Monday, April 17, 2017

කිරි සුවඳ දැනෙන්නට ඇතිද?

යුද හමුදාවට අනුව මේවනවිට සොයාගනු ලැබ ඇති මරණකරුවන්ගෙන් පස් දෙනකු දරුවන්ය. (http://www.bbc.com/sinhala/sri-lanka-39607662)

අම්මා කියා කෑ ගැසෙන්නට ඇතිද
එක් වරම බිය දැනී කට ඇදවෙන්න ඇතිද
හුස්ම ගන්නත් පෙර හුස්ම වැළලෙන්න ඇතිද
අම්මගේ පපුතුර නැතිව ඈතට ඇදෙන්නට ඇතිද

පහර වැද විසි වෙන කොට තාත්තා සොයන්නට ඇතිද
කුණුවලින් මුව වැහෙන කොට කිරි සුවඳ දැනෙන්නට ඇතිද
ඉකියෙන් පපුව හිර කොට කොතරම් රිදෙන්නට ඇතිද
අඬන්නටවත් නොහැකි ලෙස මුව වැසෙන්නට ඇතිද

අම්මගේ පපුතුර නැතිව ඈතට ඇදෙන්නට ඇතිද
කිරි සුවඳ දැනෙන්නට ඇතිද?

Sunday, April 16, 2017

කුණු කඳු වැටී මිනිසුන් මිය යන රටකි



මිතුරනි මගේ රට
කුණු කඳු වැටී
මිනිසුන් මිය යන රටකි
එක කුඩා දරුවෙකුට මල් සුවඳත්
අන් කුඩා දරුවෙකුට කුණු සුවඳත්
උරුම වන රටකි

කොටසක් කැවුම් කිරිබත් ගෙන
රාශියෙන් රාශියට මාරු වෙන රටකි
තවකෙකුට ඉහඳ ලූ
කුණු කැවිලි හිමි වන රටකි

කොටසක් නිදහස් පාරවල
ගුරුළන් විලස ඉගිලෙන රටකි
තවකෙක් අබලන් පාලමක
ලණු ලිහී මිය යන රටකි

මිතුරනි මගේ රට
කුණු කඳු වැටී
මිනිසුන් මිය යන රටකි

Picture source - http://www.bbc.com/sinhala/sri-lanka-39607662