Wednesday, October 29, 2014

ගිලී මිය යනු පිණිස පැමිණෙන්න ඔබ



සරතයේ උත්කෘෂ්ටය තුළ
ගිලී මියයන කල
වසන්තය සොයා හඬන ඔබ ගැන
ගයයි පත් සමඟ නටන සුළඟ

ඔබේ ගවුමේ මෝස්තරයක්ද
තණබිම් මත වැතිර  විසිරි මිණි මෙන් ඉඟි මරන්නේ
සරත් සමයේ ප්‍රේමයෙනි මා සොඳුර
ගිලී මිය යනු පිණිස පැමිණෙන්න ඔබ

Picture - Himali N. Liyanage

මේ කවිය විසි කරමි අහසට!



නුබ ගැසූ කම්මුල් පහරට
ගැලවිලා විසි වුණා කඳු බඳ
ලේ ගලන වගුරක්ව හදවත
වැළලුණා සීතල කඳුරු යට
සුරුවමට මල් තියද්දිත් අපි
මිමිණුවේ පෙම් බැන්ඳු කඳු ගැන
පිහිට ආරක්සාව දෙන්නට
පොලතු වහලින් පෙනෙන අහසට

මලක් ඉල්ලූ නමුත් කිසි විට
මලක් නොලදෙන් පරළු දෑතට
මේ කවිය විසි කරමි අහසට
නිදමි පස් යට පුරුදු විදිහට

Picture - Arthur Dove (American, Modernism, 1880–1946): Red Sun

සමනලයෙක් වෙන්න!



ගිනි පුපුරකට බැරිද සමනලයෙක් වෙන්න*
උස් අහස පීරා කඳු මුහුළ දැවටෙන්න
නිල් සයුර කලඹන්න
තඹර 'දර නැවතෙන්න
සමනලයෙක් වෙන්න
සමනලයෙක් වෙන්න

කෝවිලේ පහන් වැට වගේ ඔබ
මා හදේ නිබඳ දැල්වේ
බැරිද දුනු හී අකුණු අතර මඟ වලලන්න
සමනලයෙක් වෙන්න!

*inspired by Tharurasi
Picture - You know what :)

Monday, October 27, 2014

දිනෙක අපි හමුවේවී



දිනෙක අපි හමුවේවී
නොදන්නා නගරයක
හිම මිදුණු කඳු මුහුළ සිසිරයක සරතයක
ඉතින් අපි හමුවේවී
කොහේ හෝ නොදන්නා මංපෙතක
හිනාවෙන්නට අපට
කතා නැතුවම පෙර වගේ
කතා නැතුවම පෙර වගේ

ඉතින් අපි හමුවේවි
එදා වගෙ ගොලු වේවි
අසුරු සැණකට දෑස
වසන්තය හමුවේවි

හිම මිදුණු කඳු මුහුළ
සිසිරයක සරතයක
සියලු පැහැයෙන් සුවඳ
සහස් මල් පිබිදේවි

Picture - Emerico Toth

Saturday, October 25, 2014

නිදන්නෙය නා මලක්



සංසාරයට ඇති
කවුළුපත් වසමින්
නිදන්නෙය නා මලක්
උදෑසන

Picture - Maria Ilieva

දෙව්දාර තුරු පතක්



හිත මත ඇමිණෙන හැටි
බූවල්ලෙකු මෙන්
දෙව්දාර තුරු පතක්

Picture - Carlos Blanco

අමතකව යන පුදුම!



පලිඟු කැට ගලා එයි
කවුළුවෙන් යහනතට
නිකමට මෙන් හැරී
ඉන්නවාදැයි බලමි නුඹ
අමතකව යන පුදුම
සමහර දේ තවම!

Picture - Heide Presse

Friday, October 24, 2014

මේ මොහොතය සත්‍යය



සාරි පොට ඇද බිම දමා
තඩි පිරිමි බසයට නඟිද්දී
තෙරපෙමින් පා පුවරුවට නැඟ ගනිමි
බසයේ ගර්භයට හෙමි හෙමින් තල්ලු වෙමි

දහදියෙන් තෙරපෙමින් අවකාශ අතර ගැටෙමි
වැරෙන් නොවැටී සිටිමි
වැටෙමි නැඟිටිමි
වටපිට කිසිත් නොපෙනෙන අතිමහත් තෙරපුම් අතර
මම සිතමි

"කවරෙක්ද මා
කවියෙක්ද අතිශය සුන්දර යුවතියක්ද
එසේත් නැත්නම් වෙනත් ඉහළ නිලයක් දරන්නෙක්ද
පෙම්වතියක්ද මවක්ද පිය බිරිඳක්ද
අහෝ කවර අසත්‍යයක්ද
මේ මොහොතෙහි අන් කවරෙක්ද
විඩාවෙන් ගිනිගැනෙන බසයක සිරව
දුක් විඳින සත්ත්වයෙකු නොවන්නෙම්ද?

සත්‍යය යනු කුමක්ද
බසයෙන් බැස ගෙට ගොඩ වෙන මොහොතක් ගැන සිහින දැකිය යුතුද
සිහිලඹෙන් ගත දොවා තේ කෝප්පයක් රස විඳින අයුර සිතිය යුතුද
එහෙත් සත්‍යය නම් මේ මොහොතය
මහා අන්ධකාරයක ගිලී සංසාර දුක විඳින සත්ත්වයෙකු ලෙස පමණක්
මට මා හමුවන මොහොතය
'මම' සිඳී බිඳී දියව යන මොහොතය

කවියෙකුද දුක් විඳින්නේ මේ බසය මැද
වෙදදුරෙකුද වෙනත් යම් කිසිවෙක්ද
ගැහැනියක්ද පිරිමියෙක්ද
හුදු සසර දුක් විඳින සත්ත්වයෙකු මිස අන් කවරෙක්ද
මේ මොහොතය සත්‍යය
මේ මොහොතය දුකින් මිදෙන දොරටුව දැකිය හැකි මොහොත

බසයෙන් බැස යනු පෙර ආලෝකයට මා ළඟා වේවා
සසරට බැඳී ඇති වර පට ලිහී ගිලිහේවා!!"

Picture - Michael Tolleson

Thursday, October 23, 2014

දිය පාර



දොළපාරවල් අසල සුරංගනා ලෝක ඇති
පොඩි ළමෝ පමණක් සුර ලෝක සොයා ගති
පිරිසිදු සුළං අතර බත්කූරු පියාපෙති
සුරලොවට ඇවිද යන අඩිපාර මවයි නිති

කුඩා මිනිරන් කැටිති මැසූ සාරිය රළැති
ලෙළව ලෙළවා නිතොර දිය නාන ගල් කැටිති!



"කොහේද මේ යන්නේ සිනා සිසී දිය පාර?"
කුඩා නිල් කුරුල්ලෙක් අසයි අත් ගසමින්
මීදුමින් වැසී ගිය කෙස් කලඹ සලමින්
කඳු පියැස්සක් වෙතට ඇදී යන්නේ ඈ

Picture - Dusan Malobabic, Jose Manuel Ruiz Blanco

Tuesday, October 21, 2014

අනේ මට ඕක් පතක් එවන්න



සුළඟ හා බිමට පාත් වෙන
ඕක් මේපල් පත් යටින් ඇවිද යන කල ඔබ
හිස රැඳෙන ඕක් පතක් අහුලා
එවන්නට හැකිද මට

උදෑසන පිනි බිඳු හා
සෝවියට් සීත සුළඟින් නැහැවෙන
සවස් කල රන්වන් තණ බිම් මතට පාත් වෙන
පියෝනී මලක් පුළුවනිද එවන්න

කොතරම් ලියා තිබුණත්
ඕක් මේපල් විස්ටාරියා මල් ගැන
මිතුරිය අමතකද ඔබට
පෙම් බඳින තුරු පත් මල් පෙතිවලටත්
දේශ සීමා ඇති වග

පියෝනී මලකට කියනවද?
විස්ටාරියා මලකට
පියෝනී

Picture - Theodore Clement Steele, American, 1847 - 1926, Flower Garden at Brookville

Sunday, October 19, 2014

සිත්තරාණෙනි ම'හද වසනු මැන විසිරි පැහැයෙන්



සඳ නැඟෙන කොට සොඳුර විල දියට බැස එන්න
නෙළුම් කොඳ අතර දුර සිතිජයට පාවෙන්න
විල නඟන රළ කලඹ මත සසඳ සඟවන්න
රෑහියන් ඉගිල යන ගණ රැයට එළඹෙන්න

සිත්තරාණෙනි ම'හද වසනු මැන විසිරි පැහැයෙන්
සුදු නෙළුම් මිටක් ගෙන තබනු මැන ගැගෙන හදගින්
ප්‍රේමයට උවම් දෙන කවියක්ව ඔබේ සුරතින්
ගිලිහ යන්නට පෙර අඳිනු මැන... අඳිනු මැන ම'හද පැහැයෙන්

Picture - Ricardo Sanz Español

නැවතීම වන කලෙක සියලු දෙය රැඳි අරුත



මෝසමට දුවනු මිස නතර වෙන්නට හැකිද
ජීවිතය කියා කිසිවක් ඇතිද
මල් පිපෙන වැසි වැටෙන කඳු අතර ඇවිද යමි
ජීවිතේ අරුත මඟ හැරෙන බව අනුදනිමි

Picture - Oleg Tokarev

Monday, October 13, 2014

සමරට සහ මලිතිට පණිවිඩයක්!



සමර දන්වා අතුරුදහන් විය
මලිති නොදන්වා අතුරුදහන් විය
දන්වා හෝ නොදන්වා හෝ
අතුරුදහන් වීම තහනම්ය මිතුරන්ට

නොදන්නවා නම් එය
දැනගතයුතුය දැන්වත්

Picture - Barbara Rosbe Felisky

A moment to cherish a life time !!!



පැතු පැතු දේ හිමි වීම
සිහිනයක් නොවන කල
ලියා තැබිය යුතුය එය
ඉගෙනීමට මතු ඔබට

දුර බැහැර ඈත සිට
ආ ගමන යනෙන තැන්
සිතා බැලු විට නැවත
පුදුමයක් කියන්නේ වෙන කවුද
මම ම මිස

කිහිරඟුරු මැදින් පා තබා ආවෙමි නිබඳ
බිම හෙලූ හැම විටම නැගිටුණෙමි දණින්
හැඬූවෙමි විය නොහැකි සියලු දෙය වන කල
එහෙත් බිඳ නොගත්තෙමි පුරුදු පිරිසිදුකම
උගත්තෙමි පසුව මැනවින් සිනාසෙන්නට
කඳුළු වුව මා මඟැර ගලා යන්නට විය

ඉතා පහසු පාරවල් මඟහැර
බාර ගත්තෙමි පරාජය නිහඬව
එනයින් සතුට බාර ගත හැක්කේ
පිරිසිදු දෑතකින් හිනැහිහී

හිස් අතින් යනෙන තැන්වලදි වුව කුසුම් වරුසා ඉසෙයි
හද සොඳුරු මිනිස් ගඟ පෙමින් නිතොරම ගලයි
දිව්‍යත්වය කියන්නේ මේ මොහොතයි, ඔව්, එයයි..

Picture - Nattallia Shloma

Thursday, October 9, 2014

නිදි සළු



නිදි සළු සලා කඳු මත
අවදි වේ උදා කල
දෙව් ළඳ

Picture - Francesca Strino

Tuesday, October 7, 2014

මගේ හිත බයෙන් විනිර්මුක්තයි



වැස්ස වහිනවා
අළු පාට ගෙවල් අතරින් මං ඇවිදන් යනවා
හාත්පසම එකාකාර මන්ද්‍ර ස්වරයක්
මගේ හිත බයෙන් විනිර්මුක්තයි
එක පාරම මං අහසට නඟිනවා!

Picture - Abanindranath Tagore (Indian, Bengal School, 1871-1951): Night at the Shalimar - The Emperor Shah Jahan.

පිනි පලසක් වෙලා ඉන්න



පිනි පලසක් වෙලා ඉන්න
රිදුම් දෙන දෙපා දොවන්න
මා යන එන මං මාවත්
මලින් විලාසිත කරන්න
ඔබේ බැල්මකින් පුළුවන්
විල් මත මහනෙල් පිපෙන්න
එක බැල්මක් මටත් දෙන්න
ආදරයෙන් පිරී යන්න

Picture - Kawase Hasui, Japanese, 1883–1957

Monday, October 6, 2014

ගලවා ගමි ඔබ හද මන්මත් කර



ගලවාගමි ඔබ
දුක්බර කඳු හිස
කිරණ එවා මුදු
මුදු මුදු සුදුමුදු

චුම්බනයන්ගෙන් කිඳුරු විමානෙක
පණ නල ගෙන දෙමි හද මන් මත් කර
කුමාරයාණෙනි සෙමින් ගයනු මැන
දෙනෙත් විදා සුදු සුසුදු සිනා ගෙන


Picture - Arantzazu Martinez - The Little Mermaid (The Rescue)

තරුණියන් සිනාසෙන හැටි~~~~



සරතයේ දම් පෑ හුරු රෝස පෑ පත්
කඩා විසිකරමි අහසට
අර බලන්න අහස
රෝස පෑ අහුලමින් රඟන හැටි
දිව්‍යත්වය වෙත ඇවිද ගිය
තරුණියන් සිනාසෙන හැටි~~~~

Picture - Paul Schad-Rossa

හිමෙන් වැසි කඳු බිමක්



උණුසුමක් දැනුණු විට
හිමෙන් වැසි කඳු බිමක්
දියව යනවා මිස
රැඳෙන්නේ නැත තවත්

Picture - Lauri Blank

ආදරය විතරක් හිඟයි



අනිත් හැමදේම තියේ අපි අතර
ආදරය විතරක් හිඟයි
මහා මැඳුරක ළෙලෙන සළු පිළි අතර
හිතක් පිළුණුව සීතලයි
ආදරය විතරක් හිඟයි

දුවා දරුවන් යවමි හුරු පුරුදු විදිහට පාසලට
උයා නුඹෙ බත්පත තබමි බෑගයේ මුල්ලක
දිනෙන් දින එකම විදිහට අත වනමි නුඹ යන විට
සමුඅරන් ඒත් අවසන්ය බොහෝ කලකට පෙර

හිත හරිම හීතලයි
ආදරේ හිඟයි

Picture - Xenia Hausner

ගඟක් කොහොමද නවතින්නෙ?



ගඟක් කොහොමද නවතින්නෙ
විලකටත් බැරි කොට සරැළි නඟනෙක නවතන්න
නොඇලීමත් ඇලීමකි
සකිසඳ ඔබ එන්න
වදන් පුබුදා නොඇලී ඉන්න

තුරු නඟන කොට කුසුම් සමුදා
සුවඳකට බෑ සමුගන්න
බමර තුඩ නොවුණාට කමක් නෑ
මුදු පවන ඔබ වෙන්න

කඳු අතර බවුන් සුව අමදා
වසින වස්සානය වෙන්න
මෝසමට තෙමුණාට කමක් නෑ
කෙම්බිමක් වී ඉන්න

Picture - Rebecca G. Fagg

Saturday, October 4, 2014

පළමු පෙම දුකක් නම්



අරවින්ද පළමු පෙම දුකක් නම්
පටන් ගන්නේ නෑ පළමු පෙමක් මං

Picture - Ademaro Bartelli

ඉගෙනගෙන නැති හැටි තවම ආදරේ පාඩම්



කඳුළු ගංගාවක් මවන්නට පුළුවන්
පටන් ගත්තොත් හඬන්නට මං
මිරිඟුවට කුමට කරන්නද සරදම්
ඉතින් ඔබ ආදරේ ඇයට නම්

ඉගෙනගෙන නැති හැටි තවම ආදරේ පාඩම්
ඉගෙනගෙන නැති හැටි තවම ආදරේ පාඩම්!

Picture - Nicholas St.John Rosse, London, 1945

ප්‍රංශ කෙල්ලන් එක්ක හරිම තරහයි මං



ප්‍රංශ කෙල්ලන්ට නම්
ආදරේ කරන් නෑ ආයෙ නම්
මගෙන් උදුරා ඔබව අරන් ගිය අතීතෙත්
එක්ක තරහයි මං

දුක හිතුණත් ඉතින් ආදරෙයි කියන්නද
නුඹ ගැනම හිත හිතා දුක් කවිම ලියන්නද
පාරවා මගේ කළු සම පලා රිදුම් දෙන
නුඹේ ඇත් දළ පාට හදවතින් මිදෙන්නද

Picture - Dang Xuan imágenes, Vietnam

Friday, October 3, 2014

මහා ධන සම්භාරයක් වටිනා ඔබේ පොත



මිතුර මට සමාවන්න
මහා ධන සම්භාරයක් වටිනා
ඔබේ පොත රැගෙන ආවෙමි අඩු මිලට
නොවිකිණී දූවිලි බැඳි බැඳී තිබෙන විට
අලෙවි හල රාක්කයක
මුණ ගැසුණි මට ඔබේ පොත
රැගෙන ආවෙමි මම ඔබේ පොත අඩු මිලට
එහෙත් මට කතා කරගන්නට බැරි විය
තිබුණාක් මෙන් මගෙ පොතක් එලෙස

පිටුවෙන් පිටුව කියවීමි
කොතරම් මිහිරි දේ ලියා තිබෙනවාද ඔබ
කොතරම් චිත්‍ර ඇඳ තිබෙනවාද අකුරු මත
ගමන් බිමන් යන අතර පවා මම
සිහි කරමි ඔබේ 'කුරු නිබඳව
මගේ හදවත මත තබා පොත
ගෙවන්නෙමි මම එහි මිල

Picture - Eduardo Naranjo, Spanish, born 1944

බාස්කට් බෝල තරගයට මා රැගෙන ගියාට ස්තූතියි!



"ආදරණීය මයිකල්,
බාස්කට් බෝල තරගයට
මා රැගෙන ගියාට ස්තූතියි
- ලිලී"

බා'ගේන් පොත්හලට ගොඩ වැදුණෙමි
මුල් පිට ලියා තිබුණි ඔහුට ස්තූති කොට
මා නොදන්නා කතාවක්ද මේ
මා දන්නා කතාවක්ද මිතුර

හෙමිහිට ගෙන ගියෙමි ඇඟිලි තුඩු
කුරුමිණි අකුරු පසුකර
ස්තූතිය මොනතරං සෙනෙහසක්ද
ස්තූතියි මා ගෙන ගියාට තරගයට

මයිකල් මම ඔබ අතේ එල්ලී
ඔල්වරසන් දෙමින් හිනැහෙමින්
නැරඹුම් පඩි පෙළේ රැඳී සිටින විට
මා මුහුණ ඔබෙන් හාදුවක් පැතූ බව
නොලියා ලියා තිබෙනවද 'කුරු 'තර

ඒත් ඇයි මගෙ හදවත
සූරමින් මේ පොත මෙතැන
මා ඔබට දුන් පොතක්
හමුවුණාක් මෙන් සල්පිලක අහම්බෙන්
හඬන්නට ළඟය මගෙ හිත

ඒත් මයිකල් ස්තූතියි
රැගෙන ගියාට මා බාස්කට් බෝල තරගෙට

Picture - Alfred Mitchell, American, 1888 - 1972

මොන තරං උණුසුම්ද හදවත..



අස්පයෙකු පිට නැඟ යන්න ඕනෑ නෑ මට
මං කැමති නෑ රිදවන්න
විනෝදෙට කිසිකෙනෙකුට
අපි ඇවිද යමු හෙමිහිට
ග්‍රෙගරි වැව අයිනෙන් සුමිතුර

අර බලන්න අර ආකාසය
රෝස පැහැ වලාකුළු විසි කරන
නිම්නයට නැවී ඇති පයින් ගස්
සීතලෙන් ගල් ගැසී මෙන

මොනතරං සීතලද වටපිට
මොනතරං උණුසුම්ද හදවත

Picture - Alfred Mitchell, American, 1888 - 1972, Sunset Glow, California

163 බසයේදී



ඉතා සියුම් සත්සර නැඟූ
ගීතයක මියැසියෙන් මත්ව
ඇද වැටුණෙමි
නුවරඑළියේ තණ බිමකට
පිනි බිඳු පාග පාගා
දුවගියෙමි සිනිඳු මල් පෙති අත ගා බලන්නට
කහපාටට ප්‍රබෝධමත් මුහුණු ඇති මල් තැන තැන
රතු රෝස මල් මොනතරම් සොඳුරුද
ඈතින් අත් වනන විලෝ ගස්
මං හරිම ආදරෙයි නුඹලාට

වැටෙමි තණ බිම මතට
පිනි නිවී යන විට
බලා සිටිමු අපි උස් කඳු දෙස
නිසසලව වැතිර අන්තිමට

Picture - Alfred Mitchell, American, 1888 - 1972, El Cajon Valley

"ලෞකික ජීවිතයට බැඳෙන හැටි ඔබ තවත්"



ඇවිදගෙන යන පෙළ පොතක් වගේ මම
හුස්ම ගන්නත් බිය වෙන
කතා කරන්නෙත් නෑ කිසිවෙකුත් එක්ක
පාඩම් කළ අකුරු ඉවත යා යැයි හැඟුමෙන
අහෝ කවර පාපයක්ද මෙය
පෙළ පොත් කෙළ කෝටියක්
මොළයෙහි සිර කොට තැබීම
කොහොමද ආචාර්යවරයෙක් වෙන්නෙ
එහෙමත් කරන්න බැරි කොට
දැනුම මනින්නේ විභාගයෙන් නම්
පුස්තකාලයක් විය යුතුය මගෙ හිස

අත්වලත් පොත් මිටියක්
උරෙත් පොත් මිටියක්
ගෙලේ පවා එල්ලී ඇත්තේ
පොත් මිස නොවේ වෙන කිසිවක්
බොහෝ හොඳ දේවල් මෙලොවට පහළ කළා වූ පොත්
බොහෝ හොඳ අය බොහෝ හොඳ දේවල් කියූ පොත්
එහෙත් හැමදේ සිහි තබා ගන්න වෙත්ද කිසිවෙක් සමත්

කපුටු කූඩුවක් වගේ වියවුල්ව
ඇවිද යන විට ඉවතට
සමාධියෙන් පිරී මෙත් පා
සිනා වේ මට බුදු රුවක්
"ලෞකික ජීවිතයට බැඳෙන හැටි ඔබ තවත්"

Picture - Dan McCaw, American, born 1942

'කවි ලියන්නට බෑ'



'කවි ලියන්නට බෑ'
රෑට පාඩම් මේසයේ
ගොඩ ගැසූ පොත් කෑ ගසනවා
මේ තත්පරෙත් මට ඕනෑ
කෙටි සටහන් හුස්ම ඇද ඇද කියනවා

දවාලෙට කන්තෝරු වැඩ පිරෙනවා
හිතට එන ඉස්පිලි පවා
එක හුස්මකින් මකනවා
නළලතම රැළි නැඟෙනවා
කඳුළු විතරක් වැටෙන වැස්සට
පනින්නට මට හිතෙනවා
මැකෙන්නට පෙර සියලු වැහි බිඳු
උරා බොන්නට හිතෙනවා

Picture - Mihai Olteanu

කැමතිද ඔබ නතර වෙන්න



දොළ පාරක් අසල
මීදුම පිරී ගිය ගම් දනව්වක
කැමතිද ඔබ නතර වෙන්න
සියලු සළු අතැර
ජීවිතය ගැන හිතන්න

Picture - Antal Neogrady, Hungarian, 1861-1942