Sunday, September 17, 2023

කොපිරයිට් සහ අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි



කොපිරයිට් යනු යටත් පිරිසෙයින් පහ වසරේ සිට හෝ ඉගැන්වීම පටන් ගත යුතු විෂයකි. එය සම්මාන සඳහා නිර්මාණ ඉදිරිපත් කරන අවස්ථාව දක්වාම නොදැන සිටීම සහ නොසලකා සිටීම කිසිසේත්ම පිළිගත හැකි තත්ත්වයක් නොවේ. 'සොරකම් කිරීමෙන් වැළැක්වීම' කොපිරයිට් යන්නෙහි පදනමකි. මෙය 'සොරකම් කිරීමෙන් වළකිමි' යි යන්තං බහ තෝරන වියෙහි සිටම පිළිණ දෙන රටක අරුමයක්ද? 

2016 දී කවි පොතක් පළ කරන විට මා හට එක් චිත්‍ර ශිල්පියෙකුගේ චිත්‍රයක් එහි පිට කවරය සඳහා යොදා ගැනීමට ඕනෑ වූ අතර මම ඒ ගැන කියමින් ඔහුට ඊමේල් පණිවුඩයක් යැවීමි. එහි දී ඔහුට මගේ කවියක් බලන්නට ඕනෑ වූ අතර මම මාගේ කවි කිහිපයක පරිවර්තන කිහිපයක් ඊමේල් කළෙමි. එම ඊමේල් පණිවුඩයට මා ලද පිළිතුරෙහි කොටසක් පහත දක්වමි.

'Dear Shasika, Lovely spiritual poems. Yes you can use the picture. The deal is you send me a signed book when you have printed it for our collection. My wife is a poet, and you can find her first collection on Amazon. 

නිර්මාණකරුවන් සමඟ ගනුදෙනු කිරීම මා විසින් මුදල් ගෙවනු ලැබුවද නොලැබුවද මේ සා සුන්දර අත්දැකීමකි.

එම අපූරු ගනුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස එංගලන්තයේ ඈත ගමක සිත්තරෙකුගේත් කිවිඳියකගේත් පොත් රාක්කයක මගේ කවි එකතුව තැන්පත්ව ඇත. මට නම් එය හදවත උණුසුම් කරනා කාරණාවකි.

"ඔබේ සුන්දර කවි පොත පැමිණ ඇත. පරිවර්තන සඳහා ඔබට ස්තූතියි, ඔබේ කවි ඉතා ප්‍රේමාන්විත වන අතර කෙරී, මගේ බිරිඳ සහ මම ඒවා ඉතා රස වින්දා."

ඔවුහු මා වෙත නැවත ලියා එවූහ.

ප්‍රකාශන හිමිකම ආර්ථික අයිතිවාසිකම් සහ සදාචාරාත්මක අයිතිවාසිකම් ලෙස කොටස් දෙකකි. ආර්ථික අයිතිවාසිකම් කෘතියේ කතුවරයාගේ මූල්‍ය අවශ්‍යතා ආරක්ෂා කිරීම අරමුණු කරන අතර සදාචාරාත්මක අයිතිවාසිකම් කෘතියේ කතුවරයාගේ පුද්ගලික අවශ්‍යතා ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. කතුවරයා සහ කෘතිය අතර පවතින සම්බන්ධය දක්වා සිටින්නේ ඉහත කී සදාචාරාත්මක අයිතිවාසිකම් තුළිනි. තවද ඉහත අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් නිර්මාණකරුවන්ට නීතිය මඟින් නොයෙක් ප්‍රතිකර්ම ලබා දී ඇත.

වරක් හුදෙක් ඉහත කී ප්‍රකාශන හිමිකම පිළිබඳ සදාචාරාත්මක අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ නියෝගයක් කෙටුම්පත් කිරීමට මා හට අවස්ථාව ලැබුණි. එහිදී මා අවබෝධ කරගත් කරුණක් වූයේ ඉහත ප්‍රකාශන හිමිකම පිළිබඳ සදාචාරාත්මක අයිතිවාසිකම් තනිව ගත් විට පවා ප්‍රබල බවය. ප්‍රකාශන හිමිකම පිළිබඳ බර්න් සම්මුතිය දක්වා ඇති පරිදි ඉහත සදාචාර අයිතිවාසිකම් කාණ්ඩ දෙකකි. 1. the right of paternity 2.  the right of integrity. මේ යටතේ තම කෘති භාවිත කරන විට අදාළ කතුවරයාගේ නම ඒ සම්බන්ධව පැහැදිලිව සඳහන් කළ යුතු අතර අදාළ නිර්මාණකරුවාගේ නිර්මාණය එම නිර්මාණකරුවාගේ ගෞරවයට හා කීර්ති නාමයට අගතියක් වන ලෙස යොදා නොගත යුතුය. නිර්මාණකරුවාගේ අනුදැනුමකින් තොරව නිර්මාණ භාවිත කරන විට එවැන්නක් සිදුවනවාද කියාවත් සොයා බැලීමට නිර්මාණකරුවාට අවස්ථාවක් නො ලැබේ. ඉහත කී ආර්ථික අයිතිවාසිකම් යටතේ කෘතියක් නිෂ්පාදනය, පරිවර්තනය, අනුවර්තනය, නැවත වෙනත් ආකාරයකට සකස් කිරීම වැනි කාරණා කර්තෘගේ ප්‍රකාශන හිමිකම උල්ලංඝනය කරන්නකි. එක එක නිර්මාණවලින්  කෑලි කෑලි ගෙන නැවත වෙනත් ආකාරයකට පොත් කවර ආදිය  සැකසීම ඉහත අර්ථයෙන් ප්‍රකාශන හිමිකම උල්ලංඝනය කරන්නකි. තවදුරටත් උදාහරණයක් ලෙස ගතහොත් තමා නොරිසි ශානරයක කවි ඇතුළත් පොතක කවරය සඳහා තමාගේ සිතුවම භාවිත කිරීම වැළැක්වීමට අදාළ නිර්මාණකරුවාට අවස්ථාව තිබිය යුතුය.

මේ අයුරින්, ප්‍රකාශන හිමිකම, බුද්ධිමය දේපළ අයිතියක් වෙමින්, කතුවරුන්ට ඔවුන්ගේ සාහිත්‍ය සහ කලාත්මක නිර්මාණ සඳහා සුවිශේෂී සහ අනන්‍ය වූ අයිතීන් මාලාවක් ලබා දී තිබේ. එය හුදෙක් දේශීය තලයට පමණක් සීමා නොවේ. එම නිශ්චිත අයිතිවාසිකම් ලබා දීම තුළින් ප්‍රකාශන හිමිකම් නීති නිර්මාණශීලීත්වය ආරක්ෂා කරන අතර එකී නිර්මාණ නිර්මාණකරුවාගේ අවසරයකින් තොරව නොමිලේ භාවිත කිරීම වළක්වනු ලබයි. මෙවැනි සන්දර්භයක් තුළ, සම්මාන ලබන මට්ටම දක්වා මෙම දූපත තුළ නිර්මාණ මංකොල්ලය කැඳවා ගෙන ඒම මෙරට ස්වාධීන නිර්මාණ සිදු කරන අනෙකුත් නිර්මාණකරුවන්වද ලෝකය ඉදිරියේ හෑල්ලු කිරීමකි; දූපතෙන් එහාට ඇවිද යා හැකි තරමේ ශක්‍යතාවක් තිබෙන නිර්මාණ කර්මාන්තයට අකුල් හෙලීමකි. දියුණු රටවල් සහ සංස්කෘතීන් කිසිදු විටෙක ප්‍රකාශන හිමිකම් උල්ලංඝනය සාධාරණීකරණය කරන්නේ නැත. අපගේ රටෙහි සන්දර්භයන් සලකමින් ප්‍රකාශන හිමිකම් හා බැඳුණු සාධාරණ භාවිතාවන් තවදුරටත් යාවත්කාලීන විය යුතු බවට තර්.ක කළ හැකි නමුත්, මෙවැනි අවස්ථා සඳහා සාධාරණ භාවිතාව යොදා ගත නො හැක. නිර්මාණ සොරකමත් එම සොරකම (රජය විසින්ම) සම්මානයට ලක් කිරීමත් ස්වාධීන නිර්මාණකරුවන් සහ නිර්මාණ සිදු කරනු ලැබීනට ඉදිරි පරම්පරාවන් අධෛර්යමත් කිරීමකි. එනිසා රජය විසින් සම්මාන ලබා දීමට පෙර ප්‍රකාශන හිමිකම පිළිබඳ තහවුරුවක් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකසා ගැනීම වැදගත්ය.

වරක් කැනඩාවේ පදිංචි  සුභද්‍රා අක්කාත් මමත් ඉතා සියුම්ව සිදු කරනා නිර්මාණ කොපි කිරීම් ගැන කතා බහ කළෙමු. ඉතාම සියුම්ව නිර්මාණ කොපි කිරීම යනු අප්‍රසන්න අත්දැකීමකි. එවැනි අවස්ථාවල  තමාගේ ප්‍රකාශන හිමිකම උල්ලංඝනය වී ඇතැයි ප්‍රකාශ කළහොත් ඇති වන තත්ත්වය හිතා ගත හැකි නේද? ඉතිං ඒ ගැනත් ඉතිං ඒ ගැනත් vocabulary cleft poems ගැනත් ඊළඟ ලිපියෙන් කතා කරමු.

© ෂසිකා අමාලි මුණසිංහ