔබ ලියු කවි
ඔබ නිල ඇස් දිදුලන්නෙද
ඒ හද මත ලියැවෙන කවි
නොවේයැ ඒ මටමැ අයිති
ඔබගෙත් කවි

Picture - Karen Hollingsworth, from Atlanta, Georgia

ඔබ ඉන්නවා නම්..



ගන අන්ධකාරේ
ඔබ ඉන්නවා නම් තාරකා එළියක් වෙලා
ගන පතන බිම්
කඳු විසල්
සපිරි මගෙ හදවත පුරා

ඔබ ඉන්නවා නම්..
තාරකා එළියක් වෙලා..

හදේ අඳුරුම තැන් මඟ බලා
සතුට ප්‍රීතිය අතුරලා
තනිකමින් මා මුදවලා
සුමුදු සුවඳක් වෙලා

ඔබ ඉන්නවා නම්
ගන අන්ධකාරේ
තාරකා එළියක් වෙලා..

Picture - Sir George Clausen, R.A., R.W.S., R.I., from UK (1852 - 1944)

ප්‍රේමය දුක් ගෙන දෙන්නේ



චණ්ඩතාපයක් වැන්නේ
ප්‍රේමය දුක් ගෙන දෙන්නේ
මල සිඳ බිඳ මලෙහි සුවඳ
සූරා විසිකර ලන්නේ

බමර විලස සුළඟ සමඟ
නටුවෙන් ඇද බිමලන්නේ
ලවනින් ලවනට දුන් පෙම්
හදෙහි සුවඳ මැඩ යන්නේ

පෙරළා නොලබා කිසිවක්
පෙම් කළ හැකිමුත් කෙනෙකුට
හද මත ඇති දැවුමක් මිස
නොදනිමි සිහිලැල් සුවයක

Picture - Carl Vilhelm Holsøe, from Arhus, Denmark (1863-1935)

ගන අඳුරු රාත්‍රිය ඉරි තලා



මුහුදුබත් වූ නෞකාවක හිඳිමි තනිවෙලා
පැද එන්න පැද එන්න දිය කලඹ කලතලා
පහන් ආලෝකයක් ප්‍රදීපාගාරයක් නැති කලා
නැඟ එන්න නැඟ එන්න ගන අඳුරු රාත්‍රිය ඉරි තලා

Picture - Justyna Kopania

Friday, February 20, 2015

කිව නොහැක එබැවින්



පරික්ෂාවන්ට ලක් වුණෙමි
නොනැවුණෙමි එහෙත්
මුහුදක් අරා නැඟී සිටින
සිසිරයත් වසන්තයත්
තම සියලු වස්තූන් එකට ගෙන
සඳළුතලයක් පහළ විණ
නම සොයා ගත නොහැකි
සුවඳ නොමඳව සපිරි
උද්‍යානයක් පහළ විය
තණ බිමෙහි ඇවිද යමි
සොම්නසින් හිරිවැටෙමි
කිව නොහැක එබැවින්
දෙවියන් නැතැයි මට එහි
ඔබ කරන කියනා දේ ම
දෙවියන්ව එන බව නැවත
ලියා දැන්විය හැකිය
එවිට ඔබ පෑදි දිය රැගත් පොකුණක උපන්
සියපතක් අතින් ගත් දෙවඟනකි, දෙවියකිය

Picture - Lee Bogle

Tuesday, February 17, 2015

එවන් විට ඔබේ හද නිතොර රළ නඟන මහා කවි සයුරකැයි



ලියා ඇත්තේ ඔබ කවියක් නම්
තව කුමට පාඩම්
තෙමෙන්නට ඔබ රිසි නම්
වසිනු ඇත මෝසම්
ගලනු ඇත ගංගා
නැඟෙනු ඇත දේදුනු
වැයෙනු ඇත වස්දඬු
මව මවා රස කවිකම්

වඩා අවැසි ඔබ
ඔබේ හද පහන් එළියක් කෙරුමය
අන්ධකාරය තුළ වුව
දැල්වෙනු ඇත සිසිලසින් හෙබි
හැඩයක් නොමැති මහත් විශ්වයක්ව
නැඟී සිටිනු ඇත ඔබ
කාලයට අවනත නොමව

එවන් විට ඔබ හද තරම්
කවියක් නොමැත්තෙය ලොව

ගලන්නට ඉඩ දෙන්න කඳුළු
ගොඩ ගැහෙන්නට ඉඩ නොදෙන්න කඳු මෙන්
එවන් විට ඔබේ හද නිතොර රළ නඟන
මහා කවි සයුරක් නොවේ යැයි කියන්නට හැකි කවරෙකුටද

Picture - Timothy C.Tyler

ගයන්න පුළුවන් ගීයක්දෝ ඔබ



ගයන්න පුළුවන් ගීයක්දෝ ඔබ
අකුරින් අකුරට හදින් හදට බැඳිලා
ලියන්න පුළුවන් කවියක්දෝ ඔබ
රළ නඟනා සිඳු දිය කලඹෙහි සඟවා

Picture - By Renato Muccillo Fine Arts Studio, Canadian Contemporary Artist

ලොව සියලු හොඳ දේ - කෑදරයන්ටය පුරුදු සේ



ව්‍යසනකාරී වේදනාවකි
පොරබදන හිත මත
වෘකයෙකු හා පොරබදන්නා සේ
හුදෙකලා හිම ගොනුවක

අහිමි වීම හිමි සේ
ඉවසා වදාළ හැක
අන් අයට හිමි වී අහිමි වීමත් හැකිද එලෙසින්
වේදනාවකි, තැලීමකි,
කුඩා දරුවෙකුගේ හැඟීමකි
රහසක්ව තබාගත යුතු
කිසිවකුට නොකියා මැනවින්

ලොව සියලු හොඳ දේ
කෑදරයන්ටය පුරුදු සේ
දෙවියන් බුදුන් නැත
රාත්‍රී කාලයන් දිවා කාලයන් නැත
ඔබට වටහා ගත හැකි නම් සුහදේ

Picture - Stanhope Alexander Forbes R.A., Irish-born British Artist (1857 - 1947)

Monday, February 16, 2015

දුක්බර නම් එතරම්ම



දුක්බර නම් එතරම්ම
අවසානයක් සමුගැනීමක් දේදුන්නක්
රාත්‍රී නුබ ගැබ මන්ද
තැනින් තැන විසිරෙන රෝස මල්

හිරිගඬු පිපෙන සුළඟට
ගසා එන රෝස පෙති
කහපාටින් වෙවුලයි
ගඟ දියේ ගිලී මැදියම

ආලයද වෛරයද විසිරැත්තේ
සැකසහිත වනගැබ
වයලීන නාදයකි
සර සර ගා හැලෙන තුරු අග
දුක්බර නම් එතරම්ම රාත්‍රිය
හුදෙකලා සුසුමක් පවා ඇයි තවම උණුසුම

Picture - Albert Bierstadt

වෘකයන් මිස කොහිද සුළකල 'කුරු සඳේ



කඩමාලු වෙනකොට ජීවිතේ හිම කඳු වගේ
අකුරක් වුණත් නැඟෙන ඊතල වගේ සකිසඳේ
හී සරට ලේ වැගිර හඬන කල හිම මතේ
වෘකයන් මිස කොහිද සුළකල 'කුරු සඳේ

Picture - Joseph Wright of Derby

පාවෙල් වෙන කිසිවෙකුට කළ හැකිද එය?



පාවෙල් මට ඔබව
මුණගැසිය හැකිනම්
ඔබ තුවක්කුව හා කතා කළ
මන්දාරමින් පිරි සන්ධ්‍යාවේ යළිත්

මොනතරං දේ තියෙනවද කියන්න
මඟ හැරුණු අතරමං වෙන දේවල්
කුඩා ගැහැණු ළමයෙකු වගේ - තව දුක හිතෙන දේවල්
පන්තියේ දෙවැනියාට - කොහොමද ලැබෙන්නේ මල්
මට අහන්න තියෙනවා මට නොතේරෙන දේවල්

පාවෙල් කිව නොහැකිය වෙනත් කිසිවෙකුට මට
එවන් විට චූල ලන්තෑරුමෙළියක්වත් සොයා ගත නොහැක හදවත
ඔබේ උණුසුම් අත්වලින් උණුසුම් කළ හැකිද සීතලෙන් ගල් ගැහුණු හිත
පාවෙල් වෙන කිසිවෙකුට කළ හැකිද එය?

Picture - Elvira Amrhein

විශේෂයක් කළ හැකි බව කලාතුරකින්



මගේ ලියුමක් නොවේ
මා ඔබට එවු ලියුම
කලාතුරකින් කෙනෙකුට
විශේෂයක් කළ හැකි බව
වැරෙන් ඔබ අත මිරිකා
සිනහවෙන් (බියෙන් ගැහෙමින්)

ඔබට ලියුමක් ලියන්නට
අකුරක් තබා ඉස්පිල්ලකුදු
සොයා ගත නොහැක මට
එදා වාගෙම අදත්

එහත් අහඹු ලෙස වැදෙන
හිස් පිටුවක් මුණ ගැසෙන තැන
කුඩා තීන්ත බිඳුවක් පවා
කවි දහසක්ය විසිරෙන

තවමත් ලියා ගන්නට බැරිය
මගේම ලියුමක් මට ඔබට
එහෙත් ඔබ විශේෂයක් කළ හැකි කෙනෙකි
සදාකාලයටම කෙනෙකුට

Picture - Eduard Panov

ප්‍රේමයෙන් මුසපත් කර



පදවා යාම අපහසුද ඉවුර වෙත
දිය මත ළතැවෙන ඔරු බඳ
නිස්සද්දය වනය
ප්‍රේමයෙන් මුසපත් කර ඔබ
සඟවා ගනී වන ළය
ජීවිතය අඬගසන සඳ
පලායන 'මුත් නිබඳ

Picture - Vicente Romero Redondo

Friday, February 13, 2015

උයන් අමදින්නනි උදය



සිඳී යන්නත් පෙර අලුත් වන
තණ අග කැටිති පිනි
උයන් අමදින්නනි උදය
වැළපෙන්නෙද ඔබ

Picture - Jeff Rowland

Thursday, February 12, 2015

සිඹි නිසා දනිමි



සිඹි නිසා දනිමි
අහස යැයි සිතා උන් ඇය
හිස්තැනක් පමණි

Picture - Fernando Saenz Pedrosa

දියණිය වඳින ගාථාව


වඳ ගැහැනිය යැයි විඳි නින්දා
සුමුදු අතින් දුරු කර සින්දා
සුරතල් සිනහව ගෙට කැන්දා
මතකයි මවු පදවිය දුන් දා

Picture - Jessica Zemsky

කිරිගරුඬ සිතුවමකි ඔබ


කොයි මොහොතක හෝ බිම වැටී
බිඳෙන්නට හැකි
කිරිගරුඬ සිතුවමකි ඔබ
ඒ කිරිගරුඬ සිතුවමෙහි
රෝස මල් පිපී ඇත
වසන්තය ඇවිද යන
මං පෙත්ය හැමතැන

හමා එන්නේය ප්‍රේමයෙහි සුළඟ
ගලා යන්නේය ප්‍රීතියෙහි දියකඩ
කුරුලු කූජන ඇසෙන්නේය
මුලු හදම වෙවුලවන්නේය

Picture - Robert Finale

එක් වන් චිත්‍රයක් මෙන්




















පෙම්වතාගේ දුහුල් කමිසය
ඉසෙහි බැඳගත් තරුණියකි
කඳු ඉස
ගිම්හාන සන්ධ්‍යාවක ඈ කදෝකිමි ඇස්
කොයි දෙසට ගසා යා දැයි
කාට නම් කියන්නට හැකිද

එක් වන් චිත්‍රයක් මෙන්
අවුල් වූ හිසකෙස ගෙන
මැදියම් රැයෙහි වැළපෙන
කඳු අතකි සඳ මුදුව පළඳන

කොබෙයියෙක් රැයෙහි අවදිව
විලාප නඟන සඳ ඉකි බිඳ
අවදි වූ ගඟුලක් විසි කරයි
සප්ත ස්වරය මුසු කොට

ඉතින් මං අහන්නේ සකිසඳ
සඤ්ඤකයක් එකතු වූ පමණින්
වද මලක් කියන්නේ රිදුමක්ද
සිය සුරත් දෙකොපුල් විලි රුදා දෙවන විඳුමක්ද?

Picture - Stive Henderson

ගුරුත්වාකර්ෂණය ගැන මට කියන්නට තියෙන්නේ මොනවාද?

























සඳළුතලයට වී මුහුදට ඉහළ ආකාසය
සිය දුහුල් රෝස පෑ සාරියෙහි වාටිය
රඹ පෑ පබළු අල්ලා
උඩ දමන හැටි බලා ඉමි
අඩ අඳුර පැමිණ වසද්දී වීදුරු කුටිය
කවිච්චියට වී ඇස් වසා ගමි

යළි ඇස් අරින විට
මුළු මහත් ආකාසය මත
මිණි පබළු හා සුරත් මල්
නර්තනයක යෙදෙන හැටි දකිමි

රාත්‍රී අහසක් මේ හැටිම
ප්‍රේමයෙන් සැරසෙන කල
ගුරුත්වාකර්ෂණය ගැන මට
කියන්නට තියෙන්නේ මොනවාදැයි සිතමි

එකින් එක ලිහා ඈ සළු
සිප ගත නොහී කල හදවත
විරහවෙන් දැවෙන පෙම්වතෙකු මෙන්
ඇස් වසා ගනිමි
සිතිවිලි හසුරවනු බැරි
පර්යායලෝකයක් වන කල
අහසෙහි උවන ගෙන සිඹිමි
උදම් රළ නොතකා හිඳිමි

Picture - Alberto Pancorbo

රුද්‍රා වීණාවක්ද ඔබ හිත?



ධ්‍රැපද් ගීයක අග වැළපෙන
බන්සූරි නලාවකි මතකය
එකින් එක තත් බිඳ දමන රෞද්‍ර
රුද්‍රා වීණාවක්ද ඔබ හිත

හිම දැරූ කඳු හිස් දියව යයි
අසා තත් අතර වැළපෙනා ගීතය
ගිනි කන්දක පවා හදවත
මිදී යයි යළි අවදි නොවනා ලෙස

චූල චුම්භනයක්ද උල්පත
ඉරි තලන කල ළය මැද
සීතල පවා ඉදිකටු
පොරෝනාවක් නොවෙද සකිසඳ

එකින් එක අකුරු ගලවා
බෑවුමට විසි කළ
භීම්පලාශ්‍රී රාගයකි
ඉකි ගසා හඬන මැදියම!

Picture - Ernesto Arrisueno

ඒත්, ඔබ තවමත් එතැන



උණුසුමින් පිරී යන විට සිත
ඔබේ මුදු ඇඟිල්ලක පැටලෙයි
විසි කරමි සිත අහකට
ජීවිතය මායාවකැයි සිහිවෙයි

ඒත්, ඔබ තවමත් එතැන
දැඩි ශීත, වැසි සුළං මැද
දේදුනු නොපායන
පාසලේ එරබදු ගහ යට

Picture - Graham Garken

Wednesday, February 11, 2015

රෝස මල් කියන්නේ


නොනවත්වා මේසයට එන ලිපි ගොනු
සිඳ දමයි - මගෙ හිතේ රෝස මල්
ලේ පවා කැටි ගැහෙයි
කවියක් වගේ ගලන්නේ නැතිව

රෝස මල් කියන්නේ ලේ කැටියක්ය
කවුරුන්ද කියන්නේ එතකොට?
නැවතීමක් නැතිව වැඩ කරන කොට
වෛර කරන්නේද ඔබ මට?

ඉහළාසන
පරඬලක් කරන කල හිත
ඉහළ කඳු හිස්
තොටිල්ලක අතුරවන්නෙය
ඉතින් මට කඳු හිසෙහි වැතිරෙන්න
නිවාඩුත් නැති කොට
රෝස මල් කියන්නේ
ලේ ගලන හදවත්ය

Picture - Anatoly Piatkevich

හුස්ම ගන්නා මුහුද



ළය උස් පහත් කර හෙමිහිට
හුස්ම ගන්නා මුහුද
නිවී යන තරුවකට
සමු දෙන ගීතයක් ගයයි හැම උදය

අතු කිණිති සරසා මැදියම
එකින් එක පෙති සිනිඳුම
අවදි කළ කුසුම් පොකුරු අග
මලානික පැහැයක්ය මතකය

Picture - Anna Razumovskaya

When Will You Marry?

"චිත්‍ර කලාවේ ඊළඟ අදියර වන්නේ පශ්චාත් උපස්ථිතිවාදය. පෝල් ගොගෑන්, වින්සන්ට් වැන්ගෝ, පෝල් සෙසෑන් තමයි එහි පුරෝගාමියෝ. 1885 දී ගොගෑන් තම පුතු ක්ලෝවිස් සමඟ පැරිසියට පැමිණියා. එහිදී ඔවුන්ට ගතකරන්න සිදුවුණේ ඉතාම දුංඛිත ජීවිතයක්. පුතා වසූරිය රෝගයට ගොදුරුව අනූනවයෙන් බේරුණා. ඔහු බිරියට මෙසේ ලියා යැව්වා.
“පුතා ගැන කේන්ති ගන්න එපා. ඔය වයසේ දරුවන්ට අඟහිඟකම් තේරෙන්නේ නැහැ. අඩු තරමින් එයාට බිත්තරේකුයි පාන් කෑල්ලකුයි දෙන්න පුළුවන් නම් ඒ හොඳටම ඇති”

ඔහු බිරියට යැවූ තවත් ලිපියක මෙසේ ලියා තිබුණා.

“මා අතේ සතයක්වත් නැත. අපි දවස් තුනක් තිස්සේ පාන් ණයට ඉල්ලා ගෙන කෑවෙමු”

Story - සුනිල් මිහිඳුකුල

නිමිත්ත - ගොගෑන්ගේ "When Will You Marry? (Tahitian: Nafea faa ipoipo?)" නමැති සිතුවම ඩොලර් මිලියන 300කට විකිණෙයි. ලොව ඉහළම මිලැති සිතුවම වෙයි.

උත්ප්‍රාසය කියන්නේ කවරක්ද
මොහොතකට හෝ ඔබ සිතා ඇද්ද
මුහුදකට වැටෙන කඳුළක්ද
නෙළා ගත නොහෙන තැන පිපෙන රෝස වදුලක්ද

බඩගින්නේ හඬා ඇති රාත්‍රීන් අපමණද
නියපොතු හප හපා අනන්තාකාශය වැළපෙයිද
වළකන්න පුළුවන්ද සුනංගුව වැඩපළට ජීවිතය
වැළපෙන්නවත් ඉතින් සිතුවමට පුළුවන්ද

කඳුළකින් කඳුළකට පාට වුණු කවියක්ය
අඳුරකින් අඳුරකට එළිය වුණු පහනක්ය
ඉඳින් ඔබ හට මාව සහේ ගනු පුළුවන්ද
අසා නොඅසා නුබින් මැකී ගිය තරුවක්ය

Picture - Paul Gauguin, 1892, Oil on canvas

ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙල - 2015




Tuesday, February 10, 2015

ඇසූවෙමි ආදරේදැයි මට


ඇසූවෙමි ආදරේදැයි මට
ඔබ වයලීනය දෙපලු කර නික්මිණි
කියූවෙමි ආදරය බව ඔබට
ඔබ චෙලෝවක් මෙන් හඬ නඟා හිනැහුණි

ඉඳින් සකිසඳ සීරුම් පාර සුව වුණි
ආදරය පමණක්ම වැගිරුණි
ආදරය විතරක්ම පිබිදුණි

Inspired by Kanchana Karunamuni

Picture -  MacNeil Studio

සතුටු කළ හැකිද කිසිවෙකුට කිසිවෙක් මෙතරම්ම



මේපල් - ඕක් - ලැවැන්ඩර්
නත්තල් සීයෙකුගේ මූණැති විස්කෝතු පෙට්ටියක අතුරා
මිතුරියක මා වෙත පැමිණැත රැගෙන
මොනතරං අපූරු තෑග්ගක්ද
සතුටු කළ හැකිද කිසිවෙකුට කිසිවෙක් මෙතරම්ම

විරහවෙන් දැවෙන හුදෙකලා පෙම්වතුන්
යනෙන මඟ අතුරාපු
නටන හිනැහෙන කුඩා දැරියන්
උසිගන්නා දුවපු
ඈත සීතලෙන් ගැහෙන නගරයක
මුණ ගැහී නොතිබු
ආගන්තුක මිතුරන්ය නැතැක් කවි ලියපු

මොනතරං අපූරු තෑග්ගක්ද
සතුටු කළ හැකිද කිසිවෙකුට කිසිවෙක් මෙතරම්ම


Picture - Stephen Shortridge

මෙන්න! මේපල්-ඕක් පත්



මැදියම් රැයද
හිම කැටිති බිඳ බිඳ
සීතල සුළං හමන
මෙන්න! මේපල්-ඕක් පත්
මා වටා රඟන

Picture - Justina Kopania

භයානක රහස්



කවි පවා භයානක රහස්
ඔබට කියවන්නට පුළුවනි නම්

Picture - Josephine Wall

Monday, February 9, 2015

කවි පවා සාක්ෂිය



ටෙන්ඩරයක් නැතිව
පෙම් කරන්නට ගෙන
අත්සන් කරන්නට කියන එක
වෙනත් යම් කෙනෙකුට
විහිළුවක්ය උන්මාදයක්ය
උසස් මිත්‍රය

අගනා සුවටිනා දේ
කොතෙකුත් ඇති කල්හි ලොව වෙනත්
බාලම දෙයක් ගෙන අතට
වැස්සක් වැටෙන්නට වුණු විට
ආපහු මුහුද මතටම
බැන දොඩන්නක් මෙන්ය
නුඹ

පත් කොට පරිගණක කමිටුවකට
නොගැලපෙන කෙනෙකු දැනුමට
වගකීම බෙදන්නට යන විට
ඇඟිලි හතරක් නුඹට එක ඇඟිල්ලක් මට වුණොත්
කවි පවා සාක්ෂිය
එපමණය

Picture - Josephine Wall

කුඩා ගල් කැට පවා දිය යට



පව් රාශි අරක්ගත්
කඳුකර සිලිලාරයක ගිලී
අසනු මැන එකදු ස්වරයක්
උරා ගත හැකිද ගලකට

වනයට ඇබ්බැහිව උමතුව
දකින සඳ පුරසඳ සොඳුර
කුඩා ගල් කැට පවා දිය යට
විසි කරයි ස්වර නුඹ නමට

Picture - Albert Blaetter

වැස්සකට පසුවය හුස්ම ගන්නේ ගහ කොළ



ඉකි ගගා අඬන කොට අහස
වෙවුලන්න පුළුවන්ද තුරකට
මුළු රැයම සීතලෙන් ගැහි ගැහී
බයවෙන්න පුළුවන්ද අකුණකට

වැස්සකට පසුවය හුස්ම ගන්නේ ගහ කොළ!

Picture - Sandra Andrew

කුරුල්ලන් අඹන්නෙක්ද ඔබත් වන මැද?



අනන්තාකාශය දැඩි ශීතයේ
ගිලී යාමට නොදී
සිවුරුහන්ලන්නෙක්ය
පෙනෙන නොපෙනෙන තාරකා'ළිය

වසත් සෘතුව එන වග
කල් තියා දැන මෙන්
පිල් විදා රඟන මොණරෙකි
කඳු ඉස

කුරුල්ලන් අඹන්නෙක්ද ඔබත් වන මැද?
වවන්නෙක්ද පලවැල නෙළන්නෙක්ද?
ඝටාකාර කඳු ඉස මිහිදුමින් වසන සඳ සියපත
තෙමි තෙමී පිය නඟන්නෙක්ද?

Picture - Neil Wade

Sunday, February 8, 2015

රඟන්නේ ඒ සුළඟය



අම්මා දැන් තනිවම
කුමක් කරනවා ඇතිද කඳු උර
දෝණියට කවි කරගන්න බැරි වුණු
කදෝකිමියක දුක අසනවාවත්ද
තනිවම කතා කරනවා ඇතිද
පල්ලම් බසින සඳෙළියට
දොළක දිය අසනවා ඇතිද
අසල වෙල් යාය මත විසිරෙන
ලිප නිවා එන කලෙක ගෙතුළට
සුළඟක් එවනවා ඇතිද කොළඹට
මා වටා කඳුකර මල් සුවඳ අරගෙන
රඟන්නේ ඒ සුළඟය

Picture - Frederick Hendrik Kaemmerer (1839-1902)

අයෙක් දකිත් කුසුමකින් උපන් මවක්



* 'වදන ගැහැණුන්ට' දෙන දීමනාව ගැන පිරිමින්ගේ විරෝධය දුටුවෙමි.

මවිත විය යුතු නැත
විඳ ඇත, දැකැත අපුල බව
පඨවි ආපෝ තේජෝ වායෝය
සතර මහ භූතයෝය
ආකාස ධාතුව වෙනස්ව
පිබිදෙනා පණ ගැහෙන කුසුමක්ය
විඤාණ ධාතුව වඩා හිඳුවා
වැදුම් ගෙය දෙස බලා හිඳිනා
ඇස් යුගල යුගලක්ය
අයෙක් දකිත් කුසුමකින් උපන් මවක්
අනෙකෙක් දකිත් හුදු වදන ගැහැනියක්

තම මවුට හෝ
නැත, තමා වැදූ ගැහැනියට හෝ
තමාගේ දරුවන් වැදූ ගැහැනියට
...කුමට පවසමි අවශේෂ
විසි කරමි සිලිලාරයට හද වළප
අන්න, දිය මත සියපතක් විකසිත

Picture - Gaylord Ho.

තටු දෙනු මැනවි, දෙවියනි



* බසයේ ගෙදර යන අතරත් එන අතරත් අප්‍රමාණ හිංසනයට ලක්වීමි.

ප්‍රේමයට පාටක් තියෙනවද
කවුරු හෝ කියනවද
විසි කර දමන්නට බැරිද
සියලු බිම් බෝම්බයන් අක්‍රියව යනු පිණිස
විස නසන සයුරක්

දරන්නට බැරි තරං තෙරපුමක්
අත කඩා දමන්නට හදන විට
උකුළත් ඉණත් ප්‍රවේසම් කර ගනිමි
බසයේ කවුළුවෙන් විසි කර

තරුණයන් කියන්නේ
මේ සා ජුගුප්සාජනක කරුණක්ද
නොවිමසමි, කුමටද

අහස් මඩක්කුවකින් වැසූ
පිඟානක්ද පොළොව
පියාපත් ගෙන ඉගිලෙන්න
හිතන්නටවත් බැරිද
කවුළුවෙන් එපිට
මිහිදුම නඟින කඳුය
එහෙත් මගෙ හිත උනන හැම 'කුරම
මගේ ඉණ මතය

එකිනෙකා අතර ඉපිලෙන
විසල් සැකයකි, අපුල පුසුඹකි
සිතිවිලි රෝස මල් වෙන්නෙ කොහොමද
ළයම සූරති
සැමියෙකුද පියෙකුද පෙම්වතෙකුද දරුවෙකුද
කිසිවෙකුගේ
සුසුම් සුළඟහු විමසති

දෙවියනි මිනික්බිති
අමතක නොකර අසිහිව
තටු දෙනු මැනවි
මණිපතට අවසර!

Picture - Rhads

Monday, February 2, 2015

සීත සෘතුවෙන් උරා බිඳ බිඳ



ගිම්හාන සුළඟටද නොනැවත
සාපිපාසා නිවයි වන මැද
සීත සෘතුවෙන් උරා බිඳ බිඳ
ගිම් සමය වෙත ගෙනා උල්පත

[
පය ගිගිරි ලා ඇවිද යන රැය
නිශාචර සිඳඟනක කෙස අග
පළඳවන්නට කියා කුසුමක්
තබා යයි තුරු ඉසක අද්දර
]

Picture -
Bonita Paulis