Tuesday, July 25, 2017

ඉතින් අපි හැමදාම පරදියි



කන කෑමවල රසක් නොදැනේ
ගිලිනවා පමණි
අමෘතය ගෙන ඇවිත් දුන්නද
රස නැතිද සැකෙනි

වියෝ දුක් සන්තාප ඇවිලෙයි
නීතියද රතු ඉරෙහි බැබළෙයි
අහෝ අඳුරට ලියන කවි වෙයි
ඉතින් අපි හැමදාම පරදියි

දැවි දැවි රිදුම්  දුන්නද අලු මතින් නැඟිට
උදා ඉර කඳු මතින් උදා වන 'යුර දකිමි
සිහිනයෙන් සිහිනයට පාලමක් නැති වුවද
හඬ නොවැළප නොවැට වීරියෙන් සිට ගනිමි

Picture - George Inness, American, 1825-1894, Spring Blossoms, Montclair, New Jersey

Monday, July 24, 2017

ඉතින් මෙය සුවිශේෂී කාලයකි.



මේ දින වල මම අසාධාරණයට සහ අයුක්තියට එරෙහි වෙමින් නිදහස් අධ්‍යාපනයේ ණය ගෙවමින් සිටිමි. නීතිවිරෝධී ලෙස කටයුතු කරන ඉහළ නිලධාරින්ට එරෙහි වීම කොතරම් අපහසුදැයි කීම පවා අපහසුය. මක් නිසාද යත්, ඔවුන් සිය ව්‍යාජ හෘද සාක්ෂිය තුළින්ම පන්නරය ලබමින් දුර්ජන මිනිසුන් හා එක් වී උගුල් අටවමින් කරගෙන යන වැඩපිළිවෙළ නිසාය.

මෙතරම් නීතියට ගරු නොකරන මිනිසුන් රාජ්‍ය සේවයේ සිටින්නේ කොහොමද යනු සෑබවටම ජාතික ප්‍රශ්නයකි. අප විසින් යුක්තිය වෙනුවෙන් පෙනී සිටි බැවින් කිසිදු චෝදනා පත්‍රයක්, වග විභාගයක් නැතිවම අපගේ පඩි කැපීමට නිකුත් කරන ලද නියෝගයක් ද මේ වන විට අප අත් පත් ව ඇත. පුද්ගලික ලිපි ගොනුවටද එම පඩි කැපීම වාර්තා කර ඇත.

තමන්ට යම් කිසි වාසියක් ඇති තැන එම නිලධාරියාට ඉහළ නිලධාරින්ද එම නීති විරෝධී ක්‍රියා කලාපයට එරෙහිව කිසිදු පියවරක් නොගෙන සිටීමද පුදුම එලවන සුලුය. ඉතා කුඩා මිනිසුන් ලෙස අවසානයේ අපි අධිකරණය වෙත ගොස් සිටිමු. ඉතින් මෙය සුවිශේෂී කාලයකි.

අපි නඩුව දිනන්නටද හැක; අප නඩුව පරදින්නටද හැක.. අප මෙම රැකියාවෙහි රැඳී සිටින්නට ද නොසිටින්නටද හැක.. එහෙත් එය කාරණයක් නොවේ.. වඩා වැදගත් අසාධාරණයට එරෙහිව හඬ නැඟීමය.. එය මරණය දක්වාම අප විසින් ඉටු කරගෙන යනු ලබන බව මට විශ්වාසය.

Picture - Marzio Tamer, Italian, born 1964, Vento d’ostro

ඔහු


"ටී 56 කියන්නේ ටයිප් පනස් හය ඔයා දැකල තියෙනවද කොහොමද ඒකෙ කොකා ගස්සන්නෙ කියල" ඔහු හරි බරි ගැසෙමින් පුටුව මත ඇල වුණා.. මේ විදිහට කොකා ගස්සනවට වඩා ලේසියි මෙන්න මේ විදිහ" මම ඔහුගේ රෝම සහිත අත් ඒ ඒ විලාසයට ඈත් මෑත් වෙන අයුරු කුතුහලයෙන් බලා හිටියා..

"බ්‍රිතාන්‍ය දැන් තමයි ඒක හොයාගන්නෙ.."

ඔහු නැඟිට කවුළුව අසලට ගියා.. කවුළුවෙන් එපිට ගණ මීදුම්.. කඳු මුදුන් මීදුමින් වැහිල එකම හිස් අවකාශයක්.. පයින් ගස් විතරක් තුෂ්ණිම්භූත විදිහට බලාගෙන හිටියා.. ඔහුගේ කඩවසම් දේහයෙන් කවුළුවේ කොටසක් ආවරණය වෙලා තිබුණා..

"ආයෙමත් කෝපි බොමුද" අහන්නට හිතුණත් මමත් අත් පටලවගෙන නිශ්ශබ්දව සිටියා..

ඇත්තටම ඒගොල්ලො මට බෝඩර් එකට විතරයි යන්න අවසර දුන්නෙ.. බෝඩර් එකේදී ඉන්ටවීව් කරල ඇතුළට යන්න පුලුවන් වුණා.. ඒත්,  අමෙරිකාව ඒත් එක්කම රුසියාවට කෝල් එකක් දුන්නා.. ඊළඟට මම යන්නෙ රුසියාවට බව ඒගොල්ලො කල් තියා දැනන් හිටියා..

ඔහුගේ ලාවට රැවුල වැහුණ මුහුණ ඔහු පසෙකට හරවගෙන හිටියා..

Picture - Alexander Volkov, Russian, 1886 - 1957, April Thunder

Monday, July 3, 2017

හිත ගාව වයලීන වැයෙනවා ඇති



ජමනාරං සුවඳකින් අතීතයට හිත ඇදී ගිය මොහොතක දුරකථනය නාද වී දෙපාර්තමේන්තු ප්‍රධානියා තර්ජනය කරයි.

දිදුලන තැඹිලි පෑ ගත් පල බරව බිම බලා සිටි
ඒ ජමනාරං ගහ ළඟ නැවතුණා නම්
හිත ගාව වයලීන වැයෙනවා ඇති

හීතල සුළඟ හමා එද්දී ගස මුදුන් අත්තේ ඉඳන්
තවම කෙල්ලන් පනිනවා ඇති
ගල ගල හඬින් ගය ගයා තවම ගල ඔය ගලනවා ඇති

සහසක් ගල් බොරළු අතරේ මිණි කැට මැවෙනවා ඇති
නගරයට එන්නටත් හීන දකිනවා ඇති
රුක් අත්තන සුවඳට නටන නිල් අතු ඉති
ගම අතැර ආ පව් මෙතෙකැයි කියා නිම් නැති

Picture - Sir George Clausen, English, 1852 - 1944, "Apple Blossom"