Tuesday, October 29, 2013

නොසැලෙමි

Wang Long Sheng, Storm Is Coming

වසන්තය පමා වූ බැවින්

නොසැලෙමි සුළඟට ද

Picture -
Wang Long Sheng, Chinese, born 1944

අහස ගෙන නිල දියැති හසරළ

Sun and Mist

අහස ගෙන නිල දියැති හසරළ
උදෑසන ඇවිද යයි පැස රැගෙන 

සිහිල් දිය පුරා ගෙන එනු පිණිස

Picture -
Leon Dabo, American, 1865 - 1960

If you know the truth of love..

Alphonse Mucha, Christmas in America

If you know the truth of love
You will begin to love
If you know the flower's smell
You will grow in deserts
Even in deserts
If you tasted a drop of sorrow
You will never hurt me

Life goes through the mountain bangles
Tree leaves, roaring heart angles
Birds swing, make ring
Happy.. sorrow.. My heart intermingles

Are you going to make a pyramid
To hide a love of summer-mid
hid, shattered and withered 
Like a flower bud

Picture - Alphonse Mucha, Czech, 1860 - 1939

හැඬුම්

Toby Boothman, Girl with Red Turban

සිනිඳු වැලි තලාවක
ළසඳ පෙති ඇහැරිලා
මෘදු එළිය අත හැර
එවන්නේ ගොජ දමන ලෝ දිය
එහි වැතිර තැවරී
රිදුම් දෙයි හිත
නොනවතින විලාසෙන්

හිරු එන්ට කලියෙන්
නිමා වූ ගීයක හඬ
ඇවිද යයි කඳු වැටි පැන
පුදුමයි, නුඹ යන්න ගිය එක
ඒත් මගෙ හිත කියයි නිතරම

තමන් හැර අන්
නොදැනෙන ලෝකෙක
ඔබත් එක් වී අනෙක් අය හා
කරන සරදම් අසා සකිසඳ
නොනැඟිය යුතු ඉකියකින්
හැඬුම් එයි මට

ඔබේ මෘදු අතැඟිලි
දැනෙයි කෙහෙරොද මත

Picture - Toby Boothman, English, Born 1973

Monday, October 28, 2013

අහිමිවීමක කම්පනය

Andrey Kartashov, Girl with Blue Collar

දිනය : 2013.10.28
වේලාව : පස්වරු 5.35
ස්ථානය ; නුගේගොඩ

වැඩ ඇරී එළවළු ගැනීමට යාමට සිතූ මම ඒ සඳහා මුදල් බෑගයේ පිට පොකැට්ටුවේ ඔබා ගතිමි.දුරකථනය ද එහි ඔබා ගත් මම පාර මාරු වීමට මොහොතක් බලා සිටින අතර 176 බසයක් පැමිණ බස් හෝල්ටුවේ නතර විය. එ වර පස්සේ එළවළු ගන්නවා යැයි සිතූ මම දිව ගොස් බසයට නැඟ ගත්තේ ඉක්මනින් ගෙදර යාම වඩා රිසි වූ බැවිනි.

මා බසයේ යන්නේ මහත් අවධානයෙනි.ටිකට් එකට අවශ්‍ය මුදල්  එළියට ගෙන ටිකට් එක ගැනීමට සැරසුණු විට මා දෙපසින් අදාළ නිල ඇඳුම ඇඳ ගත් කොන්දොස්තරලා දෙදෙනෙක් මතු විය. කාටද සල්ලි දෙන්නේයි මඳක් අවුලට පත් වී මම එක් අයෙකු වෙත මුදල් දිගු කළෙමි. අදාළ ඉතිරි මුදල ලබා ගත් මම නැවත බෑගය ඇරියෙමි. සියල්ලට ම යන්නට ඇත්තේ තත්පර පහළවකි. එහෙත්, පුදුමයකි, එහි මුදල් හෝ දුරකථනය හෝ නොවී ය. 

කිණිස්සක් සම පසාරු කරගෙන හදවත වෙත ගමන් ගන්නාක් මෙන් මට දැනුණි. ඒ අත්තම්මා ජීවත් ව සිටින කාලයේ මා විසින් පටිගත කරන ලද ඇගේ කතා තිබුණේ නැති වුණු දුරකථනයේ නිසා ය. සියල්ල නිසොල්මන් ය. කිසිවෙකුත් මෙය නොදැක්කාද? එසේ වුණේ කොහොමද? මා බෑගයේ පොකට්ටුව හරවා ගෙන තිබුණේ ද මා වෙත ය.

ඒ දුරකථනයේ වර්ගය මා මතකයෙන් දැන නොතිබුණා පමණක් ද නොව එහි කිසිදු අංකයක් ද මම නොදැන සිටියෙමි. එහෙත් මා සේවය කරනු ලබන්නේ නෙට් වර්කින් හා සම්බන්ධ සමාගමක බැවින් එ වෙත වහා කතා කළ මම දුරකථනය අතැති පුද්ගලයා ඒ මොහොතේදී සිටින්නේ කොතැනදැයි පිරික්සන ලෙස පැවසුවෙමි. මොහොතකින් මට පිළිතුර ලැබිණි. “නුගේගොඩ රේල් වේ ස්ටේෂන් එකේ..”
නිවැරදි ය. මේ සියල්ල නැති වීමට ගත වූයේ ඉතා සුළු මොහොතකි. එසේ නම්, ඔහු හෝ ඇය එසැණින් ම බසයෙන් බැස ගොස් ය. මා බසයට නැඟුණේ නුගේගොඩ පොදු වෙළඳසැල අසලිනි. ගුවන් පාලම අසලට බසය එන විට දුරකථනයත් මුදලුත් නැත.

දුරකථනය අවුරුදු හයකට වඩා පැරණි එකකි. එය මා හට එතරම් අමිල වන්නේ ද එ බැවිනි. එය පසු කර ආ මං මාවත්හි මතක ගබඩාවකි. අත්තම්මාගේ, මා සමීපතමයන්ගේ හඬ පටිගත කිරීම්, සකර කර කොතැනක හෝ ලියන්නට බැරි වුණු නොපළ කවි ගබඩාවක්, මගේ ජීවිතයේ විශේෂ අවස්ථාවලදී මා වෙත ලැබුණු අලංකාර පණිවුඩ... ඒ හැමකක් ම නොවැදගත් අසත්පුරුෂයෙකුගේ අතට ගොසින් ය.

දුරකථනයේ වැදගත් වන තොරතුරු සුරක්ෂිත කොට තැනෙක ලියා නොතැබීමේ නොසැලකිල්ල නිසා මට එය නැවත සොයා ගන්නටත් බැරි ය.

කඳුළු පේළියක් මා මුහුණ මතින් ඇදී යන්නට විය.

එහෙත්, ඔයින් ගියා ඇති ය, අත්තම්මාත් නැති වුණු එකේ අත්තම්මාගේ හඬ නැති වී යැයි ඉකි ගසා හැඬිය නොහැක. 'The Pianist' ට ජීවිතේ හැම දේ ම නැති වුණේ ය. Almashy ට K නැති විය. අත්තම්මාගේ හඬ වුව මා ජීවත් වන තුරු අසනු ඇත. මා ද නැති වනු ඇත. ඉන් පසු එය කවුරු අසන්නටද?

හඬන්නට දෙයක් නැත. මම හිත හදා ගතිමි. එහෙත්, මේ මොහොතෙත් මගේ හිතේ කම්පනයකි. සොර මුළකට අසු වූ කුඩා දැරියකට දැනෙනා සුලු කම්පනයකි.ඒ කම්පනය දැනුණු මිනිසෙක් කිසි කලෙක හොරකම් කරනු නැතැයි මට සිතේ.

ලෝකය ලස්සන නැත; මා වුව මගේ ජීවිතය තුළ ලස්සන දේවල් විතරක් නතර කර ගන්නවා පමණි.

Picture - Andrey Kartashov, Ukranian, Born 1974

රෙජිස්ටර් කෙරුමට ලියුමක් ය




2013.10.28

රෙජිස්ටර් කෙරුමට ලියුමක් ය
තකහනියක සකස් කර
ලියුම් ගෙනියන අත මත තැබූ
හැකිතරම් විගසින්

වහ වහා අලවා අදාළ ඡායා ලේඛන සකසා හැකි ඉක්මනින් තැපැල් කර පැමිණීමට ඔෆීසියේ ලියුම් ගෙනියන අන්කල් අත තැබුවෙමි. පැය බාගයක් පමණ නුගේගොඩ තැපැල් කාර්යාලයේ පෝලිමේ සිටි ඔහු සීල් තැබීමෙන් අනතුරු ව බාර ගැනීමට බැරි යැයි කියූ ලියුම ද රැගෙන නැවත දිව ආයේ ය.

"ඇයි?" මම ඇසුවෙමි.

"මේකේ ලිපින ලියල තියෙනවා වැරදියි කිව්වා.. ආපහු මාව එව්වා.."

"අන්කල් හිතුවද මං පුරුදු වෙන්න ලියුම් යවනව කියලා" මම සිනාසෙමින් ඇසුවෙමි.

"ගන්න ම බෑ කිව්වා.. බලන්න, බලන්න වැරදිද කියලා"

"කෝ, දෙන්න බලන්න.."

සිනහව නවතා ගැනීම අපහසු ය. මා යා යුතු ලිපිනය ලියා තිබුණේ ලියුම් කවරයේ දකුණු පස ය. එහි තිබුණේ නුගේගොඩ ලිපිනයකි. මා හට ලිපිය යැවිය යුතු වූයේ නුගේගොඩ ලිපිනයකට ම ය. නැවත ලිපිනය ලෙස සටහන් කළේ හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකි. අදාළ ලිපිය හෝමාගම ශාඛාව මඟින් යැවීමට නියමිත ව තිබූ නිසා එසේ කිරීමට සිදු විය.

තැපැල් කන්තොරුවේ ලිපි භාරගන්නට සිටි කෙනා අන්කල්ට මෙසේ පවසා තිබුණි.

"මේ වැරදියි.. මේක මෙහෙම යැව්වොත්, නුගේගොඩට ම එයි.. මේක ගිහින් ආපහු හදාගෙන එන්න"

කාට නම් කියන්නද? මා නුගේගොඩදී ලියුමක් ලිව්වත්, හෝමාගමට ගොස් එහි තැපැල් කන්තෝරුවෙන් තැපැල් කළ යුතු යැයි මේ ගරු කටයුතු අය සිතන්නේද?.

තමන්ට දුන් ලියුම තැපැල් නොකර තම පාණ්ඩිත්‍යයත් පෙන්වන්නට යන්නේ කුමටදැයි මට නොදනී. ඒ මදිවාට, මා යා යුතු යැයි සිංහල බසින් දක්වා තිබූ ලිපිනය උඩින් "Fm"කියාත් මගේ ලිපිනය උඩින් "To" කියාත් ලියා ඇත.

Picture - desertrosebooks.com

මේ කහපාට පත් මත අතුරන්න බැරිය මගෙ මලානික හිත..


මේ කහපාට පත් මත
අතුරන්න බැරිය මගෙ මලානික හිත
හදවත නැවත බලා ඉමි මොහොතකට
දුර ගෙනයන්න නෙක ලංකාර පැහැය

වෙනස් නම් පැමිණෙනා හෙට දවස
අන්ධකාරයක කඳුළක් ව
බිඳී යමි මොහොතකට
සරත් සෘතුවක
ගිලිහ යන පතක් මෙන්

Picture - viewallpapers.com

ප්‍රාර්ථනා!


ගඟ දියෙහි
හඬ නොනඟා
රළ නඟයි
ප්‍රාර්ථනා!

Picture - thegioivemaybay.com

විසිතුරු නිල් පැහැයකි


විසිතුරු නිල් පැහැයකි
අහස් ගැබ විසින්
දිය මත අඳින ලද

Picture - koausa.org, Lake George, NY

Sunday, October 27, 2013

යුද්ධයේ හැටි එහෙම ය.



කරන්නට දෙයක් නැති ව ම
කඳුළු සැලෙන්නට ඇති
ජර්මානු යුද සෙබළකුගේ
ඇසින් වුව

Picture - 'The pianist',
Adrien Brody
(born April 14, 1973) is an American actor and film producer. He received widespread recognition and acclaim after starring in Roman Polanski's The Pianist (2002), for which he won the Academy Award for Best Actor at age 29, the only actor under 30 to do so. Brody is also the only American actor to receive the French César Award. (From Wikipedia, the free encyclopedia)

Friday, October 25, 2013

බොහෝ මුහුණු පැමිණෙයි

San Francisco Morning

පිදුරු ඇමිණූ පැලක
ආලෝක පුඤ්ජ ඇලවූ වහලයක් යට
පැන වූ අසුන් මත හිඳ
පාව යන කෙස් රොදෙන් ඔබ අසයි
අගෙයි නිස්කලංකයි නොවෙද තැන

පපායා බඳුන් ගෙන
කිරි කොක්කු පැමිණෙත්
රිසි කවර අහරට
දිගු කරත් මෙනු පත්

වඩදියට පැන ඉවත යන
තාරකා එළි අතර
ඈත යුගයක ගොවිගම
මතක පොත් පෙරළෙයි
ගෑරුප්පුවක් හනික
මෘදු කේකයක ඇමිණ යන්නාක් මෙන්
මගේ හද පසාරු කර
බොහෝ මුහුණු පැමිණෙයි

Picture - Karl Herman Baumann, American, 1911 - 1984

මං කැමතියි කිසිවෙකු විසින් නොහඳුනනු ලැබ ඉන්න

Blue Awning

මං කැමතියි කිසිවෙකු විසින්
නොහඳුනනු ලැබ ඉන්න
දැනගතහොත් ඔවුන් මා
මා අසා නැති කතන්දර කියත්

ඇතැම් විට බයයි මා
අමුතු දෑ අහන්න
වරදක් කිම්ද කට මුඛරි ගැහැණුනේ
ඔබට වඩා පුළුල් වීම
පටු 'මුත් පුරුද්දෙන් මා

Picture - Janice Baragwanath, Canadian

මලේ කෝ නුඹ - මලේ කෝ නුඹ

Two Boys Fishing

මලේ කෝ නුඹ
මලේ කෝ නුඹ
කෙළි දෙලූ වන ගං ඉවුරු වල
හඹා යන ගන වලාකුළු විත්
සඳේ සෙවණැලි ඇත බදා ගෙන

දුවන විට සමනලුන් පිටුපස
සිනා වෙන මල් උවම් නොතක ම
මලේ නුඹ අත අතැර යා යැයි
සිතුවෙ නෑ මේ වගේ
සිතුවෙ නෑ මේ වගේ

එක ම අහසක් යටින් කිව්වට
හිතා ගන්නත් බැරි ය නුඹ මට
මලේ කෝ නුඹ වැළඳගන්නට
සඳේ සාවට ගතු කියන්නට

පමා වූ දීගයක අණ විණ
බදා මවු මුව ගැටේ නිතරම
රුදා දෙන හද වග කියන්නට
පිලේ නුඹ තැන හිස් වෙලා ඇත

Picture - Adam Emory Albright, American, 1862 - 1957

Thursday, October 24, 2013

ආගන්තුක හදවතට අඬ ගසයි ආදරය

The Flower Seller

ආගන්තුක හදවතට අඬ ගසයි ආදරය
කුසුම් මඤ්ජරියක්හි සුවඳ ගෙන
පාවඩ එලයි එහෙ මෙහේ දිවෙන මාවත්හි
විඩාබර ගීතයක හඬ සුසර කරමින්

ඔව් ඉතින් දෙන්න ඔය මල් පොකුර!

Picture - Jacques-Laurent Agasse, Swiss, 1767 - 1849
(කොච්චර පරණද මේ චිත්‍රය
මමත් හිටියාද මේ තැන්වල?)

Tuesday, October 22, 2013

බලා හිඳුම ය වැදගත් නො මඳ අධ්‍යාශෙන්

Greet_the_Morning

ලියනු මැන ඔබ කවි ආකාස වියන මත
වලාකුළු මත රන් රෝස පෑ තවරමින
ගංගා වළලු මතට පැන දිය රේඛා අඳිමින
මෙන්න, මා හදවත ඇති තරම් පිටු ඇත එ'මත

කැඩී බිඳී යන විට ඉසියුම් කැබලි වලට ද
මඳහසක් ම තවරා අරාජික ජීවිතේ
යළි සකර වන තුරු බලා හිඳුම ය වැදගත්
අත නොහැර ම සුවඳ නො මඳ අධ්‍යාශෙන්

කවි තරම් මිහිරි ඉසක වන අරණ අම
මුදුන් වන්නා සේ තාරකා පති යම් දින
අසු පිටින් ඇදෙනු ඇත වලා පේළිය
නියඟයට දැවුණු තුර හදට පිය මැන

Picture owner - unknown, found on the web

Monday, October 21, 2013

වෙනස් හැඩයක් ගත් හදවතක් : A different love



කාන්තාරයක වක ගැසුණු
සියුම් රේඛාවක් මෙන්
හදවත ම අලවමි
සුදු පාට අහස මත
වෙනස් හැඩයක් ගත් හදවතක්

ඒ අතර මතු වී
ශෝකාන්ත විලාසයෙන්
මට පෙනෙන්නෙ ම
ඉංග්‍රීසි නළුවෙකුගෙ ඇස් දෙකක්
උදා දිව රෑ හවස් වරු උමතු කර
මේ මොහොතෙහි පවා
ගන කළු සැදෑවක් උණුසුම් කර

ඉංග්‍රීසි අකුරු කටු ගාමින
ලියන්නට හිතෙන තරමට
උණුසුම් ය විකාර රූපී ය
බිඳේ යැයි සිතෙන තරමට
රන්වන් ය වීදුරු මුහුණ

එක නිහඬ බැල්මකින්
කඩා බිඳ සුණු විසුණු කර දමයි හදවත

Picture - 'The English Patient', Ralph Nathaniel Twisleton-Wykeham-Fiennes

රිදී රේඛා


තෙතබරිත ය සියලු ලී අසුන්
රාත්‍රී දුම්රියේ
එක ම එක කොනක් හැර
ඈත අහසින් මතු වන
වැසි අතර සිනා වගුරන
රිදී රේඛා අත වනයි මට

Picture - 'The Constant Gardener', Ralph Nathaniel Twisleton-Wykeham-Fiennes

කෝච්චි මාමා එනවා














රිය සක කැරකෙනවා - පුදුම යි
පීලි දෙකක කැරකෙනවා
කසු කුසු කිය කිය
දුක සැප කැටුව ම
කෝච්චි මාමා එනවා

කඳුවැටි බිම්තැනි
හැල්මේ පසු කර
ගල් අඟුරු ම බොනවා
නැළවෙන එක, දෙක පන්තිය ඇද ගෙන
තුන්වැනි පන්තිය යනවා

මනරඟ මල් වතු
අතරේ නිතර ම
කඳුළු ගඟුත් පහුවෙනවා
කනුකුනු නොකිය ම
හිත සවි වඩ වඩ
පෙරට ම යා යුතු වෙනවා

Picture - Pierre Bonnard

මැවේ


සරතාකාශයේ
මැවේ
ලියවැල්

Picture - junkaholique.com

ජීවිතය

Woman in a Shell

උදෑසන කොවුලන් හඬන
වැසි වසින
මඩ කඩිති මැද
දිය රේඛා ඇඳෙන
නිදිකුම්බා මල්
තෙතබරිත ව නිදන
බීප් බීප් හඬක් මා සිරුර මත
විදිලි සර නඟන

හුස්ම ඉහළට අල්ලන
වැඩිහිටි කතක් සමඟ
මරණය විලි රුදා දෙවන
'ආච්චී'යි ඒ මුහුණට උඩින්
කුඩා දෙනෙතක් එබෙන

මොර සූරන වැස්සකට ඇහැරෙන
දහවල ම කළුවරෙන් පිරෙන
එකට ගුලි වී උන්නු අහස ම
පොළොවට කඩා හැලෙන

Picture owner - unknown, found on the web

ගිනි

Sacha Van Dorssen, Title Unknown

කන්කෙඳිරි ගාන සුළඟ
අවුලවයි
ගිනි

Picture - Sacha Van Dorssen, Dutch

හද













ළදල්ලකි
වර්ණ සිතුවම් පතන

Heart is a leaf bud
wishing for colorful
drawings

(English Translation by Himali N. Liyanage)

Picture - hcgreenthumb.wordpress.com/2011/03/14

Thursday, October 17, 2013

ප්‍රේමය තරම් සොඳුරු කවිකම්


ප්‍රේමය තරම් සොඳුරු කවි කම්
ප්‍රේමය තරම් සොඳුරු කවි කම්
ප්‍රේමය තරම් සොඳුරු කවි කම්

ඈත් කෙරුවත් හදවතින් උතුරා යන
සුවඳ දෙන මහරු මල් කම්
පැළඳුවෙද ගිරි හිසක මනරම්
නොමැකෙනා මුදු පෙම් දම්

කතර බිම වැටුණි මහා වැසි
සතර දෙස පිපුණි උදක පෙති
ගලා යන බැල්මක වෙළී ඔබෙ
පෙමක නර්තන මැවුණි නිති

ප්‍රේමය තරම් සොඳුරු කවිකම්
නුඹ ළයේ ගැස්මෙන් උදම්
ගීතයක් වී වහිනවා
නිම්න බඳ මල් ගෙනෙනවා

Picture - 'English Patient'

Wednesday, October 16, 2013

කුහුඹු

Norval Morrisseau, Moose and Birds

ගිනිකඳු තුළට
ඇදෙන කුහුඹු පේළි
තනාගනී සිය කුඩා ගුල්
එහි ම

Picture - Norval Morrisseau, Canadian, 1932 - 2007

පිරිමිඩයකට සවන් දෙන්නෙමි

Elihu Vedder,  Listening to the Sphinx

පිරිමිඩයකට සවන් දෙන්නෙමි
ආදරේ මුමුණන්නෙමි
අතීතෙන් එන සුළඟ
එම 'යුරෙන් විඳ ගන්නෙමි

දවන සිත වාවන්නෙමි
සුසුම ඇසුරට ගන්නෙමි
එහෙත් සුමුදු ව සුවඳ විමසා
මුළු හදින් පළදින්නෙමි

Picture - Elihu Vedder, American, 1836 - 1923

Tuesday, October 15, 2013

උල්පතක් වුව නවතිනවා

Danielle Richard, Avec le temps

උල්පතක් වුව නවතිනවා
නියඟය ආ කල නවතිනවා
මරණීය හුස්මක් අරගෙන
පිනි පොද පොද යළි විසුරනවා

දුක සේ කල් ගෙව්වොත් අපි
හොඳ දේ වපුරා පස මත
කෙදිනක හෝ මල් පූදනවා
වැසි අරගෙන මිහි වෙත එනවා

ඇස මත කඳුළක් වියළා
නල මවමින් මුදු සිහිලැති
සුසුමින් ගව් දුර ඇවිදිනවා
සරතැස නිවනට එක් වෙනවා

Picture - Danielle Richard, Canadian

මිහිදුමෙහි



මිහිදුමෙහි
අතරමං වෙයි
පාරවල්

Picture - Kusal Kanushka Suraweera

Monday, October 14, 2013

අකුරුත් පිසත හැකි වෙද අද හාල් සේ

Low Life

"අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා
වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා
කල් ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් මකා
ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා"

- ගණ දෙවි හෑල්ල

ඒ කාලේ කිව්වත් දෙවි හෑල්ලේ
තවමත් නිදමු අපි අතු කඩ මාල්ලේ
රස ඇති කැවිලි හැඟ වූ දිය පීල්ලේ
අකුරුත් පිසත හැකි වෙද අද හාල් සේ

Picture - Sir Edwin Henry Landseer, British,1803 - 1873

Saturday, October 12, 2013

'ලොවීනා' - චිත්‍රවලට ආදරය කරන්නන්ගෙන් ගැලවී සිටීම අපහසුයි.

මොහාන් රාජ් මඩවලගේ 'ලොවීනා' නමැති පොතේ පිටකවරය මට සිහි නැංවූවේ ප්‍රංශ චිත්‍ර ශිල්පී Nathalie Picoulet ගේ තෙලි තුඩට අසු වූ චිත්‍රයි. ඔව්, බලන්න සිතුවම්ගත කාන්තාවගේ හිස, හැඩතල අමුණා... කෙනෙකුට චිත්‍ර ශිල්පීන්ගෙන් ගැලවී සිටිය හැකි 'මුත් චිත්‍රවලට ආදරය කරන්නන්ගෙන් ගැලවී සිටීම අපහසුයි.

[Nathalie Picoulet, French, Le petit turban bleu]