Wednesday, December 31, 2014

හුස්ම ගන්නේද අකුරක් - ලිවිය යුතුමැය කවියක්!


"කලාකරුවන් කරන්න ඕනෑ කලාව. මොන පිස්සුවක්ද මේ!"
- මිත්‍රයෙකුගේ කියමනක්

සූරා දැමුවාට පසුවද
සමනල පියාපතක්
ඔබට සිතුණේ එහෙම!

කලාව කරන්නට
තිබේද වෙනත් ලෝකයක
වෙනස් වූ ඉඩකඩක්
වියැට වපුරා කවර පලයකිද
ගලා යන ගඟ දියට
සැකසූ කුඹුරකට මිස

කුඹුර නොසලකා බයාදුව
කතරකට ආවැඩිය හැකිද ගොවියෙකුට
එනයින්ම නොසලකා කුඹුර
වියැට විසි කළ හැකිද ගඟකට

පුබුදන්න තිබේ නම් කුසුමක්
පොහොණි කළ යුතුය පොළොවක්
හුස්ම ගන්නේද අකුරක්
ලිවිය යුතුමැය කවියක්!

Picture - Anatoliy Koncub

සමනල පිහාටුවක දේදුනු පැහැය



සහෝදරයනි
අප වෙනස් නොකළොත් රට
කවුරුන් කෙසේ වෙනස් කරන්නද?

සොඳුරු සඳ එළියද
රැය මිටියාවත්හි වැළපෙන ගඟ දියද
තාරුකා මන්දාස්මිතයද
හද තුළින් උපදිනා මෙන්
නිසල බව නොගෙනේ නම්
සත්‍යාලෝකය කෙලෙස නම් දිනන්නද?

අවිද්‍යාවෙහිම ගැලි ගැලී
අවිද්‍යාවම පසසමින්
තමාට එල්ල නොවෙන තුරු පා පහර
බලන්න කුහුඹු රාශීන්
ඇවිද යන හැටි පොළොව මත

කොටසක් පණ නැසූ 'මුත්
යට වී පයට ඇවිද යන ජනී ජනයාගේ
තමා නොවන තුරු ඒ
නොසෙල්වෙති ඔවුහු පුරුදු පාරෙන්
වනය යනු කවරක්ද
මල් පිපේද එහි
සුළඟ හමාද
චිත්‍රයකුදු මවා ගත නොහැකි කුහුඹු දනගෙන්
පොරොත්තු විය හැකිද වැඩි යමක්
සමනලියක් ගැයුවාට මිහිරි වන ගීතයක්
රාමුවක සිර ගත වු කුහුඹුවෙකුට
විඳිය නොහැකිය ඉන් යමක්

ඉතින් සොයුරනි
ඔබත් කුහුඹුවෙක්ද
දැක තිබෙනවාද ඔබ කිසි දිනෙක
සමනල පිහාටුවක දේදුනු පැහැය?

Picture - Jean Michel Bénier

හුරු පුරුදු අහස



හුරු පුරුදු අහස
සඳ තරම් රස මවාද
ඉඳ හිට පිපෙන ගිනි පුපුරු!

Picture - Alfons Mucha

Friday, December 26, 2014

එන්න, අපි කතා කරමු



වෙනසක් ඇති කරමු! මවුබිම තහනම් කරනු ලැබ ඇති කවියන්ට තටු දෙමු! මිත්‍රවරුනි, පැමිණෙන්න අපි කතා කරමු.

කතා කරනු වෙනුවට කෙරෙනා දේවල් ඇති කොට
ලියනවා වෙනුවට ලියැවෙන දේවල් ඇති කොට
අඬනවා වෙනුවට ඇඬෙන දේවල් ඇති කොට
පැමිණෙන්න අපි කතා කරමු
සීතල කුණාටුවකදිත්
පන්නරය ලබන හැටි වානේ
එන්න, අපි කතා කරමු

මිතුරනි, පුවත්පත් කරනා
කොතරම් දුක්ඛිතද ඔබේ අකුරු
ව්‍යාජයන් පසුපස හඹා යන කල
සොයා ගත නොහැකි තරමට
ගනඳුරක්ද හදවත

හඬා වැළප ගෙවුණු යුගවල
සිටි නමුත් ඉන්නක් මෙන් සිටගෙන නොසැල එක දිගට
දියාරුව යන්ට නොදෙනෙක හදවත
මොනතරං අපහසුද දුෂ්කරද
මල් පවා නැවී ගඟ දියට
පෙති විසිර යන කල දිය සැඩට
ආදරය සෙනෙහස පවා
රිදුම් දෙනවැති මිතුර

දුයිෂෙන්ලා එලවලා ඈතට
රජවෙලා පල්හොරුන් ගුරු ගෙය
ඉහළ අස්සනින් තටු ලැබ
කවරක් උගන්නන්නෙහුද
සොරකම පටන්ගන්නා 'යුරුද
කුණාටුවක් වෙලා වත් අපට
පුළුවන්ද ශුද්ධ කරන්නට 
තැන තැන ලෙය පිරුණු
කිණිසි තුඩු විසිරි බිම
එන්න, අපි කතා කරමු මිතුර

Picture - Ikenaga Yasunari (Japanese, Contemporary, b. 1965), Fifty full moon

*



ඤාණ ප්‍රභාව ප්‍රලේඛන ප්‍රතිභා
සුරකිමු අප සෙවණින්
බුද්ධි සුභාව විද්‍යාව කලාව
ඔසවමු අප දෑතින්

ගීත සුගීත සුභාවිත විද්‍යා
කීර්ති සුලක්ෂණ නිමැවුම් ධාරා
තෙලිතුඩ පන්හිඳ සල රූ මාලා
නව්‍ය විභූතිය විදු දිය සීරා
සුරකිමු අප සෙවණින්
ඔසවමු අප දෑතින්

රට දැය නැඟුමට මං පෙත් පාදා
නැණ ගුණ මණ්ඩල රැක එක සේමා
අපි මුළු ලෝකෙට පහනක් වන්නෙමු
පහනේ එළියෙන් තරු දල්වන්නෙමු
දල්වමු නැණැස් පහන්
රැක දෙමු මිනිස් දහම්

Picture - Landon Mackenzie (Canadian, b. 1954), Simulator Neurostar, 2012

Wednesday, December 24, 2014

ස්වර්ග රාජ්‍යය ලබා දෙනු මැන!



* සක්‍රීය ලෙස දුරකථනයක් භාවිත කිරීමට නියම වෙයි.

කථනය ගඟට විසි කර
බෝ කලක් ගෙවුණි සකිසඳ
දියට වන් කල හස වසඟ මිස
වුණිද කිසිවක් රළ කලම්බන
කුරුලු ගීයක් මිසක සුන්දර
නිදන කල සිත නඳන කර නැත
සිඳඟනට මිස නොආ හැකි විය
නිදන කුටියට බිළිඳු කඳුකර
කඳු පලස් මත අතුරනා කල
නුබ ළඳුන් සිය දිය පෙරෙන කෙස
මගේ හදවත තබන පියහඬ
ගීතයක් වී වැයුණි වන ගැබ
පියාණෙනි දැන් මා මුදා හැර
ස්වර්ග රාජ්‍යය ලබා දෙනු මැන!

Picture - Feng Chiang Jiang

හදවත රෝස මලක්!



හදවත රෝස මලක් බව
දැන උන්නෙමි මම කලෙක සිට
කවා සරළ සුගන්ධය
නලමුදු සුවඳ මනකල
ඔබ වැතිරෙන්න කඳු යාය මත මිතුර
සීත කල වැසි සිඹින කල අහස

Picture - Guan Zeju

මා මරා රන් කගක්..



ලේඛකයා මරා දැමූ තැනින්
රන් නෙළුමක් උපන්නෙය
එක අකුරක් පවා වැළපෙන
සමුදුරු ගොසක් ඇසෙන්නෙය
ළය පත්ල බිඳ වැගිරෙන්නෙය
මා මරා රන් කගක් උපන්නෙය
ළය පත්ල බිඳ වැගිරෙන්නෙය

නිදහසක් ඉල්ලා වැළපෙන
එක අකුරකුදු නොම විරත විලසට
මහ හඬින් හඬන්නෙය
දුරුතු වැසි වසින්නෙය
රන් මලක් පිපෙන්නෙය
මිය යන්ට ඉඩ නොදෙන
රන් මලක් පිපෙන්නෙය

Picture - Karen Hollingsworth, from Atlanta, Georgia

Monday, December 22, 2014

යළිත් මට මා හමුවෙයිද?



මට මා යළිදු
කිසි දිනෙක සොයා ගත හැකි වෙද
ඉස්තරම් කපු සාරියකින් වැසී
සාරි පැහැයෙන් වොරඳ අබරණ සමඟ
වෙන් වූ කුටියක උස් වූ පුටුවක හිඳ
බරසාර ලිපි ගොනු එකින් එක පෙරළමින්
සියෙරානුලියාවේ චෙක්පත්වලට අත්සන් තබමින්
අලවා ගත් මුවින් යුතුව සෘජු බැල්මක් දරමින්

අහෝ අසරණයෙක්මි,
සහෝදරයාණෙනි යළිත් මට මා හමුවෙයිද
කැලෑ කෙල්ලැයි ඔබ සිනාසෙන විට
උස් කඳු මුදුන් මත දුව පනිමින්
දුනු විද රළ විදින ජල කලාපයන්ට
අකුරු විසි කළ ආකාසයට
සම්ප්‍රාප්තව ඇත තුඟු තාප්ප
කොම්බුවක් පවා මිහිදන්ව
හුස්ම හිරවෙන කල අකුරුවල
නිදහස යැයි තිබුණිද යමක්
ගිලා බසියි එය සමුදුරු පත්ලට

හඬ නඟමින් තෙරපෙමින් ඉහළ අහසට මඟ බලමින්
සියෙරාලියනු මිටියාවතක නලමුදු සුවඳ සුපතමින්
දිය රළකට අසුව අඳුරු පතුලකට ගසා ගෙන යමි
නිර්වාණයේ දොරටුවෙන් බොහෝ ඈතකට විසි වෙමි
අනුකම්පාවෙන් වෙළෙමි
සහෝදරයාණෙනි
මම බොහෝ රහස් දනිමි
වදනකුදු දොඩන්නට නොහැකි
අගුලු ලූ ලවනින් පසු වෙමි

Picture Evgeny Mukovnin

Friday, December 19, 2014

නිල් කට්රොල් මල්



නිල් කට්රොල් මල් අතු අග පිපිලා
නිලට නිලෙන් සැරසෙන්නේ
මල් මකරන්ද සුගන්ධ උරාලද
පිනිබර සුළඟ හමන්නේ
සුළඟට විසිරෙන කියුඹු තුඩින් තුඩ
ළය මත නිතොර රඟන්නේ
නිල් මල් සුවඳට මත් වුණු මුවරද
මන්ද අමන්දැර යන්නේ

කන්කලු නන්දන මිහිර සරින් සර
මල්බර උයන ගයන්නේ
උවන සුරංගන ගයනා ගීයට
කවුරුද අතහැර යන්නේ
මන්ද ඉතින් තව පෙම්බර හද මත
නොනිදා තවම නිදන්නේ

නයනග කැලුමට ගර්හිත තරු නුබ
තිමිරත සැඟව ඉඳින්නේ
අංජන කල්ක උලා රන් පුරසඳ
පංකජ විලිබර වන්නේ
මන්ද ඉතින් තව ගංතෙර දිය මත
සළුව ලිහා නොනිදන්නේ

Picture - Josephine Wall

Wednesday, December 17, 2014

යාදේද ඉතින් ගම්බිම්



නිල් මල් බිසව්
අසන් මෙ'පවත්
යාදේද ඉතින් ගම්බිම්
මල් සිඳුණු උයන්
වියැකූ වැසිකම්
යාදේද ඉතින් ගම්බිම්

ගනඳුරක ගෙබිම් මිදුලස මල් බිම්
නුඹෙ සුවඳ ගෙනෙන මුදු සුළඟ සිඹිම්
මියුරස මධු පෙම් වියැකුණු මැදියම්
ගන රැයකදි මං ගන තිමිර ඉරම්

නිල් මල් බිසව්
අසන් මෙ'පවත්
යාදේද ඉතින් ගම්බිම්
විල් මත මනරම් බොඳ කර හද මං
යාදේද ඉතිං ගම්බිම්

Picture - Charles Francois Daubigny

ගසට හැකි නම්..



ගසට හැකි නම් කඳු මුදුන් ළඟ තනි වෙලා ඉන්න
උසට උස යන අඩි පාර ළඟ නැවතිලා ඉන්න
ගඟ විලාසන ලෝල ලාලන අතර එක වන්ව
පුරුදු විදිහට සුළඟ ආ කල - මිදුණු පත් හා නුබට ඉගිලෙන්න!

නුඹට හැකි නම් ඒ වගේ වෙන්න - විසිරෙනා පත අරුත පසිඳන්න
ගසක් වාගෙම පත් විසුළ කල හිනැහිලා ඉන්න

Picture - කඳු @ Bibile



හඬන සිත - කවියක්ය



මුහුදු දිය හා බද බදා පොර
නැඟෙන කල රළ හඬ නඟා
කුමක්දෝ ඔබ ගයන්නේ
සිතාරය අත අවුලුවා
හිත බිඳ බිඳා..

කැඩුණු තත් අග නොලිව් කව් පැදි දහසක්ය
බිඳුණු හිත් ළඟ කඳුළු කඳු මුහුලක්ය
මුහුලක්ය මුදුනක්ය මුහුදක්ය
හඬන සිත - කවියක්ය

ලියෙන පද අග මිදෙන තරමට සුසුමක්ය
කියන කවි ගී අතර ලිහි සුවඳක්ය
සුසුමක්ය සුවඳක්ය සුළඟක්ය
බිඳුණු පෙම - සයුරක්ය

Picture - Andrew Astrochenko

කවුරුන්ද නිදන්නේ උර මත?



මොනතරම් අපූරු හැන්දෑවක්ද
රෝස පාට වලාකුළු මුහුදට කඩා වැටෙන්නට ඔන්න මෙන්න!
කවුරුන්ද දැන් මා හද මත ගයන්නේ
රාත්‍රියට උරුම ගීතය
අහා.. නටන සිඳු රළෙහි කැළඹෙන
මුතු මැණික් අතැර සයුරට
කවුරුන්ද නිදන්නේ උර මත
අන්තරා කොටසට නොයා
මුලම ඇති පද ගය ගයා

Picture - Edward Henry Potthast

Saturday, December 13, 2014

හිමත් සම පත් හැලුද?


හන් පළන් වෙළ වියන් අරා නුබ කඳු මුදුන
මන්ත්‍රභේදක පහන් උකටලී වී හිඳින
මධු ඔඩම් පය වැකී සැලෙන නගර'ස උයන
හිමත් සම පත් හැලුද වසත් කල මෘදු පවන?

Picture - Natalia Shaikina

මොකටද?



මීදුම වුණත් මොකටද
කුරුල්ලන්ගේ පියාපත් සිඳින කොට

Picture - Oleg Tokarev

නෑ ගමන සහ කලිසම


පුංචි රොකට්කාගේ උපන්දිනය තිබුණේ අවුරුද්දේ අන්තිම නිවාඩුවේ අන්තිම සතියේය. එ'වර උපන්දිනයට අම්මාගේ උපන්දින තෑග්ග වූයේ නිල් පැහැති ඩෙනිම් කලිසමක් සහ රෝස පෑ කදිම ටීෂර්ටයකි. සීයාත් ආච්චිඅම්මාත් සමඟ හැම අවුරුද්දකම යන ආච්චිඅම්මාගේ ගමේ සවාරියට රොකට්කා සැරසුණේ අම්මාගේ උපන්දින තෑග්ගෙනි.

එහෙත් රොකට්කාගේ සිතේ මහත් චකිතයකි. කුඩාම කල කලිසම් ඇඳ සිටියායින් පසු රොකට්කා දිගටම ඇන්ඳේ කුඩා කුඩා ගවුම්ය. පාට පාට ගවුම් කීපයක්ම ඈ සතු විය. ඉතින් කලකට පසු කලිසමකින් හැඩ වීම ඇගේ සිතට නුපුරුදු හැඟීමක් ගෙනාවේය. රොකට්කාගේ යාළුවෝ ඇන්ඳේත් ගවුම්ය. දන්න කියන යාළුවෝ කවුරුත් හමුනූණොත් හොඳ යැයි තම එහෙට මෙහෙට විසිරි කොණ්ඩය එක්කාසු කර රෝස පාට රිබන් පටියක් ගැට ගසන අතරේ ඇයට සිතුණේ ඒ නිසාය.

එහෙත් සීයාත් ආච්චිඅම්මාත් පෙරටු කරගෙන යන ගමනේ උජාරුව නම් ඉන් බිඳක්වත් සිඳුණේ නැති. බස් නැවතුමින් පොදු බස් රථයට නැඟුණු ඇය ආච්චිඅම්මාත් සීයාත් මැද්දට වී එහි අවසන්ම අසුනේ හිඳ ගත්තාය. අවුරුද්දකට වතාවක් ආච්චිඅම්මාගේ ගමේ යන මේ ගමන කොතරම් සුන්දරද බස් රථයේ වීදුරු කවුළු පසු කොට වේගයෙන් දුවන ගස්වැල් දෙස ඇය බලා සිටියේ මහත් ප්‍රීතියෙනි. ගස්වැල් පමණක්ද, ඉසෙහි වලාකුළු සැරසිල්ලක් දමාගෙන සිටි කඳුවැටි බසය පසෙකින් දුව ආයේ රොකට්කාට අත වනන්නට මෙනි. අවාන් බඳු තුරු වදුලු වන්නමක් නටන්නාක් මෙන් ඈට පෙනිණි. ආච්චිඅම්මා අසල කවුළුවට එබුණු ඇය බසය හා දුව එනු නොහී පසු බසින කඳු වෙත අත වනා ආචාර කළාය,

රොකට්කා මුළු නිවාඩුවම ගත කළේ නිවස අසල කඳුකරයේ වන ලැහැබ්වල ආර්යාත් සමනොලීත් සමඟ ඇවිදිමිනි. ඔවුන්ගේ වස්තු පෙට්ටීන්ට දමනු වස් එක්කහු කර ගන්නට මාහැඟි වස්තූන් රාශියක් වන ලැහැබ් තුළ තිබිණි. ගංහෝ දියකඩිති කිමිදැති රෝස, ඇත් දළ පෑ සෞම්‍ය වන් ගල් කැට සහ රන්වන් මිනිරන් කැබලි, ඔවුන් ඔංචිල්ලා පදින පුස්වැල් අසල වැටී ඇති මදට පෑ පුස්වැල් ඇට, තැනින් තැන සැඟවැති මදටිය සහ ඔළිඳැට ඔවුන්ගේ වස්තු පෙට්ටීන් පාට පාටින් විසිතුරු කළේය. ඉඳහිට මොණර පිහාටුද දේදුනු වන් සමනල තටුද වනයෙහි සිට ඔවුන් හමු විය.

ඉතින් දින කිහිපයකට වුවත් කඳුකරය තමා හා ඔහේ දුව පැන නටන ඇයව කෙසේ අමතක කරන්නද?

හුරුපුරුදු කඳුකරය දසුන් පථයෙන් මිදී යාම ඇගේ හිතට හීන් ශෝකයක් ගෙන ආවේ, එනයින්ම කලිසමේ විත්ති සිතින් බැහැර විය. 

එහෙත්, පාසල පසු වුණා පමණි, පාසලට අලුතින් ආ විද්‍යා-ගණිත ගුරුවරයා බසයට නැඟුණේය. අඳෝමැයි, ඔහු හිඳ ගත්තේද රොකට්කාගේ සීයාගේ පසෙකිනි. ඔහු කිහිපවිටක් ඇය දෙස බලනු ඇයට පෙනිණි. ඇඳුම පිළිබඳ යටපත්ව තිබූ හැඟුම් දියබුමක් මෙන් මතු වනු රොකට්කාට දැනිණි. ඇය ලැජ්ජාවෙන් ඇඹරෙන්නට වූවාය. "ඔය ළමයා මොකක්ද ඔය හැඳගෙන ඉන්න ඇඳුම. ගැහැණු ළමයි කලිසම් අඳිනවද?" ඔහු දැන් දැන් සිය දබරැඟිල්ල දිගු කොට අසතැයි ඇය පොරොත්තු වූවාය. එහෙත්, දැන් කරන්නට දෙයක් නැත. සීයා ගිය අවුරුද්දට තෑගි දුන් දුඹුරු පැහැ මල් මල් ගවුම ඇඳගෙන ආවා නම් තිබුණේය. එහෙමත් නැත්නම්, ලොකු අම්මා චිත්‍ර තරගෙන් දිනුවාට මසා දුන් අපූරු ලා රෝස පාට ගවුම අඳින්නටත් තිබිණ. එය 'යෝ යෝ' නමින් හැඳින්වුණු ගලා හැලෙන රෙද්දකින් මසා තිබූ අතර අත් දෙකට සුදු පැහැ ලේස් රැළි පටි අල්ලා අලංකාර කර තිබිණි. එහෙත් උපන්දින තෑග්ග ඇස ගැටුණු විට ඇයට ඒ එකක්වත් සිහි නොවිණ.

බසය නගරයට ළඟා වීමට තවත් සැතපුම් හයක්වත් ඇත. පාසල ළඟ සිට නගරයට දුර සැතපුම් හයක් බව පරිසරය ගුරුතුමිය කීවා රොකට්කාට මතකය. ගණිත-විද්‍යා ගුරුවරයාට ඇය අමතක නම් හොඳය. එහෙත්, ඔහුගේ දකුණු කණට පහළින් උපන් ලපයක් ඇති බව පවා ඇයට මතකය. දකුණු කණට පහළින් උපන් ලපයක් තිබීම වාසනාව ගෙන එන්නේලු!

දුෂ්කර සේවය සඳහා ගණිත-විද්‍යා ගුරුවරයා පාසලට එවා ඇතැයි ගුරුවරියකගේ දුවක වන රොකට්කාගේ මිතුරියක කීවාය. සිහින් සිරුරකින් හෙබි නමුත් 'කඩවසම්' යැයි ඇගේ මිතුරියන් කියන ඔහුගේ කැරලි කොණ්ඩය පවා ඇයට දැන් යාන්තමින් පෙනෙන්නේය. රොකට්කා සීයාත් ආච්චිඅම්මාත් අතරේ හිඳගෙන සිටීම නිසා ඔහු මෙතෙක් වේලා නිහඬව සිටියා විය හැකිය. බසයෙන් බැස යන විටදී ඔහුට රොකට්කා අල්ලා ගත හැකිය. තමන් වඩ වඩා අවුලට පත් කරන සිතිවිලි! ඈ සිතා සිටියේ ප්‍රීතියෙන් පා වෙවී යන්නටය.

එහෙත්, නගරයෙහි බසය නැවතූ සැණින් තරුණ ගුරුවරයා ඇය වෙත සියුම් බැල්මක් හෙළා බසයෙන් බැස ගියේය. ඔහුගේ සියුම් බැල්මෙන් තමා ක්ලාන්ත වන්නාක් මෙන් ඇයට දැනිණ.

දැන් ඒ කරදරය අවසන්ය. ආච්චිඅම්මාගේ ගමට යන ලොරියට ගොඩ වෙන අතරේ ඇයට අපූරු සුවදායක හැඟීමක් දැනෙන්නට විය.

ආච්චිඅම්මාගේ ගම ඉතා පිටිසර ගමකි. නගරයේ සිට තවත් හැතැප්ම දහයක් දොළහක් දුරය. එහි යාමට බස් තිබුණේ ඉඳහිටය. එක පැත්තක් කපා තරප්පු පේළි සවි කළ ලොරි රථ එහි සෙනඟ ගෙන ගියේය. සිතේ කලබලයෙන් දැඩි වෙහෙසට පත්ව සිටි රොකට්කා මඳ වේලාවකින් තද නින්දකට වැටුණෙන්, ඇයට මතක තිබුණේ ලොරිය සිය බඳ ගස්සමින් ගමන ඇරඹූ බව පමණය. ලොරියේ එක පසෙක සවි කර තිබූ බංකුවෙහි හිඳ සිටි ඈ සිය කුඩා අත්වලින් බංකුවට සවි වූ කණුවක් අල්ලා ගෙන සිටියාය. "නැඟිටින්න. නැඟිටින්න" ලොරියෙන් බැසීමට ළංව උරහිසට හෙමින් තට්ටු කළ ආච්චි අම්මා ඇය අවදි කළාය. ඊළඟ නැවතුමේදී ආච්චිඅම්මාගේ මහගෙදරට හැරෙන හන්දිය හමු වූ අතර තිදෙනාම රථයෙන් බැස ගත්හ.

ආච්චිඅම්මාගේ මහ ගෙදරට මංසන්ධියේ සිට තරමක් දුර පයින් ඇවිද යා යුතුය. අප්‍රේල් අලුත් අවුරුද්දටත් අවුරුද්ද අවසාන නිවාඩුවටත් නොවරදවාම ඔවුහු එහි පැමිණියහ. ලොකු අත්තම්මා, ආච්චිඅම්මාගේ අම්මා හැරුණු කොට පියුන් සීයාත් පියුන් ආත්තම්මාත් මහ ගෙදර වාසය කළහ. පියුන් සීයා ආච්චිඅම්මාගේ අයියාය. ලියුම් බෙදීමේ රස්සාව කර ඇති නිසා ගම්මුන් පියුන් සීයා ඇමතුවේ 'පියුම් මහත්තයා' කියාය.

පියුන් සීයාට දූවරු දෙදෙනෙක් වූ අතර ඔවුන්ගේ ගෙවල්දමහ ගෙදරට නුදුරින් පිහිටා තිබිණ. නෑගමේ රොකට්කාගේ ප්‍රියතම කොටස වූයේ ඔවුන්ගේ දූ දරුවන් හා කෙළිදෙළේ යෙදීමය.

ඔවුන් රථයෙන් බසින විට ඉර අහස මුදුන් කොට තිබූ අතර ඉරෙළිය වඩ වඩාත් රැස්ලන්නට විය. 'කුඹුරු හන්දිය' නම් වූ ඒ මංසන්ධිය පාසලකින් සහ කඩපිල් දෙකකින් යුක්ත විය. ළමයින් කල්ලි ගැසී පාසල් පිට්ටනියේ සෙල්ලමේ යෙදී සිටිනු ඇයට පෙනිණි.

නෑ ගෙවල ගෙන යනු පිණිස ගෙන ආ රස කැවිලි පෙට්ටි රොකට්කාගේ පාමුල තැබූ ආච්චිඅම්මාත් සීයාත් කිසිවක් මිලට ගැනීමට කඩපිළට ගොඩ වූහ. තනි සුදු සරමත් අත් දිග සුදු කමිසයත් ඇඳ ගෙන සිටි සීයා තම කමිසයේ යට පැත්තට වන්නට මසා තිබූ සාක්කුවෙන් මුදල් අදින 'යුරු රොකට්කා පාරට වී බලා සිටියාය. සීයාගේ ඉණ බැඳි හම් පටියට ඇල්ලූ අගේ ඇති කහ පාට බොත්තම් සහිත පසුම්බියක් ඇතත් සීයා වැඩි පරිස්සමට මුදල් ලූයේ අර කී කමිස සාක්කුවේය.

ඒ සමඟම ඇසුණු සර බර හඬකින් රොකට්කාගේ දෑස පාසැල් පිට්ටනිය වෙතට යොමු විය. "මෙන්නැ! කෙල්ලෙක් කලිසං ඇඳලා" උස කැහැටු පිරිමි ළමයෙක් මහ හඬින් බෙරිහන් තබන්නට වූයේය. රොකට්කාගේ තොල කට වියැළී යන්නාක් මෙන් ඇයට දැනිණි. මුළු පිට්ටනියේම සිටි ළමයි පාසලේ කම්බි වැට ළඟට දුව එන්නට ගත වූයේ තවත් තප්පර කිහිපයකි. ඉනික්බිති ඔවුහු රිලවුන් මෙන් කම්බි වැට දිගට එල්ලී හූ කියමින් කෑ ගසන්නට වූහ. "මෙන්න කෙල්ලෙක් කලිසං ඇඳලා" ක්‍රීඩා උත්සවයක ඔල්වරසන් නඟන්නාක් මෙන් ඔවුහු මහා හයියෙන් කෑ මොර තැබූහ. සිදු වූ අරුමයෙන් හඬන්නට පවා අමතක වූ රොකට්කා සිහි එළවා ගන්නට හැකි වූ තැන ඊ ඊ ඊ... ගාගෙන හඬන්නට පටන්ගත්තාය.

ඇගේ හැඬීම ඇසුණු සීයාත් ආච්චිඅම්මාත් අඩි ඉක්මන් කොට ඈ වෙත දුව ආහ. ඔවුන් එනු දුටු කොල්ලන් කම්බි වැට අතැර පාසල දිහාට දුවන්ට තබා ගත්හ.

රෝස පෑ කබායක් කුඩා දැරියක දෙබරුන්ගෙන් ගලවාගනිද්දී, කලිසමක් රොකට්කාව මහා කලබගෑනියක පැටලුවේ එසේය.

Picture - Dongmin Lai