Friday, January 30, 2015

කවිය යනු මර්මස්ථානයකි පහර ලද



එහෙත් සමා විය යුතුය ඔබ මට
නොහරවා මන්ද්‍ර නල කලඹ
නාඳුනන මෝය කටකට
හැරී ආවාට නොනැවත

මිතුරනි මම
කිසිවෙකුද කිසිවක්ද නොවන කල
ඔබ කුඩා ලෝකයෙන් මිදී
පෙඟී ගියෙමි සිසිරයේ වැහි රළට

කවිය දිය පහරකැයි
නිමක් ඇරඹුමක්
නිමාවන තැනක් මොහොතක් නැතිව ගලා යන
කවිය යනු දූපතකි
නන්නාඳුනන සුළං හමා එන
කවියත් කවියාත් අල්ලා ගත නොහෙන සඳ
සීත සෘතුවේ අලු පාට දුමාරයෙහි
සැඟවුණෙමි මම සකිසඳ

කවිය යනු මර්මස්ථානයකි පහර ලද
සිනාසෙන්නෙකි හඬන්නෙකි වැළපෙන්නෙකි
බෝසතෙකි හිතන 'මුත් නොදොඩන
මිතුරනි ඔබට ඒ වග කියන්නද මම

වැස්සට ගසා යන මයුර පියාපතක්
දුටුව නම් පමණක් ඔබට
පිළිතුරු දිය හැකිය ඒ ගැන

Picture - Gustav Klimt (Austrian; Art Nouveau, Symbolism, Vienna Secession Movement; 1862 - 1918)

1 comment:


  1. නුඹ පැන් බිදකි පිපාසය නිවාලන

    ReplyDelete