Friday, January 30, 2015

කවිය යනු මර්මස්ථානයකි පහර ලද



එහෙත් සමා විය යුතුය ඔබ මට
නොහරවා මන්ද්‍ර නල කලඹ
නාඳුනන මෝය කටකට
හැරී ආවාට නොනැවත

මිතුරනි මම
කිසිවෙකුද කිසිවක්ද නොවන කල
ඔබ කුඩා ලෝකයෙන් මිදී
පෙඟී ගියෙමි සිසිරයේ වැහි රළට

කවිය දිය පහරකැයි
නිමක් ඇරඹුමක්
නිමාවන තැනක් මොහොතක් නැතිව ගලා යන
කවිය යනු දූපතකි
නන්නාඳුනන සුළං හමා එන
කවියත් කවියාත් අල්ලා ගත නොහෙන සඳ
සීත සෘතුවේ අලු පාට දුමාරයෙහි
සැඟවුණෙමි මම සකිසඳ

කවිය යනු මර්මස්ථානයකි පහර ලද
සිනාසෙන්නෙකි හඬන්නෙකි වැළපෙන්නෙකි
බෝසතෙකි හිතන 'මුත් නොදොඩන
මිතුරනි ඔබට ඒ වග කියන්නද මම

වැස්සට ගසා යන මයුර පියාපතක්
දුටුව නම් පමණක් ඔබට
පිළිතුරු දිය හැකිය ඒ ගැන

Picture - Gustav Klimt (Austrian; Art Nouveau, Symbolism, Vienna Secession Movement; 1862 - 1918)

Thursday, January 29, 2015

කිසිවෙකුත් නොදන්නා දූපතක්



මුණ ගැසෙන හැම වර
මුව සියලු ලක්ෂ්‍යයකම
ගංගා දහසක් එක් රැස්ව
පිටාර ගලා යන සේය ඔබ

ආදරය පවසන විකාර දර්ශන
ඇසි පිය නොහෙළ හිටි වන
උවමනා නැත මිතුර
හදවතේ ගැඹුරු තැන
කිසිවෙකුත් නොදන්නා
දූපතක් වැනිය ඔබ

Picture - Paul Hedley

නොගැලපෙන බවට?



රසායන විද්‍යාවක් නොදන්න කොට
කුරුඳු කමිටුවෙත් ඉන්නකොට
චිත්‍රත් ලියන කොට කවිත් අඳින කොට
කැලෙත් ඇවිදින කොට
පොළෙත් එනකොට - උයනෙකත් කරන කොට
එළදෙනෙකුත් ඉන්න කොට
වාහනෙත් එලවන කොට
පසුතැවිල්ලෙන් පසුවන්නෙක්ද ඔබත්
ඔබේ පෙම නොගැලපෙන බවට

Picture - Daniel F. Gerhartz

බිඳී යන තත් ළවැල්ලෙහි



සිඳ බිඳී යන සිතුම් පැහැයකින් දල්වලා
වැසි කලෙක සිප ගනී සිඳු කඳුළු වැහි වලා
අතරමං වූ විහඟ පියාපත් අතරතින්
ඇදී එයි ගීතයක් ඇරඹුමද නිමද නැති
උදම් රළ මෙන් පතිත ඉහළ නැඟ දිය යළිත්
පෙමක් සිය අතින් ගෙන රළ අතර සැඟව යන
ජීවිතය දෙස බලා අඩ ඇසින් සැණ බිඳෙක
ඈ ඇවිද ගිය අයුර ළවැල්ලෙහි තබා පිය
කටු දහසක් ඇනී නිමේෂෙක අවුලුවන
බ්‍රහස්පති තාරකාවක් විලස ගෙන මතක
නිශාවෙහි ගන අඳුර ඉරා මතුවෙන එළිය
රළ අතර බිඳී යන රිදී කවියකි දෙනෙත
ශෝකයෙන් විඩා ගත් විට බිඳී යන තත්
අහුල ගනු විලස ගන අඳුරු රැය මඟට 'විත්
ශෝකයද ප්‍රේමයද නුසුන් කල්පනා ලොව
මිටට ගෙන ඉකි ගසන ළවැල්ලෙහි වැතිරගෙන

Picture - Mark Keathley

Wednesday, January 28, 2015

නවතින්න මට වරම් දෙනු මැනවි



සිසිරයේ ගල් ගැසුණු ඔරු පාරු
සොහොන් කොත විවර කරලනු මැනවි
ඉඳින් මට නවතින්න වරම් දී
සුළං රැළි ගසාගෙන යනු මැනවි

ගන නිලැති ආකාසයට රැයේ
සිකුරු තරුවම අලුව දෙනු මැනවි
අවසන් ගිහි භවය නවතන්න
වරම් දී පෙමද ගිලිහෙනු මැනවි

නවතින්න මට වරම් දෙනු මැනවි

Picture - Yuliy Yulevich Klever

නැවතෙමිද?



තනියම ඇවිදින්නෙක්මි මං
සුළි සුළං ආපුදෙන්
ගසා යා යැයි බියක් නැත
හිම කුණාටුද සමව ගත් කල
එහෙත් දුම් කවුළුවක් එපිටැති
සලයි මා හද

නැවතෙමිද
නොනැවතී නික්මෙමිද?

Picture - Blizzard coming by Yuliy Yulevich Klever

Tuesday, January 27, 2015

ප්‍රීතියෙන් පසුවන්න



මිහිරි නැත කිසි විටෙක
ප්‍රේමය තරමටම අල්ලාගැනීම
කඳුකරය මෙන් ඇස නොසනසවන්නෙය
රිදවන්නෙය එක පෙළට
දැරිය ඔබ
ප්‍රීතියෙන් පසුවන්න
නුවමනා ලෙස වැඩ නොකරන්න
නොබැඳෙන්න

අස්ථිර ලොව අසුරු සැණකින්
ඕනෑම දෙයක් නැති විය හැකිය
ලද දෙයට වඩා දෙන දෙය සිතන විට
ලැබෙන දෙය ගැනම සිතන'යට වඩා පසුපසින් විය හැක
රළු වදන් නැතිව මුදු වදන් පැමිණි කල
බොහෝ දෙය ගිලිහිය හැක

දැරිය ඔබ ප්‍රීතියෙන් පසුවන්න
රෝස මල් පෙති මත වැතිරෙන්න

Picture - Sally Swatland

සරදම් සිනහවටද ලොබ වෙමි



එහෙත් සෝරෝ තරම්
මා පෙම් කළ වෙන කෙනෙක් නැති!
බැල්මකට තිගැස්සෙමි
සරදම් සිනහවටද ලොබ වෙමි
කඩු තුඩ නිතොර ඇමිණි
පෙමකි සකිසඳ අහිමි

Picture - E.J. Paprocki

Friday, January 16, 2015

තිත්ත රස



ලියාගෙන ලියාගෙන ගිය කවි
කියවාගෙන කියවාගෙන යන විට
තද තිත්ත රසකි දිව මත

Picture - Gueorgui Pinkhassov (French/Russian; Photography, Magnum Photographer; b. 1952): UK. England. London; 2014

Thursday, January 15, 2015

පෙමත් හදත් මායාවක්



අහස් රේඛාවකදි හමු වී පෙම් බඳින කල තදින් ඔබ වෙත
ඔබ මගේ සිහිනයට එන්නේ - ඔබටවත් නොකියාද සකිසඳ
එවන් විට තිබිය හැකිද මායාවක් වෙනත්
මා හද තරම්

බලවත්ව රළ නඟන කල ප්‍රේමය
ඉගිල යමි එහි නොකිමිද ඉහළට
අඩ නිරුවත් ළඳුන් හා ඔබ
සිනාසෙන කල ප්‍රීතිව
මඳ සිනා නඟමි, නොතැවෙමි, නොබැඳෙමි
ඉන් එහා පෙමකි මගෙ හිත

සෙලවෙන් නැති සිඳෙන්නෙත් නැති බැඳෙන්නෙත් නැති
සුවඳ මෙන් කුසුමගින් ලිහින්නෙත් නැති
පතන්නෙත් නැති, පෙරළා ලබන්නෙත් නැති

එහෙත් ඔබ 'තින් ඔවුන් ඉණ නැඟි රැළි ගනිමි
තවමත් එවන් නිෂ්ඵල බොහෝ දෙය කරමි
ඉකුත් සයුරක් ලෙසින් පාව යන නුඹ දකිමි
නැංගුරම් ලන සිහින ඉවත ලමි
කවි කියන්නේ බොරු නොවන බව නොදත් නුඹ
සිහිනයට එන්නේ නොකියාද ඔබටවත්
නොම අසමි
මායාවක වෙළෙමි

Picture - László Gulyás

විශ්වයෙන් ඈත්ව දෙසතියක්: වන සටහන්


ගිරි ඉස බැමි මුදා සිය බඳෙහි වලාකුළු රඳවා සිටින කල්හි දොරගල මවන්නේ අයස්කාන්ත ශ්‍රී දසුනකි. තැනින් තැන දම් පාට කවාකාර කඳුය. අවාන් බඳු තුරු වදුලුය. හිත මත බැලේ නැටුමකිය.

නැවුන් පලරසින් අමන්දානන්දනයට පත්ව නබෝ ගැබ වී කරලක් ලෙද ඉගිල යන විහඟ දනුව කඳු අස ශෝකී උදකලාව පලවා හරියි. මිනිස් වැසින් මිදි වන අරණක අස මමද විහඟෙකු පරිද්දෙන් වැතිර සිටිමි.

සිසිරයේ ශීත සුළඟ සර සර හඬින් ඉරුං පත් අතරින් ගලා එයි. ඊසාන දිග මෝසම නොතකා පුරු වනු පිණිස තැබූ ඉරුං ගස් සිය ඉස් ඔසවමින් කඳු ගර්භය දෙස කටාක්ෂ නිරීක්ෂණ පායි. වනපෙතට ඇදී යනු වස් මම නැඟිටිමි. "සීතල සුළඟ අප පිළිගෙන - කඳු බඳෙහි රඳවනු මැන" තණ පත් ගයන හඬ ඇසෙයි. ගසා යන පත්හි මිහිරි රහස් ගෙන සුළඟ කඳු ඉස් මතින් පියඹයි.

වෙල්ලස්ස අස්වද්දමින් හමා යන ඊශාන දිග මෝසම් වැසි දියෙහි සොඳුරු චුම්බනයන්ගෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් මනාලියන් පෙළක් මෙන් ගංහෝ වසා නටන දිය පොකුරුය. සියයට සියයක් පිරිසිදු නැවුම් සුළඟ ආශ්වාස ප්‍රශ්වාස කරමින් මම මඳක් නැවතෙමි.

මෙහි මාස් කන්නය සැප්තැම්බර් පහළොවේ සිට මාර්තුවේ පහළොස් වැනි දින තෙක් දින ගණියි. සැප්තැම්බරයේ කිහිප දොහක් බෙලි තෝර වැසි ඇද හැලෙන්නට ගනී. ඔක්තෝබරයේ විසි වැනි දින ළං වන විට වසරකට වරක් දීර්ඝ නිවාඩුවක් පතා පැමිණෙන්නාක් මෙන්, මඩකලපුව දෙසින් ඊශාන මෝසම් වැසි හමන්නට පටන් ගනී.

ඇළ අද්දර දියට හිස නවා හිඳින හබරල පත් මතට වැටි දිය බිඳු පළිඟු මෙන් දිස්න දෙයි. හබරල පත් ඔරුවක නැඟි බත් කූරෝ දෑස් දල්වා විශ්වාස නැති අහස් කුස දෙස බලා හිඳිති. වෙළ වියන බිඳ හීන් හිරු කිරණ මිහි මතට පාත් වන්නට ගද්දී, වන මැද ගලා බස්නා දිය පහරක මම දිය කාවෙකු මෙන් ගිලී යමි. මුළු මහත් සුන්දරත්වයම උරා ගත්තාක් මෙන් අහස වෛචිත්‍රයක් මෙන් පාට වන්නට පටන් ගනී. සීතල සම විද වෙවුලවන්නට තබද්දී, මම විරත කළ නොහී සුන්දරත්වයෙන් වන පෙතට ආබද්ධව හිඳිමි.

නොලියැවෙයි කවි



පැන්සල් කොටවලින් මෙන්
රන්වන් පෑන්වලින්
නොලියැවෙයි කවි

Picture - Vladimir Gusev

Sunday, January 11, 2015

රන්වන් පෑනක් ලැබුණා ලැබුණා


දවසක් ඒ යැයි සිතුණා සිතුණා
හද මත බැඳි දුක් දම් ලිහෙනා
ඉතිහාසය ලියනා
රන්වන් පෑනක් ලැබුණා ලැබුණා

ඒ පෑනින් හද දකිනා දකිනා
යුක්තිය පෙරටුව ගමනා ගමනා
සමගිය සඳෙළිය විලසින් බෙදෙනා
රන්වන් දොරටුව ඇරුණා ඇරුණා

ඒ දොරටුව ළඟ එක් වී රොක් වී
එන්න මිතුරනේ හරි මඟ පෙන්වා
දිවි හිමියෙන් උදහස් එලවන්නට
පණ ගැහෙනා අකුරට පණ දෙන්නට
පණ ගැහෙනා අකුරට පණ දෙන්නට
පණ ගැහෙනා අකුරට පණ දෙන්නට

Picture - Robert Hagan

Sunday, January 4, 2015

කොතරම් පුදුමද මිතුර



විභාගයට ගන්ට වූ තැන පැමිණිල්ල
මා ඉදිරිපිට පැකිළෙන සැලෙන ඔබ දැක
විස්මිතව ගොලුව ගියෙමි මම
සුමිතුර
පරණ අමතක මතක 'විත්
විශාල ජලාශයක් කලඹන්නට විය

මිටියාවතට දුව ගොස්
ගස් පාමුලෙහි සැඟවුණු
දිය ඇලි සොයා ගොස්
පව් මතින් කිමිදුණු
කොතරම් නුහුරුද නුපුරුදුද
අගනුවර සීත කාමරයක මුණ ගැහුණු කල
කොතරම් පුදුමද මිතුර
ඔබට මා හඳුනන්න බැරි එක

සැලි සැලී ඔබ කරුණු කියන විට
තවන් නිල දන සිටින බැවින් අප වට
මේ මාය කියා මා හට ඔබට
කියාගන්නත් බැරි වුණු කොට

කඳුකරය මත අප දුව යන විට
වැටුණු මහ වැසි තවම වැටෙනවා හිත යට

Picture - John George Brown, 1831-1913

යුක්තියට වග වනු මැන


අපක්ෂපාතී බව නම්
උපැස් යුවල පළඳා ගනු මැන
හෘද සාක්ෂිය නම් කැඩපතට එබෙනු මැන
නොබැඳෙනු මැන සිහි විකලව
නොදොඩනු මැන වහසි වදන්
නොවැටහෙන දෙය උගත මැන
අසීමිත වනු මැන අපරිමිත වනු මැන
නොබිය වනු මැන
නිවැරැද්ද තෝරා ගනු මැන
රටකට වටින මිණක් මෙන්
පුරවැසියකු වනු පිණිස
පක්ෂයකට නොබැඳී
සදා කල්හිම
යුක්තියට වග වනු මැන

වර්ණ උපැසින් වැසුණු කල
ඔබට දැන ගත හැකි කිකල
පරම සහ ස්වර්ණමය සත්‍යය?

Picture - Gerhard Richter (German, Contemporary, b. 1932)

ගෝල්ගෝලි මල



හදවත එකම සැණකෙළියක්
මහාලිඛාරූප කඳු පාමුල
සිනාසෙන නටන වැළපෙන
ඔබ උණු උණු අත් දෙකින් පිරිමැද
මහා කාව්‍යයක් ගයනු මැන ගෝල්ගෝලි මල

Picture - Mary G. Cross