Sunday, March 21, 2021

ලෝකයක් විවර ව තිබෙයි


1.
නංගියේ තවම නෑ පමා
එන්න කැනඩාවට
හිම මිදෙනවා තරමම
මල් පිපෙනවා නිතරම
හිත රිදෙන තැන් හරි අඩුයි
ගත තැලෙන තැන් හරි අඩුයි
සටන් වෙනුවට විඳින්නට හැකි
ලෝකයක් විවර ව තිබෙයි

2.
මම ආස ගඟුල මට අඬ ගහන හඬ ඇසෙයි
වන පෙතට රිදුම් දෙන දෙපා ඇලවී තියෙයි
බක් මහේ කොවුල් හඬ පවා මා හද පිනයි
මැරෙන්නට ඉපැදිච්ච තැනම මගෙ හිත කියයි

1.
වන පෙතක් කොහිද එය සිඳින මිනිසුන් මිසක
කවි කෙතක් කොහිද ගිනි බිඳින හිවලුන් මිසක
වෙණ නදක් කොහිද හද රිදන වහලුන් මිසක
මැරෙන්නට නම් ඇහැකි, විඳින්නට නැත මෙලෙක

2.
හිත රිදෙනවා තමයි වැහි වහිනවා තමයි
ඉකි බිඳෙනවා තමයි දුක හිතෙනවා තමයි
සනුහරයකම සුසුම සැඩ සුළඟ වී හමයි
ඒ සුසුම නිවන එක මගෙ හදේ සිහිනයයි

ෂසිකා අමාලි මුණසිංහ
Picture - Yousuf Karsh, Canadian, 1908-2002, Agnes MacPhail

Thursday, March 11, 2021

හැම අකුරමත් දැනන් හිටියෙ නෑ දුයිෂෙන්


පාසලක් තැනුවට අකුරු ඉගැන්නුවට
හැම අකුරමත් දැනන් හිටියෙ නෑ දුයිෂෙන්
දන්නා අකුරු කියා දී පොඩි හිස් මත
මල් උයන් වැව්වෙ මවිතෙන්
කඩා වැදී පාසල් කාමරය වෙත ලෙනින්
තලා නොපෙලුවේය ඔහු ලෙයින්
'අකුරු නොදන්නා මෝඩයා..' කියමින්
ගම්මුන් හා කැකිරි නොපැලුවේය හාසෙන්
ඔහුගෙන් උගෙන මුල'කුර
මහැදුරන් බිහිවුණේ එබැවින්!

ෂසිකා අමාලි මුණසිංහ
Picture -Richard Schmid

Wednesday, March 3, 2021

ඔබ මට සිහිවේ


ගිනි ගෙන දැවෙනා ලොව එක තැන
සිට ගත් මොහොතේ
ඔබ මට සිහිවේ
රන් වන් රන් පිල් කලඹක් වාගේ
ලොව සියලු පිවිතුරු බව දරා සිත
සැළමුතු බව හදිනුරා නෙත
සිලිලාරයක් වගේ අරණ මැද
ඔබ හිඳී හිනා වී ගෙන

අලුව වුව තුරු මතින් පෙරා දීගෙන
යනෙන මං මඳ නලින් වසා ගෙන..

ෂසිකා අමාලි මුණසිංහ
Picture - Iván Ivánovich Shishkin