Tuesday, December 31, 2013

අලුත් අවුරුද්ද

"අලුත් අවුරුද්ද
මේසය මත කොළ ගොඩක්
ගියපාර වගේම යි"

- මැත්සුවෝ

අලුත් අවුරුද්ද
දුරකථනය තුළ මැසේජ් ගොඩක්
ගිය පාර වාගෙමයි

අලුත් අවුරුද්ද
පළමු දවසෙම බදු ගොඩක්
ගිය පාර වාගෙමයි

2013.01.01

බලහත්කාර සුබ පැතුම


Picture - http://www.dinamina.lk/epaper/art.asp?id=2014/01/01/pg03_6&pt=p&h=

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය - 2014



 
Link - http://www.dinamina.lk/epaper/art.asp?id=2014/01/01/pg09_5&pt=p&h=

අපේ නම් යුග කිය කියා

වෙරළ

Sven Alfred Thörn

තුවාල වෙනවද
අලුත් වෙනවා මිසක
රළ'ත්ලෙන් පහර කන
වෙරළ

Picture - Sven Alfred Thörn, Swedish, 1850-1916

මැඳුර, සුළඟ සහ පිච්ච මල



රසිකා ගුණවර්ධන

අන්තිමම පහනත්
නිමී ගිය පසුවද
මැඳුරු තුළ
සුළඟ හා එකතුව
තව ටිකක් නටනවා
පිච්ච මල.

භාතිෂ අකලංක සිල්වා

අන්තිමම පහනත්
නිවී ගිය පසුව වුව
හුදෙකලාවේ ඇරෙන
සඳළුතල කවුළු ඇති බව
පුරුද්දෙන් දන්නවා
සුළඟ සහ පිච්ච මල

කඳු


නිවී ගිය පසු ද
ඇස් ඇරී තිබෙන
පහන් එල්ලා ඇත
මැඳුරු දොර තැන තැන

Picture - Victoria Stoyanova, Bulgarian, born 1968

Monday, December 30, 2013

ගොවි පුතු පෙම



සමර විජේසිංහ :

ගොවියාගෙ පුතු නුඹ
යොදා‍ගෙන නුසුදුසු වචන
ආදරය පවසන

කෙසේ ඇතුළු වූයේද
තක්සලාවට මෙම

මෙතැන වෙයි තැන
රජවරුන් සිටුවරුන්
කුමරියන් කුමරුවන්
ගුරු පඬුරු ගෙවාගෙන
ශිල්පයන් හදාරන
පෙර දවස කළ පරිදිම

කඳු :

සීසාමි මම පෙම්වතිය
පස තනමි
ඉසිමි බිජුවට එකින් එක
ඔබට හද ඇති ආදරය ලියලන
දිය සීරා ගෙන එමි
පිබිද සිටිනා කඳු මුදුන් මතින්
රැය නිදි වරා රැක ගමි
ආදරය කවි කරන් රෑ කළුව පුබුදමි

නඟුල ඔබ වෙත අස්වැන්න ගෙන එන
දෑකැති ඔබ හිත රිදවන වදන් පලවන
ගඟුල මත ආදරය රැව් දෙන
අසල ගස කුඹුක් දළු හිනැහෙන

වන මැදැති මිණි කන්‍යාවන්
අතර වන පුෂ්පයක් මෙන් ඔබ තබා
කන්‍යාමය දෑතකින් ආදරෙන්
ඔබේ මුදු කෙහෙරැල් සිඹිමි

ඔබේ මුදු අතැඟිලි ගෙන
එ'මත මගෙ හිත තබමි

Picture - Elena Dudina, Russian-Spanish

මිහිරි රහසකි ලවන ගුලි වෙන


උද්‍යාන හාදුවක ඇලවෙමි
මධ්‍යාහ්නය ගෙවෙන නොදනිමි
නිද්‍රාවකින් සෙමින් පිබිදෙමි
සන්ධ්‍යාවෙ සඳ තරු ද සිප ගමි

තුරුපතක ඇකිළුමක ගුලි වෙමි
හිම පතන ඇති බිමක නවතිමි
මම් පියෝනී මලක පෙම වෙමි
සම්භාව්‍ය ගීතයක් මුමුණමි

'තණ පලස පිනි තුහින ගාවා
සමනල්ලු පියාපත් බෑවා
එය දැකපු සුදු ම සුදු හාවා
කන් දෙකින් සඳට ඉඟි පෑවා'

සම්භාව්‍ය ගීතයක් නොවේ එය
හිනා වෙන විටදි ඔබ උඩ පැන
පද නොපද සපද කොඳ විසි කර
මිහිරි රහසකි ලවන ගුලි වෙන

Picture - Anna Razumovskaya, Russian

හිම වැස්ස




හිම වැස්ස
මිහි මිහිරියාවෙන් නහවන
ගන්න මේ හිස් වැසුම

Picture - Diyathalawa, Sri Lanka

අකුණ


බුබ්බුලාකාර අහසක තප්පුලන වෙළෙක හී ගඩු
සම්බුලා දේවි හිස මත උදුරන් වැටුණයි
මංමුලා වගේ කඳු හිස බැසන් ආ සුරතු තිලකය
කන් තලා ඇදුණු අකුණට උදුරන් වැටුණයි

වක්කරන් බීපු තේ එක කප්පරක් කඳුළු ඉහුවද
සක්කරා රසටවත් දුක් ඇබින්දක් මැකී වැටුණද
අප්පලා නොමැති දරුවන් එක්කලා බිමට වැටුණද
උත්පලා නයන ලවණෙක ගිලිහුණු දේවී

විස්තරා ඇතත් කොච්චර සිත් තලා නැඟුණු පාපිලි
රොස් පරොස් මිසක ගීයක් හද තතක වැදී ඇසුණද
සිප්පරා කොටන් මත හිඳ බිත්තරා සිහින වැළලුව
අන්තිමට කඳුළ දුටු යකු හූවක් දීපී

Picture - Sarah Moon, English/French, Born 1940

ඔබ මිහිරි මුණුමුණුව


උනුන් හිස කලතනා ගල් මුගුරින්
පහර ලා උගුලමින් අත් පා
මුළු ලොව ම ඔබ හට සාප කළ 'මුත්
ඔබේ හද ප්‍රකම්පනය කරන සත්‍යය හැර
අන් කිසිවක් ම නො කියන්න

තමා පමණයි තම මතය පමණයි
'ලංකාර ලේබල් අතැති ව
කතා කරනා මිනිසුන් ළඟ
නිහඬ ව ම හිඳින්න
එහෙත් උර නො සොලවන්න
නරි රෑනක් බුරන අතර
ඔබේ මිහිරි මුණුමුණුව
උඩු බුරන අතට නොව
අන් දෙසට ගයන්න
කිසිවෙකුට නො ඇසුණ ද
නො සෙල්වී හිඳින්න

තනා ගත් හිත ඇති ව
සිදාදිය දුර වුව ද
වනගත ව මෙන් බවුන් වඩන්න
තරග ඇති උනුන් ළඟ
කෙලෙස යන හිතට පිඹ
දිනිය යුතු සැබෑ මඟ දිනන්න

Picture - Alexei Zaitsev, Russian, Born 1959

නෙළුම


ගෙම්බෙක් මඩ දියට පැමිණ
බක බක ගා හඬන හැඬුම
දැක හිනැහෙනු මිසක නෙළුම
නොතලයි සිය පතට දැරුම

by Jamie Hansen

Sunday, December 29, 2013

රොටී තැටියක්



ගිනි ගත් රොටී තැටියක්
නුගේගොඩ ඉර

Picture - From 'The Art of Mikko Tyllinen'

Friday, December 27, 2013

ආල වඩන පාළු අරණ - කොහේද සකිසඳ?



මල් නොපිපෙන තුරු ගොමු මත
හාදු බෙදා දෙන
ආල වඩන පාළු අරණ
කොහේද සකිසඳ

සඳ නොමිදෙන වලා ගගන
කිරි සයුරෙන් පැන
රන් කැටි මුව සිනා සිඹින
සකිසඳ කොයිබද

හිත බිඳලන හීන අරන් ඈතට ගිය සඳ
නැවත එන්න බැරි තරමට මුදු පිය සිඳුණිද
ගඟ ගලලා වැහි වැහැලා අඳුරැලි කඳු මත
හිත බිඳලා හිත ගෙන ගිය සකිසඳ කොයිබද

Picture Source - www.tumblr18.com/images/sad/page/9/

ශිෂ්‍යත්වය අහෝසි නම්



හීල්ලෙන් නැද්ද
අවුරුද්දට ම ලැබුණු
රුපියල් දෙදාස් හාරසීය සිහිවෙන කොට

කටු පඳුරු එරමිණිය ගාලවල් මැදින්
අඩි තිය තියා වතුර සීරා ද තුටින්
පඩි නොලද මවුපියන් සනහනා අටින්
ගියා අපි ඉස්කෝලෙ කඳුළ ගෙන මිටින්

ලුණු වැටුණු බතක් වුව නොමැත වැරදුණේ
ළඳු බඩවැටියෙ දං දමුණු පිබිදුණේ
පොළොස් කොස් මුගුණුවැන්නා සිනාසුණේ
එ'රඟ දැක අමුණු දිය පහළ පැමිණුණේ

බාල විය සුවඳ හා සෙල්ලමට ලොලේ
සෙල්ලම් ගෙදර රජ බොජුන්වල බලේ
විබාගේ ලියු දාත් අපි මඩේ වෙලේ
පාස් වූ දාත් අපි ගැහි ගැහී ඇලේ

Picture - by Lisa Hendrawan
Place - Tukad Unda Dam, Bali
Source - http://photography.nationalgeographic.com/photography/photo-of-the-day/children-dam-bali/

ආයතන සංග්‍රහය සංශෝධනය විය යුතුද?

Source -http://www.dinamina.lk/epaper/art.asp?id=2013/12/27/pg16_0&pt=p&h=

කඳු මත



සිහිල් සිනා දිය දෝතක් පුරවා කඳු මත
වලාවකින් හිස සරසා හිනැහේ නුබ හිත
නැවත එන්න සලකුණු ලා ඔබ ගිය මංපෙත
ඔබ වාගෙ ම පුදුමය රකිනා හැටි මුනිවත

Picture - Christmas Day of 2013, in Sherwood, Sri Lanka

සුළඟ



වලාකුළු කෙහෙ අවුල් කරමින් පැන ගියත් සුළඟ
කඳු ගිරක වැද ගිය පයින් එයි අරන් මුදු පුසුඹ

Picture - 25.12.2013, Haputale, Sri Lanka

Wednesday, December 25, 2013

ඉස්සර දවසක - පස්සර කඳු මත



ඉස්සර දවසක - පස්සර කඳු මත
හඳුනන තරු එළියක් තිබුණා
ඒ තරු එළියෙන් පාර අහන්නට
ආ විහඟක මියැදී වැටුණා

සිඳු රළ රඟ දෙන
නුබ ගැබ හා නැඟ
සැළමුතු දෝතලු මල දිලුණා
ඔබ මල උදුරා අහසේ තැන තැන
රත් පාටින් කවියක් ලියුවා

(සැළමුතු දෝතලු මල හැඬුවා
ගගන වලා රත් පෑ නැඟුවා)

Picture - Captured in Winterly Passara

Friday, December 20, 2013

පලා නොයමි, නැවතෙමි



තවමත් පමා නැත
පලා යන්නට කිසි ලෙස
එහෙත් ඔබ දෙඅතෙහි තරම්
රැකවරණයක් කොහි වෙද

සසර ම බයයි
කිසිවෙකුට කිසිදු රැකවරණ නොවෙයි
කොයි මොහොතක වුවත්
තුර හල පතක් මෙන්
ගිලිහ යා හැකි යි

අත් හරිමි ඔලොගු මම
ඇවිද යමි මිරිවැඩි නොමැති දෙපයින්
සිදුහත් ලෙද එළඹ කුටියට
ඔබ නිදන 'යුරු බලමි
බිළිඳෙකු නොමැති වුව ඔබේ ඇකයෙහි
බිළිඳෙකුගෙ මුහුණකි ඔබේ මුහුණෙහි
පලා නොයමි, නැවතෙමි
නළල මත හාදුවක් තබමි

Picture - Tomasz Alen Kopera _Surrealista

Thursday, December 19, 2013

අසරණ දරුව, පැමිණෙන්න



අසරණ දරුවා,
පැමිණෙන්න
ධර්මයක් හිස තබා
පරඬැලක් වී වියැළ යන්නේ මන්ද
සියල්ල අත්දැකුමෙන්යැ
හිනැහී හඬා ලබන අවබෝධයෙන්යැ
විසි කරන්න අකුරු පොත් පත්
විමසන්න ගෙවෙන නිමේෂයන්
ආදරය බැඳුමකැයි
ඉවත නොලූයෙමු
බුදු වූ භවයෙහිද බුදු වරු ඇතැම්
නොපැටලෙන්න වැටකෙයියා ගාලවල
නොදුවන්න
ඇවිද යන්න
පණ ලද පමණ සෙමින්

Picture - onlyhdwallpapers.com

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ - බුදු රජුන්ගෙන් පාර නෑසූ අවාසනාවන්තිය

'සතර අපායෙන් මිදෙමු' - 52 කොටස


අපි ඉකුත් සටහනක සඳහන් කළා ආදරය ගැන. ආදරයත් මාරයාත් මොනතරම් සමීප දෙදෙනෙක්‌ද කියලා පැහැදිලි කිරීමක්‌ කළා. මාරයා ඔබව ලෝකය තුළ බැඳ තබන රන් නූල තමයි ආදරය. ආදරයට පුළුවන් සත්වයෙක්‌ව උම්මත්තකයෙක්‌, මිනීමරුවෙක්‌, සියදිවිනසාගන්නෙක්‌, යහපත් මනුෂ්‍යයෙක්‌ කියන ඕනෑම චරිතකයකට ආරෝපනය කරන්න. රූපය හැටියට ගත්තත්, පංචඋපාදනස්‌කන්ධය හැටියට ගත්තත් මේ හේතූන් ප්‍රමාණවත් මාරයත්, ආදරයත් අතර තිබෙන සම්බන්ධය දැකගන්න.

රූපයට ද්වේෂ කරලා වගේම රූපයට මෛත්‍රිය කරලත් වැඩක්‌ නැහැ. රූපය කියන්නේ ඇස්‌ බැන්දුමක්‌. රූපය තිබෙන්නේ විඳීමට නොවේ. අවබෝධ කරගන්නයි. යමෙක්‌ රූපය සතුටින් ගනීනම්, ඒ ඔහු සතුටින් ගන්නේ අනවබෝධයයි. සමාජය දෙස බැලීමේදී පේනවා මේ අනවබෝධය කිරුළු පළඳවාගත් අප්‍රමාණ පිරිස්‌. මේ අයව අපට විවේචනය කරන්න බැහැ. මොකද කවදත් එය ලෝකයේ ස්‌වභාවයක්‌. ඒ කියන්නේ ධර්මතාවයක්‌.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සත්ත්වයා බැඳුනොත් බැඳෙන්නේ පංචඋපාදානස්‌කන්ධයටය කියලා. සත්ත්වයා නිදහස්‌ වුණොත් ඒ නිදහස්‌ වෙන්නෙත් පංචඋපදානස්‌කන්ධයෙන්මය කියලා. රූප දෙකක්‌ එකට තියලා මාරයා බඳින බැඳීම තමයි පංචඋපදානස්‌කන්ධය කියලා කියන්නේ. ඔබ රැවටෙන්න පුළුවන් බඳින රන් නූලට. දැනෙන උණුසුමට. 'අහා... ආදරයේ චමත්කාරය' කියලා. නමුත් මේ චමත්කාරය පසුපස සැඟවුණු සෙවනැල්ලක්‌ තිබෙනවා. එයා ඉන්නේ නිතරම සැඟවිලා. රූපලාවන්‍යයෙන් මුහුණේ තිබෙන ලප, කැළැල් වසා දමනවා වගේ, මෙයා ඉන්නේ යටපත් වෙලා. ඒ තමයි ද්වේෂය. නන්නාඳුනන බවක්‌ පෙන්වුවද ආදරයත්, ද්වේෂයත් මොන තරම් සමීපද. මේ සමීපභාවය හඳුනානොගත් නිසා මනුෂ්‍යයා මොනතරම් පීඩාවන් අත්විඳිනවාද. අයාලයේ යන අකීකරු සිත ඔබ ධර්මයෙන් නතුකරගැනීමට අදක්‍ෂ වුවහොත් ආදරය නිසාම ඔබ තුළ ද්වේශයද සකස්‌වනු ඇත.

ආදරය නිසා ද්වේෂය සකස්‌ වී තම සුන්දර පාසල් ජීවිතය. නිරයේ ගිනි ජාලාවක්‌ මතට පත්කොටගත්, ලොව්තුරා බුදුරජාණන්වහන්සේගෙන් පාර අසා නොගත්, අවාසනාවන්තියකගේ කථාවක්‌, ඉහත සටහනේ අර්ථය ඔබට අවබෝධ කරගැනීම පිණිස සඳහන් කරනවා.

මේ තබන සටහන, පිංවත් තරුණ ඔබට ආදරයේ නාමයෙන් යම් තීරණයක්‌ ගැනීමට ප්‍රථම, ධර්මයේ නාමයෙන් එම තීරණය ගැන දෙවරක්‌ සිතා බලන්නට පොළඹවාවී.

ජීවිතයේ අතිදුෂ්කර අවස්‌ථාවකදී, තීරණාත්මක අවස්‌ථාවකදී, ඔබේ අකීකරු සිතට ඉඩ නොදී, බුදුරජාණන් වහන්සේ ජත්ත තරුණයාට පිහිටවූ ඒ මහා කරුණා ගුණයේ ආශ්චර්යමත් රැකවරණය, පිළිසරණ ලැබීමට ධර්ම මනසිකාරයක්‌ම සිහිපත් කරගන්නට ඔබව පොළඹවාවී.

සිත කියන්නේ අංක එකේ රස්‌තියාදුකාරයෙක්‌ කීවොත් එය වරදක්‌ නැහැ. මේ ජීවිතයේදී පමණක්‌ නොවේ. අතීත, අනාගත භවයන්හිදී, සත්වයාට දුකත් සැපත් උරුමකොට දෙමින් ඇවිද්දවන්නේ අවිද්‍යාවෙන් පෝෂණය වූ සිත විසින්මය. නොසන්සුන් සිතක ස්‌වභාවය ඔබ අත්විඳලා තිබෙනවනේ. එවැනි අවස්‌ථාවක ඔබට මොනතරම් ආවේගශීලී අදහස්‌ද ඇති වන්නේ. අතීතයේදී තම සිතේ ක්‍රියාකාරීත්වය සකස්‌ වූ ස්‌වභාවය මතකයට නැගෙනකොට, මෙය සටහන් තබන භික්‍ෂුවට හිතෙනවා, මේ අකීකරු, රස්‌තියාදුකාර, මාන්නක්‌කාර නැහැදිච්ච සිත දමනය කරගත්තේ කොහොමද කියලා. එය මොනතරම් ආශ්චර්යයක්‌ද කියලා. ඒ උදෙසා කළ කැපකිරීම කොතරම්ද කියලා. මෙහෙම හිතෙනකොට ලොව්තුරා බුදුරජාණන්වහන්සේට අප්‍රමාණ වාරයක්‌ හදවතින් වන්දනා කරනවා. උන්වහන්සේමයි මාර්ගය වුණේ. උන්වහන්සේමයි පිළිසරණ වුණේ. උන්වහන්සේමයි රැකවරණය වුණේ. අන්න ඒ විශ්වාසය ජීවිතය තුළ ඇතිකර නොගත් සමරහක්‌ දෙමව්පියන්ගේත්, එවැනි දෙමව්පියන්ගේ වරදින් විනාශය ඇතිකරගත් දරුවන්ගේත් කථාවක්‌ දැන් පහත සටහන් තබනවා.

ග්‍රාමීය ප්‍රදේශයක ජීවත්වුණ පවුලක්‌ සිටියා. පවුලේ සාමාජිකයන් හතරදෙනයි. මෙම කථාවේ ප්‍රධාන චරිතය තමයි පවුලේ බාල දියණිය. මේ දියණිය කුඩා වයසේදීම තම පියා මියයනවා. පියා මියයන්නේ වස පානය කර සියදිවිනසා ගැනීමෙන්. මේ නිසා ළදරු වයසේදීම මේ දියණියට පිය සෙනෙහස අහිමිවෙනවා. ස්‌වාමියාගේ වියෝවෙන් පසුව මව දැඩි ලෙස වෙහෙසක්‌ ගෙන දරුවන් ලොකුමහත් කරගන්නවා. මෙහෙම කාලයක්‌ ගතවෙනකොට මවට විදේශ රටක ගෘහ සේවිකා රැකියාවක්‌ ලැබී විදේශගත වෙනවා. පහළොස්‌ හැවිරිදි දියණියත්, ඇයගේ සොයුරාත් මිත්තනියගේ භාරයේ තබා මව විදේශයට යනවා. මවගේ විදේශගතවීමෙන් මෙම පහළොස්‌ හැවිරිදි දියණියට මව් සෙනෙහසද අහිමිවෙනවා. ආච්චිගේ නිවසේ සිට පාසල් යන දියණියට අවශ්‍ය සියලු වියහියදම් විදේශ රැකියාවේ නියුතු මව මාස්‌පතා එවනවා. නමුත් දියණියගේ මව විදේශ රැකියාව කෙරෙහි ඇතිකරගත් දැඩි තෘෂ්ණාව නිසාම, දීර්ඝ කාලයක්‌ පුරා නැවත නැවත විදේශගත වෙනවා. මේ හේතුවෙන් කුඩා කාලයේදීම පිය සෙනෙහස සහමුළින්ම අහිමිවූ දියණියට මව් සෙනෙහසද ඈත්ව යනවා. මව්පිය සෙනෙහස අහිමිවීමෙන් මානසික පීඩනයට පත්වෙන මේ දියණිය පාසලේ සම වයසේ ශිෂ්‍යයෙක්‌ සමග ප්‍රේම සම්බන්ධතාවකට මුලපුරනවා.

දැන් දෙදෙනා හොඳ පෙම්වතුන්. මේ යොවුන් පාසල් වයසේ ප්‍රේමය පළමුව පාසලේ අයත් දෙවැනුව ගමේ අයත් දැනගන්නවා. හොර රහසේ කරගෙන ගිය මේ ආදරය හෙළිවීමෙන් ගැහැනු දරුවාගේ වයසට වඩා වත්පොහොසත්කම්වලින් වැඩි පිරිමි දරුවාගේ දෙමාපියන්, ඥාතීන් පිරිමි දරුවාට මේ සම්බන්ධය නවතා දමන ලෙස අවවාද කරනවා. මේ බලපෑම් ඉවසාගත නොහැකිවූ තැන මේ පාසල් ශිෂ්‍යයා සියදිවි නසාගන්නවා. මේ ලාබාල පාසල් ශිෂ්‍යයාගේ සියදිවි නසාගැනීම ගැන ගමත්, පාසලත් දැඩි ලෙස කම්පාවෙනවා. මියගිය පිරිමි දරුවාගේ ඥාතීන් සැම දෙනාම තම පුතාගේ දිවිනසා ගැනීමට හේතුව වශයෙන් දකින්නේ, දෙමාපියන්ගේ රැකවරණය අහිමිවූ, වයෝවෘද්ධ මිත්තනිය භාරයේ සිටි යොවුන් පෙම්වතියවයි. මේ හේතුව නිසා පාසල් වයසේ පසුවූ මේ දියණියට පිරිමි දරුවාගේ පාර්ශ්වයෙන් දැඩි ලෙස විරෝධය, ඇනුම්බැනුම් එල්ලවෙනවා. පහළොස්‌ හැවිරිදි වියේ පසුවූ පාසල් ශිෂ්‍යයෙක්‌ වන ඇයට දරාගැනීමට නොහැකි ආකාරයෙන් චෝදනා එල්ලවෙද්දී, දෙමාපිය හවුහරණද නොමැති ඇය දැඩිව තීරණය කරනවා තමාද සියදිවිනසාගෙන තම පෙම්වතා ගිය ලෝකයටම යනවා කියලා.

මේ වනවිට ඇය සිය පාසල් මිතුරියන්ට පවසා තිබුණා, මියගිය තම පෙම්වතා රාත්‍රියේ සිහිනෙන් ඇවිත් තමන්ට කථා කරන බව. නිරතුරුවම ඔහු සිටින ලෝකයට එන්න කියලා අඬගසන බව. මේ මනෝභාවය නිසාත්, පෙම්වතාගේ පාර්ශ්වයෙන් එල්ලවන ඇනුම් බැනුම් විවේචන නිසාත්, සියදිවි නසාගැනීමේ තීරණය ඇය ඉක්‌මන් කරනවා. ආදරය කියන වචනයේ අර්ථයවත් නොදැන, හුදෙකලාභාවය නිසාම, දෙමව්පිය සෙනෙහස නොලැබුණු නිසාම, බොළඳ ප්‍රේමයක කටුකබව අත්විඳින මෙම පහළොස්‌ හැවිරිදි දියණිය එක්‌තරා මොහොතක තීරණයක්‌ ගන්නවා. ඒ තමා දැඩි ලෙස ආදරය කළ, තම ආදරය නිසාම සියදිවිනසාගත් තම පෙම්වතා වෙනුවෙන් ඔහුගේ ලෝකයට යන්නට. තමන් නොකළ වරදකට 'අපේ පුතා මරාගත්ත පව්කාරී' යෑයි දැඩි ආකාරයෙන් ඇනුම්බැනුම් එල්ල කරන ලෝකයාගෙන් මිදිය යුතු යෑයි සියදිවි හානිකර ගැනීමට ඇය ස්‌ථිරවම තීරණයකට එළඹියා .

ඇය පෑනක්‌ කොලයක්‌ ගෙන බොහොම සංවේදීව ලිපියක්‌ ලියනවා. මගේ ආදරණීය පෙම්වතා නිතරම සිහිනෙන් ඇවිත් මට එයාගේ ලෝකයට එන්න කියලා අඬගසනවා. මේ ලෝකයේ මා වෙනුවෙන් සිටියේ ඔහු පමණයි. ඒ නිසා මම ඔහුගේ ලෝකයට යනවා. මේ විෂම මිනිසුන්ගෙන් මිදිලා ඔහු සමග සතුටින් ජීවත්වීමට.

දෙවැනුව ඇය සටහන් කරනවා, නොකළ වරදකට මට චෝදනා කරන මේ සමාජයේ තවදුරටත් ජීවත්වෙන්න බෑ. මම මගේ පෙම්වතා ළඟට යනවා. මම මැරුණට පසුව මගේ දේහය සහිත පෙට්‌ටිය මත මල්වට්‌ටි දෙකක්‌ තබන්න. ඉන් එකක්‌ මට. අනික මගේ පෙම්වතාට. මගේ දේහය වළදැමූ පසු එම වළ මත සුදු මල්ගස්‌ දෙකක්‌ සිටුවන්න. එකක්‌ මගේ නමින්. අනික මගේ පෙම්වතාගේ නමින්.

බොහෝම සංයමයෙන්, කලබලකාරීබවකින් තොරව, තමාට චෝදනා කරන මිනිසුන් කෙරෙහි දැඩි කලකිරීමකින්, තම මියගිය පිංවතා සිsටින ලෝකය කෙරෙහි දැඩි උපාදානයක්‌ සකස්‌ කරගෙන, ඉහත සටහන කොලයක ලියා සුරැකිව මේසයක්‌ මත තබා, මව විදේශගතවීම හේතුවෙන් වසාදමා තිබූ තම නිවසට ඇතුළුවී බාල්කයකට ලණුපොටක්‌ දමා සිය දිවි නසාගන්නවා. මේ සියල්ල සිද්ධවෙද්දී මෙම දියණියගේ මව සිටියේ විදේශගතව. ඉහත සිද්ධිය රටේ යම් ප්‍රදේශයක සිදුවූ අතිශයින් අවාසනාවන්ත, සත්‍ය සිදුවීමක්‌. මේ සිද්ධිය දැනගත් සෑම මනුෂ්‍යයෙක්‌ම අතිශය කම්පාවට පත්වුණා මේ යොවුන් වියේ දරුවා අකාලයේ මියයැම ගැන.

දැන් ඔබට සිතෙන ආකාරයට, ඔබ කර්මය කර්මඵලය ගලපාගන්නා ආකාරයට දකින්න උත්සහගන්න මේ සියදිවි නසාගත් දියණිය කුමන ප්‍රතිසන්ධියක්‌ ලබන්න ඇතිද කියලා.

ඉකුත් සතියෙත් කලම පිය සෙනෙහසත් පසුව ළමා කල මව් සෙනෙහසත් අහිමිවූ දියණියක්‌ පාසල් වියේ ආදර සම්බන්ධතාවක්‌ ගොඩනගා ගනී. එයට ප්‍රේමවන්තයාගේ පාර්ශ්වයෙන් එල්ලවන විරෝධය හමුවේ පෙම්වතා සියදිවි හානිකරගනී. මේ සිදුවීමත් සමග තමන් වෙත එල්ල වන චෝදනා හමුවේ එම දියණිය ද දිවිනසාගනී)

දැන් ඔබ ඔබට හිතෙන ආකාරයට කර්මය කර්මඵල ගලපාගන්නා ආකාරයට දකින්න උත්සහගන්න, මේ සියදිවි නසාගත් දියණිය කුමන ප්‍රතිසන්ධියක්‌ ලබන්නට ඇති ද කියලා.

ඇය සියදිවිනසා ගැනීමට පෙර බොහෝම සංයමයෙන්, කලබලකාරී බවකින් තොරවයි අවසන් ලියුම ලියන්නේ. එම ලිපියෙන් ඇය කියනවා, ඇයට මියගිය පෙම්වතා සිහිනෙන් ඇවිත් අඬගහන බව. සුදුමල් වට්‌ටි, සුදුමල් ගස්‌ ගැන කියනවා. ඇය කාටවත් දැඩි ආකාරයෙන් ද්වේශ කරන අයුරක්‌ එම ලිපියෙන් හැඟෙන්නේ නැහැ. ඉහත කරුණු කාරනා ගලපාගැනීමෙන් ඔබ සිතන්නේ ඇය මරණින් මතු කුමන තැනක උපත ලබන්න ඇතැයි කියලාද?

දැන් පිංවත් ඔබ ඔබට දැනෙන ආකාරයට පිළිතුරක්‌ සිතාගත්තාද?

ඔබ පිළිතුරක්‌ සිතුවා නම් පහත සටහන කියවා එම පිළිතුර නිවැරදි දැයි දැනගන්න. ඔබේ පිළිතුර නිවැරදි නම් ඔබේ කර්මය, කර්මඵලය ගැන දැනීම නිවැරදි බව දැනගන්න. එහෙත් ඔබ ඔබට ලකුණු දෙන්න යන්න එපා. ලකුණු ගැනීමට ඇති කැමැත්ත අඩුකොට, ගුණාත්මක අවබෝධය දෙසටම යන්න. මෙම සටහනේ කරුණු පිංවත් ඔබ පිළිනොගන්නේ නම් එය ප්‍රතික්‍ෂේප කරන්න. පිළිගැනීමත් ප්‍රතික්‍ෂේප කිරීමත් ලෝක ධර්මයක්‌ බව දකින්න.

එක්‌ භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවෙද්දී මේ මියගිය දියණියගේ නැවත උපත කිනම් ස්‌ථානයක සිදුවූවා දැයි අරමුණු කර බලනවා. එවිට භික්‍ෂුවට දර්ශනය වෙනවා හරි හතරැස්‌ ගිනි ජාලාවක්‌. මේ ගිනිජාලාවේ ප්‍රමාණය ස්‌ථිරව කියන්න බැහැ. එය අඩි 10ක්‌ දිගයි, අඩි 10ක්‌ පළලයි කියලා ගත්තොත් ඒ ප්‍රමාණයටම පෙනෙනවා. එම ගිනි ජාලාව අඩි 100ක්‌ දිගයි, අඩි 100ක්‌ පළලයි කියලා ගත්තොත් එම ප්‍රමාණයට පෙනෙනවා. ඒ ස්‌වභාවය ආශ්චර්යයක්‌. දිගක්‌, පළලක්‌ ප්‍රමාණය කරන්න බැහැ. මේ ගින්න තැඹිලිපාට සහ කහපාට මිශ්‍ර ගින්නක්‌. කිසිම දුමක්‌, අඟුරු කැබැල්ලක්‌, අළු ටිකක්‌, ඉතාමත් සියුම් වශයෙන් හෝ එම ගිනි ජාලාවේ පෙනෙන්නට නැහැ. කළු පැහැයත්, රතු පැහැයත්, නිල් පැහැයත් එම ගිනි ජාලාවේ පෙනෙන්නට නැහැ. ප්‍රභාශ්වර, ඉතාමත් ආලෝකමත් පිරිසිදු කහ සහ තැඹිලි පැහැති ගිනි දළු පමණයි. මේ ගිනිදළු අපිරිසිදු දේ පෙරාගත් පිරිසිදු ගිනිදළුයි. භික්‍ෂුව උතුම් සමාධියෙන් මේ දකින්නේ එක්‌ ස්‌වභාවයක්‌.

ඒ කියන්නේ සියදිවි නසාගත් දියණිය මරණින් මතු නිරයේ ගිනි ජාලා මත උපත ලබා ඇති බවයි. මෙම සිද්ධියෙන් පැහැදිලිවන්නේ ඇය එම ගිනිදළු නිරයේ උපත ලබා අතිශය වේදනාත්මක දුකකට වැටී ඇති බවයි.

පිංවත් ඔබට දැන් ප්‍රශ්නයක්‌ මතුවෙන්න පුළුවන් මෙම පාසල් දියණිය සියදිවි නසාගැනීමට පෙරාතුව බොහොම සංයමයෙන් සිය අවසාන ලිපිය ලියාපු කෙනෙක්‌. ඒ ලියන මොහොතේත් දරුණු ද්වේශයක්‌ සිතේ තිබුණු බවක්‌ ලිපියේ අදහස්‌ තුළින් පෙනෙන්නේ නැහැ. එම ලිපියේ මල්වට්‌ටි ගැන, මල්ගස්‌ ගැන සඳහන්ව තිබුණා. එහෙම සිතුවිලි සකස්‌වුණ කෙනෙක්‌ව කොහොමද මේ සා දරුණු නිරයකට වැටුණේ කියලා.

එම කාරණය පිංවත් ඔබ සතියෙන් සිහියෙන් යුතුව මෙහෙම තේරුම්ගන්න අවශ්‍යයි. ඇය අදාළ ලිපිය ලියන මොහොතේ තම මියගිය පෙම්වතා, තමාට ඔහුගේ ලෝකයට එන්න කියලා කථා කරනවා කියන තෘෂ්ණාව තුළ ඇති වූ සතුටින් තමයි සියදිවි නසාගැනීමට සූදානම් වෙන්නේ. තීරණය ගත්තාට පසුව පාළු ගෙදර වහලයට ලණුව දමලා තොණ්‌ඩුව සකස්‌ කරන්නෙත් බොහොම කැමැත්තෙන්. පෙම්වතාගේ ලෝකය කෙරෙහි ඇති ජන්ද රාගය නිසාමයි. ගමේ මිනිසුන්ගෙන් එල්ල වන චෝදනා නිසා ඇති වන කලකිරීම මතින් තම පෙම්වතා සිටින එම ලෝකය කෙරෙහි ඇති ජන්දරාගය තවත් වැඩිවෙනවා. ඒ එම චෝදනා අභියස ඇය තව තවත් හුදෙකලා වූ නිසයි. මෙන්න මේ මනෝභාවයෙන් තමයි සිය කැමැත්තෙන්ම තොන්ඩුව ගෙලට දමාගන්නෙත්. තොණ්‌ඩුව ගෙලට දාගන්නෙත් සිය පෙම්වතා සිටින ලෝකයට යැමේ තෘෂ්ණාවෙන්. නමුත් බෙල්ලට තොණ්‌ඩුව හිරවෙනකොට, එක්‌ ක්‍ෂණයකින් මියයන්නේ නැහැ. ඇය දඟලලා උගුරු දණ්‌ඩ කඩාගෙන ඕනේ මියයන්න.

තොණ්‌ඩුව බෙල්ලට දමා පහළට පැනීමත්, අවසන් හුස්‌ම පොද නික්‌මීමත් අතර තිබෙන කාල පරාසය තුළ ඇය අත්විඳින්නේ මරණීය දරුණු වේදනාවක්‌. එම දැඩි මරණ වේදනාවේදී ඇයට මියගිය සිය පෙම්වතා පිළිබඳව තෘෂ්ණාවක්‌ නොවෙයි සකස්‌වෙන්නේ. මරණීය වේදනාවෙන් තොණ්‌ඩුවේ එල්ලී වියරුවෙන් දඟලනකොට තමා කෙරෙහිම තමාට ද්වේශයකුයි සකස්‌වෙන්නේ. තමාව එතැනට ඇද දැමූ තමාට වෛර කළ ඥාතීන්, ගම්වැසියන් ගැන ද්වේශයකුයි සකස්‌වෙන්නේ. ඒ වෙලාවට මල් වට්‌ටි, සුදුමල් ගස්‌, සුරංගනා ලොවක සිටිනවා යෑයි සිතූ තම පෙම්වතා මතක්‌වෙන්නේ නැහැ. තමා කරගත් මෝහ මූලික ක්‍රියාව නිසා, තමා තුළම තමා කෙරෙහි ඇති වන්නාවූ ද්වේශය බොහොම භයානක අකුසලයක්‌. මෙන්න මේ ද්වේශ සහගත අවසාන චුති සිත නිසාමයි මරණින් මතු ඇය නිරයේ ගිනිජාලාව මත උපත ලබන්නට ඇත්තේ.

ඉහත පිළිතුර සමග දැන් පිංවත් ඔබ දැන් ඔබ මුළින් අනුමාන කළ පිළිතුර හරිදැයි ගලපා බලන්න. පිංවත් ඔබ මෙවැනි යෞවන වයසේ අයෙකුගේ මරණයකදී හුඟක්‌ වේලාවට ඒ අය සුගතගාමි ජීවිත ලබන බවයි විශ්වාස කරන්නේ. එම සිතුවිල්ල ඔබ තුළ ඇතිවන්නේ මැරෙන අයගේත්, මැරෙන්න භාවිතා කරන ක්‍රමවේදයේත්, මරණයට හේතුවන අහිංසකභාවයත් නිසාමයි. නමුත් මෙම සිද්ධියෙන් පිංවත් ඔබට හොඳින් පැහැදිලියි එම මතය නිවැරදි නොවන බව.

භික්‍ෂුව එම දියණිය ස්‌ථිර වශයෙන්ම නිරයේ ගිනිදැල් මත අපාදුක්‌ විඳින බව දැනගත් පසුව මෙවැනි දරුණු, වියරු අපා දුකක්‌ අත්විඳීමට හේතුවූ, එවැනි දුකකට වැටීමට හේතුවූ කරුණු ඇගේ ජීවිතයට ඇතුළු වූයේ, ඇය අතීතයේ කුමන අකුසල කර්මයක්‌ කළ නිසාද යන්න දැනගැනීමට ඇයගේ පෙර ජීවිතය, ඒ කියන්නේ පාසල් දියණියක්‌ව ඉපදීමට පෙර ජීවිතය කුමක්‌ ද කියලා අරමුණු කර බලනවා. 



එහෙම අරමුණු කර බලන්න භික්‍ෂුවට අවශ්‍ය වුණේ ඇය පාසල් දියණියක්‌ව ඉපදුණු ජීවිතයේදී, ඇයට ඉතා දරුණු ආකාරයේ අකුසල කර්මයන් තම ජීවිතය තුළින් විපාක දීමට සිදුවීම නිසයි. පළවෙනි කාරණය තමයි දුප්පත් පවුලක ඉපදීම, කුඩා කාලයේදීම තම පියා සියදිවි නසාගැනීම නිසා අහිමිවීම, ඒ කියන්නේ පිය සෙනෙහස අහිමිවීම, පාසල් වයසේදීම මවද විදේශගත වීම නිසා මව් සෙනෙහසද අහිමිවීම, ලාබාල වයසේදීම ප්‍රේම සම්බන්ධතාවක්‌ ඇති කරගැනීම, කෙටි කලකින් එම පෙම්වතාද සියදිවි නසාගැනීම, සමාජයෙන්, ඥාතීන්ගෙන්, ගුරුවරුන්ගෙන් චෝදනා අපවාද එල්ලවීම,අවසානයේදී තමාගේ ජීවිතය තමා අතින්ම නැති කරගැනීම පිණිස කරුණු කාරණා සකස්‌වීම ආදී මේ සියලු කාරණා අහම්බයෙන් ඇයගේ ජීවිතයට පැමිණි දේවල් නොවේ.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා සත්වයා කර්මය දායාද කොටගෙන උපදී කියලා. කර්මය මගේකොටගෙන ජීවත්වෙයි කියලා. මේ කාරණයෙන් ඉතා පැහැදිලිsයි, ඉහත ඇය මුහුණදුන් සියලු ජීවිත බාධක ඇගේ පෙර ජීවිත වල සිදුවූ අකුසලයන් බවට. ඒ නිසාමයි භික්‍ෂුව ඇයගේ පෙර ජීවිතය අරමුණු කර බලන්නේ. භික්‍ෂුවට අරමුණු වෙන්නේ ඇය පෙර ජීවිතයේදී භූත ස්‌වභාවයේ සත්වයෙක්‌ ලෙස උපත ලබා සිටි බවයි. භික්‍ෂුවට ඉතා හොඳින්ම සමාධිය තුළදී දර්ශනය වෙනවා, අඩි 2 ක්‌ පමණ දිගැති ශරීරයක්‌ ඇති කුඩා බෝනික්‌කකුගේ ස්‌වරූපය සහිත කොණ්‌ඩය කරල් දෙකකට ඉතා හොඳින් ගොතා බැඳ ඇති ගැහැණු ළමා රූපයක්‌ හිස්‌ අවකාශයේ පාවෙමිනුයි මෙම භූත ගැහැණු දරුවා සිටින්නේ. ඇය ඇස, කණ, නාසය, දිව, මන, කය කියන ආයතන හය සහිත සත්ත්වයෙක්‌. නමුත් දෙපා බිම තබාගෙන නොවේ ඇය සිටින්නේ. භූත ස්‌වභාවයේම පාවෙන ළමා ගැහැණු ස්‌වරූපයේ සත්ත්වයෙක්‌. එම භූත ස්‌වභාවයේ සිඟිති දැරිය අරමුණුවීමෙන් පසුව භික්‍ෂුව ඇගේ ඊටත් පෙර ජීවිතය අරමුණු කර බලනවා. මොකද මෙතෙක්‌ භික්‍ෂුවට අරමුණු වුණේ නැහැ ඇය අතීතයේ කරන ලද අකුසල් විපාකය කුමක්‌ද කියලා. එම නිසාමයි භූත ස්‌වභාවයට පෙර ජීවිතය අරමුණු කර බලන්නේ.

එම අවස්‌ථාවේ උතුම් සමාධියේදී භික්‍ෂුවට අරමුණු වෙනවා වයස අවුරුදු හතේ පමණ ගැහැණු දැරියක්‌. දැන් පිංවත් ඔබ හොඳින් සිතන්න මේ මොහොතේ ඇය අපායේ ගිණිදළු අතර දුක්‌ විඳින නිරි සතෙක්‌. ඊට පෙර ජීවිතය භූත ස්‌වභාවයේ පාවෙන ළදැරියක්‌. ඊටත් පෙර ජීවිතයේදී ඇය වයස අවුරුදු 7 ක පමණ වන මනුෂ්‍ය දියණියක්‌. තවමත් මුළින් සඳහන් කළ විපාකයන්ට හේතුවූ බරපතළ අකුසල කර්මය හෙළිවුණේ නැහැ. මෙම දියණියගේ ජීවිත 4 ක්‌ අරමුණුවෙලාත්..... නැවතත් භික්‍ෂුව අරමුණුකර බලනවා වයස අවුරුදු 7 පමණ දැරියක්‌ව සිට මියයැමට පෙර ජීවිතයේදී ඇය ලබා තිබූ ජීවිතය කුමක්‌ද කියලා. ඒ කියන්නේ ඇය පිළිබඳව 5 වැනි ආත්මභාවයත්.. අන්න එතැනදී තමයි භික්‍ෂුවට ඉහත සියදිවි නසාගැනීමට හේතු සකස්‌වූ, දෙමාපියන් අහිමිවීමට හේතු සකස්‌වූ, පෙම්වතා සියදිවි නසාගැනීමට හේතු සකස්‌වූ අකුසල් කර්මය අරමුණු වෙන්නේ.

ඇගේ එම ජීවිතයේදී වයස අවුරුදු 25ක පමණ කාන්තාවක්‌ ලෙසින් භික්‍ෂුවට අරමුණු වෙනවා. සමාධියේදී දුටු එම කාන්තාවත් දරු ගැබක්‌ කුසේ දරාගෙන සිටින කාන්තාවක්‌. ඇය සිය දෑතින් කුස මිරිකමින් තම කුසේ සිටින දරුවා ගබ්සා කරනවා. භික්‍ෂුවට හොඳින් දර්ශනය වෙනවා ඇය ගර්භාෂය දෑතින් පොඩි කරන ආකාරය. මෙතැන තමයි මේ දරුණු අකුසලයේ ආරම්භය.

දැන් අපි එතැන ඉඳලා පහළට එමු. මනුෂ්‍ය ලෝකයේ කාන්තාවක්‌ව ඉපිද තමාගේම කුසේ ඇතිවූ කලල රූපය ගබ්සාකර, මරා දමනවා. එම අකුසලය නිසා නැවත මනුෂ්‍ය ලෝකයේම මිනිස්‌ දියණියක්‌ව ඉපිද වයස අවුරුදු 7 දී පමණ අඩු වයසින් මියයනවා. වයස අවුරුදු 7 දී අඩු ආයුෂින් මියයැමේදී ශක්‌තිමත් කුසල් අකුසල් සිතක්‌ සකස්‌ නොවීම නිසාම භූත ස්‌වභාවයේ පාවෙන භූත දැරියක්‌ව ඉපදෙනවා. එම භූත දැරිය කුමක්‌ හෝ පිනක්‌ අනුමෝදන්ව නැවත දුප්පත් මව්කුසක දැරියක්‌ව උපත ලබනවා. මේ ලැබූ උපත තමයි පාසල් දැරියක්‌ ලෙසින් දිවිනසාගත් දියණිය.

ඉහත සටහනේ ජීවිත 5ක්‌ පිළිබඳ කථාවක්‌ කියවෙනවා. ඒ කියන්නේ මෙයට ජීවිත 4 කට පෙර ඇය ලැබූ ඒ කාන්තා ජීවිතයේදී තමාගේ දරුගැබ තමා විසින්ම විනාශකර මරාදැමීම නිසා එහි අකුසල් විපාකය, ප්‍රාණඝාත අකුසලය ජීවිත 4 ක්‌ පසුවටත් විපාක දෙමින් පැමිණ අවසානයේ එම අකුසලය විසින්ම ඇතිකරන විපාක හේතුවෙන් ඇයව නිරයේ ගිණිදළු මතට ඇද දමනවා. තමගේ කුසේ සිටින හයක්‌ හතරක්‌ නොදන්නා ලේ කැටි දරුවා තමා විසින්ම ගබ්සා කිරීමට ගැලපෙන ආකාරයටමයි ඇයට කර්මය විපාකදෙන්නේ අකුසලයේ ප්‍රතිබිම්භයමයි. විපාකයේ වෙනසක්‌ නැහැ. සම්බුදු වදන ඉතා හොඳින් අර්ථවත් වෙනවා. තම කුස උන් දරුවා මරාදැමීම නිසා ඊළඟ ජීවිතයේදී වයස අවුරුදු 7 තරම් අඩු ආයුෂින් මිය යනවා. නැවත භූත ස්‌වභාවයේ සත්වයෙක්‌ව උපදිනවා. ඊළඟට මේ රටේ දුෂ්කර පෙදෙසක දුප්පත් අම්මා කෙනෙකුගේ මව් කුසේ ඉපදෙනවා. පුංචි කාලෙම තාත්තා සියදිවි නසා ගන්නවා. අම්මා ඈත්වෙනවා. පෙම්වතාද දිවිනසා ගන්නවා. සමාජයේ අපවාද, චෝදනා නැගෙනවා. අවසානයේ තමාත් සියදිවි නසාගෙන අපායේ ගිණිදළු මත අකුසල් විපාකය විඳිනවා. බලන්න, මෙයට ජීවිත 4 කට පෙර තම දරුගැබේ සිටි දරුවා මරාදැමුවා වගේම පියාත්, පෙම්වතාත්, අවසානයේ තමාත් සියදිවිනසා ගන්නා ඉරණමකට ලක්‌වෙනවා. මේ සිදුවීම් වල දුක පීඩනය තමා විසින් දරාගන්නවා.

දැන් පිංවත් ඔබට පේනවාද අකුසල් විපාකවල බරපතළභාවය. එය විපාක දෙමින් පැමිණෙන දුර. පිංවත් ඔබ ජීවත්වන සමාජයේ ගබ්සාව කියන අති අමානුෂික මනුෂ්‍ය ඝාතනය නීතිගත කරන්න කියලා රාවයන් ඇසෙනවා නේද? ගබ්සාවක්‌ සිදුකරන ආයතන අප්‍රමාණව රට තුළ ක්‍රියාත්මක වෙනවා නේද? මේවා නැති කරන්න පුළුවන් දේවල් නොවේ. මාරයාගේ ලෝකයේ කාමයේ, රාගයේ අස්‌වැන්න තමයි මේ ගබ්සාව. මනුෂ්‍යයාගේ සිත කාමයෙන් රාගයෙන් මත්වෙන්න මත්වෙන්න අස්‌වැන්න බහුල වෙනවා. සක්‍රිය වෙනවා. ඒකයි මේවා ලෝක ධර්මයන් කියලා සටහන් කළේ. මෙම සටහන කියවන ඔබ හික්‌මෙන්න. ජීවිතයේ කවදාවක්‌වත් ඉහත අකුසලය සිදුනොකරන බවට සිතාගන්න. අසම්මත දරුගැබක්‌ ඔබට ලැබුණොත් එය මරා නොදමන්න. ලෝකයා අවමන් කරපුවාවේ. නින්දා කරපුවාවේ. ගල් ගැසුවාවේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් එම දරුවා ඔබ හදාවඩාගන්න. එම දරුවාට මෛත්‍රිය කරන්න. එහෙම කළොත් ඔබට ලෝකයාගෙන් අපවාද නින්දා පැමිණේවී. නමුත් එසේ කිරීමෙන් ඔබව නිරයට නොවැටෙන බවට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සහතිකයක්‌ දෙනවා.

පිංවත් ඔබ ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පෙන්වූ පාර අමතකකොට, තෙරුවන් කෙරෙහි ඇති විශ්වාසයෙන් තොරව, ලෝකයාගෙන් නැගෙන අපවාද නින්දා වලට බියෙන් එම දරුගැබ මරාදැමුවොත් යම් දවසක නිරයේ වියරු ගිනිදැල් මතට පතිතවන බවට හොඳම උදාහරණය ඉහත සටහන තුළ තිබෙනවා. කැමති දේ ඔබ තෝරාගන්න. ශීලයේ අර්ථය ජීවිතයට එකතුකොටගෙන ඉහත අවදානමින් පිංවත් ඔබ මිදෙන්න. තෙරුවන් කෙරෙහි ඇතිකරගන්නා අචල ශ්‍රද්ධාවත්, දන්දීම තුළින් ඇතිකරගන්නා අත්හැරීමේ ශක්‌තියෙන් මෙන්ම මේ සියල්ල තුළින් මෝදුවන මෛත්‍රී ශක්‌තියෙන් ඉහත සතර අපායේ අවදානමින් ඔබව මුදවන ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පෙන්වාදුන් මාර්ගයට පිංවත් ඔබ පියනගන්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com
 


http://www.divaina.com/2013/11/03/feature02.html
http://www.divaina.com/2013/11/10/feature03.html
http://www.divaina.com/2013/11/17/feature02.html

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ : මස්‌ මාංශ අනුභව කරන කුස සුසානයක්‌ නම්....

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ...

(මස්‌ මාංශ අනුභවය - 3)

'සතර අපායෙන් මිදෙමු' - 58 කොටස


පිංවත් ඔබ මෙහෙම හිතන්න. මෙය සටහන් කරන භික්‍ෂුව දන් වළඳනවා. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙනවා පිසින ලද මාළු කැබැල්ලක්‌. දායක මහත්මයෙක්‌ මේ මාළු කෑල්ල දැක භික්‍ෂුවට කියනවා 'හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක්‌ නේද?' කියලා. මෙන්න මේ ගැටලුවට භික්‍ෂුව දකින පිළිතුර ධර්මයට අනුව මෙහි සඳහන් කරනවා.

භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙන පිසින ලද මාළුවා, මේ මොහොතේ කොහේ හරි උපත ලබායි තිබෙන්නේ. සමහර විටෙක මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌, එසේත් නැතිනම් නැවත මාළුවෙක්‌ වෙලාද ඉපදිලා ඉන්න පුළුවන්. එය ධර්මතාවයක්‌. භික්‍ෂුව දකින්නේ පාත්‍රය තුළ තිබෙන්නේ සතර මහා ධාතූන්ගෙන් සැදුන මාළු නැමැති සංයුතියෙන් හැඳින්වෙන රූපයක්‌ පමණයි. භික්‍ෂුව පරිප්පු, පොළොස්‌, මැල්ලුම් දකින්නේ යම්සේද මාළු කැබැල්ලත් භික්‍ෂුව දකින්නේ එම අර්ථයෙන්මය.

පිංවත් ඔබ මාළු කැබැල්ල තුළ මාළුවෙක්‌ දකිනවා නම්, මස්‌ කැබැල්ල තුළ කුකුලෙක්‌ දකිනවා නම් එය දැඩි ආත්මීය දෘෂ්ඨියකි. අපි මේ ධර්ම මාර්ගයේ වීර්යයෙන් ගමන් කරන්නේ තමා තුළත් සත්ත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැහැය කියන කාරණය අවබෝධයෙන් හේතුඵල ධර්මයන්ට අනුව දැකීමටය.

එමනිසා භවයේ කොතැනක හෝ නැවත උපත ලබා ජීවත්වන සත්ත්වයකුගේ, අතීත රූපය මගේ කොටගෙන දෘෂ්ඨි කාන්තාරවල අතරමං වීම ඔබ නැවත නැවත උනන්දුවෙන් මෙනෙහි කළ යුතු කරුණකි. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙන මාළුවා කව්රුන් හෝ ධීවර මහතෙක්‌ විසින් මරන ලද මාළුවෙකි. එම මාළුව මරපු අයට එම සත්ව ඝාතන, සත්ව හිංසා අකුසලය අනිවාර්යයෙන්ම විපාක දෙනු ඇත. ඔය ආකාරයට සත්තු මරන අයමයි නැවත එය මාළු වෙලා උපදින්නේ. පිංවත් ඔබ ඔය නොදැනුවත් කම නිසා පෙනී සිටින්නේ, පෙර ජීවිතයේ මාළු මරලා එහි කර්ම විපාකයෙන් මේ ජීවිතයේ මාළුවෙක්‌ව ඉපදුනු සතෙක්‌ වෙනුවෙන්. ඒ විදිහට මැරුම්කන්නයි ඒ සතා මාළුවෙක්‌ව ඉපදෙන්නේ. එම සතා දැළට හසු නොවුනා නම්, ලොකු මාළුවෙක්‌ට අසුවෙලා, ගොදුරුවෙලා ජීවිතය පූජා කරාවී. සත්ත්වයාගේ කුසල් පාලනය කරන්න ඔබට මට බැහැ. ඒවා ධර්මතාවයන්. හෙට පටන් රජය නීතියක්‌ පනවලා මුහුදු තීරයේ මාළු ඇල්ලීම තහනම් කළොත් මුහුදේ මාළු ගහනය ශීඝ්‍රයෙන් වැඩිවේවි. තෝරු, මෝරු, තල්මසුන් වැනි විශාල මාළු සුවසේ සැපසේ පහසුවෙන් එම මාළු ගොදුරු කරගනීවි. පිංවත් ඔබ මාළු නොඇල්ලුවත්, පෙර කර්මය නිසා ආයුෂ අහවර වුණු මාළුවා, තව සතෙක්‌ට ගොදුරු වී මියයාවී.

පිංවත් ඔබට ඉන් පසුව සිදුවන්නේ තෝරු,මෝරු, තල්මසුන්ට නිර්මාංශ වීමට කියා බලකිරීමටයි. එය කළ හැකිද නොහැකිද යන්න පිංවත් ඔබම තීරණය කරන්න. භික්‍ෂුව සමග විරසක වෙන්න එපා. මම අතීත අකුසල් සංස්‌කාර හේතුවෙන් තව මොහොතකින් මාවත් කව්රුහරි මරාදමන්න පුළුවන්. එම නිසා ඉහත අදහසට පිංවත් ඔබ එකඟ නැතිනම්, එම අදහස අත්හැර දමන්න.

පිංවත් ඔබට නැවතත් මතක්‌ කරමි. ඔබ කැමතිනම් නිර්මාංශව ජීවත් වෙන්න. කැමතිනම් මස්‌ මාංශ අනුභව කරන්න. ඔබේ කැමැත්තට පටහැනි අයව විවේචනය කරන්න යන්න එපා. එසේ කොට අකුසල් රැස්‌කරගන්න එපා.

පිංවතුන්ලාගේ ඉන්ද්‍රීය ධර්මයන්ගේ වැඩීමේ ස්‌වභාවය විවිධයි. ඒ නිසා දෘෂ්ඨි, මතවාද, පරස්‌පර අදහස්‌ ඇතිවීම ධර්මතාවයක්‌. එහෙම නොවුනොත් තමයි පුදුමය. මතවාද දෘෂ්ඨි වලින් ගහන ලෝකයේ පිංවත් ඔබ ධර්මයේ විවෘත ස්‌වභාවයට එන්න. ආත්මීය ස්‌වභාවයෙන් බැහැරව පටිච්ඡ සමුප්පන්නව ලෝකය දකින්න. දැලට හසුවී මැරෙන මාළුවා මනුෂ්‍යයෙක්‌, දෙවියෙක්‌..... එසේත් නැතිනම් නැවත තිsරිසන් ලෝකයේම උපත ලබනවා. ඒ මාළුවාගේ අතීත රූපය බදාගෙන අපි සන්ඩුවෙනවා.

ඊළඟ කාරණය තමයි, මස්‌ මාළු අනුභව කරන අයගේ කුස සුසාන භූමියක්‌ය කියලා නගන චෝදනවා. ඒ කියන්නේ පිංවතුනේ නිර්මාංශව ජීවත්වෙන පිංවතුන්ලාගේ කුස, සුවඳ දුම් සුගන්ධය වහනය වන රත්තරං ගුහාවක්‌ද? මස්‌ මාළු කෑවත් නොකෑවත් පිංවතුනේ මේ කුස සුසාන භූමියක්‌ම තමයි. නිර්මාංශ පිංවතාගේ කුසත් ලේ, සැරව, මේදය, වමනය, අසූචි, මුත්‍ර බොකු බඩවැල් වලින්මයි පිරිලා තිබෙන්නේ. නිර්මාංශ පිංවතුන් ඔබ සිතනවා නම් ඔබගේ කුස සුසාන භූමියක්‌ නොවේය, එය රත්තරං ගුහාවක්‌ය කියලා පිංවත් ඔබලාට කවදානම් සතර සතිපට්‌ඨාන ධර්මයක්‌, අසුභයක්‌ පිළිබඳ දැනීමක්‌ සකස්‌වෙන්නද? මන්ද ඔබ සුබ සංඥාවෙන්මයි මේ ජීවිතය දකින්නේ. මේ කය දකින්නේ. මගේ ශරීරය පිරිසිදුයි කියන නිත්‍ය සංඥාවමයි ඔබට වැඩෙන්නේ. අකුසල් සංස්‌කාර හේතුවෙන් මියයන සත්වයෙක්‌ නිසා, පිංවත් ඔබ අහිමි කරගන්නා වූ ශාසනයේ අර්ථය මොන තරම් විශාලද.

ලොව්තුරා බුදු සමිඳුන් දේශනා කළ ධර්මය ඉක්‌මවා යන්න එපා. එසේ වුවහොත් නිර්මාංශ වුවද, මස්‌ මාළු වලට කෑදර වුවද එය ප්‍රමාදයක්‌මය. නිර්මාංශ වීම තුළත්, මස්‌ මාළු අනුභවය තුළත් නිත්‍ය සැප ආත්මීය වශයෙන් දෘෂ්ඨිගත වෙන්න එපා.

කෙනෙක්‌ මාස්‌ මාළු කනවා ශරීරය නිරෝගී, ශක්‌තිමත් කරගන්න. තව කෙනෙක්‌ නිර්මාංශ වෙනවා ශරිරය නිරෝගී, ශක්‌තිමත් කරගන්න. මේ කාරණා දෙකේදීම ඔබ තුල වැඩෙන්නේ ආත්මීය දෘෂ්ඨියක්‌. මේ සා ශ්‍රේෂ්ඨ බුදුදහමක්‌ අභියස දෘෂ්ඨි කාන්තාරවල අතරමං වෙන්න එපා. පිංවත් ඔබ කල්ප සියක්‌කෝටි ගණනාවක සිට, මස්‌ මාංශ අනුභව කරලා ඇති. සිංහයෝ, කොටි, කිඹුල්ලු, මාළු වෙලා අනුන්ගේ මස්‌ අපි කොච්චර කන්න ඇතිද? ඔබේ මස්‌ අනුන් කොච්චර කන්න ඇතිද? මස්‌ මාංශ නිසා දෘෂ්ඨිගත වෙලා කොච්චර සතර අපායන්ට වැටෙන්න ඇතිද? බත්, පරිප්පු, පොළොස්‌, මැල්ලුම්, තණකොළ මොන තරම් කන්දරාවක්‌ අතීතයේ අපි කන්න ඇතිද?

ඒත් අපි දෙගොල්ලන්ටම තවම සුගතියක්‌ නම් වෙලා නැහැ. මැරෙන ලෙඩවෙන නැවත ඉපදෙන ස්‌වභාවයෙන්මයි සිටින්නේ. කෙනෙක්‌ මස්‌ මාංශ වලට කැමතියි. තව කෙනෙක්‌ මස්‌ මාංශ වලට අකමැතියි. කැමැත්තත් , අකමැත්තත් විඳීම කියන ධර්මතාවයේ කාසියේ දෙපැත්ත වගේ. මේ දෙපැත්ත තුළින්ම ඔබ අල්ලාගන්නේ සංස්‌කාරමයි. සංස්‌කාර ඔබව රැගෙන යන්නේ භවයටමයි. මාළු කැබැල්ලක්‌, පරිප්පු හොද්දක්‌ කරන විකාරයක හැටි බලන්නකෝ. මනුෂ්‍යයාව ඇද දමන මුලාව දෙස බලන්නකෝ. එමනිසා මින්පසු මාළු කැබැල්ල දෙස, පරිප්පු ව්‍යංජනය දෙස නොව, ඒවා කෙරෙහි ඔබ තුළ සකස්‌වෙන තෘෂ්ණාව දෙස බලන්න. තෘෂ්ණාවමයි දුක සකස්‌ කරන්නේ. මේ ලැබුණු උතුම් ජීවිතයේදී ධර්මාවබෝධය, සම්මාදිට්‌ඨිය උදෙසා ගමන් කිරීමට අවශ්‍ය ජවය ශක්‌තිය ශරීරයට ලබාගැනීම උදෙසාම ආහාර අනුභව කරන්න. මාළු කැබැල්ල තුළ මාළුවෙක්‌ නොව, පරිප්පු ව්‍යංජනය තුළ පරිප්පු නොව, ඒවා අසූචියක්‌, වමනයක්‌, මුත්‍රා කෝප්පයක්‌, රුධිරය කෝප්පයක්‌ වශයෙන් දකින්න. ආහාරය කුමක්‌ වුවද එහි ඵලය ආයුෂ, වර්ණය, සැපය, බලය, අනිත්‍ය බව සිතමින්ම, දකිමින්ම ඒවා ආහාරයට ගන්න. නිත්‍ය සංඥා, සැප සංඥා, ආත්මීය සංඥා මාළු නිසා ඇතිවුවද, පරිප්පු නිසා ඇතිවුවද ඒවා පිළීගඳ ඇති කෙළෙස්‌ම බව දකින්න.

ඉන්ද්‍රජිත් සුබසිංහ
indrajith.media@gmail.com.

http://www.divaina.com/2013/12/15/feature02.html

Tuesday, December 17, 2013

ඔබට අවුරුදු එනවද?

Life in a Tea Garden - Bogawantalawa, Central

මොට්ටුවෙන් ලේ පෙරෙනවද
ගඟ ගලල දෝරෙ යනවද
තෙයිවානෙයි මේ විදිහට
ඔබට අවුරුදු එනවද?

පෑ වියැක ගිය සාරියේ ඇණි
කැලෑ තුත්තිරි මල් ලිහා
මල් පිපුණෙ නැති කණ කරත් ඈ
සිනා විය සින්නට තබා

බංගලාවෙම බංග වුණු මල්
පැතුම් පොදි හිස මත තබා
පොඩි කෙලී ගිය ගමන සිහි වී
පින්න මල් සැලිලා ගියා

Picture - by Hemant Buch
Source - trekearth.com

ඔබ මිය ගියාද සොඳුරේ

Image Found on the Web

හැම දේ ම නිසලයි - හැම දේ ම දීප්තිමත්
ඔබ මිය ගියාද සොඳුරේ

වලාකුළු වැටින් පැන
වසන්තය පිරුණු දේශෙට
මගේ හදවත අත
ඔලොගුවක බහා ගෙන
මතකයත් අරන් ඔබ
ගියාද නිල පිරුණු ගුවනට

ඉතින් දැන්..

බලා ඉන්නවාද දොරකඩ

එනතුරා මම
පුරුදු හාදුවත් අරගෙන

Picture owner - unknown, from Bert's collection

පුතේ පහුරක් වෙන්න දුක සපිරි සයුරට

Monochrome Image Found on the Web

හැමතැන ම වස විස
කිණිසි තුඩු ඇන ඇන
අනේ අම්මේ මං
ඉන්නෙ කොහොමද

පුතේ පහුරක් වෙන්න
දුක සපිරි සයුරට
එයින් ඈතට යන්න
හැකිවන්නෙ එතකොට

නපුරු දේ සිදු වෙයි
ගල් මුගුරු විසි වෙයි
නිවැරද්ද වුව උන්
වැරදි බව පවසයි

අකුරු විසකුරු වෙයි
සකලු තටු සිඳ ලයි
දුක වටහාගන්න
හොඳ ම මඟ එය ම යි

විකල් වූ මිනිස් හිස බලා
අකල් කල නොමිය හද තලා
මෙකල් හී වැයෙන රුදු නලා
සුකල් අස්වනු ගෙනෙන වලා

Picture owner - unknown

Monday, December 16, 2013

බැංකු

Monochrome Image Found on the Web

2013.12.17

කාර්ය බහුලත්වය නිසා විදුලි බිල් ගෙවීම මා අතින් අතපසු ව තිබූ අතර මම උදෙන් ම ........................ බැංකුවට ගියෙමි. ගියේ නැත. යන්නට ලැබුණේ නැත. දොරින් ඇතුළු වන විට ම මගේ උරහිසින් (මතක විදිහට, ව්‍යාකූලත්වය නිසා අතින්දැයි උරහිසින්දැයි මට හරියට ම කිව නොහැක.) ඇල්ලූ අයෙක් මා පිටුපසට තල්ලු කළේ ය. "කොහෙද යන්නෙ?" ඔහු ඇසුවේය."බැංකුවට" මම කීවෙමි. තවත් අයෙක් එතැනට පැමිණියේය.

"ඇයි බැංකු අරින වෙලාව දන් නැද්ද?" "ඔයා කවුද?"

ස්වරය තද ප්‍රශ්න කිහිපයක් ම ඇසිණි. කිසිවක් සිතා ගත නොහැකි වූ මම 'Thank you' කියා පිටතට පැමිණියෙමි. වෙලාව පෙරවරු 8.50 පසු වී ඇති බව මට පෙනිණි.

මහ පාරේදී ම මගේ ඇස් වලින් කඳුළු කඩා හැලෙන්නට විය. "තමුසෙ මොකටද අඬන්නේ? බැංකුවක් නිසාද අඬන්නේ? කාලකන්නි බැංකුවක් නිසාද අඬන්නේ?" මගේ හිත ම මගෙන් අසද්දිත් මට හැඬුම නවතා ගත නොහැකි තරමට හිත පෑරීම වැඩි වුණි.

මීට හරියටම සති කිහිපයකට පෙර අපි චෙක්පතක් ඔය කියන බැංකුවේ ම චෙක්පත් භාරගන්නා යන්ත්‍රයට දැමුවෙමු. බැංකුවල අය අතින් චෙක්පත් භාරගන්නට දැන් කැමති නැත.

අප වෙත පසු ව බැංකුව විසින් දැනුම් දෙන්නට යෙදුණේ අදාළ චෙක්පත අප විසින් භාර දෙනු ලැබ නැති බවත් යන්ත්‍රයට ඇතුළු කර ඇත්තේ තැන්පතුපත පමණක් බවත් ය. තැන්පතුපතෙහි පිටපතක් අප සතු ව පවතිද්දීත් එසේ විය නොහැකි බව බැංකුවට ගොස් අප පැහැදිලි කොට දෙද්දීත් ඔවුහු එය නොපිළිගත්හ.
"ඔයාල ඔච්චර කියනවානම්, අපි වීඩියෝ රෙකෝර්ඩින් එක බලමු" බැංකුව අපට ප්‍රකාශ කළේය. අපි මඳක් ඉන්නැයි පවසා අප තැන්පත් කළ චෙක්පත අදාළ ගිණුමට තැන්පත් වී ඇත්දැයි පිරික්සා බැලුවෙමු.

චෙක්පත නිසි පරිදි තැන්පත් වී ඇත.

එසේ නම්, එම මුදල් ගිණුමට පැමිණියේ කෙසේදැයි අපි බැංකුවෙන් ඇසුවෙමු.

බැංකුවේ මුහුණුවර වෙනස් වූයේ එතැනදීය. "එහෙනම් මිස්, බැංකුවේ ම ඇති.. මිස්ප්ලේස්වෙන්න ඇති.. හරි බලන්නම්" බැංකුව කීවේ ය.

එවන් විටවත් ක්රූර බැංකුවට පෙරළා නොබැනීමට තරං කරුණාවන්ත හදවත් මිනිසුන් කොටසකට පමණක් ලබා දුන්නේ කවුරුද?

එහෙව් බැංකුවක් අපට සලකන විදිහ ය මේ..

තවත් දවසක පශ්චාත් උපාධිය සඳහා බැඳීමට යම් මුදල් ප්‍රමාණයක් මදි ව මම බැංකුවට ගියේ එවැනි දෑට ණය ලබා ගැනීමට හැකි බව මා අසා තිබූ නිසාය. මා එසේ ගියේ කිසිවෙකුට කරදර නොකිරීමට සිතූ නිසාය. ඒ විශාල මුදලක් නොවේ.

"රුපියල් ලක්ෂයකට අඩුව අපි දෙන් නෑ.. ලක්ෂයක් ඕනි නම් දෙන්නම්.. ඒත් බේසික් එක තිස්පන්දාහක් වෙන්න ඕනි.. මාසික ආදායම පනස්පන්දාහක් වෙන්න ඕනි.. ඒක අපට පේන්න ඕනි.. මේ account.එකට වැටෙන්නැත්තං අපට ඒක පේන් නෑනේ.. ජොබ් එක permanent වෙන්න ඕන.."

මා ඒ ණය ගත්තේ නැත. මාසේ වියදම පවුලට භාර දී මම එම මුදල වැටුපෙන් ගෙවා දැමීමි.

'බැංකු තියෙන්නෙ සල්ලිකාරයන්ට' මම එදා හිතුවෙමි.

බැංකු කියන්නේ මොනතරං අසංවේදී තැනක්ද? බැංකුවල වැඩ කරන මිනිස්සුත් එහෙම වීම කනගාටුදායකය.

මගේ මතකය අවුරුදු දහයකට පෙර අතීතයකට ඇදී ගියේය. මම එකල රාජ්‍ය බැංකුවක සේවය කළෙමි. මා ළඟට සේවය ලබා ගනු පිණිස පැමිණි බහුතරය දමිළ දුප්පත් පිරිසක් විය. ඔවුන් මට කතා කළේ "පුංචි නෝනා" කියා ය. මා ඔවුන්ට කඩිනමින් සේවය ඉටු කර දී අසීමිත සතුටක් ලැබුවෙමි. මම ඔවුන්ට හැකි ඇතැම් විට කුඩා කුඩා තෑගි දුනිමි.  ඔවුන්ගේ බැංකු ගමන මා බලන්නට එන ගමනක් බවට ඇතැම් විට පරිවර්තනය වුණි.

දිනක් අපි වරුවෙන් බැංකුව වැසුවෙමු. ඊට පසු දින තෛපොංගල් දිනය විය. බැංකුව වසා අප මිදුලටත් පැමිණි පසු තෙමී ගෙන ගෝවින්දගෙයි තෙයිවානෙයි ආවා ය. ඇගේ කැඩිච්ච කුඩ තටුව වැස්සට ඉගිලෙමින් තිබිණි.ඈ ආවේ පසු දින තෛපොංගල් දවස සැමරීමට ඉලක්කම් ප්‍රමාණය කුඩා වූ පඩියෙන් කීයක් හෝ ගැනීමටය. මම කළමනාකාරතුමාට බැංකුව ඇර ඇයට මුදල් ලබා දෙමුයි පින්සෙණ්ඩු වීමි. මගේ කරදරය දරා ගැනීමට කරුණාවන්ත හිතක් වූ කළමනාකාර මහතාට නොහැකි වූයේ ය. වැසූ බැංකුව නැවත ඇරිණ. ඇය අතට මුදල් ලැබිණ.

"පුංචි නෝනා.. පින්" ඇය මුව ඇදුණු හිනාව කෙසේ කවදා නම් මා අමතක කරන්නද?

මොට්ටුවෙන් ලේ පෙරෙනවද
ගඟ ගලල දෝරෙ යනවද
තෙයිවානෙයි මේ විදිහට
ඔබට අවුරුදු එනවද?

මා බැංකුවෙන් අස් වී එන දවසේ මේ කුඩා මිනිසුන්ගේ ඇස් තෙත් වී තිබිණි. ගෝවින්දගේ තෙයිවානෙයි වයසක දමිල මිත්තණිය, අකුරු දන්නා අයෙකුට කියා සුබ පැතුමක් ලියාගෙන ඔතාගත් යමක් තුරුලු කරගෙන විත් මා අස තැබුවා ය. "හංසයින් නටන බිත්ති ඔර්ලොසුවක්"

තිසරුන් රඟන බිත්ති ඔර්ලෝසුව
හරි බරයි අත්තම්මේ
ඔබේ නහර ඇදී ගිය වියළි අත් සිහි වන විට
එ තිසර පිට නැඟී
මට දෙව් ලොව යන්න බෑ අත්තම්මේ

ඒ ඇගේ දවස් කීයක වැටුපද? තේ දළු නෙලූ ඈ මේ ඔර්ලෝසුවට දවස් කීයක් නම් නැහෙන්නට ඇතිද? මම හදින් ඇවිලී ගොස් 'එපා' යි කීවෙමි. එහෙත් ඇය නැවත එය ගත්තේ නැත. එය මගේ ජීවිතයේ මා ලද වටිනා ම ත්‍යාගයක් විය යුතු ය.

එ කල මා වෙත පැමිණ අයෙක්.. "ඔයාලගෙ බැංකුව වගේද, අර ................... බැංකුවට ගිහින් බලන්න ඕන එතික්ස්" නිතර මුමුණා ගියේ ය.

මිනිස ඔබ වගේ ම යි ඒ බැංකුව
සම්මානෙන් පිදෙන පිදෙන තරමට ම අධම වෙන

මම අද ඔබට පිළිවදන් දෙමි.

Picture owner - unknown, Source - Bert Christensen's collection

Sunday, December 15, 2013

මේ මොහොත පමණයි



නෑදෑයෝ වේගයෙන් ළඟාවෙත් ගෙදරට
කවදා කෙසේ ඉවර කර ගන්නද කොතෙක් වැඩ
දරුණු හිසරදයකින් වාරු වුණෙමි යහනට
එසැණ ප්‍රඥාව පැමිණ මා වැළඳ ගත්තේ
මේ මොහොත පමණයි
සැපෙනි - සුවෙනි
මම නැඟිට අලංකාර ඇඳුමක් ඇඳ ගතිමි

Picture - http://www.zastavki.com/eng/Nature/Flowers/wallpaper-34291.htm

Saturday, December 14, 2013

Blog Post No. 1000 : පයින් ලද නුඹ චුම්බනය



පහර ලද තැන
ස්නායු නහර ගල් විය
රිදුම් දෙන විට අපමණ
පයින් ලද නුඹ චුම්බනය

හිසින් පිටවෙයි උණුසුම
ගෙලග සිරවෙයි ඉකියම
හූම් හඬ නැතිවම මම
අඳුරු කඳුළක තනිවම

බිඳෙන් බිඳ බැඳ ආ සෙනේ
මුදුව මත සිරවුණු දිනේ
හදින් මතුරා උරා බිව් පෙම
නිමා වුණු බව නොදැනුණේ

උනා දමනා සළු පිළි
කඳුළින්ය පිරිසිදු වුණේ
ගෙවී ගිය අත් වහලු අතරින්
ප්‍රේමයද අම ගිලිහුණේ

Picture - Blue Valentine Movie