Sunday, September 30, 2012

නුඹ වගේ ගංගාවක්



















එල්ලා හැලෙන දිගු ගවුම්
ඇඳ ගත් විලෝ ගස්
ආලිංගන රැඟුම් පා
හලන දහදිය පත්
රැගෙන යයි කරුණා ලත්
නුඹ වගේ ගංගාවක්


මැකී යන වසත් ලකුණු ගෙන
සිත්කලු කළු තුරු'තර
ඇඳී ඇත හිම රේඛාවක්

සනහස

ළපල් කල් සිට මිත
ළකල් බැව් සුරැක සනහස
මහල් සමයට වුව
ගෙන යා යුතු ය නොවැරැද
Picture by me.

පියෝනී

හිම කබා ඇඳගත්
තුරු තරුණයෙකු අස
මුහුණ රතු කර ගෙන
පිපී ඇත පියෝනී යුවතියක්


වයින් බඳුන

ප්‍රේමය ම පුරවන
වයින් බඳුනක්මි මම
අතකින් බිඳී ඉහිරුන
 
 

මදුරුවෙක්

අඬු පුප්පාගෙන සිටී
මදුරුවෙක්
එක් අතකින් එල්ලී
හද බිතෙහි

[කවි ලියන්ට හැමට පුළුවනැයි හිනා වෙවී වටපිට කරුණු ගෙන ඔහු ලියූ කවියකි :) :) ]

සඳ

කළු කබායක් පොරවගත්
කන්දක උරහිසින්
එබෙයි සුදු සඳ

නැවතුණු පෑනකට තීන්ත දුන් මිතුරිය

එක්තරා සමයක
එක වදනක්වත් නො එන ලෙස
නැවතුණු පෑනකට
තීන්ත දුන් මිතුරියක විය

ඉනික්බිති තීන්තවලින්
හැඩිවන්ට විය පොත් පිටු
අරුත් රහිත ව ද
අරුත් සහිත ව ද

තීන්ත නිම වූ කලී
බිම දූවිලි මත ද
පන්සල් මළු වල ද
නිලෙන් නිරුවත් වුණු අහසේ
වලාකුළු අතර ද

ආලයේ අරුණෝදයෙන් මත් ව
උස් කඳු මුදුන්හි ද
සුරංගනාවියක ව පියඹමින්
සමනල තටු මත ද
අහසේ තරු දහස් විමසන
මඟතලාවන්හිද
තනු නොමැති ව වැයෙන
පියෝනා තත් මත ද
වැරදි සුවඳක් ගැවසි
මල් පොකුරු මත වුව ද

මඟ දෙපස ගලා යන
කුණු කානුවල වුවද
මඟ දෙපස හමුවෙන
හිස් දෑස් බිත වුව ද
රුහිරෙන් තෙත් ව ගිය
සංග්‍රාම බිම් මත ද
වෙඩි උණ්ඩයක් වැදී
මියෙන තුරු හැම දා ම

කුඹිච්චී


කවි ෆැක්ටරියක් ඇත මෙහි
කවි සූකිරි හදන මිහිරි
කුඹිච්චී කවුද මිහිරි
ආවොත් නම් හරි සුමිහිරි





කතාවක්

Gustave Loiseau, Poplars in Saint-Cyr de Vaudeuil

ගංගා දිය කඩිති හැල්මේ දිව යාද
පෙම්බර මල් කැකුළු තනි ව ම හිනැහේද
ගම්දොර උන්නු අන්දර ආතාගෙ වත
අමතක වූ ලෙසින් එක විහඟෙකු යාද

දොරගල කන්ද උඩ නලියන ඉර සමඟ
හැම විට උදෑසන හිනැහේ අදර ගඟ
මඟ වැරදුණු සතට සලකුණු කීව මඟ
අන්දර ආතා නික්මිණි ජීවිතේ අග

මිනිසුන් රැගෙන එන බාගේ ලොරි කබල
ඇස ගැටෙනා තුරු මඟ දරුවනට ලොල
දහසක් කතන්දර වපුරා සැදුව වෙල
අස්වනු තව ම ඇත සිඹිමින් මුදු ව නල

Picture -
Gustave Loiseau, French, 1865 - 1935

කිවිතුම ඔබ ය මා හට පියතුමෙකු සරී

රත්න ශ්‍රී විජේසිංහ කිවිඳුන්ට, 

ඈත බොහෝ පිටිසර බිමෙක අහම්බෙන් මෙන් හමු ව යම් දිනෙක එතෙක් මා නොදැන සිටි මගේ සමීපතමයන්ගේ ඇස් තඩිස්සි වන ලෙසින් පැසසුම් මල්ලකින් ම මා නැහැ වූ ඔබ පළමු වර හමුවිණි එ දෙස. එ දින ඔබ මා වේදිකාවකට නංවා ලබා දුන් ඇගයීම ලිවීම පිළිබඳ ව මා මගේ ජීවිතයේ ලද පළමු සහ එක ම ඇගයීම විය.

ඒ මගේ බාල වියේ දී ය.
ඔහුට විටින් විට මා ලියූ හැම විට ම පිළිතුරු ලිපියක් ඔහු වෙතින් මා වෙත ලැබිණි. එය නගරයෙන් බොහෝ ඈත කුඩා දැරියකගේ හදවත් නටවන්නක් මැ විය.

ඉන් බොහෝ කාලයකට පසු ව මගේ හිතවතියකගේ නිබන්ධනයකට සම්මුඛ සාකච්ඡාවක් ලබා ගනු වස් මම ද ඇය කැටුව ගාලු කොටුවේ ඔහුගේ සොඳුරු නිවසට ගියෙමි. ඔහුට මා කවුදැයි කීමට එ දින මම මහත් සේ ලැජ්ජා වුණිමි. ඔවුන්ගේ කතා බහින් පසුව මා කොහේ කෙනෙක්දැයි ඔහු මගේ හිතවතියගෙන් ඇසුවේ ය.

"බිබිලේ" ඇය කීවා ය.

"එතකොට ඔයා දන්නවද ෂසිකා අමාලි මුණසිංහ" මා තුළ එ වර හටගත් දහසක් සංවේදනාවන් විස්තර කරනු වස් කවර නම් බසක් පොහොසත් වේද?

"ඒ මම"

"අනේ දෝණී, මට සමාවෙන්න ඕනෑ.. මට ඔයා ව අඳුනගන්න බැරි වුණාට.."

බිම්තැන්නේ කලකට පෙර මුණ ගැසුණු
එ සැණත් ළං ව දිරි දෙන වදනක් දොඩපු
කඳු මුදුනට ළං ව උස බලනට කියපු
කිවිතුම ඔබ ය කවිකෙත එළිවැට තනපු

නිහඬ ව සිනාසෙන කරුණා ගුණ ම දැරී
මා වෙත අකුරු කරමින වඩවමින දිරී
'දෝණිය, මේ ඔයාදැ' යි පැවසූ මිහිරී
කිවිතුම ඔබ ය මා හට පියතුමෙකු සරී

Saturday, September 29, 2012

කුඩා තිතක් ව

නොපෙනෙනා සුලු කුඩා තිතක් ව
මහත් වූ විශ්වයක
වේදනා සඤ්ඤා සංඛාරා
තැකිය යුතු හේතුවක් සොයමින්
සිටින සඳ දිව යමින් අගල් අතරින්
මතුවන්ට විය නව සඳක්

දශම අගයක් ඇතුළ හෝ
නොසැලෙනු පිණිස පහන් වී
සෙලවුණ ද මහත් අවකාශයක
දැහැන විසිරුම පමණ
අන් කිසිත් නොවන බැව් හැඳින
උදා වූ නැවුම් සඳ යට
දිගා වුයෙමි නිසල ව ම

තුනුවඟ මිහිර


තුලකෙළ ලෙළව ලෙළවා දළ රළ නිවැසි
තුනුපට කලඹ කලඹා වයනෙද මියැසි
තුනු ඉඟ ඉවුරු අඹ දඹ මාලෙන ගැවසි
තුනුතුරියෙන් තුනුවග රැවටිද දිගැසි

රුක් දෙවිය

කන්දක් වුවත් පාත් වෙන
දුක් කන්ද නෑසි ලෙස
රුක් දෙවිය කිම තැන්පත් ව
ගස් කොළන් මුදුනෙහි ම

ගස් කොළන් වුව අහිමි වන
දිනක් එන බව නොදැන ම ද
වනන්තර වුව මුලින් උපුටා
රැගෙන යන බව නොදැක ම ද?

අහඹු කඳුලක් සමඟ ගොවි ඇස

විවේක ගත හැකිද වෙලකට
අස්වනු කැපීමෙන් ඉක්බිති ව වුව
අටුව මහ ලොරි හා හාද ව
මහ මැඳුරු බලා ඇදෙන සඳ

දහයියා ගොඩට ම වැටී පුරුදු ලෙස
අහඹු කඳුලක් සමඟ ගොවි ඇස
නෙළඹු නටුවෙන් කඩා සියපත
මැල ව ඇත සන්හිඳේ පාමුල

තුන්සිය හැටපහ ම දින
නැසුණත් කටුමැටි මැඳුර ම
ජීවිතේ දියවෙන්න කාරණ
හැකිනම් කියපන්නැ මහතුන ? ?

උන්ට අප පෙනේවිද?

අදිසි ඈතට විහිදි
දෛවය නමැති තැනිතලා මත
රූකඩ විය හැකද අප
සිතිණි මට ඇතැම් සමවල
දරන සැම තැතක් මැ
නි'ඵල වූ කල

පද්ධතියේ දෝෂයකින් තොර ව ම
අසමත් වන විටහි අප
අල්වා* මට කියන්
'නික්බිති පිය කුමක්දැයි
විදිලි බුබුළ දැල්වුණ ද
එ නොවේ වැ පවසන කල්හි උන්
හිරු එළි වහල යට ඔදෙන්

කළු පාට අත්වලින බත් හොයන බැලයන්ගෙ
ලකුණු පුවරුව මතට කත් අදින වහලුන්ගෙ
හදක ළතෙතක් නොමැති උන්ගේ ද දරුවන්ගෙ
ගොදුරු හරියන බිමෙක අප විදිලි එළි කොහිද
හඬ නඟාපන් මිතුර උන්ට අප පෙනේවිද
මහා අකුණක් ලෙසින් නැඟෙන තුරු?



මම

හුදෙකලා ගමනකිය මේ
ගල ගලා යන පතන බිම
සිහිල් දිය කඩිත්තක් පමණි මම
මහා සමුදුරකට ඇදෙන

ඕ හෝ.. ගලන්න මේ ගංගාව

ඕ හෝ.. ගලන්න මේ ගංගාව
රැව් දි දී රැව් දි දී නොනැවත ම
හමුවනා තුරු අවැසි ඉලක්කය
ගල් පහර වුව දරාගෙන සොඳින
ඉන් නැඟී වඩ වඩා තියුණු ව ම
ගලනු මැන ගඟවතී නොනැවති ම

දිය තරඟ විසිරුවා ගලන මඟ
පටු සිතුම් සෝදවා පුළුල් කොට
අධම දන හලන කුණු සුසුදු කොට
ගලන නිල් දියවර ම පුබුදු කොට
ඕ හෝ.. ගලන්න මේ ගංගාව
රැව් දි දී රැව් දි දී නොනැවත ම

Friday, September 28, 2012

මල් පිපේද ගස්වල

මල් පිපේද ගස්වල
මහවැලියේ වැලිතල
කව් කෞමද එකට කරල
ගලනා දිය රැළි රළ

පාට කරපු තටුවල
රන් සමනල තටුවල
හංගගත්තු පෙම් කවියක්
ගිලිහී වනගුල්වල

පෙමක උපන් පෙමින් පිපෙන
හසරැල් තුඩු දිගු කරන්
හංස අඟන දුටුවද ඔබ
යෙහෙළි වරම වට කරන්

Thursday, September 27, 2012

ඉසිඹු ලද ළඳ

දළ කුංකුම නළල ගැවසි
පා සලඹෙන් වැයෙන මියැසි
රළ රඹ කියුඹෙහි මල් වැසි
පළඳන ලද සොඳුරු දිගැසි

කවි දහසක පදරුත් ඇති
දෙ අදර මත පිපි මඳහසි
අමතක කළ ගමනකි ලැසි
ඉසිඹු ලැබූ ඈ ළඳ ඉසි

Tuesday, September 25, 2012

ආච්චීගේ එම්බාම් කළ දෙණ
පෙට්ටියෙහි තබන කල
සෙල වී ගියා ඈ ගෙල
'එපා' යි හීන් හඬක් මතු විය මා මුවින්
නොසිතීමි එය ඇසිණැයි කිසිවෙකුටත්

එහෙත් මල්කරු මා දෑස බලා
කීවේ ය කිසිදා නොපළ කතාවක්
මා ඇසින් වගුළ යනු පිණිස

ඉන් පසු නොපෙනිණ කිසිත් මල් දම් මට
නොහෙලුවෙමි එකදු කඳුළක් මම
පෙට්ටියේ මුව වසා අවසන
වන්දනා කළෙමි ඇගෙ පෙම
බොහොම නිසල ව ශාන්ත ව
ඔසවා ගෙන ඇය හදවතින
මිහිදන් කළෙමි මතක කරඬුවෙහි
මා පෙට්ටියක තැබෙන තුරු
නොම දිරා පවතිනු වස්
බැතියෙන් විකසිත ව

Monday, September 24, 2012

උබේ මාමා

සීටිබී බස් මාමාගෙ දුව
නඟින්නට එපා යැයි තාත්තාගේ බසයට
මා තනි ව මහමඟ දමා ආ දින
සරතැසට විකසිත උල්පතක් සේ
කටු කැඩී ගිය තාරපාරෙන් විහිදිණ
උබේ මාමා

ඇස් වලින් විසි
වී ගිය

තනිකම ද බිය තුරන් වී
ඔහු පුළුලුර නම් දෙව් බිමෙහි
සුර කුමරියක වීමි මම

සිය දවස මඟ මඟ හැර

දූවිලි හැතැප්මන් පසු කර
ඇළ කඩිති තරණය කර
මඩ බිම් ද පසු කර
ඔහු වැඩැම්මුවේ ය
ගෙයි දෙව් දොරකඩට ඇය

කුඩා විය වියපත් වී

දිවි මඟට වැද වෙහෙසී
ගමන් නඟනා තැනහී
මඟ හසර ඈ වැරදී
මා ගෙදර ගෙන යනු පිණිස
මහ පොළොව අතරින් පිපේ යැයි
මඟ බලන
කාල වන් වුව ද
නෙළුමක් වගේ මැ ය
උබේ මාමා

රස්සාව නැති වී

උගත් කවි අදිසි අත්වලට මිරිකී
දහක් සම්මුඛ පරීක්ෂණ වැඳ
එකදු කඳුළක් පිට නොපනින ලෙසින්
මහමඟෙහි තෙරපී උමතු වී
ඇවිද යන විටදී
ගෙදරට පාර පෙන්වනු වස්
හමුවේද උබේ මාමා

කුල ගෙයිහි දුක ගුණ වී

හාමතින කුස දිය වී
කිහිරඟුරු අව් කඩෙහී
කරකැවෙන අඩ මියැදී
සඳෙහි සඳානනකු සේ
දෙව්ලොව සිතියම ගෙන
මිහිගැබ ද මුසපත් කර
මතුවේද උබේ මාමා!!

පින්මඳ දියණිය

නිහැඬියාව මෙතරම්
බර වැඩි ව නැත කිසි විටෙක
කුඩා වුව සොම්නස්
වී ය පැල හෙවණ
රස බොජුන් මවා දුන්
දර ඉපල් අත් සිහි නැතිව
නුඹ යන්න යන තුරු ම

අප්පච්චී හිඳී පිලෙහි උඩ තනි ව ම
ඈත ගන වන පෙත දෙස ම නෙත් අයාගෙන
වහලෙහි සිදුරු වූ තැනින්
ටීක් ටීක් හඬ දිදී වැටෙයි වැහි බිඳු

සෙලවෙනු පිණිස බියෙන් මෙන්
නුඹේ පොත් මේසයේ
පොත් පේළි මා දෙස
හෙළයි නිහඬ බැල්මන්

දින දෙක තුනක් තිස්සෙ ම
අවුලනු අවැසි නොවිණි ගිනි ගෙය
තේ කහට උගුරක්
ගල් ගැසී සිසිල් වනු පිණිස හෝ
අප්පච්චීට තනා දෙනු පිණිස
ලිප ගිනි ඇවිලිය යුතු ය අද

එක්තැන් කරනු නොහැකි ලෙද
විසිරී ඇත පෙර දා සුළි සුළඟට
දර මඩුවෙහි අරටු දර

තටු තැනෙන්ටත් පෙර
ඉගිල ගිය පින්මඳ දියණිය
වැටුණු දින නොහඳුනන ඉවුරු අස
හළ උණිඳ බිජු ගණිමින
මතක් කරපන්නැ
නුඹට නීරස වුණ
ඒ කුඩා පැල්පත

එහෙව් අම්මාගේ කවිය මෙලොව මට ලිවිය නොහී කවිය ය

අප්පච්චී නික්ම ගිය දින
සත් දිනට පස්සේ
මා ගෙයින් බැස එන විට
ගෙයි ඉස්සරහ වතු දෙස
අම්මා බලා හිටි හිස් බැල්ම
කිසි දා ලියා ගත නොහැකි
කවිය යි මට

මා ඉගෙන ගත් එක
මහ වරදෙකියි දැනෙයි මට
ආපසු ගමට යා නොහැකි ලෙස
මා දෙපා ඇලවි සඳ නගරෙට
වමතැඟිල්ලක සිර වූ රන් මුදුව හා
මහ බරට හැදි සහතික කන්ද
මේ දෙක ම අතහැර යුතු ය
යළි යාමට නම් ගමට
ඒත් අම්මා සතුටු වනු නැත
එසේ නම් දෛවයද මේ
අම්මාගේත් මගේත් වෙන්වීම

මට උගැන්වීමෙන්
අම්මා ලද දෙයක් නැත
අම්මා ම දුන් ගුණ නිසා
සල්ලිකාරියක විය නොහිණි මට
'ඔයාට තමයි බැරි සල්ලි ගන්න'
අම්මා හිනාවෙයි විට විට
'ඔයාට වඩා මං පෝසත්නෙ'
අම්මා කියයි හැම විට
කරගැට සපිරැඟිලි දිගු කොට

වෙල් දහසක් අස්වද්දන්නට
අව්වෙන් ම හෙවණ ලැබ
රෑ තිස්සේ ද තනි ව ම
වතුර කඩ රැක සිට
මටත් හාල් මිටි බැඳ බැඳ
බසයේ දමා එවන්නීය
අම්මා

තනි ව ම පරපුරක උරුමය
මුර කරන හෙටට දෙනු පිණිස
එහෙව් අම්මාගේ කවිය
මෙලොව මට ලිවිය නොහී කවිය ය
"අම්මටෝයි ඒ කාලේ..."
ඇගේ මුල් වචන තුන
සරසවි රැඳුණු නෙක කතා
ගලා ආ පළමු ඉම

කුරක්කන් මල් පිපී හිනැහෙන
බිම් දිගේ මුදු සුළඟ ඇදුණා
මෝල් ගස් නැඟි තාල සර මැද
ළඳුන් ඉඟ සුඟ යසට දිලුණා

එහා ගෙදරින් මෙහා ගෙදරට
මාලු පිණි රස බොජුන් බෙදුණා
උත්තුංග කඳු ගිරි හිසක් වුව
හැවොම එක හා පයින් නැඟුණා

ගඩොල් කැටයෙන් කැටය එක් කර
අපි ම මියුගුණ සෑය නැඟුවා
නාගදීපේ වඳින්නට නම්
හත්දොහක් අපි පයින් අදුණා

අම්මටෝයි ඒ කාලේ..

Friday, September 21, 2012

නැඟෙයි වැළපෙයි යුක්තියේ හඬ

දරා ගන්නට හැකිද මෙතරම්
කියා ඉර හඳ වුව ද වැළපෙයි
දනා නිදොසින් කල් ගෙවන බිම
මරා හෝ හිරගෙට ම යවතෙයි

මෙවන් විපතක් බලා දෙරණක
ගහ කොළට කවි ලියනු හැකිවෙද
කඩා පෑනේ තුඩග විසි කොට
හඬා වැළපෙමි මම ද තනි ව ම

සුදුස්සන් හට සුදුසු තැන නැත
ධනය බලයට සැවොම යට වෙත
මිලට ගත හැක සුදුසුකම් වුව
වියත, මිණි වුව යට ගැහෙන හැඩ

යුක්තියේ යුවතිය ද හඬමින
ඇගේ හඬ හැර වෙන හඬක් ඇත
තීන්දුව ලියවෙන පැහැන අස
දැහැන බිඳලන වෙඩි හඬක් ඇත

අසිරිමත් යයි වනන නෙකයුර
බිමෙහි කඳුළින් ලෙයින් නැඟෙමින
අපේ හද තුළ පෙරළි පෙරළී
නැඟෙයි වැළපෙයි යුක්තියේ හඬ



Thursday, September 20, 2012

මා නොවන බව

මා විටෙක
සිනහවකින් වුව
වහා ඇවිලෙන සුලු
ගිනි පුළිඟුවක් ව

ඇතැම් විට
ථේරි ගාථාවන්
නිසල ව ගලා යන
අරණකට
අතිශය සුදුසු ව

සිතෙහි ඇති වී නැති ව යන
මහත් සිතිවිලි ගොනු තුළ
විවිධ ව
මා නොවන බව නොදැන
ශූන්‍යත්වයෙන් හා
පරිපූර්ණත්වයෙන් එපිට









කඳු රැල්ල පිස හමා එන
නැවුම් නල ගොන්නක් සේ
ධර්මය හමා යයි
ගම් දනව් පසු කොට
ලෝභය ම වඩවන
සියලු පිටක අත් හැර
එන්න තැන්පත් වෙන්න
කඳු මුදුන ගිරි ලෙන


[pic from Zorro]


Tuesday, September 18, 2012

වීරයෙකු වන්නට නම්
තැල්මක් විය යුතුය
පලමු ව පිටත සිට ඇතුළට
'නික්බිති
ඇතුළත සිට ඇතුළතට
පසු ව සමතලා ව හා සන්සුන් ව

කවියාණ, කිසිවෙකුත් නොදන්න

නොසැලකීමේ තුඩු ඇනී
ගිලා බසින්නට පළමු එ'නුවර
පළල් මංතලා ගැවසි
තැනි බිම පහස සොයන
කවියාණ, කිසිවෙකුත් නොදන්න

මම ඔබේ මල් අතුළ ගස වෙමි
සියලු නුවරුන් 'විත් ගිමන් නිවන
'මුත් ඔබේ කව ම ගයන!!!
බිඟුට මුව මුව තබනු නොදෙන
ඔබෙ සුවඳ ලොව බෙදන!!!
ඔබ ම අරටුව අරා තැනුණ!!!

 !

Sunday, September 16, 2012

දිය බඳුන් සහ හාදු

දිය බඳුන්
සොයනවාද සකි
සඳු හිරුන් සිප වැළඳ
හාදු දෙන'යුරු
බලන්නට
Picture Courtesy - 'The Legend of Zorro' Movie

Thursday, September 13, 2012

I love you..!!!

උගෙන නොසිටියෙමි
පෙර සිට
ප්‍රේම කරන්නට මිස
පවසනු පිණිස
මා සිතෙහි සිහින නොදැන ම
ඔවුන් මිය ගොසිනි අද,

So,

I love you Kusal, My perfect husband, the sign of my eternal love.
I love you my mum and all of my family, coz, my family is my life.

හැම රැයකම

හැම රැයකම
හීන් පැතුමක් සමඟ
ඔබ මගේ ඇස් අග නලියන

වතු පුරා ඇවිද රස පල ද වැල
පොතු අතැර මට කවන
මඤ්ඤොක්කා නාරටි ඇත
ගෙල පළඳනා තනන
අත්තම්මේ ඔබ නොපෙනුණ ද
අපි තව ම එකට හඬන

කළු කබායකින් වැසුණු
දිවා කල සහ මගේ හදවත
අමිහිරි ම ගොස් මැද
ගිල ගනී මතක වෙණ නද
ඇසි පිල්ලමෙන් එපිටට

කුඩා එළි තරු සමඟ
රාත්‍රිය සොයමි මම
නිහඬ සිහින ද කතා කරන
අප යළිත් හමුව හඬන

Saturday, September 8, 2012

*******************
*******************
<> <> <> <> <> <> <>
  l     l     l    l     l     l    l
 
දළු පිරි ලකළ
ඉළු ද්‍රැම ඉහළ
උළු මිණි උදුල
සළු ගෙන තමල

උතුරු ධ්‍රැවයෙහි හිම පතන අස
එකදු ද්‍රැමයක මල් පිපී නැත
සිඟුවළඟ කිම මල් නෙළනු වස්
වසන්තය පසු කර පැමිණ විත්













අස්මාලාවන් ශිඛර හිස මතු ව
කෙස් කලඹ විහිදා පාන රඟ
දැක්ම වස් සියපතක් උමතු ව
පොකුරුපත් අතරින් මතුවැත



Friday, September 7, 2012

හිම මුව ළඳ

Various Images Found on the Web

තිත් ලූ ගවුම සල සල
ඔත් මිහි සිපව හිම හළ
මත් වූ ලෙසින රඟ රඟ
උත්සව පාන මුව අඟ

අත් පත් කියඹු ලොල ලොල
මිහිසිඳුවරින පොබ කළ
හිමගිර සඳුන සොය සොය
කිත් වෙණ වයන මුව'ඟන

Picture - Bert Christensen's Cyberspace

තඹක්ක වළල්ලක් වුව ඇති


 
තඹක්ක වළල්ලක් වුව ඇති
මේ සසර දිගු වනු පිණිස
සුළඟ සසල කළහොත් තුර
ගිලිහ ගිය හැක වියත් පත්

Picture - Captured by me, Anuradhapuraya, Sri Lanka.

අහා! සොඳුරුයි ගඟ ළඳ






















අහා! සොඳුරුයි ගඟ ළඳ
කවි ගඟුල් එක් වූ සඳ
සඳෙහි ස්වරයන් විනිවිද
වහා පබඳියි කවි කොඳ!

Picture - Captured by me, Mahaweli River, Sri Lanka

Thursday, September 6, 2012

ඔබට හැකිද මා කියවන්න

Image Found on the Web

මම පොතක්මි
ඔබට හැකිද මා කියවන්න
නන්නාඳුනන පද'රුත් ගැවසි
මම පොතක් වෙමි

උදාන කාව්‍යයන් රැවැසි
ගංගා ගම්දනව් ආරම්මණය කොට නැඟි
උපේක්ඛාවන් අනුදැන
ගිරිකඳුරු අසබඩ පිපි
අඳුරු පිටකවරයක යට
සමාප්තිය සොයමින් පිළිසිඳි
නනරුත් සැදූ නන් පෑ 'කුරු ගැවසි
මම පොතක් වෙමි

හදවත පත්ල කලඹා නැඟ
ශිලා බෙයඳක ලෙද කැටයම් ලද
තථ්‍යයෙන් ම නැඟ මුදු ලෙස
නණලළ ද සියලු දොස් හැර
සැළමුතු ව සලකුණු කළ
මම පොතක්මී
ඔබට හැකිද මා කියවන්න

Picture - unknown

වස්සාන වලා


නිමල වස්සාන වලා
විසිරෙයි ගුවන් ගැබ
බවුන් වැඩුමට කාලය යි
ගහ කොළ ද ඇළ දොළ

Picture - Captured by me,  Kotagama, Bibile, Sri Lanka.

Tuesday, September 4, 2012

මේ සසර බිඳ යමු සොඳුර


හදවත ද දහැන ද බිඳී යයි
අනියත බවක තැති ගැම්මෙන්
සොඳුරිය එන්න ප්‍රේමය ම
කමටහන් කරගන්න

ඔබට මට වෙන්වන්ට සිදු වෙන
දිනක් පැමිණෙත නව සළු ගෙන
තුරුලු ව හෝ බෝ දුර
පිළිබඳ සිතිවිල්ලෙන් හෝ එසේ නොව
හිත් අතැර යන්නට සිදුවෙන
දිනක් පැමිණෙත ළං ළං ව හෝ දුර

ඔබ මා අතර දැනීම් අවසන් වන
මා නික්ම යන හෝ ඔබ
කිසිත් නොදන්නා බිළිඳකු ඈ
අමුතු දෙසක යළි උපන්න
ඔබ හෝ මම
අතැර පෙර භව මතක
නව ජන්ම ලද බිළිඳු සිත
ඔබේ හෝ මගේ කඳුළු නොදැක ම
කිරි සිනා නඟන්නේ

සොඳුරිය අපය මේ
අපේ දරු වූ කලී
තවත් අයගේ මතක සිතුවම්
ඔවුන් හැර අහඹු ව
කළලයක බදා නැඟී සිටි
ජීවිතය මේ හැටි ය සොඳුරිය
දුක ද සතුට ද ශූන්‍යය වන
ඔබ ද මා සිතැඟිළි ගිලිහි දින
යළිඳු හමුවක් නොදැන පාවෙන
'සංසාරය' ය

සසර බැඳුමක් ලෙදින් සිතුව ද
වේද නොවේදැයි නොදන්න
මේ භවය තුළ දුන් සෙනෙහස
සොඳුරිය හිස නමා පවසමි
අප වෙන්වන තැන
සිත සුන්බුන් කර
ප්‍රේමය ම කමටහන් කොට
මේ සසරෙන් ඉවත යමු අපි
එක් ව හෝ වෙන් වෙන් ව
අනවරත භව අසංඛෙය්‍ය අතරවර
අපට අප හිමි අහිමිදැයි නොදත්
මේ සසර බිඳ යමු සොඳුර

Picture - Captured by me, 18 wanguwa, Sri Lanka