Thursday, May 1, 2014

යනු මැන සියලු කඩපිල්වලට - ගරුතර නිලධරයනි නීතිය රක්න



කම්කරුවන් කවුරුන්දැයි මම දනිමි.
කම්කරුවන් සූරාකන්නන් ඊටත් වඩා දනිමි.
කම්කරුවන් සූරා කන හැටි මොනවට දනිමි.
එහෙව් මට නොතේරෙයි
කුමක් සමරන්නෙහුද ඔබලා කම්කරු දිනයේ

දැක ඇත්තෙමි මම
රොබෝවන් වැනි මිනිසුන්
ජීවිතය විඳගන්න ඉඩක් නොලැබෙන මිනිසුන්
එහෙත් ඔවුන් කෑමත් බීමත් කළ යුතුය
ඇඳිය යුතුය අවැසි ලෙස
මඟුල් ගෙවල මළ ගෙවල යා යුතුය
රැක ගත යුතුය හැම කෙනාටම හිමි නම්බුව
කවර නම් අරගලයක්ද එය කම්කරුවෙකුගේ

පඩි ලැබේද ලැබිය යුතු දිනට උනුන්ගේ
එය මසක් හමාරක් පසුව විය නොහැකිද
තත්පරයක පමාවකට කපා නම් දවසක පඩිය
එහෙත් මුළු දවසම බර වැඩම ඇති ව
කම්කරු අයිතීන් යනු කුමක්දැයි
අහෝ මට නොතේරීම වරදක්ද
පැමිණිලි කළ හැකිද ඔවුනට
ඔව්, හැකිය, ඒවාට පනත් ඇත
කියනු ඇත ඔබලා දැන්
එහෙත් නැවතුම් තිතක් නොතබා ජීවිකාවට
මිනිසුන් තිත් පේළියක් තියන්නේ සතුටටද?

යනු මැන සියලු කඩපිල්වලට
ගරුතර නිලධරයනි නීතිය රක්න
බලනු මැන පෙරළා ඔවුනගේ පඩිපත
හිමි දෙයක්වත් ලැබී ඇත්ද ඔවුනට

Picture - Vincent Van Gogh, "Portrait of Dr. Gachet"

No comments:

Post a Comment