Saturday, August 30, 2014

පිපේ නම් හුරුපුරුදු සෙනෙහසින්



මා වැළඳගෙන හැඬුම් දරන්නට උරහිසින්
ඔබට එන්නට හැකිද නිම්තෙරින්
හිරු අවරගිරට වන තනිකමින් පිරීගිය
සවස් යම මුදවන්න සීතලෙන්

කඳු අතර මරු කතර වුව කමක් නැත මිතුර
මිණිවරව සිනා සේ නම් පෙමින්
වැසි වසින රැය අඳුර මුලා කර ම'හද මත
පිපේ නම් හුරුපුරුදු සෙනෙහසින්

Picture - Steven Quartly

ජීවිතය පෙනි පෙනී නොපෙනි යන



ජීවිතය පෙනි පෙනී නොපෙනි යන
සිහිනයක්දැයි මගෙන් අස අසා විමසන
කඳු මුදුනි අරගන්න හද පුරා වැගිරෙන
කඳුළු කඳු..

Picture - Alexander Nemakin

Thursday, August 28, 2014

කඳුකරය වුණත් කාන්තාරයක්



කඳුකරය වුණත් කාන්තාරයක්
ඔබ නොමැති කල සොඳුර
බැඟිරි ගගා වැටෙන්නේ දිය ඇලි
අනේ බෑ කිය කිය

කම්මැලියි කියා එක මොහොතක්
නවතින්නද යන ගමන් මඟ හැර
පිට කොදු රිදෙද්දිත් අඬ අඬ
ගලනවා මිස ගල් බොරළු පසු කර

Picture - Ademaro Bardelli (1934-2010)

කටු එක්ක ලැබෙන්නේ රෝස ගස්



කටු එක්ක ලැබෙන්නේ රෝස ගස්
නොයා කොහොමද ඒ වුණත්
කඳුකරය වුණත් තිත්තයි
ඔබ නැතුව ඉන්න කොට දැනගෙනත්

සුමුදු අතක් වෙන්නටත් ඇති පහසු තැන්වලින් කපා දැමුවේ නම්
ලද යුතු දෙයක් මිස වෙන කිසිත් ලැබෙන්නෙත් නැත්නම්
අවසන් කඳුළත් නිවා අහුරද්දි ගමන් මලු කඩිනම්
හිතා ගන්නත් බෑ මට එන සතිය කොහොම වේවිද නම්

Picture - Lena Sotskova

Saturday, August 23, 2014

මා අඳින්නේ ඔබ



මා අඳින්නේ ඔබ
කවුළුවෙන් එබෙන ඔබ
කවුළුවෙන් එබෙන ඒ
බලාපොරොත්තු පිරි දෑස
මින් කලක් පෙර තිබුණ

මා අඳින්නේ ඒ
පැතු දසුන් හිමි වී
සිනාවෙන් පිනා ගිය ඇස
කවුළුවෙන් එබුණ ඔබ
පෙමින් මුසපත් දෑස

හුදෙකලා රාත්‍රීන්හි
සිහින් සුසුමක වෙළී
සිතා ගනු බැරි ඈත
ඇවිද ගිය ඔබ දෑස
හිස් බවින් පිරි දෑස

මා අඳින්නේ ඒ
මේඝයක් සේ දිනෙක
වැළපි වැළපී හඬා
බිමට වැටි නිල් දෑස
කඳුළු බරවුණු දෑස

Picture - Stan Moeller

Friday, August 22, 2014

හිම කුඩු විසි කරද්දිත් අහස



හිම කුඩු විසි කරද්දිත් අහස
ශ්වේතය පසාරු කර
නොමිදෙන ගංගාවක් ගලා යයි
පත් නොසලා සීතලෙන්
ගල් ගැසී උන් තුරු අග
හීන් උණුසුමක් රන්ඳවයි
සිය පැහැපත් මුහුණු දැක ගත්
කුරු තුරු පවා මවිත වෙයි

Picture - Irina Kruglova

හිම තැවරුණ පීච් ගසක්



මිනිසුන් ඇයි මැරෙන්නේ
මිනිසුන් ඇයි ඉපදෙන්නේ
වැස්සට තෙමි තෙමී මම යනව ආරාමයට
හිම තැවරුණ පීච් ගසක්
එතකොට හිනාවෙනව මට

Picture - Irina Kruglova

වතුර පිරෙන වැහි කාලේ



වතුර පිරෙන වැහි කාලේ - තරගෙට
නටති ගෙඹි පැටවු
සරැළි නඟන ගඟ දෑලේ - අසිරිය
බලති පොඩි ළමෝ

අන්න අතන හබරල අතු ගඟේ ගිලෙනවා
මෙන්න මෙතන දිය නාගෙන බූල අඬනවා
ගඟ ගෙන එන දර හොයන්න ළඳුන් ඇදෙනවා
වැස්සට තෙමි ගඟ දෑලේ නෙළුම් පිපෙනවා

උඩ බලන්න උඩ බලන්න අන්න අහස අළු
පා තියන්න ළඟයි වගේ සලා වලා සළු
දුවගෙන නොගියොත් ගෙදරට අම්ම බනිනවලු
ගස් අඹරන සුළඟ හමයි අහසේ ඇඳ කළු

Picture - Vincent Van Gogh

Thursday, August 21, 2014

පුළුන් සිලිලාරය



එහෙත් නොසිතමි කිසිවිට
අනේ මට මෙතැනට යන්නට ඇත්නම්
ගියා මෙන් විඳගත හැකිය
පුළුන් සිලිලාරය

අනේ මට තටු තිබුණා නම්
කියා නොම අමතමි මා සිත
කිමිද නා අවසන්ය
එක සැණයකින් මම

එක රටක් වුවත් ඇති
එක භවයකට
අනෙක් වර වෙනත් රටක් ලැබ ගත හැකිය
අතැර දමා සියලු පිනි බිඳු
පරිපූර්ණත්වය ලද කල
එකම මොහොතක සියලු රටවල
පෙනී සිටිය හැක
නිසොල්මන්ව හිඳ සිටින විට තැනක
සියලු සුන්දරත්වයම
පැමිණ යා හැක ඔබ වෙත!!

Picture - Ransirimal Fernando
Place - Helmcken Falls, Wells Gray Park, Clearwater, British Columbia

ඉරා දමමු අපි කඳු බඳ තිමිරය



ඔබ ගැයු ගීයක් මට ඇසුණේ නැත
කැලත කැලත නැඟි සකුණ සරය හැර
ඔබ වස්දඬු රැව මිදී ගියාදෝ
අන්සතු උයනක පිපුණු මලක් දැක

සුමුදු පෙමක් මිස අන් කිසිවක් නැත
ඔබේ නමින් මා හද මත සුලලිත
ඒ ආදරයෙන් නෑවී යන කල
ඉරා දමමු අපි කඳු බඳ තිමිරය

සඳ බැස යන පෙරඹර හිරු කැලඹෙන
දිගැති රැයක අවසන් රේඛාවෙත්
මා හද සැළමුතු පෙම ඔබ, ලියලන
සිහිනෙන් තැවරූ උණුසුම් සුවයද

Picture - Igor Medvedev

පියය නැත නුඹ ඒ තරං ලොකු



නුඹයි මගේ කවි උල්පත
හද පාරා පිපුණු නෙළුම
වේදනාව වේදනාව
කැටිව ගෙනා වේදනාව

නුඹට පෙම් කළ වැරැද්දක් ඇති
නමුදු ගුලිවී හිත අගිස්සක
සිය දහස් වර හඬන තරමට
පියය නැත නුඹ ඒ තරං ලොකු

නුඹම පාරන හදක ප්‍රේමය
හඬ නඟා වැළපෙන සුයාමය
සිනහවක් මිස කඳුළු නැත තව
හදින් උතුරා ගලා විසිරෙන

Picture - Sergio Cerchi

කඳු අතරින් එහා ඈත . . .



කඳු අතරින් එහා ඈත
අහස් ගඟද ගලන්නේ
නුඹේ හිතින් මම මිදුණට
අහස මොටද අඬන්නේ

රුවින් තැනුණු රූබර මල්
අහස් ගඟේ පිපෙන්නේ
නුඹ නොදකින රුවැති පෙමක්
රුවක් නැතිව තිබෙන්නේ

මලිගිය මල් අහුරු පිටින්
නුඹේ වටේ පිපෙන්නේ
එහි සුවඳට ඇදෙන බඹර
මම මොකටද අඬන්නේ

Picture - June Carey

එක හුස්මකින්



හිම බිඳෙන හඬ ඇසෙයි
රාත්‍රිය පුරාවට
කීරි ගැසෙයි සීතලෙන් හිත

ඇසෙයි මට එවන් විට
නන්නාඳුනන ගුවන් තොටුපළක
ඇස ගැටී නුඹ
ගමන් මලු බිම වැටෙන හඬ

උණුසුම් වෙයි මුළු සිසිරයම
එක හුස්මකින් සොඳුර

Picture - Elena Yushin

Wednesday, August 20, 2014

බොස්ටන් අහස

අසංග බණ්ඩාරගේ පින්තූරවලින් ප්‍රමුදිතව:



ගඟ වුණත් හරිම හිස්
තරුවක් නැති තරමටම අහසත්

කුඩා රළවල ඉදිමුම
පෙනේද කිසි කෙනෙකුට
එහෙත් චා'ලස් නදිය ගලයි
බොස්ටන් අහස පසු කර

ගොඩනැඟිලි කියන්නේ මිනිසුන්ටද
අනේ මම තවම නොදනිමි
නටත් ගයත් වයත් උද්‍යානවල
නිහඬ ගසක් මෙන් නැවතුණ
හුදෙකලා මිනිසෙකි එහි තැනක
තොටියා පැද යයි ඔරුව
රන්වන් ආකාසය වෙතට

මිනිසුන් කියන්නේ වහලුන්ය
ජීවිතයේ යම් තැනක
Pictures - © Asanga Bandara

ෆර් ගස්



කඳු ඉස් නඟන කිවිසුම් හඬ
මෆ්ලරයකින් වළකන ෆර් ගස්
කිටිකිටියේ තුරුලුව එකිනෙක
ගයයි සීත සෘතුවට හිමි ගීත

පිපාසිත කල නොලද
හිම බඳුන් චාටුවෙන්
දැවටී ෆර් පත් මත
භජනය කරයි සමාව

Picture Source - http://hdw.eweb4.com/out/1010151.html

තණ පතක් හිමිදිරි උදෑසන



ඇඬෙන්නෙත් නැති නිසා හරියට
අඬන්නත් බැරි නිසා හරියට
හෝඩි පොතටම අකුරු විසි කර ඉන්නවා
මලක සුවඳට හඬන කනුකුණු
බමර රැඟුමන් දන්නවා

තවම නොමිදුණු හීනයක අග
තුහින මුතු කැට විලස ගෙල බැඳ
තණ පතක් හිමිදිරි උදෑසන
මනමාලි වී ඉන්නවා

කඳු මුදුන් අග එලා පාවඩ
දිනිඳු එන මඟ විසල් රැස් කඳ
පිනි ඇමිණි සුදු තුහින සේලය
ඉරා විසුරා දමනවා

විසල් නිම්නෙක පිපුණු රන් මල්
වෙතම හිරු ඉඟි පානවා

Picture - Harold Brett, American, 1880–1955

Tuesday, August 19, 2014

භෂ්මාවශේෂ ඇඳුම්



විල රළ නඟන්නේ අනෙක් පැත්තට
වලාකුළු ඇවිදින්නේ වෙනස් විදිහට
මෙන්න ඒ අය කතා කරනවා
අළු පාට ඇඳුම් ගැන

භෂ්මාවශේෂ වගේ අළු පාට
උඩු සුළඟට විසිර යන නමක් ගමක් නැතිව
එක් තැනක මඳක් නැවත
තව තැනෙක වැළලෙන

මෙන්න ඒ අය කතා කරනවා
භෂ්මාවශේෂ ඇඳුම් ගැන
කෝ ඒ අයට නම්
ලැබූ පැසසුම් මෙන්ම නින්දාවන්?

Picture - Oscar R., The Temple in the village of Jin Xi

ආයුබෝවන් කියා අමතන කුඩා කඳු ගැටයක් මම!



ඉඳහිට පමණක් වැටෙන වැස්සක්ව
අළු පාට රැළි නඟන්නේ කඳු මත
මෙතරම් නොරුස්නාවක් ගෙන ආවෙද කොහෙන්
සැලි සැලී වැළපෙන කිරල හඬ

පැමිණෙන දිනක් කිව නොහැක යළිත්
ආ යුතු විලසක්ද නොදනිම්
ලියමනට පෑන තබන කල
සිහිනයද දියවෙයි මනරම්

ඉස්පිරිතාලය කොරිඩෝව දිග
සුරඟනන් බැස එන පිය ගැට
ආයුබෝවන් කියා අමතන
කුඩා කඳු ගැටයක් මම!

Picture - Gerhard Richter, German

Wednesday, August 13, 2014

අරවින්දයනි මම මහ සයුර



අරවින්දයනි මම්
මහ සයුර

මතකයක් මිසක කිසි උණුහුමක් විඳිනු බැරි
රළ නඟනු මිස ළමැද පෙමක් රැක හිඳිනු බැරි
හදට හද තබා පෙම් සයුර මුදු සිඳිනු බැරි
සයුර වැලි පස ගැඹර ඔබට ඉඩ තියනු බැරි

අරවින්දයනි මම්
මහ සයුර

විලෙන් විල ලතාවට සොලවනා ඉඟ තිසරු
තුඩෙන් තුඩ උරා මුව මධු, වෙළෙද ළඳ බඹරු
සරෙන් සර නුඹ සවන තබාවිද පෙම් සමරු
සයුර මම, අරවින්ද, කඳුළු හිමිවුණු අඳුරු

Picture - Andrei Markin

Friday, August 8, 2014

අඬනවාවත්ද ඔබ මහ මුහුද?



කරදිය සුළඟ විසිකර ගාලු පාරට
අඬ අඬා ආපහු හැරී යන මහ මුහුද
ඔහු කී දෙබස් ඇසී වෙන්ව යන විට එදා
එතැන් සිට පටන්ගෙන හඬනවාවත්ද තව

එන්න එන්නම මගෙත් ජීවිතේ බරවුණා
අඬන්නටවත් ඉතින් කාලයක් නැතිවුණා
හිත හඬා වැටි කඳුළු අහන්නත් බැරි වුණා
ඉකියකින් හිර වෙලා හීනයම ගොලු වුණා

එතැන් සිට පටන්ගෙන නවතගන්නට බැරිව
අඬනවාවත්ද ඔබ මහ මුහුද?

Picture - Jose Royo

Tuesday, August 5, 2014

අම්මා සහ සතුටු කඳුළු



මගේ සොඳුරු පෙම කඩා ඉහිරුවා
සතුටු කඳුළු සැලු අම්මා
ටෙලි නාට්‍යයක බිඳුණු පෙම බලා
ඉකි ගසා හැඬුවා

* මෙම කවිය බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයයේ විද්‍යා පන්තියේ බිත්තියෙන් උපුටා ගන්නා ලදී. එනයින්, කර්තෘ නොදනී.

Picture - Doohong Min

වැහි බිඳක් නඟන රළ



වැහි බිඳක් නඟන රළ
වියැක යයි සමුදුරෙහි සුමිතුර
ලාක් කුරුල්ලෙකුගේ ගීතය
ඇසේද මෝසම් වැසි අතර

කුඩා දැරියක හඬන හැඬුමක්
වෘක වාදන අතර ලොප් වෙයි
හදින් වැටි උණු කඳුළු බිඳුවක්
ගොජර විලසින් පොළොව ගිල ගයි

Picture - Dario Campanile

නාය යන්නෙය කඳු ළය



සිර කර ගත් බැවින්
කඳුළු කඳු එක දිගට
පුපුරා මුළු මහත් හද
නාය යන්නෙය කඳු ළය

Picture - Mary Jane Ansell

සිහින



මම දුටිමි රෑ සිහිනයෙන්
සොරෙකු පැන නිවසට
සොරා ගෙන යනු ඉදිකටු
තුඩ ගෙවී ගිය පැන්සල
පාදයක් අබලන් ට්‍රයිපොඩය

උදෑසන අවදි වූ මිදුලෙහි
විසිර තිබුණි කැඩී ගිය පයින් අතු
නැවී තිබුණි තාප්පය මත යකඩ තුඩු

මින් වසර තුනකට පෙර දින තුනක් එක දිගට
සිහිනයෙන් දුටිමි අත්තම්මා යන වග
වහා ගෙදර යා යුතු වග අයෙක් කීවේය මට
අසමත් වෙන්නට යෙදුණු විභාගයක් නිසා
සෙල්වීමටවත් නොහැකි වුණි උන් තැනින්

වරින් වර සිහින පැමිණ
පණිවිඩ කියා යයි මේ ලෙසින්
සුරංගනාවියක් ලියයි මගේ දිනපොත
රෑ වසින සඳ දියෙන්
ඇතැම් විට පෙන්වයි
පැන පත් පවා සිහිනයෙන්

Gil Junger විසින් අධ්‍යක්ෂණය කරන ලද 'If Only' චිත්‍රපටිය නැරඹුවෙමි. Wikipedia එය හඳුන්වා දී ඇත්තේ romantic fantasy චිත්‍රපටියක් ලෙසයි. එහෙත් මගේ අත්දැකීම් අනුව වරක් දෙවරක් නොව බොහෝ අවස්ථාවන් ප්‍රමාණයක් මම මේ අත්දැකීම විඳ ඇත. මා එය එසේ වන බව තේරුම් ගත්තේ 9 වසරේදීය. දිනක් මම සිහිනයෙන් මගේ මිතුරියක මා හා තරහ වනු දුටු අතර එසේ වීම කෙසේ හෝ වළක්වා ගත යුතුයැයි උදෑසනම කල්පනා කළෙමි. එහෙත් කවර වැළකීමක්ද? කෙසේ හෝ ඇය මා හා තරහ වූවාය.

දිනක් මම මගේ මිතුරෙකු වාහනය කැඩී අතරමඟ සිටිනු දුටු අතර උදෑසන ඔහුට ඒ බව පැවසීමි. "ඔයා නම් පුදුම සංවේදී කෙනෙක්. ඊයෙ රෑ වාහනය මඟ කැඩුණා" ඔහු කීවේය.

එහෙත්, If Only චිත්‍රපටියේ රැයේ දුටු සිහිනයට ඇහුන්කම් දෙමින්
Ian Wyndham, Samantha Andrews මරණයෙන් ගලවා ගනියි. මම මගේ මෝටර්‍රථය ගත් කල එහි අත්තම්මා දමාගෙන රවුමක් යෑමට සිහින දුටු නමුත්, මා එයින් මුල්වරට ගමනක් කියා ගියේ අත්තම්මාගේ මළගමටය. සමහරවිට විභාගය අතැ මා එහි ගියා නම් මට ඇයව බේරාගැනීමට තිබිණ. බේරා ගැනීමට නොහැකි වුවත්, ඇගේ ජීවිතයට ලස්සනම දවස් කිහිපයක් එක්කිරීමට තිබිණ. මට විභාගය තිබුණේ අද නම් හෙට උදය වන විට ඇය නික්ම ගොස් තිබිණි. මේ ගැන මා සතුව පශ්චත්තාපයන් නැතැයි කිව හැක්කේ කාටද?

කොහොම නමුත්, මට කියන්නට ඕනෑ එය නොවේ. ඔබ ආදරය කරන අය තවත් සුළු මොහොතකින් ඔබ අතැර නික්ම යා හැකියැයි සිතමින් ඔබ ඔවුන්ට ආදරය කළ යුතු බවයි; ඔවුන්ගේ ජීවිත ලස්සන කළ යුතු බවයි.


* If Only
is a 2004 romantic fantasy film directed by Gil Junger and starring Jennifer Love Hewitt and Paul Nicholls.


Picture - Judy Gibson

මරණය එවා ඇත තෑග්ගක් කොට



මරණය එවා ඇත
තෑග්ගක් ලෙස
විවර නොකරම සිටිමි

එවන් විට මං පැහැරන්නන් මෙන්
දිව්‍යත්වයේ මාවත් වසා
පතුරයි ගණ තිමිර තිර
සිඳ අවසන් දිය බිඳුවඳ
අවසඟව හුස්ම ගනී කඳුකරය

ළය පස හාරා
බෝර දමත් ඔහු සහචරයෝ
සිහින විසිරී යයි කැට කැබිලිතිව
කඳු ඉස දිය කඩිති අස
සුදු පාටින් ලියත් සමරත්
භාරකරුවන් නොව ඔවුන්
අයිතිකරුවන් බව

මහපාරේ ගස් ගල් වල
සටහන් කරති අපේ මරණය

මරණය එවා ඇත ඔහු
තෑග්ගක් කොට
විවර නොකර සිටියද තවම

Picture - Manuel Nuñez

Monday, August 4, 2014

පහන්



පහන් සියයක් විසි කළෙමි අහසට
ඔහුට ආලය බව කියන්නට
ඉරිසියාවෙන් කෙඳිරි ගා නල
එපා එ'පහන් සිළු නිවන්නට

Picture - Elena Dudina

ෆර්හානා



"මට මතකයි ඔබ
අමතක කළේ නැත කිසි විටෙක
මොනතරම් හොඳ හමුවීමක්ද..?"

ලොබියේ කෙළවරේ
මහ හයියෙන් වහින වෙලාවේ
නන්නාඳුනන අපි වාඩි වෙලා උන්නා
අපේ හඬවත් නොඇහෙන තරමට
අකුණු ගසමින් වහිද්දී
ඔබත් මමත් යාන්තමින් හිනාවුණා
කළු ෆර්දාවකින් හිස ඔතාන
ෆර්හානා ඔබ මුළු දවසම බඩගින්නෙ උන්නා

"ඔයා ගිහින් කන්න
මට නෝම්බිනේ"
ඔයා කිව්වා
"මටත් හොඳයි මෙහෙම"
මම කිව්වා

එක අකුරකින් පටන් ගත් කතාව
ඔහේ ඇදී ගියා
එකම නගරයක ඉපිද
ඈත නගරයක හමුවුණු අපි
ඔහේ කතා කළා

හුරුපුරුදු නම් කියවෙද්දි
හුරුපුරුදු කඳු පාරවල් සිහිවෙද්දි
හුරුපුරුදු තැන් මිමිණෙද්දි
අප හඳුනනා අයව සිටියා

"මට මතකයි ඔබ
අමතක කළේ නැත කිසි විටෙක
මොනතරම් හොඳ හමුවීමක්ද..?"

ඔබ ලියා එවා තිබුණා

Picture - Jonathan Eastman Johnson, Lovell, Maine, USA (1824 - 1906)

සිඳුට රිදවමි සිතා වේගෙන්



සිඳුට රිදවමි සිතා වේගෙන්
අහස හලනා විසල් වැහි කැට
කිසි හඬක් නොනඟාම රළ මත
සැඟව විසිරී යයි

හැරී බැලුමටවත් වගක් නැති
පිල් කලඹ නළවා නිලන නිල
සිඳු අඟන නිති නටයි නර්තන
ජනී ජනයා විඳිත් එහි හැඩ

Picture - Brenda Burke

Sunday, August 3, 2014

ආදරය කරමි කඳුකරයට



මම මිනිසුන්ට වඩා
ආදරය කරමි කඳුකරයට
කුඩා අතු රිකිලි රැගත් තුරු පෙළට
දිය සායම් හැලෙන අහසට
ඔවුන් පෙම්වතුන්ය මාගේ
රමණීයත්වය චිත්‍රණය කරන

ආකාසය සිය කෙස'ග පීරා
වලා සළු පිළියෙල කරන උදය
ඈ අතින් ගිලිහෙන සළු
ඇදහැලෙයි කඳු මත
අඩ නිරුවතින් නිදි ගැට හරින
ගල්තලා වසා දමයි යුහුසුළුව

දිය වෙත නැමී මඳක්
වත දොවන කුරුලු පියාපතක්
සිතේ අවසන් කිළිටි බිඳුවද
පා කර හරියි දිය මත

අලංකාරය පමණක් කඳුකරයෙහි ඉතිරි වෙයි
මෘදු වචන පමණක් දොළ පහරවල ගලයි
ශෝභමාන හිස පළඳනාවක් අතැතිව
සන්ධ්‍යාව පැමිණෙයි
ආදරය බිඳෙන් බිඳ වපුරයි

ඔවුන් පෙම්වතුන්ය මාගේ
රමණීයත්වය චිත්‍රණය කරන

Picture - Herman Herzog

Saturday, August 2, 2014

ඔබ ඔතැන ඉන්න තාක්



ගිම්හානයේ මැද
ඕක් පත් ඈතට විසිර යන කල
සඳළුතලයට වී සමනලුන් විසි කරමි අහසට
නොතකමි ඔබව මොහොතකට

පාට කරමි අහසේ තැනින් තැන
විප්ලව කරමි උඩ පනිමි ලොකුවට
ක්‍රියාවට නඟමි අයිතීන් සතු විසල් වපසරි
කරදරයක් බව දන්වමි ඉවීම ඇමදීම නමැඳීම
කතා කරමි නිදහස ගැන
ඔබ ඔතැන ඉන්න තාක්
එඩි බල පාමි සුපිළිපන් බව රකිමි

නොඅසයි ඔබ මා කියන දේ
සිහින් හිනාවක් ගිල ගනී විටින් විට
'ඕනෑවට වැඩි' කියයි ඉඳහිට නිකමට
ඔබ ඔතැන නැතිවුණොත් යම් දිනෙක
මට සිතෙයි

ගිම්හානය මැද
ඕක් පත් විසිර යයි ඈතට
මගේ අත් පවා අප්‍රාණිකව
බිඳ වැටේ පහළට

Picture - Aldo Balding

Friday, August 1, 2014

ප්‍රේමය - John Keats



රෑ මැදියම
ඉකි ගසමින් හඬමි
සිඳී මුදු සමනල පියා පෙළ
ඔබ යන්න ගිය බව දැන

'කවි පාඩම
අසීරුය දුෂ්කරය දින දින
වැවක් මෙන් පෙමින් ගොඩ ගලා යන කල
කවි ප්‍රබල නැත ප්‍රේමයක් තරමට
විල් දිය කලත කලතා
අරුමැසි හංසයින් රඟන කල
කිමිද සියපත් අතර
සොයනු නොම අවසර කුමුදු මල'

'කුරෙන් 'කුර එකතු කර
කලතා මුළු මහත් විශ්වය
ඔබ කවි ලිවූයේ සුවඳට
හද සෙවූ එකම සුවඳට
හමුව ඇතත් බොහෝ කවියන්
ප්‍රේමයම දොඩන ප්‍රේමයම මවන
පෙමම විඳි සහ පෙමම ගරු කළ
කිසිදු කවියෙකු හමු වුණේ නැත

දිළිඳු බව මිස මිහිර ඉහිරෙන
එකම කවියක් සතුද කවියෙකු
අද වගේමයි එදත් ඒ සැටි
ඔබේ හද රන් අගය නොම දුටු

ඉතින් එහෙනං මගේ පෙම්වත

බිඳුණු මුදු සමනල පියා ගෙන
යළිත් දවසක මුණ ගැසුණු විට
එකදු මොහොතක් නොම පමා වී
නෙළා ගනු මල් ළපල් සේරොම

එතෙක් මම මුළු රැය වසින වැසි
එකතු කර විසි කරමි මුහුදට
අපේ ආලය සේ ම ගැඹුරුව
නඟනු ඇත කප් කලක් රළ එය!!

ප්‍රේමයෙනි,
ආදර Fanny



John Keats was an English Romantic poet.
Born 31 October 1795
Moorgate, London, Great Britain
Died 23 February 1821 (aged 25)
Rome, Papal States

Picture - Charles Brown, Portrait of John Keats, 1819
Refer - http://en.wikipedia.org/wiki/John_Keats
http://www.imdb.com/title/tt0810784/
http://en.wikipedia.org/wiki/Bright_Star_%28film%29

මිහි රද



අඳුරු වලාකුළු
එක් වී වගුරන
දහසක් කඳුළැලි
වළඳන මිහි රද
ඔක්කාරය කර ගංහෝ පාමුල
සිඳු වෙත පවරයි අවසන් කටයුත

Picture - Andrew Wyeth, Pennsylvania (1917 - 2009)

මල් ගසක් යැයි සිතා සිටි ඔබ



සියලු දිය බිඳු පිදූ අවසන
මල් ගසක් යැයි සිතා සිටි ඔබ
වල් ගසක් බව දැනගතිමි මම

Picture - Edward Robert Hughes, England (1851 - 1914)

එක්වෙනවද ඔබ මට?



සිනාසිය යුතු නොවේ
හැඬිය යුතුය අප
තනිව නොව එකට එක්ව
ලොව දෙදරන්ට හැඬිය යුතුය අප
කඳුළු මැවු මිනිසුන්ට
නිදන්නට බැරි වෙන්ට හැඬිය යුතුය අප
මම අරඹමි හැඬුම
එක්වෙනවද ඔබ මට?

සිටුවිය යුතු මල් අප
තටු දිය යුතුය කුරුල්ලන්ට
පැළ කළ යුතුය මෘදු වචන
තැනිය යුතුය දිය උල්පත්
ගැයිය යුතුය සුළකුළු 'කුර
එලඹි විලසින් එක්ව

වැවිය යුතුය වන තුරු
මැවිය යුතු කටු කොහොල් කෙසරු
අත තබන උන් හෘදය
පලා මතු වන විලස
ලිවිය යුතුය අප
පවිත්‍ර ලෝකයක ගීතය
එලඹි සිහියෙන් එක්ව

එක්වෙනවද ඔබ මට

Picture - Virgil C Stephens