Saturday, May 31, 2014

දෙවියන් විසින් යදින ලද්දේය මෙසේ



අවසන දෙවියන් විසින්
යදින ලද්දේය මෙසේ
සොයා දෙන්න මට ඇයව
සොයා දෙන්න මට ඇයව
ඉරිසියාව දෑසින් දරා
ගින්නක් මෙන් ආලයෙන්
දැවී ගත් ඇය
ඉතා මෘදු චුම්බනයකින් සිසිල් කොට
සිලිලාරයක් කරමි
හමුවුවොත් නැවත
ඉන්දවමි ඈ හද බිම
මදාරා මල්
කිසි දිනෙක පර නොවන

Picture - Nilda Rosales, from La Pampa, Argentina

ද්වේශය යනු



ද්වේශය යනු
ගැහැණියගේ හදේ ආලයය
එය එසේ නොවන්නේ යැයි
ඔබට කියන්නට හැකිද
රළ අතරින් හබල් ගා එන ඔරුව
නතර වෙයි අවසන
ගඟක් හෝ සමුදුරක් අස
මල් පිපෙන තණ බිසි මත

Picture - Louis Treserras, from France (b. 1958)

ඉටිපන්දම් නිවන සමුද්‍රාව



ඉටිපන්දම් නිවන සමුද්‍රාව
කේලම් කියයි අහසට
අහස හිනැහෙයි
වරලසින් ඇද ඈ හිස
සුළඟ කිසිවක් නොදැක්කා සේ
ඇවිද යයි ඉවතට

Picture - Danielle Richard, from Quebec, Canada

යෞවනෝදය



රැය බිඳගෙන
යෞවනෝදය මතු වෙයි
පිනි බිඳු අතරින්
ඉස ඔසවා බලයි
කහපාට අරලිය මල්
සහ අඩ සඳ

Picture - Dong Wen Jie, from China (b. 1972)

අසතුටුදායකය දවස් නාස්ති කිරීම



අසතුටුදායකය දවස් නාස්ති කිරීම
වාහනයේ කවුළුවට රණ්ඩු වෙමින්
වේවැල් පුටුවට විරසක වෙමින්
යා යුතු මඟ තිබියදී ඉදිරියෙන්
වෙනත් හරස් මංවල අතරමං වෙමින්

Picture - Sue Foell, from Memphis, Tennessee

Friday, May 30, 2014

රාත්‍රිය



අමුතුම සුළං හමා එන රාත්‍රිය
දල්වන්න මා තුළ
පහන් එළි

Picture - Alexander Saidov

සිනාසිය යුතුය මා මට



ඇතැම් විට මා
සිනාසිය යුතුය මට
අනවශ්‍ය ලෙස අවංකබව දරා සිටිමින්
දුක්ඛිතභාවයට පැමිණීම පිළිබඳ

එහෙත් මා කැමති
මල් වුවත් ගස් මතම තබන්නට
උදුරා පුදසුන් මත තබමින්
මා පතන ලොව
බිඳ දැමිය යුතුද කල් තබා
කිසිවකු කියා ඇතිද
පුදසුන මත තබාම පිදිය යුතු යැයි මල්
තුරු මත තබා පිදිය නොහැකිද මුළු හදින්

සිනාසිය යුතුද මා මට
අනවශ්‍ය ලෙස අවංකබව දරා සිටිමින්
එහෙත් එය අනවශ්‍ය යැයි
කියන්නෝ කවරහුද?
ඇතැම් විට මා
සිනාසිය යුතුය මට

Picture - Vladimir Volegov, from Russia (b. 1957)

අලු යට ගිනි මෙන් මගේ හදවත



කරකේ ඇත්ත
රස්සාවක් හොයා ගන්ඩ බැරි වුණා තවම
හිතන් ඉන්නේ මං පක්ෂෙට බැඳෙන්න
වෘකයන්ට නුඹේ අස්පයන් විසි නොකර ඉන්ඩ
ඒත් කරකෙ මම
වෘකයන් හා උඩු බුරලන සුළඟ කෑ ගහන කොට
ඉස්සි ඉස්සි පාත් වෙන
කුඩා කෙල්ලකගෙ කටහඬ
හොයනවා තවම
අලු යට ගිනි මෙන් මගේ හදවත
කාටවත් නොකිය හිටියට

Picture - Susan Outlaw, German-born Canadian Artist (b. 1973)

ඔබට හැකිනම් ඉන්න



ඔබට හැකිනම් ඉන්න
කඳු බඳෙහි දැවටෙන්න
මල් පිපෙන තුරු නිම්න
සඳ දියෙන් කලතන්න

ඔබට හැකිනම් ඉන්න
දුර නොයා නැවතෙන්න
වලා පෙළ නුබ යහන
තාරුකා පළඳන්න

Picture - Abe Toshiyuki (あべとしゆき), from Sakata City, Japan (b. 1959)

Thursday, May 29, 2014

වැස්සක සිරි සිරිය




හීන් වැස්සක සිරි සිරිය
කුණාටුවක්
කළ
සැඩ සුළඟක
අලුත් හුස්මක්
ඇද්දැයි
සොයනෙම්

යදමින් බැඳ දමා යහනට
සේලයින් කටු ගසා තුනු කෙසඟට
ජීවත්වන්නට ලෝකයක්
තනන්නේදැයි නොදනිම්

ජීවත් කරවන්නට
මා
නොව
මගේ
හදවත
බුද්ධිය
යා යුතු
මඟ කිමැයි
නොඇසිම්

'හද සුව වනසා උතුම්
සිඳ දැමූ පියපත්
මඟ වැරද ගිය
රජුටත්
කිසි දිනෙක වෙර නොකරම්
වියැළ ගිය දිවියට
මරණාසන්න පණ දෙම්

පිපී ඇත මලක්
රත් පෑ ගත්
රත් ම රත් පෑ ගත්
දැවට මල මත
මල නොව
සිඹින පිනි බිඳු
කුඩා කිරිලියක සොයනෙම්
සමනලියක අත
සැළමුතු හද පරම
ගීතයක් ලියා
යවනෙම්

රෝහල් කවුළුවෙන් එපිට
ඈත කඳු සිරස් වට
විහිද ගිය මීදුම් පට
ගලන සැටි නයන වට කොට

සමනලිය
මා සුහද මිතුරිය
මා කෙලෙස ඉගිලෙන්නද
නොඅසා පිටව යන මහිමය
කල්හාරෙව් හද සියුමැලි
වියෝ දුක හැඳින හද ඇලි
කවුළුව කළ තරණ
විඳ කව් බසක මනකලි

නිලුද කෞමද මල් සුවඳ
නිලු උපුල ගැවසි සිහිලඹ
තුටිනි බුදු පුදට සැරසෙන
නයන මිත කඳුළ හඳුනන

සිරි පා ගමන් අතර
දුටිද මල් 'හුරු අමර
රැඳී පිනි කැට අතර
සැඟවු කඳුලැලි දහර

'කව ගෙන යන්නට සමත්
යෙහෙළියන අසන් පින්වත්
මැඩ බාධා යෙහෙන් යා යුත
සිරි පා ගමන් මෙන් දිරිමත්

දැහැමෙන් සෙමෙන් යා යුතුය ඔබ හමුවෙනා තුරු මා කිවූ තැන
අරලියා ගස් දහක් ඇති මෙන නමක් වූවත් නැති වසත් දින
කොහිද කොතැනද හදට දුන් වෙළ නොඅස කිසි විට යන අතර පැන
බිඳක් හෙලුවොත් වදන් අනිසිව සඳැස මා ඇත ලබනු අණ වින

උපන් දා සිට මෙතෙක් ආ මඟ නොබැලුයෙන් ශුභ මුහුර්ත
ඔවා දෙන්නට නොරිසි වෙම් මම් නුඹට සුමිතුර සහෘද
ගමන් අරඹව අසා පෙර මඟ තුටු සිතිනි පොබ ප්‍රෞඪ
සිතක වැළපෙන යහ සිතුම්මැය නුඹට පෙර මඟ මුහුර්ත

පසු කළ තැන්හි වෙල්ලස්ස සටන වුණු තැන
ඇත කඳුළු නිම්නයන් අසනිය කුසුම් පීදෙන
කඳුළු කැට දැක දුදනන් නින්දා බස් වහරන
'
යුර අසා නොහිට ඉගිලෙන් පුබුද අමකර නාදෙන

කඳු ගිරි මුදුන් අතුළ තේ පඳුරු වසා ගත්
අහස සිඹිනා බංගලාවෝ නිරුවතින් බලා ඉ'ත්
බලන් සකි නිල්ල දිග පිපෙන පිනි සියපත්
එවන් පිනිබිඳක්මී පඳුරෙන් බිමට පත්

තලා කඳු හිස් වොරැඳි වන වදුලු මහරු
වලා දුම් ගිනි විසුළ ලේ වපුළ ගොහුරු
පෙළා අප බිම් උදුර සින්ද දිය කඳුරු
එදා සිටියා රජුන් අද මෙන්ම වියරු

කවි සයුර ඉස ඉස ගොතා කිම කවිකම්
ගාථා ශ්ලෝකද ගයා කිම මනරම්
කාලයේ වේගයෙන් බිඳ දමා මල්කම්
පඳුරු පස් යට සැඟව මිණිවරැති මිණි කම්

ගිම්හාන සරතැස දරන්නට නොහැකී
සරතාකාශයෙහි වැහි වළලු වියැකී
පිපෙන්නට නොදී පෙති මලින මම මලකී
අයහ වොරැඳෙන ලොවක මියෙනු නම් යෙහෙකී

තියු ගේය දමිල සර ඇසෙන සඳ කෝවිලේ
විලාපය යටවේද අසල තේ කම්හලේ
කඳුළු කඳු උදුල කඳු දහසකුත් මං පෙළේ
අහර නැති කුසක කවි ලියන්නද බල කළේ

ඈත කඳු හිස ලැයිම් පේළිය අතර ගැහැනියකගෙ හැඬුම්
අතර මතුවෙයි අසා ඉන්නට නොහැකි බෑඟිරිමය කියුම්
දිවි සටන ගෙන යන්ට ළත වෙන කවර කත ළඟ වුව උතුම්
දණ නැමූවට කවර වරදද එසඳ විකසිත වෙයි පියුම්

පඩි කපාපන් පඩි කපාපන් කියා කෑ ගසනා මැසිම්
අතර මියයයි සිහින දහසක් මවන්නට පෙර නෙක උවම්
කෝවිලෙත් කම්හලෙත් නැති දෙවි කොහේ කොතැනද මට කියන්
දයාලූ හදවත් විරත ලොව දෙවියන්ද ගොරහැඬි මැසිම්

විහඟ පෙළ' අඩ'ඟ රඟ නිබඳ තුරු මඩුල්ලේ
සමඟ සුල සොඳුරු රඟ රඟව රුක් වදුල්ලේ
අනග පල මියුරු රස විඳව එම ඇසිල්ලේ
එසඳ නුඹ ඇස ගැටේ සොඳුරු මඟ බදුල්ලේ

රස අඳුන නිලැයි කඳු නිම්න දිග පාත්‍ර
සපදයින් ගයයි මුදු සරින ස්තෝත්‍ර
රොන් සුණු සුළං සර මෙන් නිබඳ පාත්‍ර
බදුලු මඟ විගසකින් යව මා සුමිත්‍ර

                                             -
ඉතිරිය මට හිතුණොත් පමණක් පසුවට
                                                                                  
Picture - © Amanda Clark

Wednesday, May 28, 2014

හැම උදෑසනම හයිකු කවියක් (බොන්න)



අල්ලට ගත් සීනි බිඳක්
කහට කෝප්පයක්
හෙල්මළු කෙත් අතර
හයිකු කවියක්

කිරි කෝපි සුවඳ
බැලේ නටන වියළි පත්
හැම උදෑසනම
හයිකු කවියක්

වැස්ස
කෝපි හල
අතර නවතින
හයිකු කවියක්

Picture - Goyo Dominguez

අපමණය ඔබ ගෙනා වේදනා



අපමණය ඔබ ගෙනා වේදනා
සමුදුරක ලවණ රසයෙන් පෙරා
සයුර පත්ලට ඇදෙන
හිරු කිරණ මෙන් පැමිණ
අපමණය ඔබ ගෙනා වේදනා

කියන දේ නොවැටෙහෙන
තරං කෝපෙන් වෙළෙන
වීසි කර දුම් වළලු
සන්තාපයෙන් දැවෙන
සුවඳ නොම හැඳිනගෙන
මහත් සැකයෙන් බලන
ඔබ අඳුරු දෙනයනෙහි
නැඟෙයි රිදුමන් වේදනා
අපමණය ඔබ ගෙනා වේදනා

පෑදි දිය මෙන් දිලෙන
හද කැටපතක මැවෙන
චමත්කාරය නොදත හැකි මනා
අපමණය ඔබ ගෙනා වේදනා

Picture - Rob Hefferan, England, 1968

අරවින්දයකි තවම ම'හද විල් තෙර පිපෙන

 

අලුයම අවදි වූ මම හදිසියේ වට අදහසකින් මිහිදුම තල්ලු කර විවර කළෙමි ජනෙල්පත්. කඳුකරය මත බැස යන්ට තනන පහන් තරුවක් මෙන් ඔබේ කුටියෙන් පෙරී එන ආලෝක බිඳුවක් මට පෙනේ. හිරු රැසට ගෙල ලූ මුතුහරෙක පලින් පල දිදුලන්නාක් මෙන් විල්ලුව පාලම මතින් යනෙන වාහන එළි කඳුකරය මත මං සලකුණු කරයි.

නාසය අසල වායුගෝලය ඝනීභවනය වන්නට තනන්නාක් මෙනි. මම කිවිසුමක් සමඟ පාඩම් මේසයට පාත් වුණෙමි. සුජාතා සීතලෙන් ගැහෙමින් මා දෙස බලා සිටියි. මහා විද්‍යාලයේ ඉහළ පන්තියේ දැල් කවුළුව අසලදී ඇය මට මුල්වරට හමු විය. මම දැල් කවුළුව අසලට වී පාසල පහළ බෑවුම් සහ නෙරුවල පිපී ඇති කුඩා රෝස පාට සරක්කු මල් දෙස බලමින් සිටියෙමි.

"ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කළෙහිය. දැන් මගේ ඒකායන ප්‍රාර්ථනය.." පහළ මාලය දෙසින් නන්දා මාලිනීගේ කටහඬ ගලා එයි. මම ද ඈ සමඟ මුමුණන්නට වීමි. "ද්වාරය විවර කළාට කම් නැත සොඳුරිය. කවුළු පියන්පත වසන්නට බැරිද?" අපි ඇසෙන්නට නො ඇසෙන්නට සිනා වුණෙමු. එහෙත් ඈ කවුළුව නොවසනා බව මම දනිමි.

ඔබේ කවුළුව අසල
එළි බිඳට මුවා වී
නිදන කුරවියක මම
නොදන්නා වුවද ඔබ

තුරු අතර මීදුමෙන් වසාගෙන අප දෙදෙන
නොපෙනෙනා දෙතැනකට ගෙන ගිහින් වසන්තය
කඳු ගබෙහි වැළපෙනා කාලයෙන් වසන් වුණ
අරවින්දයකි තවම ම'හද විල් තෙර පිපෙන

ඔබේ කවුළුව අසල අන්ධකාරයෙහි දැන්
කඳුකරය ගිලගෙනය මේඝයක වලාවන්
මට ද මා සොයා ගනු නොහැකි සැඩ විලාසෙන්
ඔබෙ දෑස ගෙන ගිහින් පුර සඳෙහි කලාවන්

තනිකඩව ගල් ගැසී පලා පැහැ අතු ඉතී
ඔබ යනෙන මඟ තවම මුණ ගැහෙනවා ඇතී
ඔබේ ඇස රිදන බැල්මක් නැතිව දුක හිතී
කඳු කඳුළු වසා ගෙන වලා සළුවෙහි එතී

Picture - Yayoi Kusama (Japanese; Contemporary, Conceptual Art, Installation; b. 1929)

Tuesday, May 27, 2014

කඳු අතර ඉහිරෙනා සිහිනයට ඉඩ දෙමි



උස නැඟුණු ඉරුං ගස්
අතර ඇවිදන් යමි
කඳු අතර ඉහිරෙනා
සිහිනයට ඉඩ දෙමි

දොළ නඟන සිනා කොඳ
අතර මිහිදුම පිරී
ජීවිතය උතුරමින්
ගලන හැටි විඳ ගමී

නුඹට පෙම් කළ හිතට
තව පෙමක ඉඩ නැතී
මුමුණ මුමුණා දුවයි
සුළඟ හා මල් පෙතී

Picture - Alois Arnegger

රළ



අඩි හප්ප හප්පා - පෙණ පුප්ප පුප්පා
හඹා එන්නේ රළ - ගිල දමන්නද වෙරළ
තැබූ වැලි මත නිමල - ඔබ කමල පා යුවල
මකා සිඳ දා සුමල - ගොස නඟන්නද පබල

Picture - Juan Fortuny

සැලසුම් කරන ලද ජීවිතය



පැමිණ රැගෙන යන්න හැකිනම්
පුරුදු දිවියට නැවත
උදේ රෑ දිවා උයා වෙහෙසෙන
බිම අමැද සෝදා කොඳු ඇටද කකියන
වතුර පෝච්චිය අරන් මල් ගස් වෙත දිව යන
සිහිනයක් දකින්නට පවා ඉඩ නැති වන
ආලය කරන්නට අමතකම වෙන

හැකිනම් පැමිණ රැගෙන යන්න
නැවතත් පුරුදු දිවියට
සෝදා රෙදි කඳු දෙඅත් දියවෙන
සෝදන මැසිම හදා දෙන්නට ඔබට අමතක වෙන
ලියන්නට පාඩම් කරන්නට මොහොතක් වෙන් නොවෙන
ලියන මේසයද ඇඳද අපේ නොව ඔබේ වෙන

උතුරා යන ප්‍රේමයක ගිලී නැති නම් මා මියයනු ඇත
සංස්කෘතික කන්‍යා පටලය ඉරා ප්‍රීතිමත් ගැහැනියක වනු ඇත
ඇතැම් විට ඔබටත් වඩා බොහෝ උස යනු ඇත
එබැවින් දෙන්න මට ඔබ විසින් සැලසුම් කරන ලද ජීවිතය
එවිට සහ එවන් ලෝකයක
ඉතා ගෞරවාන්විත ලෙස මට මා අමතක වනු ඇත

මෙවන් ලොවක පුරුෂයිනි
තොපට හැක ධජ නඟන්නට
කකුල් දෙක මේසය මත තබා
බොමින් රහමෙර අනේක
සැම තැනම ලොව ඉහළින්
වැජඹෙන්නේ පිරිමින්ය කියමින්!

Picture - Max Gasparini

Free passes for Ajahn Brahm’s BMICH programme now available



article_image
Free passes for Ajhan Brahmavamso’s programme at the BMICH on Sunday 15 June 2014 are now available. They can be collected from the Narada Bauddha Dharmayatanaya Book Shop on Sarana Road off Bauddhaloka Mawatha, Sri Sambuddhathwa Jayanthi Mandiraya Bookshop at Thummulla Junction, Nedimala Buddhist Cultural Centre and at Anoma Opticians, Nugegoda.

The Ajahn Brahm Society Sri Lanka has finalised plans to make the best use of Ajahn Brahamavamso’s short stay during the Poson period  by planning a series of Dhamma talks and discussions at a few locations both in and around Colombo and in the South. Ajahn Brahm who is currently in South Korea recently participated in the United Nations Vesak celebrations in Vietnam.

Source - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=103813

Monday, May 26, 2014

ඔබේ එක බැල්මකින්



වුවමනා නැත ගමන් බලපත්‍ර, වීසා
ඔබේ එක බැල්මකින්
ලොව වටා ගෙන ගිය හැකිය මා

Picture - Pancirev Yuri

දුකක් වුව අතිඋත්කර්ෂවත් සතුටක්



අයුතු ලෙස ඉපැයීමෙන්
අනෙකා පාගා පෙළා නැඟීමෙන්
සුඛෝපභෝගී වූ ඇත්තන්ගේ මරණය
කණ වැකුණු කල සිතමි
නැවත ඉපැදීම කවරද
එවන් විට මහද ඉපිලෙයි
මා විඳි දුකක් වුව
අතිඋත්කර්ෂවත් සතුටක් බව හැඳින
මියයෑමට වුව සූදානම් බව හැඳින

Picture - Mary Jane Q. Cross

පැහැදිලිවම



ලියමි කඳු, ගංගා, මල් සුවඳ සහ ඔබ ගැනම
අහුලා නොගනිමි තැලුම්, පෙළුම් සහ වෙඩි උණ්ඩ
ඇවිද යමි ඉතා සෙමින්
නමුත් සතුටින්
පැහැදිලිවම

Picture - Antonio Duarte

හුදෙකලා නිවාඩු



හුදෙකලා නිවාඩු
අලුත් තුවාල සුවපත් කර
පරණ තුවාල පාරවන

Picture - Juan Fortuny

සුදුමැලි කර මුළු මහත් අහසම



හිම මිදුණු බිම්හි අප ඇවිද ගිය
පාළුව නැඟෙයි විරහී කුරවි නද
මා තවම ගලවා ගත නොහැකිව තැබූ පය
ඉදිකටු ඇනී මෙන් රිදුම් දෙන විටත්

ජීවිතය උණුසුම් සිසිල් කර නැඟෙන
සීතල ම'හද උණු කර මැවෙන
ඔබ නිල ගැඹුරු දෑස කොහි ගෙන ගියෙද
සුදුමැලි කර මුළු මහත් අහසම

Picture - Alexander Bolotov

මුළු ලොවම කවියක් වන දිනය



පුත
බොහෝ දින පැමිණේවි ඉදිරියට
දහසකුත් කම්පන ඇති වුවද
එසවිය හැකි අවියක් නොදන්නා
එනිසාය මා ඔබට කවිය උගන්වන්නේ

සෘතු හෝ දේශ මාරුවන්
නිවහන හෝ මිතුරන්
ආණ්ඩුව හෝ විපක්ෂයන්
කරකාර හෝ කාලක්‍රියාවන්
උපන් බිම් හෝ නූපන් බිම්
දහසකුත් අඬුවලින් රිදුම් කන විට
ඔබට ලෙය දෙනු පිණිසය
පුතුනි මම කවිය උගන්වන්නේ

හිස් වූ මුළුතැන්ගෙයිහි සිට
සුසුම්ලන්නට හඬන්නට වන විට
වේරම්භ මේඝයක් මෙන් නොහැකි නම් නැඟෙන්නට
සුසුමක්ව හෝ විරෝධය පාන්නටයි
පුත මම අකුරු කියා දෙන්නේ

ඔබ අසමර්ථ කොට පයින් ඇන හෙළා පොළවට
තලා දමන විට වුව පිළි නොගන්නා බව අයුක්තිය
සහ සත්‍ය කොට පෙන්වන පරම අසත්‍යය
නිසි කල ළඟා වන තුරු වපුරන්නට බිත්තර වියැට
පෙම් කවක් හෝ ලියා සිත තනන්ටයි
කවිය මම ලියන්නේ

ඔබද ලිවිය යුතුය කවිය
පුළු-පුළුවන් අයුරින් ගලප ගලපා තථ්‍ය ලෙස
ඉක්බිති අප උදා කර ගත යුතුය
මුළු ලොවම එකම කවියක් වන දිනය

Picture - Carl Vilhelm Holsøe, from Denmark (1863 - 1935)

පාඩම් පොත ඔබ මුහුණ



මුළු ලොවම අමතක කරන
අමෘතයක් වීද ඔබ මුහුණ
බලා සිටින්නට මට එකල
එපමණම

පන්තියේ දේශන හා ථියරි
උගන්නද්දී බොහොම
මා කියැවූ එකම
පාඩම් පොත ඔබ මුහුණ

කුමක් වීද ඔබ මුහුණ මත
කියවන්නට මට එපමණම

Picture - Juan Fortuny

එතැන් සිට ඇරඹුණි වසන්තය නම් සෘතුව



බලා උන්නෙහිය ඔබ සිහිනයෙන් පැමිණ
ඔබේ ඇස් මත තිබුණි ගිම්හාන අහසේ තාරුකා එළි
විස්මයෙන් ඇලලීමි මම
එතැන් සිට ඇරඹුණි වසන්තය නම් සෘතුව

Picture - Anselm Friedrich Feuerbach

Saturday, May 24, 2014

හඳුනන හුරුපුරුදු එක මුහුණක් නැති කොට



නාඳුනන මුහුණු රාසියක් පුරාවට
හඳුනන හුරුපුරුදු එක මුහුණක් නැති කොට
කඳු පේළි අතරින් ඉස්සි ඉස්සී බලන
රොබරෝසියා ගහක ලස්සනත් මොකටද

ඉවතලන්නට ඔබව සිතට ඕනෑ නැති විට
උණුසුමින් වැළඳගමි සිතින් සිප ගනිමින
වේදනා ගෙන දෙන බැඳීමක් නැතිවම
අපමණ සිනාවකි ඔබ හදට ගෙන එන

කාලයත් ආලෝක වේගයත් පසුකර
ඔබට ආයෙම එන්න පුළුවන්ද මොහොතකට
අයින්ස්ටයින්ට හිනා වෙමු මහ හඬින් එතකොට
නිබ්බුත පදත් වීසි කර ආලයේ නමටම


Picture - Raymond Leech

අහස් යුවතිය මිහිට පිදූවා රූ සපුව!



සපද කුසුමක් විලස
මහද මල් සිප වසන
තිබෙද ලොව කොතැන ළය
මවිත කරනා දසුන

ළපල්ලෙන් ළපල්ලට එවා පිනි බිඳු වපුළ
පුෂ්ප මකරන්ද මත තියා පෙම් ඔසු ඔරුව
කුසුම් පළඳා තුරුහු සිරස් මත ඔප කෙරුව
අහස් යුවතිය මිහිට පිදූවා රූ සපුව!

Picture - Sergio Cerchi, Italian

I promised me not to love you!

ප්‍රේමය වුණත් එහෙම!



මා හද තුළට ඔබ පැමිණි කල
උතුරා යාය ශෝක වේදනා ප්‍රීති රස
කවි ලෙසින් ලියැවේය ඔබ තැනෙක
ඉනික්බිති කවි බහා හදට
විසි කරමි ඔබ ගඟට
නිසොල්මන් වෙමි නැවත
රළක් නොනැඟූ ලෙසට

ආකිමිඩීස්මි
ග්‍රීක ජාතිකයෙක්මි
සුරකුස නුවර වසමි
සොයා ගතිමි මම
ප්‍රේමය වුණත් එහෙම!

Picture - Jean Pierre Monange

දරාගෙන සිටිමි ඔබ - අසපුවක් මෙන් සබඳ



දරාගෙන සිටිමි ඔබ
අසපුවක් මෙන් සබඳ
විඳිනු බැරි හිත ඇතිව
නිරාමිස සුව ගෙනෙන

නිකසලව නිසසලව
භාවයන් දරාගෙන
සිටින ඔබ තුඟු විසල් විලාසෙන්
පසු කරන් ඇදී යන ගංගාව වෙමිය මම
තැවුල් දිය රැළි කළඹ හිත දරන්

පෙමින් සිපගනිමි ඔබ
මලින් සරසමි ඉවුර
රැඳෙන්නට වරම් නැති ලෝකයක
පියෙන් පිය දුරින් දුර අඩි තබා නික්ම යන
ගංගාව වෙමිය මම ඔබ වෙතින් ඇදී යන

Picture - Michael and Inessa Garmash, Russian, Captivating

අස්තන් ගත වන හිරු



උණුසුම් වෙයි
අස්තන් ගත වන හිරු
හෙළා තම අවසන් කිරණද
වන පත්ල නෙත මත

Picture - Ian Ledward, Scottish, born 1946

කිසිදා හමු නොවෙන තාරකාවන් අප?



ඔබ මටද මා ඔබටද
කිසිදු වරදක් කර නැති විට
අහසේ ඈත කොන් දෙකක
කිසිදා හමු නොවෙන තාරකාවන් අප?

Picture - Emile Friant

එහෙත් මම මෙතැන නැවතිගෙන



වර්ණවත් ආකාසයේ වලාකුළු
ඇදී යන්නේ නොයෙක් දෙස
කිඳුරියන් හා එක්ව
පිහිනන්නා මෙන්ය ඔබ

ඇතැම් විට නොසෙල්වී
බලා ඉන්නේ අහස
ලොව සුන්දරම යුවතියන් හා ඔබ
හිඳ සිටින්නා මෙනි සන්ධ්‍යාවල

කඳු මුදුන්වල වැතිර
පහත් බිම තාරකාවන් වෙත
සිනා වෙන විට ඔබ
ගෝත්‍රික කෙල්ලක් වැනිව මම

එහෙත් මම මෙතැන නැවතිගෙන
ආකාසයේ ඈත කොන් දෙසත්
උස් බිම්හි තාරුකාවන් දෙසත්
සමුදුරෙහි රළ ඉති දෙසත්
බලා හිඳ ඉමි නිසොල්මන්වම

Picture - Willem Haenraets

මල් පෙති



මල් පෙති රාශියකි
ඔබ පාගා ගිය තැන්වලින් ඇහිඳගත්
පොත් පිටු අතර සිරව
වේදනා නඟන

Picture - Armand Guillaumin, Country of Origin French, 1841-1927

තරුවක් විලසින් කඩා හැලෙන්නද - ඔබ මට හදවත විවර කළේ



හිරු දුටු පමණින් වියැකී යන්නද
පිනි බිඳු තණ පත් අවදි කළේ
තරුවක් විලසින් කඩා හැලෙන්නද
ඔබ මට හදවත විවර කළේ

ඔබගේ මුව'දර කිංකිණි සිනහව
නෙතු කැල්මන් නොදකිම් කෙලෙසේ
දෑස් වසාගෙන දෝත් විදාගෙන
සිහින ලොවක් දකිමිද පෙර සේ

අහස්ගව් තෙරින් තරු මල් පිබිදෙයි
දෙනෙත් පියාගමි සුසුම් හෙළා
නෙත'දර තෙත් කොට ගිලිහෙන කඳුළින්
සොඳුරු ලොවක් දකිමිද කවදා

(11 වසර, මා ලියූ මුල් ගීත රචනාවලින් එකකි.)

Picture - Isaak Levitan, Russian, 1860 - 1900, "The Lake"

සුවඳකි ඔබ තවම උතුරා ගලා යන මා තුළ



තේ හදමින් මගෙ උගත් මිතුරිය
අසා සිටියි මා කියන විස්තර හා විකාර
"කතා කරනෙක හරිද ඔහු
ඒ තරං සැරට මට
හරියට නපුරු මිනිහෙක් වගේ
අහන එක හරිද දෙදරුම් දෙන්න ටෙලිෆෝනය"

"ඔයා නේද එක දවසක් කතා කළේ
ඔයා නේද අරව මට එව්වේ
ඔයා නේද එදා මට කතා කළේ
ඔයා නේද ඔයා නේද ඔයා නේද?"

මොනතරං හොඳද මා ඔබට ආදරෙයි නොකී එක
ඔය පුපුරු ගහන ඇස් දිහා බලාගෙන
ඔයා ගණනක් මම චිත්‍රයක් වගේ වෙන කොට
හරි විකාර දර්ශනයක් වෙන්න තිබුණා එය

නොකීවත් ආදරය ඔබට
නොහැඬුවත් හිත හිතා ඔබ ගැන
නිසොල්මන් උයනක් වගේ පිබිදෙන
මුකුලිත නොවන සුවඳකි ඔබ තවම
උතුරා ගලා යන මා තුළ

Picture - Elena Bond, 1965, Russian

අහෝ ඔබ ගිය බවද..



කුරවී කොවුල් නද ගිහින් ඈතට
හැම තුරුපතක්ම හුස්ම'දිනවා වියැළිව
අහෝ ඔබ ගිය බවද
පවසන්නේ මහත් වෙහෙසව කඳුකරය

අරවින්ද උයන මුකුලිතව
සිලිලාරය කොහිද අසනව මගෙන්
ඔබ උපැස් යුවල සිදුරු කළ ආලෝක බිඳුවක් නැතිව
අන්ධකාරය වෙළී ඇත තැනින් තැන කඳු අතර

අහෝ ඔබ ගිය බවද
පවසන්නේ මහත් වෙහෙසව කඳුකරය

Picture - Lauri Blank

නොදන්නෙමි මම!



සංදේශයක් ලියන්නට නොදන්නෙමි මම
ඔබ සිටින රට, නගරය හෝ වීථිය
කඳුකරය මත කුඩා තරුවක් වෙලා
පිපෙනවා මං ඒ නිසා
ඔබ දකිනු ඇත මා
හඳුනා නොගත්තට නිසැකව

Picture - 'The painted veil'

කුඩා අඩි පාරවල - මම තවම හිනා වී ගෙන



කඳුකරය අත හැර
මිනිසුන් ගිහින් වීථි වෙත
කුඩා අඩි පාරවල
මම තවම හිනා වී ගෙන

ඔබ නොමැත්තේ කියා
පිපී අහවරද කුසුම් ගස්වල
මම ප්‍රේම ගඟුලක්ව
කඳුකරය පුරා ගලමින

ගිනි ගහන කටු අව්ව
තෙතබරිත වස්සාන
හැමකක්ම කඳුකරය
මත පිපෙන වසන්තය!

Picture - Iris Scott, Finger painting

අහිමි වූ නිසාමද? මියෙන තුරු පෙම් බඳිමි



ඔබෙ ලවන් විල්තෙරේ
දහසකුත් කවි ලියමි
අහිමි වූ නිසාමද?
මියෙන තුරු පෙම් බඳිමි

අහස් ගං තලා කඳු උයන් තැනි තලා ගැටි
සිඹින සුළඟක් වෙලා නුඹ දකින සැටි නොදිටි
නුඹ යනෙන මඟ නුඹේ ඇස ගැටෙන සියල් වැකි
අතර කවි නොපෙනීම කවර වරදකි සකි

ආකාස වළල්ලක නමක් නැති තාරුකා
ඇසින් ගලනා ඉතා සිහින් එළියක් වෙලා
ඔබ නිදන අතර නිල් නුවන් යුග පියවිලා
සොඳුරු සිහිනය අඳිමි ඇස දිගේ නැවතිලා

Picture - David-Walker

මුළු හදම ඕනෑය මගෙ නමින්



පුළුලුරින් එක පසක්
වෙන් කරන්නට හැකිද මගෙ නමින්
ලවන් තෙර සිනා නෙළුමක්
පුබුදුවන්නට හැකිද මා නමින්
නිල් නයන මත දිලෙන පහන් පැල එළියක්
තබන්නට හැකිද මා යන මඟින්
ඒත් නුබ පුරා සඳ මෙන් සුපිපි ඔබේ
මුළු හද ම ඕනෑය මගෙ නමින්

මේඝයක් මෙන් අහසම කඩා ඇවිත්
ගෙනයන්න හැකිද දුක මා හදින්
හාදු පිනි තෙත මුසුව හදේ ඉන්දා නෙළුම
සිපගන්න හැකිද මිණිවර කුසුම්

මුළු හද ම ඕනෑය මගෙ නමින්
මුළු හදම ඕනෑය මගෙ නමින්

Picture - 'A beautiful mind'

Sunday, May 18, 2014

ආයෙමත් ඇවිදින් - නුඹ - ආයෙමත් ඇවිදින්



සැඩ සුළං මැඩ
වියළි ගුම් නද
දිය ගෙනෙන වැසි පතනයක් සේ
පිපාසිත හද පතොක් පත් සිඹ
ආයෙමත් ඇවිදින් - නුඹ
ආයෙමත් ඇවිදින්

වසන්තය ගෙන ආ අතින් මැන
ග්‍රීෂ්මය වෙත පාර කිවු සඳ
මැලව වියැළී කෘශව ගිය හද
තෙමා නිම්හිම් නොහිම් ආලෙන්
ආයෙමත් ඇවිදින් - නුඹ
ආයෙමත් ඇවිදින්

Picture - Brita Seifert

ඔබ නොමැති රාත්‍රිය



රාත්‍රිය බිඳ දිව එන
හද පෙළන සංගීතයකි ඔබ
මිහිදුම වෙළා ගත් සීතල
ඔබ මා සුරත ඇල්ලූ පළමු දින මෙන්
සැලෙන හැඩ

Picture - Ginette Beaulieu

වෙසක් සඳත් බැහැල ගිහින් - ඒ හින්දද නුඹෙ ඇස්වල මේ හැටි කඳුළු



හදවත කීරි ගස්සන පහමාර සීටිබී බස්සෙක
අද්දද්දි ගෙයි පහළ කන්ද
නුඹේ හදවත ගැහෙන හඬ
ඇහුණ මට දුන්හිඳත් පරදගෙන
ගිහින් එන්නම් කියා ඇස් දෙකින් කියාගෙන
ආවත් නොබලාම බදුලු ඔය
හදවත නතර වී ඇති බව ඔයා ළඟ
මට දැනුණ පපුවම රිදෙන කොට

නුඹේ අත් දෙකින් අහුරපු
රෙදි බෑගයේ තිබී
හමුවුණා මට ඔබේ
එක කඳුළකට කැටි වුණු
කඳුළු සයුරක්ම

වෙසක් සඳ නිවී යද්දිම
කඳුළු එක්වුණු නුඹේ ඇස් දෙක
මගේ ඇස් මත තියාගෙන
ඒත් මම යනව පුරුදු විදිහට වැඩට

ගෙයක් දොරක් හදාගෙන
අහවරක් වෙච්ච දවසට
මං හොයාගන්නං රස්සාවක්
හැමදාම හවසට ගෙදර එන්න
ඔබේ කිචි බිචි අසාගෙන
මුළු රෑම දහවලම හිනා වී ගෙන ඉන්න
ඒ දවස එන කං කඳුළු පිහගන්න

Picture - Aldo Balding

Saturday, May 17, 2014

මේ විදිහට හීල්ලෙන කොට බං ජීවිතේ වුණත් තිත්තයි



මේ විදිහට හීල්ලෙන කොට බං
ජීවිතේ වුණත් තිත්තයි
ආදරේ උරා බොන්නට
පණ කොඳුත් හුස්ම ගස්සයි

තක්කාලි දෙසීයත් හැටයි
මක්කොල්ල හුස්ම ගන්ඩදැයි
මමත් හොයනා නිසා උත්තර
නුඹෙ ඇනුම් පදයත් බරයි

සිහි විකල් වෙන තරමට
බඩගින්න ජීවිත බර
තරාදියකට දැනෙනවද
ගරා ගිය හුස්මක් හැර?

Picture - Harold Harvey

හෘදාබාධයකින් මිය යෑම



නිසි දෙයම කළ බැවින්
තිළිණ ලෙස පිරි නැමිණි
දැල්වූ උණුසුම් උදුනක් මා වෙත
පුදුමය, තවම දැල්වීගත් ගමන්මය එය
හරියටම ළය මැද

ගිනි වැදී දරා ගත නොහී හැඟුමන්
අළුව ඇත තැනින් තැන
දැන් එය අඩක් අළු බඳුනක්ය
සුණු ව ගිය බිඳ බිඳ

හෘදාබාධයකින් මිය යෑම කියන්නේ ඒකය
හේතු විමසන මිනිසුනට
නොපෙනෙන එකත් අරුමය

Picture - Alessandro Andreuccetti

Friday, May 16, 2014

වෙසක් සඳ



ඈත පිටිසර ගමක
වන අරණක කොණක
වෙසක් සඳ එල්ලෙයි
ගෙයි පිලෙහි වාඩිගත්
පන්සල් නොගිය අම්මා
කළුවර සැලෙන කළුවර
අතු පතර දෙස බලා හිඳී

ළඟපාත ගෙයක් නැති
විසල් වත්තට එපිටින්
වෙසක්වත් නොබලාම
බල්ලෙක් උඩු බුරලයි
කැලතෙන සවු කොළ අතර
කුඩා උන් දිවගිය මිදුල
දිරාගිය කූඩුවක්වත්
නැතිව වැළපෙයි

උඩුබුරන සුළඟ හා එක වරම
චරස් ගා ගසක අත්තක් ඉකිලයි
වෙසක් වග නොතකාම
සඳත් කළු වලාවට වියැකෙයි

Picture - Camille Pissarro

Thursday, May 15, 2014

ලෝකයේ කොන් දෙකක



රන්වන් කූරු ඇමිණුණ
විලතෙරක ගණ මතකය
මීදුම් වලා වගේ හිත වෙළනවා
මානෙල් මලක් වෙලා ඔබ
මීදුම අගිස්සෙන් එබෙනවා

තාරුකා ඇස් ඔබේ
හරිත දිය මත ඇදෙනවා
මීදුමක් වගේ ඔබ එබෙනවා
ලෝකයේ කොන් දෙකක
එකම මල් පිපෙනවා
මල් සුවඳ - අපි ඉඹිනවා

Picture - Charles Courtney Curran, American

Tuesday, May 13, 2014

උපහාර



සුළඟ ගෙන යන විට
ජනී ජනයා විඳ ගනිත් සුවඳ
නොඅසත් කිසිවෙක්
කවර මලද කොහි සිටද

ඇතැම් විට සුළඟ
ලබාය මහත් උපහාර

එහෙත් මල නොපතාය කිසිවක්
හිනැහේය සුළඟ සිහින් කිතියෙන්

Picture - David Gray

පෑන් තුඩු ගිලිහ රිදුම් ලද මිනිසුනට දයාවෙනි . .



හළා හළ පසු විස රුධිර ධාරා
සුවපත් වෙත්ද ඔවුහු මහත් ප්‍රේමයෙන්
එකල්හි ඔවුනට මල් මිටක් දෙමු
උරා බොන්නට සුවඳ සුනිමල්

පෑන් තුඩු ගිලිහෙන්නෙ සුහද
අසුන්දර සිතිවිලි අතින්
නිවන් යන මඟ දුවයි ඈතට
දුටුව විට ඉසි කෝ ද මන්

මල් පිපෙන්නේ නිබඳ
තෙතක් ඇති පසක් මතය
සංවේදනා සිලිලාර
උපන්නේ මල් පිපෙනු පිණිසය

Picture - Vladimir Volegov