Tuesday, March 31, 2015

විරහවෙන් පෙළෙනවා යන්නෙහි තේරුම



විරහවෙන් පෙළෙන කිසිවෙකු
මෝහයෙන් මිදෙන්නේ නැත
විරහවෙන් පෙළෙනවා යන්නෙහි
තේරුමත් ඒකය

ගසා දැමූ බිත්තරයක පැහැයෙන්
සන්ධ්‍යා අහස තැවෙන කල
බලා සිටින්නා මෙන්ය නොනැවත
වඩින්නා යැයි හිරු සුපෙම්වත

සුපිරිසිදු නැත, බොරය
දෙගොඩ තලා ගිය කල ගඟ වතුර
තාරකා'ළියටවත් නොපා කැඩපත
රළ නඟන්නෙය මහ මුහුද

Picture - Alfred Sisley, French, 1839 - 1899

බලන්න වහින වැස්ස



මට පෙනෙන්නේ
මහ පොළොව පවා ගර්භණීව
සරදම් කරනා ලෙසයි
බලන්න වහින වැස්ස
ගොර ගොර ගගා ගංගා ගලන සද්ද
ගස් සිය දෙඅත් සොලව සොලවා
නටන්නට හදන රඟ!

Picture - Eugene Paprocki

Sunday, March 29, 2015

ගංගාවක් සේ ගැඹුරු යැයි සිතූ ආත්මය



ගංගාවක් සේ ගැඹුරු යැයි සිතූ මා ආත්මය
රළ නඟා සෙලවෙන්නෙය
කැරකෙන්නෙය, වියරු වැටෙන්නෙය
සිඳු රළක් මෙන් එසවෙන්නෙය

ධවල පැහැයෙන් යුතු බඩ මහත
රාජාලියෙකු මෙන් මිදී යමි දියෙහි
සිප්පි කටුවක් මෙන් සැඟව යමි රළෙහි
එහෙත් එක වර සිඳු රළ පසාරු කරගෙන පැමිණෙන මෝරෙක්
ගිල දමන්නෙය, විසි කරන්නෙය මා ගෙන අත්ලට

සන්ධ්‍යාවේ පාණ්ඩු පැහැය කලඹන්නෙය නෙරළු තුරු
ක්ෂය රෝගය වැළඳ මෙන් පෙණ දමා කහින්නෙය රළ
මියෙන්නට ආසන්නය අහස කොලරාව වැළඳ මෙනි
ගැඹුරු යැයි සිතු අහස් කුස මිය යන්නෙය තාරකාවන්

Picture - Fealing Lin
Inspired by නදියේ ගීතය

රළ



ඊර්ෂ්‍යාවෙන් වෙළෙවි අත්වලින්
මුහුදු මතු පිට පසුරු ගාන්නට විය
තාරකා'ළියක මුදු යැයි සිතන්නේ කොහොමදැයි
හැඩි දැඩි අත්වලින් අසන්නට විය
වැටකෙයියා පඳුරු
කිකිළියන් මෙන් කෙකර ගාන්නට විය
රළ ආවේ එහෙමය

Picture - Heade, Martin (American, 1819-1904)

Wednesday, March 25, 2015

මං මගේ හිත හොයනවා



උදයම කාමරයට වදිනවා
වැඩ පමා මන්ද අහනවා
ඇමතිතුමාට කියන්නද ස්ටාෆ් වැඩි කරන්නද
කතා ලොරියක් අදිනවා

හපුතලේ කන්ද පෙනෙනවා
මීදුම් ගොන්න ඇදෙනවා
නිම්නයක් නිම්නයක් පාසා
මං මගේ හිත හොයනවා
ඇමතිතුමාට කියන්නද ස්ටාෆ් වැඩි කරන්නද
කතා ලොරියක් අදිනවා

කඳුකරේ දිය ගඟුල් අතරේ
අතුරුදන් වී පලා ගිය හිත
වලා සළුපිළි මෑත් කර කර
කඩිමුඩියෙ මං හොයනවා
වැඩ පමා මන්ද අහනවා

Picture - Jim Daly

එහෙමය පෙනෙන්නේ වන මල්



කැතරින් මට දැන්
එහෙමය පෙනෙන්නේ වන මල්
ඔබෙ නුවන් රතු තොල්
පුබුදුවයි කඳු අතර මල්

ඔබමය ගන දීප්ත අහස
ඔබමය පාණ්ඩු පාට සන්ධ්‍යාව
ඔබමය රළ නොනඟා නිදන විල
ඔබමය ගොස නඟා ගලන ගඟ

සංසාරය වගේ වක් වෙලා
එහෙමය පෙනෙන්නේ රන් වලා
ඔබේ ඇස් අතර රොක් වෙලා
කඳු පවා හිඳී ගල් වෙලා

Picture - Adolf Mosengel

විකාරයක් වෙන්න ඇති



බිනර මල්වල දම් පාට
නගරයට තරං නැතුවැති
හඬන වැස්සෙහි නිල් පාට
හඬන ඇසකට කම් නැති

ගෙවල් හදනවට වාහන තියෙනවට
ගන්ධබ්බයෙක් වුණත් කැමති ඇති
කවි ලියන වැස්සෙහි නටන්නියක
විකාරයක් වෙන්න ඇති

Picture - Elisabeth Sonrel

Sunday, March 22, 2015

යතුරු කැරැල්ලක සීනු හඬ


රැයෙහි මට ඇසුණි
යතුරු කැරැල්ලක සීනු හඬ නින්නාද දෙන
හද අගුල තර කර ගත යුතුය සිතුණි මට
කිසිවෙකුට පැමිණිය නොහැකි ලෙස
එහෙත් හැර තිබුණි දොර පුරුදු ලෙස

ඈතින් නාද දුණි මහ මුහුද නිබඳව
කුඩා සිප්පි කටුවක් මඳ සිනා නැඟුවා නිසලව

Picture - Atanas Matsoureff

Saturday, March 21, 2015

සොරා ගත් සිනහව



මල් උයනක විල් තලයක
ඔබත් ඇයත් හමුවුණි මට
මගෙන් සොරා ගත් සිනහව
අලවා තිබුණා
ඇය මුව

@ World Poetry Day
Picture - Robert Duncan

ප්‍රිස්මයක් වගේ මිනිසෙක්



තාත්තේ ඔබ හිටිය නම්
දේදුන්නක් වගේ බැබළි බැබළි
දීග යන්න තිබුණා මට
අඳුරට අත දල්වාගෙන
මම කීවෙමි

අතීතයේ පස බිඳ බිඳ
මහ පොළොවෙන් ඔබ මතු විය
"දුවේ ඔබට වැරදී ඇත
මවු-පිය ගුණ දොස් වය වය
රිදව රිදව තව තව හද
හැර ගිය මිනිසුන් අතරෙහි
සැඩ හිරු රැස දරා උරා
දේදුන්නක් මෙන් හැඩ කළ
ප්‍රිස්මයක් වගේ මිනිසෙක්
මුණ ගැහෙන්නෙ කොහොම එවිට"

මහ කළුවක වුවද පලිඟු
මා වට කළ ආලෝකය
අතර පියා විහිද නටමි
දේදුන්නක් මෙන් බැබළෙමි

Picture - Lauri Blank

ආයෙම උදෑසනක් එනව ඇති



නැගෙනහිර ශිඛර නිදාගන්නට සැරසෙද්දි මැදියම
එපා වියළි පතකින් සර සර බිඳවන්න
ඉර කොහේ හෝ තැනක ඇති
අඳුරෙම වුණත් ගංගා ගලනවා ඇති
මොකක් හෝ හේතුවක් හොයාගෙන ආයෙම
අහසට නඟින බව දන්නවත් ඇති

ශංකර් මගේ හිත අරගෙන
කඳු කොපුල් තැඹිලි පෑ වෙනවැති
ආයෙම උදෑසනක් එනව ඇති

Picture - "Glengarry Castle" (presented, 1889) By George Blackie Sticks, British Artist (1843 - 1938)

මට තියෙන්නෙ කඳු ගැන අර්බුද



මුලු ලෝකෙම එක වර
ලෝක කුසලානය ගැන කතා කරද්දි
මට තියෙන්නෙ කඳු ගැන අර්බුද
රොබරෝසියා ගස් කොළඹටම මිස
කඳුකරයට ගැලපෙනවද
කඳුකරයේ රොබරෝසියාවලින් වැහෙන කුඩා මල් විතරක්ද
කුරුල්ලන් පවා කතාවෙනව නම් එහෙම
මට තියෙන්නේ කඳු ගැන අර්බුද

Picture - Robert Julian Onderdonk, from San Antonio, Texas (1882 - 1922)

Epilogue



මුළු කඳුකරය පුරා ඔබ මියැසි සර ගිගුම් දෙද්දි
ඔබට නොව මගේ පෙම කඳු වෙතය හිතාගන්නත් බැරි වෙද්දි
හැම මල් සුවඳක්ම සුළඟ හා 'විත් සිපගද්දි
මට දැනුණෙ ඔයා කවියක් වගේ මුමුණද්දි
එක වරම හිත අතැර කඳු උසින් ගිරි හෙළට
නවතින්න බැරි තරං ආදරය හිඟ වෙද්දි
නවතින්න එකම එක හේතුවක් නැති වෙද්දි
එකම එක මොහොතකදි මා අතැර ඔබ හිනැහෙද්දි

ඒ දුකට එකමෙක අකුරක් ලියාගන්න බෑ
අකුරු දහසක් ලියුවත් දුක නිවා ගන්න බෑ
විරිතක් තාලයක් තවමත් සොයාගන්න බෑ
සල්ලි තිබුණට ආදරයක් තිබිල නෑ
ඒක කොච්චර දරුණුද කියනවා නම්
ආදරයක් නොතිබුණු බව හිතා ගන්නත් බෑ

Picture - George Blackie Sticks, British Artist (1843 - 1938)

හදවත නැති මිනිසෙක්



මට හමුවෙද්දි ඔයා හිටියෙ
අගස්ති මැණිකක් වගේ දිලිහි දිලිහි
කඳුකරයෙ පයින් අතු අතරින් ගලා එන
සූර්ය කදම්භයක් වගේ බැබළි බැබළි

මීට වඩා දෙයක් කියන්නට බෑ
ඉන් පස්සෙ හැමදේම අමතකයි මට
සමහර විට හීනයක් වෙන්න ඇති
හදවත නැති මිනිසෙක් මුණ ගැහුණු එක

Picture - Stacey Peterson, from Evergreen, Colorado, US (b. 1978)

Tuesday, March 17, 2015

මඟ ඇරෙන්නට ඇති



මුළු චිත්‍රපටියම විරහවේ වේදනාවෙන් 
දෝංකාර දෙන්නට විය
සංගීතය වුව විලාපයක්ය
ඔහු සිටි තැනට තබා බැලුවෙමි වෙන අය
මගේ හද මත මහා හැඬුමක් විය

_____________________________

බැස ඔබ තුළට
ඔබ නොවන ඔබ හැර යන්න
බිඳෙන් බිඳ මකනයෙන් බිඳුණු තැන්
පිරි මදින්නට දෙන්න

_____________________________

ඔබ අත අත් හැරුණෙක පවා කවියකි
එහෙත් එය ඉකි බිඳින කවියකි
___________________________

මට වැරදුණේ නැත
මඟ හැරුණේද නැත ඔබ
ඔබට වැරදෙන්න ඇති
මඟ ඇරෙන්නට ඇති මම

Picture - Atanas Matsoureff

Sunday, March 15, 2015

Fifty Shades of Grey



විරහවේ වේදනාව
සියුම් ඉරිතලවලින් කපා හැරියෙමි
සිතේ තැන් තැන් බිඳී ලේ ගලයි
"සිඹින්නට දෙන්න ඔබ ලවන
විඳින්නට දෙන්න කෙස රළු උවන"
මහා වැස්සක්ව හිත කෑ ගසයි
විරහවේ වේදනා ඉරිතලයි

රාත්‍රිය පහන් වෙයි
තනිකම අඳුර වෙන් කරයි
කුඩා දරුවෙකු රැඳී ඇති තැනෙක ඔබ සිත
පීරා පෙම්වතෙකු සොයා ගත නොහැකිමද
ඔබ ඔබ වෙන මඟ, ඔබ නොවන කල

සිරකරලන්න ගෙල
බැඳ ලන්න දෙපා අත්
ඒත් සකිසඳ
මුදාලනු මැන ම'හද

வழமை போலவே தெருவில் அரசி



தங்கச் சாயம் பூசிய ஆகாயத்தினூடே
தூரத்தே தென்படுகிறது சுவர்க்கம்
ஞாயிறு அந்தியில் நடந்து செல்கிறேன் அரசி
வழமைபோலவே தெருவில்

இடையிடையே பூதங்களின் வடிவெடுத்து வந்துசெல்லும்
மோட்டார் வண்டியன்றி வேறேதுமில்லாதவிடத்து
ஆழ்ந்த தனிமையொன்று வந்து
எனக்கு இணையாக நடந்து செல்லும்
ஆவியொன்றோவென நான் எண்ணும்படியாக

சட சடவென்று மழைத்துளிகள் வீழ்கையில்
சுவர்க்கத்திலிருந்து வெளியே வீசப்படுகிறேன்
காற்று நிலத்தில் வீழ்த்தும்
சருகுகளைப் பொறுக்கும் இளைஞனொருவன்
வழிப்பாதையின் ஒரு மூலையில்
அதிர்ச்சியோடு பார்த்தவாறு...

- ஷஸிகா அமாலி முணசிங்க

Original Post - රැජිණ පාරෙහි පුරුදු ලෙස
Translated by M. Rishan Shareef
Picture - Gerald Harvey Jones

இக் கணத்தின் யதார்த்தம் - මේ මොහොතය සත්‍යය



சேலைத் தலைப்பை இழுத்துக் கீழே தள்ளி விட்டு
பருத்த ஆண்கள் பேரூந்தில் ஏறுகையில்
தயக்கத்தோடு படியில் தொற்றிக் கொள்கிறேன்
பேருந்தின் கர்ப்பத்துக்குள்
மெதுமெதுவாகத் தள்ளப்படுகிறேன்

வியர்வையில் தெப்பமாகி
இடைவெளிகளிடையே நகர்த்தப்படுகிறேன்
விழுந்திடாதிருக்க முயற்சிக்கிறேன்
சரிகிறேன் எழுகிறேன்
சூழவும் எதுவும் தென்படாத அதியுச்ச தள்ளுகைகளிடையே
நான் சிந்திக்கிறேன்

‘யார் நான்
கவிஞரா
மிக அழகிய இளம்பெண்ணா
அவ்வாறும் இல்லையெனில்
உயர் பதவியேதும் வகிப்பவளா
காதலியா தாயா அன்பான மனைவியொருத்தியா
இதில் எது பொய்யானது
தீயாயெரியும் பேருந்தொன்றுக்குள் சிறைப்பட்டு
களைப்போடு துயருறும் விலங்கொன்றுதான் நானன்றி
இக் கணத்தில் வேறெவர்?’

யதார்த்தம் என்பது என்ன
பேருந்திலிருந்து இறங்கி
வீட்டில் காலடி வைக்கும் கணம்
குறித்துக் கனவு காண வேண்டுமா
குளிர்ந்த நீரில் உடல் கழுவி
தேனீரைச் சுவைக்கும் விதம் பற்றிச் சிந்திக்க வேண்டுமா
எனில் யதார்த்தம் எனப்படுவது இக் கணம்தான்
பெரும் காரிருளில் மூழ்கி
இருப்பின் துயரத்தை அனுபவிக்கும் விலங்கொன்றாக மட்டும்
என்னை நானே சந்திக்கும் இக் கணம்
‘நான்’ வீழ்ந்துடைந்து அழிந்துபோகும் இக் கணம்

கவிஞனான போதும்
இடரை அனுபவிப்பது இப் பேரூந்தினுள்ளேதான்
வைத்தியரோ வேறெவராயினுமொருவரோ
பெண்ணோ ஆணோ
தெள்ளத் தெளிவாகத் துயரனுபவிக்கும்
விலங்கொன்றன்றி வேறெவர்
இது இக் கணத்தின் யதார்த்தம்
இக் கணம் துயரத்திலிருந்து தப்பிக்கச் செய்யும்
கதவைக் காணக் கூடிய கணம்

பேரூந்திலிருந்து இறங்கிச் செல்ல முன்பு
வெளிச்சம் என்னை நெருங்கட்டும்
இவ் வாழ்வைப் பிணைத்திருக்கும் கயிறு தளர்ந்து போகட்டும்.


- ஷஸிகா அமாலி முணசிங்க

Translated by M. Rishan Shareef
Picture - Diana Pascu

வாழ்வென்பதன் ஒத்த கருத்து - ජීවිතයට ඇති සමාන පදයකි



ஜீவிதத்துக்கென இருக்கும்
ஒத்த கருத்துச் சொல் மரணம்
யாரும் உனக்குக் கற்றுக் கொடுக்காத
நீ தனித்துக் கற்றுக்கொள்ள வேண்டிய

முடிவற்றது மரணத்தினூடான வாழ்க்கை
அவ்வாறே மரணத்தினூடான மரணமும்
எனில் இரண்டிற்குமிடையே
ஏது வேறுபாடு
ஒத்த கருத்தன்றி

- ஷஸிகா அமாலி முணசிங்க

Original Post - ජීවිතයට ඇති සමාන පදයකි
Translated by M. Rishan Shareef
Picture - Benjamin M. Williamson

මං කැමති යන්න - ආයෙම නොඑන්න



මං කැමති යන්න
ආයෙම නොඑන්න
වතු සුදු මල් අඬන කොට ගිලන් වූ විලාසෙන්
මන්දාරමක් වගේ තනි වෙලා ඉන්න
මං කැමති යන්න
ආයෙම නො එන්න

වලා උගුරක් උරා කඳු හිස
මිහිදුම මුදා හැර නිම්නය
මං කැමති මල් සුවඳ වෙලා ඉන්න
සුළඟ හා පාවෙලා යන්න

කලා සිඳවා අමාවක රැය
පහන් තරුවක් වැටේ ගඟ දිය
මං කැමති මුනිවත දරා ගන්න
නිසල වී නික්මිලා යන්න

Picture - Rudolf von Alt (1812-1905)

මං කැමති යන්න


මම කැමති යන්න
යනව වගේම ආපහු නොඑන්න
පැමිණියත් ජීවත්වෙන්න වෙලාවක්
හොයාගන්න එක කොතරම් අසීරුද

ෆයිල් මිටි මිටි මේසෙට එන කොට
පෙරළ පෙරළා පිටු පිටු අත්සන් කරන කොට
මගේ නොවෙන මගෙම අත්සනක්
අකුරින් තීන්තෙන් හිරවෙලා අඬන කොට
හුස්ම ගන්නව වුණත්
ජීවත්වෙන්න වෙලාවක් නැති කොට

ගෙදර 'විත් ලහි-ලහියෙ වැඩ කරන කොට
ලියන්නට ඇති නිබන්ධන, තීන්දු හිසම හිර කරන කොට
මුළු ලොවම රාජකාරියෙන් හුස්ම ගන්න කොට
විවේක නිවාඩු ගන්න පෑනකටවත් බැරි කොට
පිට-කොඳු පවා රැයෙහි හඬන කාර්යාල ඇති කොට
රජයක් වුණත් අන්තිමට එකෙකුට දෙන්නෙකුට අයිති කොට
ජීවත්වෙන - කවි ලියන - කසල කැබැල්ලකින්වත් මහ පොළොව නොපාරන උන්
රටකට වැඩක් නැති කොට

අහසින් වලා උගුරක් උරා මිහිදුම පෙරන කඳු අස
හරිත පෑ ළපැළ'තර නිදියන්න
කඳු අතරින් ගලා එන සැරියුත්-මුගලන් මල් සුවඳ
සදාකාලික ලෝකෙකට යන්න

මං කැමති යන්න
ආයෙම නොඑන්න

Picture - Galina Ershova

Friday, March 13, 2015

ගෙජ්ජි හඬ වැස්ස


බිබිලට තද වැස්ස
හිකි හිකි ගා කජු කොළ හිනාවෙනවැති
ගෙජ්ජි හඬකින් දිය පිරී දොළ ගලනවැති
හබරල අතු පළිඟු මිණි දියට දමනව ඇති
තටු ගසා සැඟවුණු කොවුලෙක්
අවුරුදු ළඟැයි ගයන්නට තනනව ඇති

මදටිය, ඔළිඳ ඇට යටි වියන යට සැඟවෙනවැති
කෝච්චියක් මොකටදැයි හිවලෙක් හඬ නඟා අහනවැති
තිඹිරි ගස් තැඹිලි පැහැ මිණි මාල දියෙන් ඔප දමනව ඇති
අම්මා විතරක් බංකුවට විත් මහ පාර බලනව ඇති

Picture - Robert Hagan

Thursday, March 12, 2015

තද වැස්ස


කොළඹ මඳ වලාකුළු

මෙන්න පොඩි මාර මල් නටනවා
බිබිලට තද වැස්ස
සිංගප්පූරුවට අව්ව
පරිගණක තිරය මට කියනවා
මොන අපූරුවක්ද තොප හට
මම තදින් අහනවා

Picture - W. Rahman Sami

Saturday, March 7, 2015

කලඹන්න පුළුවන්ද පොකුණු දිය



කහ ගැහුණු ධෝතියක් හැඳ
බොකුටු වූ කැරළි කෙසින් යුතුව
ඔබ හිඳ සිටියේය
රඹ පැහැ ගත් ගල් තලාවලින් වට
පොකුණු ගැට්ටක
සන්ධ්‍යාව එළඹෙද්දී
එකම එක වදනක් ඇසුවේය ඔබ මගෙන්
"කැමතිද?"

අහෝ පෙම්වත
සිය දහස් වසර දුර ඈත
බැඳුමකිය ඔබේ ඇස
ශීත සෘතුවක පවා
උණුසුම ගෙනෙයි මතකය

බැල තණ නටුවකින්
කලඹන්න පුළුවන්ද
ඔබට ආයෙම පොකුණු දිය?

Picture - Anastasov Oleg

Friday, March 6, 2015

ඉපදීම නම් දුකකි

 

නිකමෙකු මෙන් යන බැවින් හැමතැන
රජුනට හඳුනා ගත නොහැකි දුක් දනිමි
රෝහලක් තරම් පාරුවක් නැති බව තරණයට
දනිමි හඳුනමි

තැන තැන කාශ රෝගයෙන් පෙළෙන්නන්
වාරු වී ජීවිතයට කඳුළු සලන්නන්
පෝලිම් පේළිවල තැවෙන්නන්
අකුරුත් නොමැති තැන විරිතක් සොයන්නන්

පංගුවක් ඉහළ අය පේළි පැන කොතෙකුත්
රිංගුවත් ඉවසනු හැර නොමැත මඟකුත්
තුණ්ඩුවක් ලියන්නට යයි පැයක් දෙකකුත්
සණ්ඩුවක් වෙන්නෙ කොහොමද නොමැත පයකුත්

"දුවේ දැක්කා නේද කට කැඩුණු කළ බුරන"
වෙවුල වෙවුලා අසයි වියපත් මවක් හඬන
"පත් කර ගත්තු ආණ්ඩුව, දැක්කද දැන් මුන්ගෙ කට"
ඇස් රතු කර ගත්ත මිනිසෙකුය මුමුණන

ඉපදීම නම් දුකකි, ඉපදීම නම් දුකකි
ඉපදීම නම් දුකකි, ඉපදීම නම් දුකකි
යළි යළිත් ඉපදෙනා රෝගයයි
නිට්ටාවටම සුව කළ යුතුයි

Picture - Firmin Baes

Wednesday, March 4, 2015

වග කියන් නැතුව ඇති නේද ඔබ?

---------රැකියාවකට ඇතුළු වීමේදී වෛද්‍ය වාර්තාවක් සැපයීමට ඇති අතර තිබෙන නිවාඩුවත් ලබාගැනීමේ අපහසුතාව මත මට වෛද්‍ය පරීක්ෂණ ආරම්භ කිරීමට සිදු වුණේ ඈත පළාතක රෝහලකින්ය. එහි නොමැති පරීක්ෂණ අගනුවර රෝහලකින් කරගැනීමට සිදු විය. එහිදී එක් ඉහළ නිලධර මුවකින්, "මේකෙන් වෙන්නෙ මෙයාට කණේ කැක්කුමක් හැදුණත් වග කියන්න ඕනි අපියි" කියැවිණ. කළයුත්ත නම්, මා විසින් එය නොසලකා හැරීමය. ඒ ගැන කවි ලිවීමක් කොයි විටෙකවත් සිදු නොවිය යුතුය. එහෙයින්, සහෘදයෙනි, ලියූ කවියක ලෙස මෙය නොසලකන්න.

මැතිනිය
මගේ කාර්යාලයට නොඑයි කිසි විටෙක
බුලත්විටක් හපමින්
සරමක් කමිසයක් ඇඳ ගත්
මගේ ගමේ මිනිසෙක්
අව්‍යාජ සිනහවකට වුව
හදවතම දිය හැකි මිනිසෙක්

එන්නේය මා වෙත
කොණ්ඩය පාට ගා කෙළින් කරගත්
තොල් සායම් ගා සිංහල පවා නුහුරට
කතා කරනා දන බොහෝ
නොසලකා හැර නැත ඔවුන්
ඉටු කර ඇත කළ යුතු කවරක්ද
කතා කර ඇත ප්‍රසන්නව
හදවතින්ම පැමිණ ඇත එය
ඔවුන්ට පහසු බස ඉංග්‍රීසිය නම් ඉංග්‍රීසියෙන්ද
ඔවුන්ට පහසු බස සිංහල නම් සිංහලෙන්ද
ඔවුන්ට පහසු බස වෙනත් හැකි බසක් නම් එබසින්ද
සලකා නැත ඔවුන් කොයිබින් කොයිබටද
වැඩ කර ඇත සවස් වන තුරුම
කොඳු ඇට කෙඳිරි ගෑවෙන තරමටම
අකාරුණික එකදු වදනක් තබා නැත
මා'බියසට වන් කිසිවෙකුට

මැතිනිය සැබවි
කණ කැක්කුමක් සැදී නැතත් කිසි දිනෙක
වගකීම ගත නොහැක ඔබලාට
අගනුවර ඔබලාට පමණක්ද
නොසිතමි අත්සනක් තැබු පමණින්
වගකීමක් ගත හැකියි කවරෙකුටත්
සංසාරයම දුක්ඛිතය
රෝ බියෙන් පිරී ඇත
කොල කොඩවන්නක් මෙන්
අකරුණාවන්ත අය ළඟ තැලෙන්නෙය හිත
නිදුකින් ඇවිද ඇති 'මුත් මෙතුවක්
දෙවියෙකුටවත් ගත හැකිද වගකීමක්

මිනිස් සිරුරම රෝගයක්ය
ජීවිතයම රෝගයක්ය

එහෙත් මැතිනිය
ඔබ රෝහලට වන් තැන පටන්
කණ කටුක වදන් පැමිණ
මා හෘදය පලන්නට විය
ඔබගේ පහළ සේවකයන්
පිහිතලවලින් කපා හැරියේය එහි තැනින් තැන
කුටි දොරක් දොරක් ගානේ
පිපිර ගියේය වචන
තැලී ගියේය මිනිස් හදවත්
හැරමිටියට වාරු ගත් අය පවා
දිගින් දිගටම ඇනීමෙන් වෙහෙසට වන්හ
කම්කරුවෝ තැන තැන
දුකින් බරිත හදවත් සදා දුකකට පත් කළෝය

ඉතින් මැතිනිය
එවන් හදක් මිය ගියත් සැණින්
වග කියන් නැතුව ඇති නේද ඔබ?

Picture - Jim Dine (American; Contemporary, Pop Art; b. 1935): The Little Heart in the Landscape

Tuesday, March 3, 2015

මා ඔබ ගැන ගයන ගී නෑසෙනවාවත්ද



මට ලියන්නට පුළුවන්
මම ඔබ ගැන ලියනවා
මට කතා කරන්නට පුළුවන්
මම ඔබ ගැන කතා කරනවා
මේ ලොව සියලු ගහ කොළ මල් පවා මට ඇසෙන්නේ
ඔබ ගැන කතා කරනා ලෙසයි

සීත සෘතුවේ ඉහිරී ගිය
කිරි කළසක් වගේ කඳු පෙනෙන කොට
තැන තැන තණ බිම්හි බැටළුවන් රඟන කොට
ඔබ එහි නැතැයි අමතකව මෙන්
ඉඳ හිට තැනි බිම තුරු අත් සලන කොට
මුළු ලොව එකම සිතුවමක් වී
ඔබම විතරක් එහි පෙනෙන කොට
ලාක් කුරුල්ලෙකුටවත් හැකිද
ඔබ ගැන කතා නොමව සිටින්නට

තණ පලස් අතර ගලා ගිය ගංගා
ගල් ගැසී හුස්මක් නැතිව
නතර වූවාක් මෙන්ය එකවර
එක් හදවතක් එක අයෙකු ළඟ
විස්සෝපයෙන් බිමට හැලී ගෙන
කඳුළු පිස දා ගත් විලෝ තුර රැළි ගවුම
සීත සුළං 'විත් කොනිති ලන විට විටින් විට
මා ඔබ ගැන ගයන ගී නෑසෙනවාවත්ද

Picture - Charles Napier Hemy