Saturday, February 13, 2010

සිකියෙක කිස

Tamarack Swamp

සිකියෙක කිස
කිසඳ කිමිද
සිකි පිල සිඳි
කිසි කිවිඳෙක
පිළිබඳ විඳ
සොය යි නිබඳ
කිම කිම කිම
මෙකිවි අරුම!



Pic. -Lawren S. Harris, Canadian, Member of The Group of Seven, 1885 - 1979

Thursday, February 11, 2010

ඔව්, ඒ පරණ කවිය ම...



චෙරි මල් සුවඳ වෑහුණ
මිටියාවත් දිගේ
සිනිඳු වැලි තලා මත
මා ලියූ එක ම කව
එකමත් එක කාලෙක

හීන් සිරි පොද ඇවිත්
වසද්දිත් වීදුරු කවුළු
කපා කොටා සකස් කර හෝ
ලියන්නට
ඒ පරණ කවිය ම
ඔව්, ඒ පරණ කවිය ම...

හෙමින් සීරුවේ
කාලයේ වැලිතලා පසුකොට
ඉඳින් යා යුතුය මම
සොය සොයා එ රන් බිම

Picture -
Vincent Van Gogh

සුව කළ මැන ම'ගිලන් හද



දුක් මංජුසා තබා ඔබ'සල
කීමට මට ඇත බොහෝ සේ
සඳුන් කල්කය ගෙන දිගැර
සුව කළ මැන ම'ගිලන් හද

නිල් නිම්නය ඔබ කොහිද
දිග හරින්නට ම,දුක් ගඟ
හිමෙන් වැසී ඇයි සුදුමැලි ව
වසන්තයකට ඉඩ නොතබා ම


Picture -
Andrew Gifford

රජතුමනි

Ricardo Fernandez Ortega, Spell for Peace

ඔබ කවුරු වුව
රජතුමනි
නිම්නයක් ම වන්න
කඳුකර ජලය
පහත් බිම් කරා ගෙන යන

දිය සීරා ඉස
කැලෑ මල් වුව සුරකින

දෙකඳු මැද වකුටු වී
නිදහස් හුස්මට ඉඩ දෙන


Picture -Ricardo Fernandez Ortega, Mexican, Born 1971

නිදිකුම්බා



ඇයි නිදිකුම්බා

නිදා ගන්නේ
බියෙනි ඇකිලී ගුලි ගැහී

පා පහරකට සලිත ව
නිදි ගැන්වීද පණ ගැහුණු සිත

එසේ නැත්නම් ඉර
ගෙන ගියෙද එළි පොද

සාදා ගත යුතු ය සිත නුඹ
නොසොල්වන්නට
බුරන සුළඟට
ගණ ම අඳුරට
සහ පුස් පා පහරට

Picture -
footage.shutterstock.com

නිළිය ඔබ නිදි නැතිද?


ඉඟි නළුව ඉගිල ගිය
නිළි වැස්සකට තෙමී
නිළිය ඔබ නිදි නැතිද
සිහින සිඹ සිඹ යළී

නිල් නඟන නිල් නිම්න
තිමිරයක සැඟවිණී
තෙමී නැසුනද නුඹත්
තුරු සොයා ඉගිලිනී

එක මොහොතක පෙමක්
ලවන් මත දැවටිණී
කුමට ලිහුවද සළුව
ඉඳුල් වූ මනසිනී

\
Picture -
Alexander Shubin, Russian/Canadian

හිම

Winter Landscape

කඳුළුද කියා
සොයා ගත නොහී තරමට

ඝනීභවනය විය මගේ දුක


Picture -
Karl C Brandner, American, 1898 - 1961

හතු





හීන්වැලිය පාරේ පිපුණ
නෑඹුල් ම ඉට්ටොක්කා මල
රතු පාට වුණාට
රස නෑලු ඉඳලෝලු තරං

දරට ගිය දැරිය




දර කෝටුවක්
ඔසවාගෙන එයි
දර මිටක්

ඔබ



චුරු චුරු වැස්ස
ඉවසන 
සුපෙම්බර ම පොළොව

Picture - Konstantin Kacev


සඳ සාවී
වසා ගමි
මගෙ පුංචි අත්ලෙන්

සපා කන්නට නොදී
රැය පුරා නිදි වරන
පිනුම් කටුස්සෙකුට

මල් පිවිතුරු

තුරු විසිතුරු
බලනු මිතුරු
නෙක දෙස ඇති
මල් පිවිතුරු

හරි ම අමුතු
'මුත් සැළමුතු
මෙනි මිණිමුතු
සරසති අතු

ගසින් විරත
කුසුම් සුරත
තණ පිටි මත
අනුරඤ්ජිත


පෙම්රස විඳ
නුඹ පියබඳ
කඳුළු පබඳ
කිම විඳ විඳ

Picture - Abbott Fuller Graves, American, 1859 - 1936




කුරුමිණියනේ
පරිස්සම් වන්න
ගස් ගෙම්බා ඇවිත්
වැස්සේ තෙමෙන්ට

ශෘංගී ස්වර්ණ ඡවි වර්ණ



ශෘංගී ස්වර්ණ ඡවි වර්ණ
හෙල්මැල් පියලෑ දිගු කර්ණ
කර්ණ රසෝඝ මුදු වර්ණ

එක් කළා ඇගෙ එක් බැල්ම!


Picture -
Sir Thomas Francis Dicksee



මන්දාරම් අහස
ගිනි ගත්තු ඉර

සොයයි දැරියක
හිම



නිල් පාට කඳුකරයක

Image Found on the Web

මහ වැස්සේ තෙමෙමින්
ඉරිඟු මණ්ඞිය මැදින්
ඉරක් පායා තිබිණ...

හෙමි හෙමින් පය ගසා
චිචිරි චිරි මඞ ගොඞේ
හෙනවෑල් ගාලෙන් එපිට
වැටී ඇත ඇල්බීසියා මල්

හිරිපොද වළකමින
කඞමාල්ලක වෙළෙමින
සැලෙන දෙපා යුගලකි
නිල් පාට කඳුකරයක

Picture owner - unknown

එ නිසා ඇසිය යුතු වෙයි

Image found on the web

එපා යැයි අතැර ගිය
පෙම්වතෙකු වුව සිහි කර
අඳුරු මතකය වැළඳ සිටියා
එක් සොඳුරු යුවතියක වසරවල් ගුණ කර

නොකී පෙම වුව ජීවිතය විය
තවත් විහඟියකට

එ නිසා ඇසිය යුතු වෙයි

පඩිපත අතට දී සෙනෙහසින් සිප
ජීවිතේ සොඳුරු තැන්
කරා ඈ ගෙන ගිය
ජීවත්වන්නට ඉඩ නොලද
නිසා වෙන් වී ගිය
මිනිසෙකු වෙනුවෙන් ලිවිය හැකි වෙද
බජන් ගීයක්
මාසයක් තුළ

පිළිසකර කළ යුතු වුවද
මේ අජූ දෙය
මට අයිති නැත
ඇගේ දින පොත

Picture owner - unknown


වෛවර්ණයෙන්



ශෘංගාරයේ රුදු සිතුම් ගoගා
උන්මාදයෙන් සිත රිදුම් දුන්නා
සකිසඳුනි ඒ
ආදරය නොව රාගයයි
උණුහුමේ දැවි දැවී නැගෙනා
රාගයයි
අනුරාගයයි

උණුහුමෙන් බර ඔබේ දෙතොලේ
පහස මට දැනුණා
වුවන තල රැඳුණා
ඖදාර්යයෙන් නොනැඟුණා මා
සෙනෙහසට නැවුණා

තිසර ළැම විල කැලඹි කැලඹී
දිය තරඟ නැගුණා
විලි කඳුළ සිඳුණා
වෛවර්ණයෙන් දෙව්දාර ගස්
දිගේ මල් පිපුණා

Picture -John William Waterhouse

ඇවිදින් යන්න

Concerto en trois temps

ඇවිදින් යන්න
මේ අවසාන වස්සානය යි
යෞවනියේ

වයන්න ඒ නුහුරු තනුව ම
ස්නේහයෙන් තත් මිහිරි වූ ළතෙත්
හමා එන තුරු සුළඟ
වයන්න
යෞවනියේ

ගයන්න ඒ ගසල් ගීය ම
නොදන්නා අරුත් නොදන්නා දෙබස්
නිමා වන තුරු ගමන
ගයන්න
යෞවනියේ

Picture - Daniel Plante, Canadian, Born 1958

හඬනු මැන කිසිවෙකු හිඳී නම්

Image Found on the Web

හඬනු මැන කිසිවෙකු
හිඳී නම්
ජීවිතේ දස දහස් දුක් විඳ
එකදු කඳුළක් යළි හඬන්නට
නොහැක මට

මලක් වන් රැකි සොඳුරු සෙනෙහස
රුදුරු ලෙස මා අතැර ගිය සඳ
එකදු කඳුළක් හෝ හඬන්නට
ඉතිරි වී නැත මගෙ දෑස අග
හඬනු මැන කිසිවෙකු හිඳී නම්
එහෙව් මා වෙනුවෙන්

ජීවිතේ නුබ ගැබ වසාගෙන
එළිය දුන් මනරම් සරා සඳ
ගිරි කුළ ද හැර නික්ම ගිය සඳ
හඬන්නට මට තව කඳුළු නැත
හඬනු මැන කිසිවෙකු හිඳී නම්
එහෙව් මා වෙනුවෙන්

Picture owner - unknown

එ සඳ අප



මඩ අයිසින් අනා ගොඩ පර මල් ගසා
අප තැනූ කේක් ගෙඩිය
ගොම් බෙට්ටක් උඩ
වැළදිය නොහැකි විය

කුඩ කොකු බෑග් මත අමුණා
මහ හඬින් හූ කියා
උඩරට මැණිකේ වෙල නියර උඩ

ඇසළ ගස
වැල් ඔංචිල්ලාව විය
උඩ නියරෙහි සිට
ගං ඉවුර මතට

එ සඳ අප
ගී ගයා නටා
මැව්
සිහින ලෝකය

Picture - Camille Pissarro 1830-1905

Wednesday, February 10, 2010

ලේ



ම'මිතුර
මා
කවි
ලිවිය යුත්තේ
පැහැනින්ද...
නැතිනම්
ලෙයින්ද...

සිදුරු කර
සුරතැඟිලි
ලියමි
මම නුඹේ කවිය...

පැහැන් තුඞට
පැහැන් තුඞක්
නොව
රයිෆලයක්
එසව-

කියන්නට නොදේ නම්
ඒ නිරුවත් කතාව
ඔහේ ලේ ගැලුවාදෙන්
මේ පැහැන් පහර !

Picture - Sadamasa Motonaga (Japanese; Modernism, Gutai group; 1922–2011)

එසේ නම්




කඳූකරයේ
කොළ පාට රවුම් මත
තිබිය හැකිද
ඉපල් වූ හදවත

එසේ නම් එය
තෙයිවානෙයි ගේ විය යුතුය...

තරු කැකුළක් සොයමී මං

Bending Horizons

තරු කැකුළක් සොයමී මං
මා දැන භඳුනා ගත්
ආගන්තුක බිමෙභී
ආගන්තුක බිමෙභී

වලාකුළක් වත් මුදු
මා දක්නට ඒ නම්
මගෙ ගම්බද ඈත
නිල් කඳුකරයෙන්

ආපහු ආපහු
මට යන්නට ඇත්නම්
ගව රැළ හා තනි වී
ඒ වෙල් එළියේ........

Picture - Henry Isaacs, American
කඳුකර බිමෙහි
හරිත තණ පත් අතර
පිපුණු දම් පාට මල්
නොදැක ඉන්නේ කෙලෙසදැයි
නොදැන උන්නෙමි

ඒ මා....
concrete කාමරයක
බිඳුණු වීදුරු කවුළුවකින්
දුම් දමන අහස පමණක් දුටුවෙමි...




ඡායාවක්



පූජියාමාව වියරු වී
සකුරා වසන්තය
ලෙයින් තෙත් විය
බුර බුරා නැගෙන ගිනි දැල්
වික්කේ පනමකටය
හදවතේ යශෝ ගීතය
හැකිළිණි විලිබරව
යසෝදරා වත
ඔළුව දණ මත ඔබා ගෙන

කොහි පලා ගියෙහි
මහා සිදුහත් තෙම
මියැදුණිද අනෝමාවෙහි ගිලී
එතෙර වනු නොහැකිව

ගං ඉවුර මත සිටී ඔහු
මහ දියඹ දෙස බලා ගෙන
හැකිළිණි විලිබරව
යසෝදරා වත
බුර බුරා නැගේ ගිනි දැල්
වසා සිය නිරුවත
දෙව්දතුන් විවර කොට
අවසන්ය තෙවැනි ඇස

ඒදන්ගෙ මලුයනේ
මල් පල දරා ඇත
දෙස නොයවාම ඇස
පටාචාරා - දුවයි ඇය
වැට කඞොලු සිඳ බිඳ
අසුවේද බියෙන් වරදට
මිනිස් සංහතියෙ සාපෙට

නිබ්බුත පද කියූ
කිසාගෝතමී
බැස
සඳළුතල'ඹරෙන්
වැනුවාද අත

එළි පුඤ්ජ ගෙනෙන උළු කැන
නිවී යයි සිය හිමිට බනිමින
ඇදෙයි ඡායාවක්
මඟ දිගේ
හෙමි - හෙමිහිට

Picture - Nasr Ol Molk Mosque (Pink Mosque), 1888. Qajar dynasty architecture, ceiling vault ceramic tile work. Shiraz, Fars province, Iran.