Wednesday, June 28, 2017

පියබඳ ඔබ මගේ අයිෆලය


වෘකයෙකු මෙන් උඩුබුරලමින්
කුණාටු හමන සිසිරයක
හිම තට්ටු පිස දමමින්
සැළමුතු බවින් නැඟ මඟ බලන
පියබඳ ඔබ මගේ අයිෆලය

ගිලාඩයෙ* සිට ඉබි ගමනින්
ඇවිද ආ දශක ගණනක
රිදුණු දෙපතුල් සිප නිවා සනහන
නැඟෙන බැසයන හිරු මෙන් උණුසුමැති ඔබ
වැළඳගෙන මා, සිසිරයෙහි තවයි මා හද
ඔබ මට අයිෆලය පියබඳ

දිවගියෙමි හිමව් කඳු පීරා නැඟ බැස දැවෙමින්
අරුණාලෝකය රැගෙන ඔබ
උදා විය මා පසෙකින්
සොයා ගනු පිණිස මඟ ඔබ සුසුම් සුවඳින්
මුව ඇසක් ගෙන තුරුල, දරා විරසක විවර
ඉඩ්ල්වයිස් කුසුමක් මෙන් නෙළා දුන් ජීවිතය
මුළු අයිෆලයම ඔබට,
ඔබ මගේ අයිෆලය!

Picture - Trish Biddle, American

Tuesday, June 27, 2017

රන් තරුවක් ලෙස බැස යයි මනමේ කුමරිය



දුක්ඛිත ලෙස රඟපාමින් මිය ගිය ප්‍රේමය
රන් තරුවක් ලෙස බැස යයි මනමේ කුමරිය
විලක දොළක රළ නඟනා සුලලිත ප්‍රේමය
ගල් පර අතරේ ගැටෙමින් මියැදුණු ප්‍රේමය!

සුළැඟිල්ලෙන් අත අතැරී වෙන්වුණු සිත්තම
බොඳවී දිය වී යන හැටි මෝසම එක්කම
සිත අස්සෙන් ගලනා දිය සීරා ඔක්කොම
පැළ කළ දවසක කතරක පිපේද මල්කම

රිදුණු බිඳුණු සිඳුණු හදේ හඬනා උණු ලෙය
මුදුවට මෙළෙකට ගළපා මිහිරිම මතකය
අතැඟිල්ලෙන් අල්ලා ගත හැකි නම් ආයෙම
ගහ කොළ දළු ලියලා මල් පිපේවි කෙම්බිම!

Picture - Nathaniel Skousen, American, Hand Held Heart