Sunday, June 29, 2014

වස්සානේ මංගල්‍යය



බින්දු බින්දු මුතු පේළී ගෙල වට බැඳිලා
වන අතරේ රූස්ස තුරු පෙළ පෙළ හැදිලා
සින්දු සින්දු ගයනා කල අතු ඉති නැවිලා
වස්සානේ මංගල්‍යය වන මැද මැවිලා

ආලෝකය එන්නේ ගිර ගුහා දොරින් එබී
වඳුරු රජෙක් ගෙන යයි පල සිහිල සිතින් සිඹී
රන්වන් රන් රැස් දහරා වසන්තයට ඔබී
නටන රෑන් සකුණ සලඹ පාද බිමට තැබී

Picture owner - unknown
Picture source - Green Renaissance

Friday, June 27, 2014

මා හද නිවුණු දවසක ලියා දන්වමි ඔබට



මා හදේ ගින්න නිවුණු දිනෙක
නිසැකව ලියා දැන්විය හැක
ඔබ පැතුම ඉටු වුණු වග
නීතියේ මායිම් වැටි
ඇද හිතු හිතූ හැටියට
නොමඟ යැවු බිමක වණ
සුවව ඇති බව
මායිම් වෙනස් වූ කල
නොවිය යුතු දේ සිදු වුණු වග
ඉහළ වහලය සිදුරු
පහළ බිම්, සාල වැනසූ බව
බිය නොවූහ කිසිවෙක් කිසිවෙකුට
රැහැන් හදා ගත් සියල්ලෝම
පෙළන්නට වූහ අන් සැම
ලිහිල් වීමෙන් ඉහළ තැන්
පහළ තැන් වුව
වැනසූහ වඩා පහළ තැන්
මේ සියලු තැනින් නික්මුණු
ගින්නෙන් දැවෙන මා හද
නිවුණු දවසක ලියා දන්වමි ඔබට
ඔබෙ පැතුම ඉටු වූ වග

Picture - Vincent van Gogh (Dutch, Post-Impressionism, 1853-1890)

Thursday, June 26, 2014

වැළපෙන පුරසඳ



රිදෙන හදින් හිඳ
බිඳෙන බැඳුම් දැක
වැළපෙන පුරසඳ
ඔබගේ කවියද

බිනර මලින් පොබ
වසත් සමය සොබ
අසත් අතින් අබ
කලඹා පියැඹිද

තනුවක තාලෙට
ගඟුලක කැලඹෙන
පෙති විසිරුණ මල
සයුරට ඇදුණිද?

Picture - Jose Royo

මංගල්ලෙකි අද



සකල සකල සකල සකල සකල බුජං අද
බකල බකල කකුල වුණත් හරිම හොඳා වැඩ
බබළ බබළ පබළු නෝනෙ උකුළු මුකුළු හැඩ
අඟර දඟර දුටුව නිසා මංගල්ලෙකි අද

හිවල් හාමි ඇවිදින් උදනැක්කෙ ඉඳන් වැඩ
හා හාමී බල බල කිරිබතේ අමුතු රස
ක්වෑ ක්වෑ සංගීතේ නැඟෙයි සබා මැද
මොනර මහත්මිය නළවයි පිල් කළඹේ තුඩ

තීරු තීරු පීරු කොණ්ඩෙ මල් ගවසා මැඩ
පෝරු පෝරු පෝරු උඩින් නැඟෙයි හිනා හඬ
කූරු කූරු නිලා කූරු සිවුරු හොරා අත
සීරු සීරු සීරු මාරු කොරවක්කා ඇත

Picture - Karen Dukes

ඇපල් මල්



ඇපල් මල් තනිවෙලා
බදුලු ඔය නිම්නයේ
සොයනවා තවම පොරෝනය
අතීතයෙ මඟ හළා ආ..
සූණුසුම් පොරෝනය

සිසිලසයි හාත්පස
ගඟුල් විසුරාය හිරිකඩ
වැසි වැටෙයි හැන්දෑව අඳුරුයි
දුක හිතෙයි මට

සත් පාට දේදුන්න
නැඟෙයි කඳු බඳ ඉස්මත්ත
හෙළ පැහැය මත රාග අතුරයි
සකිසඳේ ඔබ

Picture - Tim Gagnon

මගෙ හිත කවියක්



මගෙ හිත කවියක්
මං කවියෙක් නෙවෙයි තමයි
මගෙ හිත කවියක්
ඔහේ ආදරේ කරන්න
කටු සටහන් ලියාගන්න
හිතම කවි පොතක්
කොළෙන් කොළේ විසිරී යන
මගෙ හිතම පොතක්

සියක් කතරවල් පසු කර ඇවිදින අතරෙත්
සුළං මෝසමෙන් බැට කන, වැළපෙන අතරෙත්
සොරුන් සමඟ හිඳගෙන වස වලඳන අතරෙත්
ඔවුන්ට නොදැනෙන නොපෙනන මගෙ හිත කවියක්

මලින් මලේ බඹරුන් රොන් සඟවන අතරෙත්
නමින් නමට ඉසි බැඳ නන් වනසන අතරෙත්
නඟින්නට තිබෙන ඉනිමං වළකන අතරෙත්
ඔවුන්ට නොදැනෙන නොපෙනන මගෙ හිත කවියක්

Picture - James Browne

නුඹ ගිය දා සිට ඈතට



කලා සොළොස පුරවා සඳ එබී බලන සඳ තැන්නට
වලා සාලුවට මුවාව වසා ගනී මුව නිම්නය
නුඹ ගිය දා සිට ඈතට එක කුසුමක් නොපිපුණාට
සීතල ගඟුලක වැළපුම ගලා ගියා හැම රැයකම

කඳු අග්ගිස්සට ඇවිදින් එබී බලා යාන්තමට
ඉර බටු තරු එකක් නොවේ ඇවිද ගියේ අවරගිරට
සැන්ඳෑවේ රතු චුම්බන තුරුලු කරන් ඇවිළු ළයට
අහසේ තැන තැන ඇන්ඳා හදින් විසිර ගිය ගිනි බිඳ

පාළුව තනිකම කවරද අලුතින් ගෙනදුන් අරුතට
බිය වුණු නිල් උත්පල මල් හිස් හොවාන ගැඹුරු දියට
දරා ගන්න බෑ කිය කිය වේදනාව ගඟ ඉවුරත
උණ තුරු පෙළ අත් ගසමින් අයදියි අලු පැහැ අහසට

Picture - Sir Tomas F.Dicksee

එක කවියක් මටත් දෙන්න



වසන්තයට අත වනන්න
එක කවියක් මටත් දෙන්න
දිය සිඳි වන ළපලු අතර
මල් මඤ්ජරි පළඳවන්න

වලා සේල වැසූ ළමැද
මිහි උර මත අතුරවන්න
වසන්තයට අත වනන්න
එක කවියක් මටත් දෙන්න

ඇසළ පාට රෑ අහසේ
තරු නෙළ නෙළ හිනාවෙන්න
වසන්තයට අත වනන්න
එක කවියක් මටත් දෙන්න

රන්සිරිමල් ප්‍රනාන්දු :

අඹ මල් වල රේණු හැලී

වැලි මිදුලම පොතක් වෙලා

ලියැවෙන කවි පදය ගන්න
හොරෙන් එබෙන හිරු රස් දැක
උදේ පිපෙන පිනි බිඳුවල
දිදුළන කවි පදය ගන්න
ගං දෑලේ හිනා හලන
පෙණ පොඩි වල හැංගීගෙන
මිමිණෙන කවි පදය ගන්න
මල් අවුණන මල්කාරී
කවි මල් මාලය ගොතන්න...!


Picture - Arthur Braginsky

Wednesday, June 25, 2014

දලු විරත ගසකි මුනිවත රකින



අලු පාට අහස යට ගිනි තපින
දලු විරත ගසකි මුනිවත රකින
සළු වලා වියන වෙත නොම තැවෙන
රළු පරළු බිම මවා රස අඳුන

කඳුළු වියළා බොහෝ කල් වුවන
අඳුරු දුර්භීක්ෂද පසු කෙරුණ
ළදළු පල් ඉපල් ඉදිරූ මුහුණ
රිදුණ තැන් දරා සා කප් ගෙවුණ

කිණිස්සක තිබෙනවද ගුණවන්ත තුඩු
දණිස්සක ඇඳෙනවද වණ විසුළ අඬු
තැනිස්සක ඇවිද පසු කර කතර මුඩු
අගිස්සක පිපෙනවද මධු කුසුම් පඬු?

Picture - Ellie Stone

තත්සරය ගොලුවෙයිද?

සුළං එනවා ඔබට
තනුව අමතක වෙයිද
පත් විසුළ මෝසමේ
තත්සරය ගොලුවෙයිද

සුමුදු සමනල් පියා
සුළඟ අරගෙන යයිද
සුසුම් සයුරක් අතර
සමනලිය තනිවෙයිද

පරඬලක් වගේ පත්
වියැක ඈතට යයිද
සිහිනයක් වගේ 'විත්
යළි යළිත් සිප ගයිද

Picture Owner - Tharindu Dasun Nuranga
පින්තූරය - ඉහත වචන පැන නැඟුණේ සමනලී ෆොන්සේකාගේ උක්ත පින්තූරය ඇස ගැටීමෙන් බැවින්, ඇගේ අවසරය මත එම පින්තූරය පළ කරන ලදී.

ඔබට ආදරය වග



සැතපෙයි එළිය
තණ බිම් මත
ගිම්හානයට පෙර ලියමි
ඔබට ආදරය වග

ගට ගටා තුඩින් තුඩ
පෙමින් බර සිතුවිලී
සුළඟ හා කෙළිදෙලිනි
මලින් මල මනකලී

රනින් බැඳ කියඹු රොද
වසත් කල සැඳෑවක
තව කුමට ළතවෙම්ද
කියා නිම වුවත් කිම?

ගිම්හානයට පෙර කියමි
ඔබට ආදරය වග

Picture - Guan Zeju

Tuesday, June 24, 2014

පිළිස්සුම්



දුන්හිඳ ප්‍රේමණීයද? දඹතැන්න පාළුද හුදෙකලාද? තණබිම් මීදුමෙන් වැහිලද?
ඕබඩැල්ල තවමත් ගලනවද? සුසුම් තල්ලු කර ඈතට සයිප්‍රස් ගස් නැවෙනවද?
ඔබ අඳුරෙද තරු එළියෙද? මොහොතක් මට කියනවද?
සීතල කඩා හැලෙනවද? ගැහෙන අත්ලට පිඹිනවද?
අතරමැද කළුවරේ වෙවුලුම් නිවන විදිහක් හොයනවද?
ඒ ඔබේ සුරුට්ටුවේ කොණද? පුළුස්සා ඇත්තේ අහසෙ තැන තැන

Picture - Carrie Graber

Monday, June 23, 2014

Be Green : කොළ පාට රහ හදවතක්



ඇල්බීසියා ගසක් වුව
මොනතරං රහද
ක්වීන්ස් ටෙරසයෙන් එබෙන විට

ගෙයි ළඟ ඇල්බීසියා වැටිය
සැරසුව ළා දම් පාට මල් පෙළ
සිහි කර හිනා වෙමි තනිව
පා තබමි පුරුදු සුවඳක් සොයමි

පයින්ම යමි
රෝද ගලවා විසි කරමි
රථ නැතිව ළත වෙන දනන් නොහඟින
අපූරුම රහසක් මම දනිමි

තනි මිනිසෙකුට ඇඳිය හැක
මහ විසල් චිත්‍රයක්
පොදු මිනිසුනට නොපෙනෙන
කොළ පාට රහ හදවත
ක්

Picture - Daniel Garber

සැතක් නම් ඔබ!



දියමන්ති වුව කිම
සැතක් නම් ඔබ
මා ළය කපා වෙන් කළ

Picture - Cecilio Pla Gallardo 1860 - 1934 Pintor Valenciano

පුරුදු නැති පරිච්ඡේදයකි



අල්මාරිය තුළින් මතු වුණ ගැහැණු රූපයක
සැඟවී තිබිය හැකිද
මෙතරම් කඳුළු සිඳු රළ
පුරුදු නැති පරිච්ඡේදයකි මෙය
පෙම්වත
ඉතා නුහුරුය ඔබේ
අලුත් පින්තූරය

Picture - David Cheifetz

Sunday, June 22, 2014

සියලු ප්‍රේමාන්විත වචන



ඔබේ කණ නොවැක
සියලු ප්‍රේමාන්විත වදන්
අපතේ යයි
කවි තුළ

Picture - James Childs

Thursday, June 19, 2014

මුතු බෙල්ලිය



හොඳටම නිදාවැටිල හිටිය මුතු බෙල්ලිය හදිස්සියෙම ඇහැරුණේ එක පාරම ඇහුණු මහා කන්කරච්චල් හිනාවකින්. "ර් ර් ක්.. මොන කරදරයක්ද මේ.." කියල බැලින්නම් දඩි බිඩි ගගා ඇඳුමුත් උස්සගෙන හූ තිතිය දුවන කෝච්චියට මුහුදෙ ගෑවි ගෑවි තිබ්බ වලාකුළක් හිකි හිකි ගගා උඩ පැන පැන හිනා වෙනවා.

හෙමින් ඇස් ඇරල මුතු බෙල්ලිය අහස දිහා බැලුවා. ඇස් දෙකට එන හිරු රැස් ඇගේ ඇස් කිති කැව්වා.. හෙමින් හෙමින් ළා පාට වැල්ලේ අඩි තිය තියා මුතුබෙල්ලිය මුහුද දිහාට ඇදුණා.. ඊයේ මුළු රෑම මහන්සි නොබලා වැඩ කළ නිසා ඇගේ ඇඟපත හොඳටම රිදෙනවා.. නාගන්න ඕනෑ.. කුඩා මුහුදු රැල්ලක් පාගන ගමන් ඈ හිතුවා..

ඈ මූදෙ නිල් පාට රැළි ඈත් කර කර ඈතට ඈතට පීනුවා.. නිල් පාට නිල් පාට රැළි වළලු ඈ වටා කැරකුණේ මැරිගෝ රවුමක ඈ ගෙන යන්නා වගෙයි.. ඈ සතුටින් සතුටින් ප්‍රීතියෙන් කෑ ගැහුවා. එහේ මෙහේ දුවන දිය බුබුළු ඇගේ කණට මිහිරි වචන මිමිණුවා.. "වතුර බුබුළු, ඔයාලා කොච්චර ලස්සනද? කරුණාවන්තද?" ඈ ඔවුන්ට අත වනමින් කිව්වා.. කරුණාවන්ත වුණාම, ඉවසිලිවන්ත වුණාම කවුරුත් ලස්සන වෙනවා කියල මුතු බෙල්ලිය දැනගෙනයි හිටියේ.. එහෙම නැතුව කොහොමද එයා ලස්සන ලස්සන සුදු පාට, රිදී පාට, රත්තරන් පාට, කළු පාට මුතු හදන්නේ.. 

වැලිකැටයක් මුතුබෙල්ලියකගේ කුසේ හිර වුණාම මොනතරං රිදෙනව කියලද හිතන්නේ.. ඇත්තටම ඒ ලොකුම ලොකු වැඩක්.. කුසේ ඇනි ඇනී රිදෙන වැලි කැටය වටේ කැල්සියම් කාබනේට් ශ්‍රාවය ගල්වන එක.. දවසක් දෙකක්ද.. ඒත් මුතු ඇටය හැදෙන කං මුතු බෙල්ලියගෙ කාලය ගියේ එහෙම තමයි.. ඇය මහන්සිය වැඩි කමටමයි මුහුදු වැල්ලෙ ටිකක් ඇලවුණේ.. ඒත් ඉතින් වෙලාවක් නැතුව දුවන කෝච්චියකටයි ඔහේ උඩ පාවි පාවී ඉන්න වලාකුළකටයි ඒක තේරෙනවද?

ගැඹුරු නිල්පාට මුහුදු තලය මැදින් ඇය තව තවත් ගැඹුරටම පීනුවා.. පුංචි පුංචි මුහුදු මල් පැළෑටි හුස්ම ගන්න හඬත්, කතා කරන හඬත් ඇයට ඇහුණා.. ඈ කොහේ යනව කියලද හිතන්නේ... හිනා වෙවී ඈ පීනමින් හිටියේ මුතු ගබඩාවටයි.. ආහ්.. ඒක මොනවගේ තැනක් කියලද හිතන්නේ.. ඔයාලට හිතාගන්නවත් බැරි තරං ලස්සන තැනක් ඒ.. එක මුතු ඇටයක් වුණත් කොච්චරක් නං දිස්නෙ දෙනවද? මුතු ඇට ගොඩාක් එකතු වුණාම... ඒක රිදී පාට, රත්තරන් පාට, තව පාට පාට එළි විහිදෙන දිව්‍ය ලෝකයක් වගේ.. හැමෝම මුතු ඇට ගෙනත් ගබඩා කළේ එතැනනේ.. මුතු වලින් හදපු මුතු කුසුම් පුංචි දිය තරඟ එක්ක එහාටත් මෙහාටත් වැනි වැනී අපූරු නැටුම් නැටුවා.. බැලේ නැටුමක් වගේ කැරකි කැරකි නැළවුණු විදිහ ඔයාල දැක්ක නම්!

මුතු වැල් අතරින් නික්මුණේ එස්රාජයක වාදනය... එය ඉහළ පහළ යමින් මුළු මුතු ගබඩාවම විනෝදවත් කළා.. සමහර මුතු වල තිබුණේ තාරුකාවක කාන්තිය.. තවත් සමහර මුතුවලින් පුළුල් ආසන පනවල තිබුණා. මුතු බෙල්ලියන් සැන්දෑවරුවල ඒ අසුන්වල හිඳගෙන කවි කිව්වා.. සමහරු රතුම රතු වයින් බිව්වා.. කවියක් තරං ලස්සන මුතු හදන මුතු බෙල්ලියන්ගේ කවි කොයිතරං ලස්සනයි කියලද හිතන්නේ? සිය යහළු යෙහෙළියන් මතක් වෙලා පීනීම නතර කළ මුතු බෙල්ලිය හිනාවෙන්න ගත්තා... ඇගේ හදවතේ සතුටට ඇස්වලින් ලා නිල්පාට එළි විහිදුණා.

මුතු ගබඩාවේ ඉඳල මතුපිට මුහුදට වැටෙන උසම උසම උසම උස ඉනිමඟක් තිබුණා.. හඳ පායන රාත්‍රීන්වල විසිතුරු විසිතුරු පාට පාට කොට ගවුම් ඇඳගත්තු මුතුබෙල්ලියන් හඳ එළිය නාන්න උඩට ආවා.. සඳ එළිය වැටෙන රාත්‍රීන් තමයි ලෝකේ සුන්දරම රාත්‍රීන්.. එදාට මුහුදු මතු පිට ඉඳුනිල් මිණි තලාවක් වගේ අපූරුවට දිස්න දුන්නා.. නිල්පාට රැළි අගිස්සේ කැලතෙන රිදී පැහැය කොහොම නං විස්තර කරන්නද? මතක් කරන කොට, හදවතේ ප්‍රීතිය මුහුදු රළ වගේ කැලතෙනවා මුතු බෙල්ලියට දැනුණා.. රාත්‍රී මුහුදු ගීතය ගැයුණේ බජන් ගීයක් වගේ.. මුළු ලෝකයේම සුන්දරත්වය, ආදරය වෙනුවෙන් ගැයෙන ඒ බජන් ගීය මධ්‍ය ළයකින් මුළු රාත්‍රිය පුරාම වැයුණා.

මුතු බෙල්ලිය හෙමි හෙමින් මුතු ගබඩාවේ දොරටුවට කිමිදෙන්න ගත්තා. මුතු ගබඩාව බලා කියා ගන්න භාර වෙලා තිබුණේ මුතු බෙල්ලියට. ඒත් ඒක එයාට එහේ මෙහේ යන්න බාධාවක් වුණේ නෑ.. මුහුදු පතුලේ මුතු හොරකම් කරන්න කවුරුත් හිටියෙ නෑනේ.. අනිත් අයගේ දේවල් අහන්නේ බලන්නේ නැතුව ගන්න එක, අරන් ආපහු නොදන එක හුඟක් කැත දෙයක් කියලයි මුහුදු ලෝකේ සැලකුණේ.. ඉතින් එහේ කවුරුත්ම කැත අය වෙන්න කැමති වුණේ නෑ..

මුතු බෙල්ලිය හෙමින් හෙමින් මුතු ගබඩාවේ දොරටුව ළඟට ආවා.. ඇය දැක්ක දෙයින් ඇයට කතාකරගන්න බැරිවුණා.. "දෙවියනේ.." ඇය වෙවුලමින් කෑ ගෑවා.. මුතු ගබඩාවේ එකම එක මුතු ඇටයක්වත් ඉතිරි වෙලා තිබුණෙ නෑ.. මුතු කුසුම්, මුතු වැල්, මුතු අසුන්... එකක්වත්ම ඉතිරි වෙලා තිබුණෙ නැහැ.. "දෙයියනේ.. දැන් මම මොකක්ද අනිත් අයට කියන්නේ.." ඇගේ ඇස් කඳුළුවලින් පිරෙන්න ගත්තා..

එතකොටම, අලංකාර සේලයක් සමඟ ඉතා කඩවසම් කුමාරයෙක් ඇය ඉදිරිපිට මතු වුණා.. මෙන්න, ඔහු පිටුපස මුතු ඇට කරත්තයක්.. මුතු ගබඩාවේ තිබුණු මුතු ඇට ඔක්කෝම ඒ කරත්තයේ තිබුණා.. ඈ විස්මයට පත්ව ඒ දිහා බලා හිටියා..

ඔහු පොළොවේ ජීවිතය ගෙවෙන දුක්බර විදිහ ඇයට කිව්වා.. සිඟිති දරුවන් හාමතේ සිටින හැටි, පෙර පරම්පරාවල මිනිසුන් හිතුමතේ ගස් කපා, ගහ කොළට පරිසරයට ආදරය නොකර සියල්ල විනාශ කර ඇති හැටි, දුක්පත් මිනිසුනට වගා කරන්න බිම් නැති හැටි, ඔවුන්ට වගා බිම් නිදහස් කර දෙන්න රජතුමා මුතු කරත්තයක් ඉල්ලූ හැටි, මුතු සොයන් මුහුදට කිමිදුණු හැටි ඔහු කියද්දී මුතු බෙල්ලිය අහන් හිටියෙ හරිම දුකින්.. කුමාරයාගේ ඇසුත් තෙතමනයකින් දිලිසෙමින් තිබුණා.

"මුතු කරත්තය ඔබ ගන්න.." මුතු බෙල්ලිය හෙමින් මිමිණුවා. "ඔබට ස්තූතියි.." ඔහු ස්තූතිපූර්වක හඬින් කිව්වා.. මුතු කරත්තය රැගෙන කුමාරයා නික්ම යන අයුරු මුතු බෙල්ලිය බලන් හිටියා.. හිස් මුතු ගබඩාව තවදුරටත් ඇය තුළ වේදනාවක් ඇති කළේ නෑ..

ඒත්, තවත් සුළු මොහොතකින් කඩවසම් කුමාරයා මුතු බෙල්ලිය ළඟ පෙනී හිටියා.. මුතු කරත්තයත් ඔහු සමඟ තිබුණා.. "කුමරිය, මේ මුතු කරත්තය මට එපා! මට ඔබේ හදවත දෙන්න; ඔබේ හදවත තුළ ඇති දෙය දෙන්න.." ඔහු ඉතා මෘදුව ඇගේ අත ගෙන මිමිණුවා. "මහ පොළොවට ඕනෑ ඔබේ වගේ හදවත්.." ඔහු ඇගේ දෑසෙහි කිමිද මිමිණුවා.

කතාව - ෂසිකා අමාලි මුණසිංහ
Picture - Katerina Shtanko

Wednesday, June 18, 2014

ඉඳ හිට එපාවට



මේ පාළු බිම් ඉස්සර
මල් පිපුණු අතොරක් නැතුව
කෙඳිරියක් නඟන්නෙත් දැන්
ඉඳ හිට එපාවට

Picture - Louis Aston Knight

ඒ සුන්දර හිත් වෙනුවෙන්!



කෝච්චියක් දැකලා නැති
මහ මුහුදක් දැකලා නැති ළමයි ඉන්නවා
ඒ සුන්දර හිත් වෙනුවෙන්
ඒ වුණාට නිල් අහසේ මල් පූදිනවා

කුරුම්බැට්ටි මැසිමෙන් පොඩි ඇඳුම් මහනවා
කොස් කොළ අමුණා අගේට ඔටුනු තියනවා
උස් කඳු බෑවුම් එක් සැණයකින් දුවනවා
ජබුඃ ගාල පතුල නොදැකි දියට පනිනවා

තල'තු හෙවිල්ලපු වහලින් සරය නැඟෙනවා
සර සරයට කිරිල්ලියක් පාද තබනවා
වහලෙ අතරමැද තැනකින් හඳ පායනවා
දිරි ගත්තොත් හෙට හොඳ වෙයි නොකිය කියනවා

Picture - Bryce Cameron Liston, from Utah, US (b. 1965)

'මොන කරදරයක්ද?'



හූ කියන කෝච්චියට
හිකි හිකි ගා හිනාවෙයි මුහුද
බෙල්ලෙක් අවදි වෙයි
'මොන කරදරයක්ද?' අසමින්

Picture - Mary Pettis

මුහුද



මුහුද මුහුද මුහුද - මුහුද මවන උදය
ජනෙල් පියන්පත් තුළින් ගලා එන මුහුදක මුදු සුසුම
නීලොත්පල වුවන රඳවා නිති නිලන ගගන නයන
උදුලන මිණි අමුණන නිල සේලය නළවා ඇය රඟන
සැඳෑ කලෙහි එළඹී ගෙල මත දුල රන් අබරණ ලිහන
නෙරළු තුරෙක නැටුමට මනමත් වී ඇස නිදි ගැට කඩන
අඳුරු පොරෝනා පොරවාගෙන රෑ මන්ද්‍ර සරින් ගයන
ඇගේ අතින් ඈ පෙරා එවයි මුදු සුමුදු සුළඟ නිබඳ

Picture - Martin Johnson Heade

පුහුණුව


අසමත් වෙන්න නැත විදිහක්
කියා ඉකි බිඳ බිඳ අඬද්දී
කෑමත් වරා පසෙකටව
පුතේ ඇඬුවා අපිත් නුඹ එක්ක

ඉරි ගහන ප්‍රශ්න පනහයි
නුඹ දන්නා බවට නොම සැකයි
ලකුණු හතළිහ බර වැඩියි
සීයට අසූවට වඩා පුදුමයි

තවම පොඩි පන්තියෙ බව හැබැයි
උත්තර නොබල ලකුණු දීමත් තිබෙයි
ඒත් පුතේ කදිම පුහුණුවකි
ඉස්සරහ ජීවිතේ ඔයිටත් වඩා තිත්තයි

නොහඬා ඉන්න උගන්නොත්
තටු එන වයසෙදිම ඔබ
තටු ඉරා දැමු දවසෙදිත්
ඇවිදන් යනු ඇති ඇත්තයි

යා යුතු මං වැසූ කල
කිසිවෙකු නොයන මං විවරයි
නොයා යුතු මිනිසුන් ඉහළ කල
ගසක් මෙන් ඔබ මුල් දරයි

කීවෝය අපටත් මිතුරෝ
ලොව අනුව වෙනස් වනු මනා
එහෙත් බැරි විය කිකලෙක කවර
අපේ විදිහට අපි වුණා

හැවක් මෙන් අත් හරිනු නොහැකිව
මල් සුවඳ සිඹ හද ගෙනා
කිණිසි කඩු තුඩු පිරුණු මං වල
හෙමි හෙමින් අපි ඇවිද්දා

නුඹෙ සොහොන් කොත පවා බබළයි
පුතේ නුඹ එය දත් දිනා!

Picture - By Daniel Gerhartz, Wisconsin (b. 1965)

Monday, June 16, 2014

හැඬුම් නවතාගන්න විදිහක් කියනවද?



ඇදුම් කන විට හිත වැටී පල්ලියක් ළඟ
උපන් රට උපන් බිම මල් පිපෙන තැන කොතැන
රිදුම් දෙන විලස පිට කොඳු තලා මහ මඟ
හැඬුම් නවතාගන්න විදිහක් කියනවද?
හැඬුම් නවතාගන්න විදිහක් කියනවද?

කොහේ යන්නද දරු පැටවු ගේ දොර රැගෙන
රස්සා කළ ගෙදර අපේ කඩ පිල අතැර
හදේ ඇත උදුන් දහසක් එකට ඇවිලගෙන
අනේ මිතුරනි බැරිද රැකගන්න අපි සැවොම

Watch http://en.wikipedia.org/wiki/Earth_%281998_film%29

Mawlana Jalal Al-Din Al-Rumi,
සමාවිය යුතුය මට ඔබ
ආදරය වුණත් ලොවට විසි කරන්නේ කොහොමද නොදන්නා විට
කඳුළුවලත් ලේවලත් ඇත්තේ එකම පාටක් බව
නොදන්නා මිනිසුන් අතර ඉපැදීම පින් මඳ කමෙක
ඔවුන් වගුරන වෛරය අසිපතක් වී දිනෙක
මගේ ගෙල සිඳින දින වුණත් වැඩි දුර නැත
දෙවියන් හැර ගිය ලොවක පැවතෙමි අප්‍රාණවාචීව
ආදරය හැර නොමැත වපුරනු පිණිස කිසිවක් මා අත
එහෙත් මට බිමක් නැත

Picture - Alberto Burri (Italian, 1915-1995): Procession of the Dead Christ, 1946

ලබ ඩබ් හඬෙහි මිස සුන්දරත්වයක් තිබිය හැකිද අනෙකක?



මැදියම් රැයෙහි අවදිව
ඈතින් මුහුද වැළපෙයි
ගාලු පාරෙහි එළි බමණ විදුලි තාරුකා
ඉසිඹු නැතිවම නිවෙයි දැල්වෙයි
ළය පතුලෙන් පැමිණි සුසුමක් වෙරළට පාත්වෙයි

ලබ් ඩබ් හඬින් තිගැස්සෙන හදවත්ය තැන තැන
කවර හදවතද උගුලා ගත යුතු
සිප්පි කටුවක ගල් මලක වෙනසක් හරියටම මතකද
සුන්දරත්වය මිස පිළිකුළක් තිබේද ළවැල්ලක
එක් සිප්පි කටුවක් අහුලා ගනිමි
තමන් රිසි තැනට යන්නට හරිමි

සිප්පි කටුවකට වුව වෙරළත
රිසි නම් ශ්ලෝකයක් ගයන්නට හැක
කැමතිනම් යාඥාවක් කැමති නම් ගීතයක්
තහනම් කළ හැකිද කිසිවෙකුට කිසිවක්
පරම විනිශ්චයකාරයෙක් පැවතිය හැකිද කොතැනක
ලබ ඩබ් හඬෙහි මිස
සුන්දරත්වයක් තිබිය හැකිද අනෙකක

එහෙත් පුදුම!
මැදියම් රැයෙහි අවදිව
ඈතින් මුහුද වැළපෙයි

Picture - Billy Childish (British, b. 1959)

කඳුළු මිස කවි බර වැඩිද මන්දා



කඳු හතක් පැන ගියා නම් කඳු ගිරග රුදු මං නඟින්නට තිබුණා
ගවු හතක් දුර ගියා නම් ඔබ සෙමින් පියවර මනින්නට තිබුණා
ළඳු හතක් හැර ගියා නම් ඔබ සුවඳ ඔස්සේ ඇදෙන්නට තිබුණා
සිඳු හතක් පැන පියෑඹූ කල කඳුළු මිස කවි බර වැඩිද මන්දා

මධු බඳුන් ඉහිරෙන සැඳෑවක දුම් වලාවක් වගේ විසිරෙන
සඳු නැඟී බැස යන තුරුම හිටිවනම හිටි තැන ගල් ගැසී මෙන
ඉඳුකිලක් මෙන් නොසෙල්වී නොව සැලි සැලී හිම විලස දියවෙන
පිදු හදක දුක කඳුළු වන කල අඳින කවි බර වැඩිද මන්දා

සිඳු හතක් ඔබ පියෑඹූ කල කඳුළු මිස කවි බර වැඩිද මන්දා

Picture - Karen Hollingsworth (American, Contemporary)

කට සහ සිත පරිස්සම් කොට ගනු!



- බුදු හිමියන්ට විපාක දුන් කර්ම දොළහ -

පූජ්‍ය රිදියගම සුධම්මාභිවංස හිමි
නිමලව ආරණ්‍ය සේනාසනය කිරින්ද, තිස්සමහාරාමය

බුදු රජාණන් වහන්සේට සිය අවසන් භවයේදී විපාක දුන් කර්ම ද ඊට හේතු ද මේ ලිපියෙන් දැක්වේ.
දශබලධාරී බුදු රජාණන් වහන්සේට ද පූර්වයේ කරන ලද කර්ම 12ක් මෙලොවදී විපාක දුන් බව දිනක් හිමාලයේ අනෝතත්ත විල අසලදී 500ක් භික්ෂූන් හමුවේ වදාළ සේක. පුබ්බ කම්ම පිලෝතික අපදානයට අනුව ඒ මෙසේ ය:
01. සුන්දරී පරිබ්‍රාජිකාවගේ විහාර ස්ථානයට එන-යන ගමන හේතුවෙන් විශාල අපවාදයක් නැගීම. ඊට හේතුව පෙර මුනලීධූර්තක ව සිටියදී සරභු නම් පසේ බුදුරදුන්ට කළ දෝෂාරෝපණය බව දත යුතු ය.
02. පෙර ලොව පහළ වූ සබ්බාභිභූ නම් බුදුරජුන්ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාමභෝගියා කියලා දොස් නඟන්නට යෙදීම. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් විය. මේ සාරාසංඛය්‍ය කල්ප ලක්‍ෂයකටත් පෙර කරන ලද කර්මය බුදුබව ලබාද බඩදරු අම්මාගේ වෙස්ගත් චිංචිමාණවිකාව හේතුවෙන් පහත් වූ අපවාදයකට ලක් විය.
03. පසු කාලයකදී සුන්දරී පරිබ්‍රාජිකාව මරා මල් අසුන ළඟ වළලා බුදු රජුන් ඇය දූෂණය කොට මරා සඟවන ලද්දේ ය යි මහත් දෝෂාරෝපණයක් දින 07ක් තුළ පැවතිණි. දින 07කින් පසු සත්‍ය එළි විය. කෙසේ නමුත් මේ නින්දාවට හේතුව පෙර භීම නම් ඍෂීන් වහන්සේට බැණවැදීම බව දත යුතු.
04. මහ බෝසතාණන් වහන්සේ පෙර වස්තු ලෝභය නිසා තම සොහොයුරා කන්දකින් පහළට තල්ලු කර ගලක් ද පෙරළා මරාදැමුවේ ය. ඒ හේතුවෙන් සසර බොහෝ දුකට පත් වී බුදු වූ ජීවිතයේ ද දෙව්දත් තෙර ගල් පෙරළූ බව දත යුතු.
05. බෝසතුන් දිනක් කුඩා ළමයකු ව සිටියදී පසේබුදු කෙනකු දැක ගලකින් ගැසුවේ ය. ඒ කර්මය හේතුවෙන් මේ ජීවිතයේ තම ජීවිතය නැති කිරීමට දෙව්දතුන් දුනුවායන් යෙදවූ බව දත යුතු.
06. පෙර බෝසතුන් ඇත්ගොව්වකු වී සිටියදී පසේබුදු කෙනකු වඩිනා බව දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙයෙව්වේ ය. උන් වහන්සේ ඍද්ධියෙන් වැඩි නමුදු පහත් සිතින් කළ කර්මය නිසා මේ ජීවිතයේ තමන් වහන්සේ මැරීම පිණිස මත් වූ නාලාගිරි ඇතු ඉදිරියට ආ බව වදාළහ.
07. දෙව්දත් තෙරුන් තථාගතයන් වහන්සේ කෙරෙහි ගැටුණු සිතින් ගිජුකුළු පව්වේදී මහ ගලක් සක්මන් කරන බුදු හිමිගේ හිසට පෙරළුවේ ය. පෙර පිරූ පාරමී බලයෙන් මහගලක් ඉබේ ම මතු වී ඒ ගල වැටෙන්නට නොදී රඳවාගත් නමුදු ගල්පතුරක් ගැලවී විත් ශ්‍රී පතුලේ ගැටී මාපටඇඟිල්ල තැළී ලේ කැටිගැසිණි. ජීවකතුමා ශ්‍රී පතුල පලා ලේ අස් කළේ ය. මෙසේ ශ්‍රී පතුල පළන ලද්දේ පෙර පෘථිවීශ්වර රජ ව සිටියදී මිනිසකු මරවන ලද පවින් බව දත යුතු.
08. තථාගතයන් වහන්සේගේ හොඳ නොවන හිස ආබාධයට හේතුව පෙර කෙවුල් පවුලක ඉපදී සිටියදී තම ඥාතීන් බොහෝ මාළුන් ගොඩදා තිබෙනවා දැක සතුටු සිනා පහළ කළ පාපය බව දත යුතු. එදා ඒ මසුන් මැරූ සියලු ඥාතීහු මේ ජීවිතයේ ද ඥාතීන් වී ඉපදුණහ. ඒ සැමට ඒ ප්‍රාණඝාත කර්මය විපාකදීම් ලෙස විඩුඪභ කුමරු අතින් මියයන්නට වුණු බව දක්වා ඇත.
09. තුන් ලෝකය පුරා පැතිරුණ දායක උපස්ථායක ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසක් ඇති තථාගතයන් වහන්සේට දොළොස්වන වස්කාලයේ එක් බත් ඇටයකුදු නොලැබී ගියේ ය. අශ්වයන්ට දෙන යවහාල් වළඳා ජීවත් වන්න විය. මෙසේ වීමට හේතුව පෙර ඵුස්ස බුදු රජාණන් වහන්සේට “ඔබ වහන්සේ මේ ප්‍රණීත ඇල්හාල් වළඳනවාට වඩා හොඳයි යවහාල් වැළඳුවා නම්” කියා දොස් නැඟූ පාපය බව දත යුතු.
10. සුගතයන් වහන්සේට හොඳ නොවන කොන්දේ ආබාධයක් තිබිණි. ධර්ම දේශනා කරන අවස්ථාවල එය හැදුණු විට සැරියුත් හිමිට දම්දෙසුම පවරා විවේක ගැනීමට වැඩි බව ද සඳහන් වෙයි. මෙයට හේතුව පෙර මල්ලව පොර අල්ලන යෝධයකු ව සිටියදී විරුද්ධවාදී මල්ලව පොරකරුවකුගේ කොන්ද කැඩූ පව බව දත යුතු.
11. බුදුරජුන්ට වැලඳුණ ලෝභිතපක්ඛන්දිකා (ලේ අතීසාර) රෝගයට හේතුව පෙර වෛද්‍යවරයකු ව සිටියදී සිටුවරයකුට බෙහෙත් කළ විට ඔහු නියමිත මුදල නොගෙව් අවස්ථාවේ පසු ව විරේක බෙහෙතක් දී ඔහුට ලේත් සමඟ විරේක වන්නට සැලැස්වීම ය. සිටුවරයා බිය වී නියමිත මුදල් ගෙව් කල නැවත සනීප කළ නමුදු ඒ කර්මය විපාක දුන් බව දත යුතු.
12. මහ බෝසතාණන් වහන්සේට බුදු වීම පිණිස සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වුණේ පෙර ජෝතිපාල මාණවක ව සිටියදී ඝටීකාර බමුණා සමඟ කාශ්‍යප බුදු රජාණන් වහන්සේට දොස් කී පාපය නිසා බව දත යුතු.

Picture - Howard Hodgkin (British, Contemporary, b. 1932)

Sunday, June 15, 2014

කුඩා තරුවක් මගෙ අහස මත ඇලෙව්වා මං එළිය දෙන්නට



යුගෙන් යුගයට පෙමැයි මලිගිය මල් වැලක් සේ වැළඳගන්නද
නුඹෙන් හිස් වුණු හිතේ ඉඩ කඩ නොදී මලකට තනි රකින්නද
ඒත් සොඳුරිය එපා යැයි නුඹ මඟ දමා ගිය පෙමක දුක විඳ
කුඩා තරුවක් මගෙ අහස මත ඇලෙව්වා මං එළිය දෙන්නට

ඇගේ ඇස මත අගී සනහස දුලන විට අන් උවම් කුමටද
මගේ යැයි එක සිතින් සිපගෙන ඇගේ සෙනෙහස විඳිනවා මම
හමුවුවත් යන මඟ තොටක ඔබ කුඩා මතකෙක තිගැස්මක් මිස
විලේ විල් දිය ඇඳි ඉරක් තරමකටවත් ඔබ රැඳෙන්නේ නැත

Picture - Eugene de Blaas

Saturday, June 14, 2014

යළි යළිත් යළි යළිත්



ඔබම ඉපැදෙයි යළි යළිත්
මගේ හදවත් සිතුවමේ
ඔබම මියැදෙයි යළි යළිත්
මගේ හදවත් සිතුවමේ
අලෝකයත් තිමිරයත්
ඔබම වෙයි පුදුමයි එහෙත්
ඔබම ඉපැදෙයි ඔබම මියැදෙයි

ගවු ගණන් පියවර තබයි
ඒත් එක සැණයක් වගෙයි
කෞමදුන් ඇස මත තබයි
නිල් සඳක් මෙන් යන්න යයි

ඔබම ඉපැදෙයි ඔබම මියැදෙයි
යළි යළිත් යළි යළිත්

Picture - Tony Duarte

වයත හැකි කවර සුගදඹ?



පෙමිනඹල තඹ කියඹු මලෝලඹ
කලඹ නල ගෙනෙන සුසුවඳ පියඹ
ළඟ නොමැති කල නැඟෙන නයනඹ
පිස වයත හැකි කවර සුගදඹ?

සිකිනඹල පිල විලස ඈ නයන දුල අඹර
වැකි විදුලි සිල නොදැක වසඟ වෙද නෙක බඹර
හැකිළේද ඈ වතෙහි වැජඹි පුල් මල් තඹර
මැකි මැකී වියැකේද සිහිල අඹ හද ගැඹර

පෙමිනඹල =පෙමින්+අඹල
මලෝලඹ = මල් එල්බෙන

Picture - Agnelo Bronzino

මංගල්‍ය වාගේය මේඝාවසානේ



අඹරක් අමර්ෂය නිමා කළ විලාසෙන්
අහස් ගබ අසනි වැසි නික්මී ගියාදෙන්
මල් ළපල් නටන කල එළඹී දයාවෙන්
මංගල්‍ය වාගේය මේඝාවසානේ

නෘත්‍යානුභාවෙන් ච්‍යුත වී තුරු නා
නිල් මල් පැහැති අත් විදන ලෙද අඟනා
හෙළ දිගුවිලැති පෑ අහසටම නැඟෙනා
වෘක්ෂාභිමස්තකව හිම වලා නටනා

මංගල්‍ය වාගේය මේඝාවසානේ

වසත් කල උදා වී මලුපුලින් විල නී
විකසිතව ලීලා බ්‍රමරභාර පා මී
තාම්‍රපල්ලවයෙන් ලතා ගුල්ම පේවී
වලා යහන් මත අතුරවයි රත අදර මී

මංගල්‍ය වාගේය මේඝාවසානේ

Picture - Elena Schlegel

ළමා කල දොර හරින යතුර ඇත නැති වෙලා



වසා ඇති දොර අසල නතර වෙමි
කවුළුවෙන් කවුළුවට අඬ ගසමි
ඉගිල යන වවුලනේ මට කියන්
කොහෙද ඇය ගෙන ගියේ

මිදුල මැද වල් වැතිර උසැති හිස් ඔසවලා
සේපාලිකා ගසෙහි මල් බිමට පරවෙලා
දිය කඩිති ගලන මං සොයා ගනු බැරි වෙලා
සියලු ගහ කොළ ඉඳී අමුතු ලෙස ගල් වෙලා

අකුරු නොම දත් පරිදි හෝඩි පොත ගොලු වෙලා
දැහැටි දඬු කැඩූ ගස කරඳ බිම වැතිරිලා
බිම් කඩෙන් බිම් කඩට යටි වියන් බෝ වෙලා
ළමා කල දොර හරින යතුර ඇත නැති වෙලා

Picture - George Goodwin Kilburne 1839-1924

සුන්දරත්වය විසි කර ඇත නගරයටද



සන්ධ්‍යාලෝකය මැදින්
එක් දෙසකට ඇදී යයි වලාකුළු
කෙහෙරැලි අවුල් කර යන
මඳ නල මලකට කියයි රහසක්

මිටි පුටුවක් තබා එ'මත නැඟි කල
පෙනේ ගාලු පාරට එහා මහ මුහුද
මුහුද සිට එන සුළඟ
කවුළු* සොලවයි අප නිවස

කඳුකර උදෑසනත්
මුහුදුබඩ සැඳෑ කලත්
මැවූ ඔහු/ඇය/එය
කෙසේ විය නොහැකිද මා මිතුරෙක්

අවසන් ඉරු රැසෙහි
මන්දාස්මිතියට වශී වන
ඇකේශියා පෙළ මැදින්
කළු බළලෙක් දුවයි
මිටි පඳුරු ගැවසි ගේට්ටුව වෙත
අහසත් පොළොවත් මවන විට
සුන්දරත්වය විසි කර ඇත නගරයටද

*ලක්ෂ්‍යාර්ථය සලකන්න.

Picture - Daniel Sprick

යාඥා



දෙපසින් නැඟෙයි
පල්ලීන් දෙකක යාඥාවන්
දෙවියනි ඔබ කොහිද
යාඥා කළ හැකි මටද හඬ නඟා

සයිප්‍රස් ගස්වලට ඉහළින්
විදුලි රැහැන් මත පෙළට සිට
යාඥා කරත්
කළු මහත කපුටෝද
සැම දෙසටම ඔවුන් හැරී ඇති බැවින්
දෙවියනි ඔබ කොහිද
සොයා ගත නොහැක මට

Picture - Mitchell Kanashkevich

"බිඳෙන්නට නම් සේදිය යුතුමය පිඟන්"



කවර කවි සම්ප්‍රදායයද
මේවාත් කවිද
වැදගත් උගත් මහත්වරු අසන විට
කුමට තැවෙනවද
තව තවත් මල් උයන් සිසාරා ඇවිද යනු මිස

කවියෙක් කිවිඳියක් වග කිසි තැනක කියා නැති කල
කවි ලියන බවට පාරම් බා නොමැති කල
හිනා වී හද පතන සියලු දේ
ලියනු මැන ඔබේ පොත් පිටු මත

බිය නොවනු කිසි විටෙක
මගේ හොඳ මිතුරියක් කියා ඇත
"ඕපාදූප සයිට්වල කුණුහරුප ලියනවට වැඩිය
මොන තරං හොඳද කවියක් ලියන්නත් හිතන එක
එහෙව් මිනිසුනගේ දෙපයින් අදින්නේ ඇයි සමහරක් අය"
ලියන්න ලියන්න ඔබ සිතට එන ඕනෑ දෙයක්
තවමත් තියේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේත්
ලියා පිළිගෙන ප්‍රකාශන අයිතියක්
මගේ හොඳ මිතුරියම කියා ඇති පරිදි
"බිඳෙන්නට නම් සේදිය යුතුමය පිඟන්"

Picture - William-Adolphe Bouguereau (La Rochelle, 30 de noviembre de 1825 – 19 de agosto de 1905)

Friday, June 13, 2014

ඉරිදා



ඉරිදා පොළට යමි
ඈතින් මුහුද දකිමි
පිල් කළඹ ලෙළනා කදිම
'යුර දැක සිනහවක් නඟමි

පන් මල්ල දකුණත එල්ලගෙන
පෙස්බටේරියන් පටුමඟට එමි
කහ ඉර ඉදිරියෙන් පැන
තැපැල් කන්තෝරුවට හැරෙමි
මුහුදට හාද්දක් යවමි

ඈතින් අත වනමි
දෙහිවල හන්දියට එමි
'ඕනෑවට වැඩි නටනවා'
හීන් තරවටුවක් කරමි

Picture - Duffy Sheridan

දියඇලි



ගිම්හාන කාලෙත් ගලයි
බෑඟිරි නොගා දියඇලි

Picture - Joe Dowden

ධනය



සොරුන් පැමිණ වටලාවි
සතර වට නිවහන
එහෙත් ඔබ කවුළු හැර
නිදන්න පෙම්වත

මුහුදු තෙර සිප නැඟෙන
සුළං රැළි පැමිණේවි
කඳු අතර මුදු මතක ස්මරණ අමතාවි
මල් පුසුඹ හදවතට මිහිරි ගීයක් වේවි
මෙයිට වැඩි ධනයක්
කොහිද නුඹ හිනැහේවි

Picture - Igor Shipilin

ඔබ අතැර ගිය දිනෙක පාට සත හකුළුවා ගනිමි!



නවකතා සියයක
මුල් පිටුව පමණක් ලියමි
රළ නඟන මුහුද ළඟ
වදනකුදු නොදොඩා හිඳිමි

උපනුපන් භවයක හමුවෙමුද කියා නොම අසමි
සැණින් මිය යා හැකිව දේදුන්න වී දුරින් පිපෙමි
අසනියත් අවුරැළිත් මැද නිමග්නව පෙමින් පොහොණි
ඔබ අතැර ගිය දිනෙක පාට සත හකුළුවා ගනිමි

Picture - Emil Nolde

Thursday, June 12, 2014

මෝහයට මෙන්ම සත්‍යයටද අයිති



වචනයක්වත් කතා නොකර ඔබ
ජීවිතයෙහි කොටසක්
අපමණ මලින් සැරසීම
විස්මිත බවද ජීවිතය සතු

විටින් විට කිසිදින නොගිය
මං පෙත්  දිගේ ගෙන යාම
අසිරිමත් බවද එය සතු

ඇතැම් විට මෝහයද
දාර්ශනිකව කල්පනා කළ යුතු
එහෙත් අපමණ ප්‍රීතියකි
මෝහයට මෙන්ම සත්‍යයටද අයිති විය යුතු

Picture - Howard Behrens Chesner (agosto 20, 1933 hasta 04 14, 2014)

Wednesday, June 11, 2014

නැටුමට නමක් තියන්නද දඬු ලේනකු අසන



මං කැමතියි කඳුකරයෙහි ඇවිදයන්න
මොන තරං සුන්දරද හඹා එන සුළං
සීතල නැවුම් හුස්ම
පාර දිග නම නොදන්නා කුඩා මල්

අම්මා කෙසෙල් කොළයක තවරන කිරිබතක සුවඳ
ආච්චිඅම්මාගේ ලුණුමිරිස් කඩිමුඩිය
රත්තාට සීයා අලුතින්ම අඹරන වැල් ලණුව
මා ගණන්කාරියකව ගණිමින් පුවක් මලු ඔක්කොම

ඉඳ හිට සුළඟට වැටෙන දිලිසෙන කහපාට කජු පුහුලන්
සුළඟ ජම්බු ගස් සොලවා ඉවත යන
එඬරු වැටට එහායින් වැස්සියක හඬන
ඇගේ හඬ අසා කුඩා පැටවකු දුවන

ඇඹිල්ල ගසට එහායින් ගඟුල ලැසි ලැසි ඇවිදින
තිඹිරි ගස තනි රකී නාන පිහිල්ලක් ළඟ
පොල් අතු ලතාවට හිස පාත් කර රඟන
නැටුමට නමක් තියන්නද දඬු ලේනකු අසන

Picture - Robert Duncan

කුඩා කඳු වැටියකින් වලා රෑනක් ගෙනත්!



ගිමන් හරිනා සුළං
නග්න තුරු අතු පතර නැවතිලා
කුඩා කඳු වැටියකින්
වලා රෑනක් ගෙනත්
තුරු හිසෙහි මුදුනතක නවතලා

කඩා හැලෙනා නිම්න මීදුමක් හුදෙකලා නැවතිලා
රැළි සාය සුදු පාට නළව නළවා රඟයි
වස්සාන රාගයක් වය වයා

සොයා ගත නොහැකි වුණු තවම සහකරුගෙ හිත
කොළ පාට තැනිතලාවක නැඟෙයි මල් පුසුඹ
සෝක ගීයක මුදුව තවරලා

Picture - Daniel Gerhartz

எவ்வளவு அழகியது அம் மாலை நேரம் . . (කොපමණ සුන්දර සන්ධ්‍යාවක්ද ඒ . . )



மழைக் காலநிலையென்ற போதும்

தெளிவானதும் அமைதியானதுமான அந்தி நேரம்
வாசிகசாலை முற்ற சீமெந்து வாங்கின் மீது
நாங்கள் அமர்ந்திருந்தோம்
எவ்வளவு அழகியது அம் மாலை நேரம்
இறந்த காலத்துக்கு மீளச் செல்ல இயலாத

கதைத்துக் கொள்ளாத போதிலும்
இதயங்களில் ஒன்றே உள்ள,
கவிதைகள் எழுதிய போதிலும்
வாழ்க்கையை விற்கச் செல்லாத
நட்புக்கள் இடைக்கிடையே வந்து அமர்ந்துசென்ற
சீமெந்து வாங்கும் கூட ஆறுதலைத் தரும்

காலத்தின் தாளத்திற்கேற்ப மாற்றங்கள் நேராத போதும்
வெளியே உரைக்க முடியாத் துயரம் உள்ளத்தில் உறைந்த போதும்
வில்லோ மரக் கிளைகள் காற்றோடு இணைந்து சரசரக்கும்போது எழும்
எம் புன்னகை கண்டு திறக்கும் எம் மாயலோக இல்லம்

- ஷஸிகா அமாலி முணசிங்க

தமிழில் - எம்.ரிஷான் ஷெரீப்
Original Post - කොපමණ සුන්දර සන්ධ්‍යාවක්ද ඒ..
Source - rishantranslations.blogspot.com
Picture - Edvard Munch (Norwegian; Expressionism, Symbolism, 1863–1944)

Monday, June 9, 2014

හයිඩි



ෆ්‍රැන්ක්ෆර්ට් පෙදෙසකි
බම්බලපිටිය අස
සැඟවී සිටීද හයිඩි
මහල් නිවසක කිනම් හෝ

මල් පිපුණු තැනිතලා මුළු හදේ හංගගෙන
රන් කියුඹු නිල් මිටියාවතෙහි වැතිරෙන
ෆර් ගස් නළවමින් හඹන සීතල පවන
අතර සඟවා ජීවිතේ මහරු සිහින

හයිඩි නුඹ සිටිනවද කොතැනක හෝ නගරයේ
අත්තම්මාත් සීයත් පිළිබඳම මතකයේ
යළි යළිත් ඔවුන් මුණගැහෙන තුඟු කඳු බඳේ
සිහින සඟවා තවම සිටිනවද නගරයේ

Picture - Jules Bastien-Lepage

පෙරළා සිනාසිය යුතුය



රිය කවුළුවකින් එබී බලා
දරුවෙක් සිනාසෙයි
මාද පෙරළා සිනාසිය යුතුය ඔහුට
ඔහුගේ දවස ලස්සන වනු පිණිස

Picture - Ryu Eunja

වැළපෙන්න මට ඉඩ නොදී



හිරු සඳු නැඟෙයි
මල් පිපෙයි
දඹ රන් පැහැය සිප ගනියි
තණපතින් වැසුණු තැනිතලා
වැළපෙන්න මට ඉඩ නොදී
දවසකින් මොහොතක් පවා

අඹ මලින් වැසුණු ගස්
පෙළින් පෙළ හිස නමා
පෙනෙන්නට ඉඩ හරියි
හිස දිලෙන කලමනා

කුඩා ඉඟුරු මලක පවා ඇත්තේ
අලුතින්ම දොවා ගත් ලස්සනක්
ඇහැළ මල් පෙති අහුලමින් ඉවුරස
හිස හොවා ගනී ගඟුලැල්
ගස්වැල් ප්‍රීතියෙන් ඉපිලෙයි
වැළපෙන්න මට ඉඩ නොදී
හුස්මකින් බිඳුවක් පවා

Picture - Sherree Valentine-Daines

මීගමු කලපුව මතින්



මීගමු කලපුව මතින්
ඉගිල යයි සකලයෙක් දෙදෙනෙක්
සිනාසෙමි; කලපු සුළඟෙහි වෙළෙමි
කලපුව ඉහළ අහසෙහි
වලාකුළු කෙඳි කෙඳි මෙනි
දිය මතෙහි රිවි පබාවෝ
දියමන්ති මාල පළඳති

Picture - Iulia Carchelan, Moldova, Romania

මා ගමන මුහුද කරා වන කල



පටු පාරවල් අතරින්
ඇවිද යමි මුහුද දෙසට
රළ නඟයි  මුහුද
හිරු කිරණෙහි කිමිද
සිටිත්ද හුදෙකලා මඟ
මං පහරන්නෝ, සොරුහු සහ නොයෙක් දන
කුමට තකම්ද මා
මා ගමන මුහුද කරා වන කල

Picture - Helen Cottle, born in bay side Williamstown, Victoria in 1962

මක් නිසාද යත් එය එසේ නොවනා නිසා



තනිකඩ නොවුණානම් කියා සිතුණද ඔබට
මකුළු දැල් අකුළන්න උස නැති විට
මිදුල වල් ගලවන්න තනිකම විට
කැඩුණු බිත්තීන් පිළිසකර කරන විට
හිතුවාද ඔබ සිටියානම් කෙනෙක්

එහෙත් නැත එසේ වන්නේ සැම තැන
මක් නිසාද එය එසේ නොවනා නිසා

රළු පරළු රෙදි කඳු සෝදන්නට වේවි ඔබට
නැවී රිදෙන පිටකොදු තකාවිද කවුරුන් හෝ
නොරිස්සුම් නැතිව බත සපයාද නිරතුරුව
මාස හයකට වරක්වත් ගෙන දේවිද ඇඟලුමක්
උදේ රස්සාවකින් හවස රස්සාවකට දුව එන්ට මිස
ඔබට හැකිවේද රැකගන්න ඔබට හිමි ධනයක්
සිතුවාද ඔබ එසේ හැකි කියා

එහෙත් නැත එසේ වන්නේ සැම තැන
මක් නිසාද එය එසේ නොවනා නිසා

ඔබ රඳවා ඉහළ තැනක
සෙනෙහසද පැසසුම්ද වගුරන දහදිය කඳුළකට ඇගයුම්ද
සිතුවාද ඔබ වැසි මෙන් වසී කියා
නැත ඔවුන් මුමුණාවි
කළ නොහැකි වූ රාජකාරියක් සොයා
බලාපොරොත්තු සිඳී වැටෙන විය බිම මතට
විමසාවි රැගෙන යනු පිණිස වෙද හලට
ඒ හැර බිඳුණු හද මත හාද්දක් තබා
සිතුවාද ඔවුහු අප සනසත් කියා

එහෙත් නැත එසේ වන්නේ සැම තැන
මක් නිසාද එය එසේ නොවනා නිසා

කඳුමුදුන් නැඟයන්න සිතුණාද ඔබට
අත්වැලක් ඕනෑ කියා
ඔබ යා යුතු මඟෙහි කඩුලු බැඳ
ඔවුහු යත් රැකවරණ ලූ බව කියා
ඔබේ නම වෙනත් වාසගමක් ගන්නේ
ප්‍රේමයේ කැඩපතක් මෙන් කියා
ඔබට සිතුණත් එය ඔබට ඔබ අමතක කරවන නියා
සිතුණාද ඔබට ගඟක් මෙන් පෙමක් රැළි නඟයි කියා

එහෙත් නැත එසේ වන්නේ සැම තැන
මක් නිසාද එය එසේ නොවනා නිසා

Picture - Cati Olives

කුඩා රෝස මලුනි..



සුළඟ හා දිව යන කුඩා රෝස මලුනි
මිහිරියාව තවරන්න මා හද මත
මුණගස්වන්න ලොව සොඳුරුම මිනිසුන්
මිහිරිම වචන

Picture - Choi Hung Mitsuda

Friday, June 6, 2014

කොපමණ සුන්දර සන්ධ්‍යාවක්ද ඒ..



වැහිබර වූ නුමුත්
පැහැදිලි නිසංසල සන්ධ්‍යාවක
පුස්තකාල මිදුලේ
සිමෙන්ති බැම්ම උඩ
අපි හිටිය වාඩි වී
කොපමණ සුන්දර සන්ධ්‍යාවක්ද ඒ
අතීතයට මුහුවෙනු නොහැකි

කතා නොකළත් හිත්වල එකම දේ තියෙන
කවි ලිව්වත් ජීවිතය විකුණන්න නොයන
තරුරසිත් ධනුෂ්කාත් අතරමැද රැඳුණ
සිමෙන්ති බැම්මක් පවා සැනසුමින් නිවෙන

කාලයේ තාලයට වෙනස්කම් නොවුණ
කියාගන්නට නොහැකි දුක් හිතේ තියෙන
විලෝ අතු සුළඟ හා සර සරය නඟන
විට අපේ සිනා දැක ඇරෙයි දෙව් විමන

Picture - Nick Igor