Wednesday, June 28, 2017

පියබඳ ඔබ මගේ අයිෆලය


වෘකයෙකු මෙන් උඩුබුරලමින්
කුණාටු හමන සිසිරයක
හිම තට්ටු පිස දමමින්
සැළමුතු බවින් නැඟ මඟ බලන
පියබඳ ඔබ මගේ අයිෆලය

ගිලාඩයෙ* සිට ඉබි ගමනින්
ඇවිද ආ දශක ගණනක
රිදුණු දෙපතුල් සිප නිවා සනහන
නැඟෙන බැසයන හිරු මෙන් උණුසුමැති ඔබ
වැළඳගෙන මා, සිසිරයෙහි තවයි මා හද
ඔබ මට අයිෆලය පියබඳ

දිවගියෙමි හිමව් කඳු පීරා නැඟ බැස දැවෙමින්
අරුණාලෝකය රැගෙන ඔබ
උදා විය මා පසෙකින්
සොයා ගනු පිණිස මඟ ඔබ සුසුම් සුවඳින්
මුව ඇසක් ගෙන තුරුල, දරා විරසක විවර
ඉඩ්ල්වයිස් කුසුමක් මෙන් නෙළා දුන් ජීවිතය
මුළු අයිෆලයම ඔබට,
ඔබ මගේ අයිෆලය!

Picture - Trish Biddle, American

Tuesday, June 27, 2017

රන් තරුවක් ලෙස බැස යයි මනමේ කුමරිය



දුක්ඛිත ලෙස රඟපාමින් මිය ගිය ප්‍රේමය
රන් තරුවක් ලෙස බැස යයි මනමේ කුමරිය
විලක දොළක රළ නඟනා සුලලිත ප්‍රේමය
ගල් පර අතරේ ගැටෙමින් මියැදුණු ප්‍රේමය!

සුළැඟිල්ලෙන් අත අතැරී වෙන්වුණු සිත්තම
බොඳවී දිය වී යන හැටි මෝසම එක්කම
සිත අස්සෙන් ගලනා දිය සීරා ඔක්කොම
පැළ කළ දවසක කතරක පිපේද මල්කම

රිදුණු බිඳුණු සිඳුණු හදේ හඬනා උණු ලෙය
මුදුවට මෙළෙකට ගළපා මිහිරිම මතකය
අතැඟිල්ලෙන් අල්ලා ගත හැකි නම් ආයෙම
ගහ කොළ දළු ලියලා මල් පිපේවි කෙම්බිම!

Picture - Nathaniel Skousen, American, Hand Held Heart

Monday, April 17, 2017

කිරි සුවඳ දැනෙන්නට ඇතිද?

යුද හමුදාවට අනුව මේවනවිට සොයාගනු ලැබ ඇති මරණකරුවන්ගෙන් පස් දෙනකු දරුවන්ය. (http://www.bbc.com/sinhala/sri-lanka-39607662)

අම්මා කියා කෑ ගැසෙන්නට ඇතිද
එක් වරම බිය දැනී කට ඇදවෙන්න ඇතිද
හුස්ම ගන්නත් පෙර හුස්ම වැළලෙන්න ඇතිද
අම්මගේ පපුතුර නැතිව ඈතට ඇදෙන්නට ඇතිද

පහර වැද විසි වෙන කොට තාත්තා සොයන්නට ඇතිද
කුණුවලින් මුව වැහෙන කොට කිරි සුවඳ දැනෙන්නට ඇතිද
ඉකියෙන් පපුව හිර කොට කොතරම් රිදෙන්නට ඇතිද
අඬන්නටවත් නොහැකි ලෙස මුව වැසෙන්නට ඇතිද

අම්මගේ පපුතුර නැතිව ඈතට ඇදෙන්නට ඇතිද
කිරි සුවඳ දැනෙන්නට ඇතිද?

Sunday, April 16, 2017

කුණු කඳු වැටී මිනිසුන් මිය යන රටකි



මිතුරනි මගේ රට
කුණු කඳු වැටී
මිනිසුන් මිය යන රටකි
එක කුඩා දරුවෙකුට මල් සුවඳත්
අන් කුඩා දරුවෙකුට කුණු සුවඳත්
උරුම වන රටකි

කොටසක් කැවුම් කිරිබත් ගෙන
රාශියෙන් රාශියට මාරු වෙන රටකි
තවකෙකුට ඉහඳ ලූ
කුණු කැවිලි හිමි වන රටකි

කොටසක් නිදහස් පාරවල
ගුරුළන් විලස ඉගිලෙන රටකි
තවකෙක් අබලන් පාලමක
ලණු ලිහී මිය යන රටකි

මිතුරනි මගේ රට
කුණු කඳු වැටී
මිනිසුන් මිය යන රටකි

Picture source - http://www.bbc.com/sinhala/sri-lanka-39607662

Wednesday, March 15, 2017

දෑසින් සිනාසෙන අසිරියම කවියකි



කුඩා මොළකැටි අත් දෙකින්
මුළු මහත් විශ්වය දරාගෙන සිටින්නාක් මෙන්
ඔබ දහවල් කාලය දරා ගෙන සිටියි
කල්පනාබරිත දෑසින් පෙර මඟ බලනු මිස ඔබ
කිසිදු හැඬුමක් නොම හඬයි

වේදනා දරාගෙන හිනා වෙන හැටි ඔබ
කවුරුන් ඉගැන්වූ පාඩමක්ද එය ඔබට
වේදනාව ගැන උගන්වන්නට බියෙන් පසු වන විට මම
තනිවම ඉගෙනගත්තෙහිද එය ඔබ

පැය අටක කාලයක් රස්සාවට
පැය හයක කාලයක් මහ මඟට
පැය එකක් දෙකක් ඔබට පමණදැයි කිසි කලක අසනු බැරි විට
සියල්ල දැන හඳුනා ගත් විලාසයෙන් ඔබ
දෑසින් සිනාසෙන අසිරියම කවියකි පුත

Picture - Anna Bilinska-Bohdanowiczowa, Ukrainian, 1857 - 1893, At the Seashore

Tuesday, March 14, 2017

A moment in usual life



නිදිමත පෙරෙන දෑසින් ලේක් හවුසියෙන් බැස ගමි
අවුල් වූ හිසකෙස් ගැන මොහොතකුදු නොසිතමි
බරැති ළය විසි කර ඈතට සැහැල්ලු ගමනින් ඇවිදිමි
බලන්න මේ ඇහැළ ගස් මල් දරා හිනැහෙන හැටි!

පැහැදිලි අහස හා සූර්යාලෝකයේ පිච්චෙමි
සුදු පාට පසුබිමෙහි චලන සිතුවම් මෙන්
ඇවිද යන ළඳුන්ගේ සාරි මෝස්තර නරඹමි
කඩිමුඩි කතා හා ඔවුන් දිව යන හැටි!

Picture - Mark Lague, Canadian

Monday, March 13, 2017

නොආවා නම් ඒ සිසිරයේ නිවාඩුවට

අම්මා කෙනෙකු වූ පසු දැනෙන දරු දුක කොතරම් බිහිසුණුද..? විටෙක මට අමාගේ සුසුම් නින්දෙන් පවා ඇසෙයි.. සරෝජිණී දැරණියගලව යළි යළිත් අලුතින් කියැවෙයි... දැන් මම දුක මැන බලමි.. ඒ දුක සමුදුරක් බඳුව රළ නඟයි... කුණාටුවක් මෙන් පොර බදයි...

නොආවා නම් ඒ
සිසිරයේ නිවාඩුවට
තවමත් කෙළිලොල් සිනා හඬ
ගෙයුද්‍යානයේ රැව් නැඟෙනවා ඇති

උණුසුම් කෝපි කෝප්පයක් සමඟ
සාමාන්‍ය 'මුත් සොඳුරු උණුසුම් වදන්
අසමින් උයන මල් තුරු
යහමින් සෙමෙර සලනවා ඇති

ටක් ටක් හඬට අත වැදී
ජර්නල්වලට ලිපි ලියැවෙනව ඇති
ගූගල් ස්කොලර්
පුරුදු විදිහට අප්ඩේට් වෙනවැති

කුඩා උණුසුම් අත්
උර වටා බැඳෙනව ඇති
අහිමි වීමක සුසුම් අත හැර
දේදුනු වුණත් පිපෙනවා ඇති

කුඩා කිචි-බිචි කලබලය මැද
වසන්තය උදාවෙනවැති!

Picture - https://stevehanks.info

Monday, February 27, 2017

සංසාරයේ පිරී ඇති දුක


සංසාරයේ පිරී ඇති දුක
කොතරම්ද, ඇතිද එහි නිමාවක්
අහිමි වීමේ බිය, අත අත් හැරීමේ දුක
සොයා ගත හැකිද මිනුමක්, මිනිය හැකි විලස එය

දරුවෙකුගේ අත අත හැරී අම්මා කෙනෙකු හඬන හැඬුමක්
මව අත අත හැරී බිළිඳෙකු හඬන හැඬුමක්
පෙමට පෙම මඟ හැරී වා තල දවන සුසුමක්
කවරක්ද ඒකකය, සංසාර දුක මනිත හැකි මිනුමක්

නැති වීම පිළිබඳ දුකටත් වඩා ඇති වීම පිළිබඳ දුක දැනෙයි
වැළඳ ගත් පසු ප්‍රේමයක් ඉන් මිදිය හැකි මඟ ළඟ නොවෙයි
පෙති විසිරි කල කුසුමක් විකසිතව යළි පණ නොලයි
මිතුර මෙය වැළපීමටත් දුක අත හැරීමටත් කාලයයි

Picture - Danielle Richard, Canadian, Artist's Web Site, Avec le temps

Monday, February 20, 2017

පිපෙනවා ඇති තණ බිසි මත රොමාෂ්කා කුසුම්



මා
දුහුවිලි ෆයිල් අතර වැඩ කරමින්
විඩාවෙන් පසුවෙන අතර
ගලනවා ඇති ගංගා ඇළදොළ
වනපෙත්හි ගුළු ගුළු හඬින්
බැස යන හිරුගෙ රැස් වැදී දිය මත
මැවෙනවා ඇති රේන්ද ගෙත්තම්
පිපෙනවා ඇති තණ බිසි මත රොමාෂ්කා කුසුම්
තුරු පත් සැලෙනවා ඇති
කඳු හිස් රන් පෑහි ගිලෙනවා ඇති
කුරුල්ලන් වස්දඬු වයනවා ඇති...!

Picture - Sangeeta Dey
Picture Source - http://www.nationalgeographic.com/photography/proof/2017/02/how-to-photograph-yosemite-firefall/

Thursday, February 16, 2017

රෑ අටට ගෙදරට වඩිමි



ටවුන්හෝල් ට්‍රැෆික්* පහු කරමි
කොහුවල පැපිලියාන ට්‍රැෆික්* පහු කරමි
බණ්ඩාරගම හොරණද පහුකරමි
රෑ අටට ගෙදරට වඩිමි

පුතේ ඔබ නිදිබර ලෙසින්
බලා මා දෙස සිහිනයෙන්
සිනාසෙන හැටි දකිමි
උදෑසන යළි මඟ බසිමි

Traffic* - Traffic Jam

Picture - Norah Neilson Gray, British, 1882-1931, Little Brother

Wednesday, February 15, 2017

වෛරය වෙනුවට ආදරය තෝරාගන්න තිබුණා ඔබට!



මාත්සර්යය වෙනුවට
ආදරය තෝරාගන්න පුළුවන් වුණා නම් ඔබට
මන්දහාසිත වැහි වහින හැන්දෑවරුවල
ගොඩදාන්නෙ කොහොමද වැඩ බිම
කතා කරන්න තිබුණා අපට
වෛරය වෙනුවට ආදරය තෝරාගත්තා නම් ඔබ
මැරීගෙන වැඩ කරන්නට තිබුණා අපට
ප්‍රගතිය සමරමින් හැම විට
හිනාවෙන්නට තිබුණා අපට

අගුලු ලූ පොත් අල්මාරි හැර දී
'පුතා ඉගෙනගෙන හොඳට කියාදෙන්න මිනිසුන්ට
පර්යේෂණ කරමු ලියමු අපි දිගටම'
උරහිසට පොඩි තට්ටුවක් දී
කියන්නට තිබුණා ඔබට
ඉරිසියාව වෙනුවට ආදරය
තෝරාගන්න තිබුණා ඔබට

අප නිකමුන් බව හඬගාමින් ලොවට
වැට කඩොලු බඳිමින් යන මඟට
පරාජය නම් ඔබගේය, දියුණුව මගේය
සාඩම්බරෙන් ඔබම සමරන විට
සිනාසෙමි, වැඩ නොවරමි, වැඩ කරමි
ඔබේ නොව වැඩ මිනිසුන්ගේ බැවින්

ඒ වුණත්
වෛරය වෙනුවට ආදරය
තෝරාගන්න තිබුණා ඔබට!

Picture - John Michael Carter, American, born 1950

Tuesday, February 14, 2017

මේ මුළු ජීවිතයම සකි



මේ මුළු ජීවිතයම සකි
කඳුළු ගෑස් ප්‍රහාරයකි

Picture - Wlodzimierz Czurawski, Belarusian

Monday, February 13, 2017

ගොඩනැඟිලි පවා ප්‍රේමයෙන්



බලන්න
ගොඩනැඟිලි පවා
ප්‍රේමයෙන්
වැළඳගෙන ඉන්න අපූරුව

Picture source - www.skyscrapercity.com
Architect - Moshe Safdie

පුංචි කුරුලු පැටියෝ



පුංචි කුරුලු පැටියෝ
ඔයා ලොකු වුණු එක
මොනතරං සතුටක්ද අපට
ඇසී නෑසී යන විට උතුරන සිනහව
පිච්ච මල් අහුරක සුවඳ සිත මත

ඔසවාගන්නටවත් ඔබව නොදැන උන් මම
සමඟ තනිවෙද්දි පුංචි ඔබ
හිතට දැනි බිය
කඳුළකින් මිස කවියකින් ලිවිය නොහැකිය

Picture - Giuseppe De Sanctis, Italian, 1858 - 1924, Mercato di fiori a Bruxelles

විසාලය මේ විසාලා නුවර



විසාලය මේ විසාලා නුවර
පිළී ගඳ ඇති මිනී ඔළු ඇති
යක්ෂයන් උරා බොන
දා රුහිරු වැතිර ඇති

මිනිස් මුහුණු පෙන්වා
මකරුන් රඟන නිති
මහ පොළොව මිරිකා
අවසන් දිය බිඳද සිඳ ගති

ඔලොගුවැති හැම දුකකම
කවිකම ලියා නැති
උර පතු නව නවා සතරත
කස පහර ලෙළවනු ඇති

Picture - Marina Podgaevskaya, Russian, born 1963, Angel Number 2

අත අත හැරුණු තැන පසු කර



ගූඪ කළුවර දිගේ

Thursday, February 9, 2017

දුකට අඳුරෙහි ගිලෙනවද


ඔබ අහසක් කියා මට කියනවද
බිමට සඳ දිය එවනවද
අඳුර ගලනා මැදියමේ
කවියක් වගේ ගැයෙනවද

සැලෙන දෙලවන් අතර සිරවෙන
සහසක් වදන් තියෙනවද
තුඟු තුමුල ගිරි හිසක වැළපෙන
තිමිර පලවා හරිනවද

වෙන්ව යන්නට මොහොතකට පෙර
එකම වදනක් කියනවද
අත නෑර ළඟ හිඳින්නට බැරි
දුකට අඳුරෙහි ගිලෙනවද

සැරව ගලනා රාජ්‍ය සේවය නම් තුවාලයේ



සැරව ගලනා රාජ්‍ය සේවය නම් තුවාලයේ
රෝස මලක් මෙන් පැළ වී සිටීම
කොතරම් වේදනාකාරීද..

හැම මොහොතකම පලි ගැනීමේ ලියුම් අත පත් වෙන
කාර්ය සාධනය අසතුටුදායක බව දන්වන
අද්භූත චෝදනා ගැට ගසන
නිවැරදි දේ කිරීම වෙනුවෙන්
මෙහෙව් සම්මාන ලැබෙන

උදුරා දමන්නට ගස මුල
නිතරම පොර කන විට
මලක පෙති ගිලිහී
පියාපත් වෙයි මිතුර
පියාපත් සිඳ දා වනසන්නට තනන කල
තරුවක් වගේ අහසෙහි සිනා වෙයි මිතුර

කොතරම් වේදනාකාරිද නිවැරදි වීම
එබැවිනි, එන්න කියවන්න
යළි පෑන අන් අත තබනු බැරි
වේදනාවෙන් උමතු වන කවි

Picture - Scott Burdick, American, born 1967, Far Away

Friday, February 3, 2017

My Dearest Lovina,


My Dearest Lovina,

I am writing this to you sitting on a rock.....this is the east coast of Malta. I don’t suppose you know where it is. Just think of it as a very very far away place. So far away that it would take at least 2 full moons time to get here from where you are, where we were.

I am looking towards the sun arising out of the mist over the swirling blue waters of the Mediterranean. No....my dear I am not a sun worshiper........I prefer spending my time looking towards east because my love, I know that's where you would be thinking about me I am certain, at this very moment.........May be sitting on that rock where we used to have our secret rendezvous..... How my heart longs to hold you in my arms again. To place my lips tenderly upon your quivering lips....O, My dear that very thought is sufficient to drive me crazy, more so as I know deep down in my heart that it's hoping in vain.

When the rising golden sun dissipates the churning mist occasionally....actually more often than not....I can see your smiling face slowly manifesting in midst of coalescing haziness. A vista that makes my heart cry out in severe pain, an incoherent sound that originates deep down in my heart which I have to suppress somehow...however difficult that may be , because my love for you have to be hidden from the whole world whatever the cost would be.....

I am unable to put into words all my love for you...dearest....because how can you describe in mere words something that is divine.....Yes, that's what it is , My love for you is divine .......
I don't know when you would get this missive, in 3 months, 6 months or whether you would get this at all. All the same I am writing this hoping one day you would be reading this sitting on that rock...our special rock on the beach of paradise..........
I am dying Lovina....I am dying.....not only spiritually. I died in my mind that day when finally I said good bye and left you on the beach looking at me walking away, forlornly with tears streaming down.

I am dying bodily too. I feel something inside me had gone away. May be the will to live. I have no purpose in life to look forward to with thousands and thousands miles of endless sea separating us destining you and me never to meet again.....never ever again.
When we met for the first time, on that day I set foot on paradise, even then I knew that I am setting out on a journey for a destination unknown. But who can deny our destiny. What's written in the stars would happen. Whether we like or not.

You have your whole life before you....Lovina....so please get on with your life. try your best to forget me..........
Finally my dearest , My love.....let me take my leave from you.....for the very last time....most probably.....

Thank you dearest, for making my life so wonderful, a heavenly bliss for those six years...that was the best years of my life indeed.
With you always in my dreams, in my heart and in my soul,
Tom.
(written by ranrandil.blogspot.com/2014/01/239.html)


ආදරණීය ටොම්,

මොනතරම් ප්‍රේමාන්විත ලියුමක්ද? ඒත්, ටොම්, මෙතරම් සුන්දර, විරහවෙන් හද දවන වදන් කියා ඔබ, මට විහිලු කරනවාද, ඔබ අමතක කරන්නැයි.. මම ඉන්දියන් සාගරය දිහා බලා ඉන්නවා.. ඔබේ මගේ හද මෘදුම වැලි මත අඳිමින්.. ඔබත් මමත් දකින්නේ එකම මුහුදක එකම රැළි ටොම්.. එය වෙන් කර තිබෙන්නේ හුදෙක් මිනිසුන්.. එහෙව්, මුහුදු රැල්ලක තබා මම මගේ හිත පා කර එවනවා ඔබ වෙත..

මේ වෙරළ මත, සියල්ලන් නිදි ගත් රැයක, කුඩා සිප්පි කටු ඇහිඳිමින් ඔබ මගේ කෙහෙරැළි මත ඇමිණුවා මතකද? එකම නිසංසල හඬකින් මුහුද සිප ගලා ආ සීත කෝඩය ඔබේ මගේ හද උණුසුම් කළා මතකද? ඔබ සුන්දරම වචන සියුම් සුසුමකින් මිමිණුවා මතකද? මේ අහස, මේ මුහුද ඔබේ මගේ වචන අරගෙන කතා කරන හඬ ඔබ කොහේ හිටියත් ඇහෙනවා නේද ටොම්..?

ඔබ කොතැන හිටියත්, ඔබ හිඳින තැන ගැන මවා ගත්තු මගේම චිත්‍ර තියෙනවා ටොම්.. ඒ චිත්‍ර ඇතුළේ ඔබ ඔතැනත් මම මෙතැනත්, ඔබ මෙතැනත් මම ඔතැනත් එක විටම ඉන්නවා ටොම්.. ඔබ නොකිව්වාට ඔබට එය දැනෙන බව මා දන්නවා..

සිහින් සුළඟ, වෙරළ මත වැතිරෙන කළු මුහුද, තුරු අතරින් පෙරී එන සඳෙළිය, වෙන එකක් තියා 'වට ගණම ගණ කළු අන්ධකාරය මගේ හිත පුරා අඳින්නේ ඔබේ ඇස් දෙක විතරයි.. මා උපදින්නෙ ඔබේ හදවතේ නිසා, ඔබට මියයන්නට බෑ ටොම්..

පෙම්වත, මහ මුහුද මත පිපෙන සූර්යයා මෙන් ඔබ මගේ අධ්‍යාත්මය විදා ගෙන දිලෙන කොට, ඔබට ඇති ආදරය මම සඟවන්නෙ කොහොමද? මගේ හද මහ මුහුද මෙන් ඔබේ නම කිය කියා ඝෝෂා නඟනවා ඉතින්..
හදින් එන නෙක හැඬුම් ඉකියක් නොවී මහා සංධ්වනියක් කොට කුරුලු තටු මතින් මා ඔබ වෙත එවන්නම් ටොම්.. ඇසෙනවද ඔබට සකුණ සර ඔබ ඉදිරිපස දිගු දර්ශනය තුළින් නැඟී එන..

පෙම්වත, වචන වලට පෙරළන්නට ඕනෑ නෑ.. ඔබේ නිහඬබව වුණත් ස්මරණ තුළින් ගලා එන මහා ආදර කාව්‍යයක් වෙන කොට..
ඔබට ඇති ආදරෙන් අහෝ මා මියැදෙන්න යනවා ටොම්.. මගේ පෙම්වත, ඔබ වෙන් ව ගියේ නෑ කවදාවත්.. දහසක් දහසක් මුහුදු පරයා අපි හැම මොහොතෙ ම හමුවෙනවා ටොම්..
ඔබේ දිව්‍යමය ආලයෙන් මුසපත් වෙමින් මා ඔබ තුළම ටොම්..

ආදරෙන්,
ඔබේම ලැවීනියා


My Dearest Lovina,

Three years had gone by …yes..three whole years had gone by since I wrote to you last. Why do you think I did not write to you during those three years? Is it because I had forgotten you? Do you think so, My Dearest? I think you know the answer and I know that you know.

Nevertheless let me tell you once again. During last three years you never left me. You were always there inside me even during when I was sleeping... in my dreams.... Every moment of my life, every breath I inhale, every tear that comes out from my eyes, every sigh and even every thought was about you, for you and a tribute to you.

When I wrote to you last I mentioned that I am dying that I am on my way inexorably to death, relentlessly drawn towards my pitiful end but it seems the almighty who oversees the lives of us all has decided to prolong my suffering indefinitely. Well who am I to dispute his decisions, his intentions, his designs?

So I am here just existing... yes what I do here is just existing it is definitely not living ..always with you inside me…until the day all knowing one above us decides to call it a day. I am really looking forward to that day my dearest because then we could be together eternally never to be parted again. Until then good bye my dear...

Tom.
(Written by Ravi Weerasinghe

ආදරණීය ටොම්,

මං හිතන්නේ මට ලියන්න බෑ ටොම්.. මම මොනව ලියන්නද.. මට කිසිවක්ම කියාගන්න බැරි කොට.. මේ මහ මුහුද වගේ දසදහස් ගුණයක දුක! සමුදුරු හතක් එක වර සිඳී මහා කතරක් වෙන හැටි ඔයා කවදක හරි අහල තියෙනවද හිතින්.. ගෙවුණු හැම තත්පරයක්ම ඒ වගෙයි ටොම්... ප්‍රේමය කියන්නේ එතරම් වේදනාවක් නම්, මා දන් නැහැ එයින් මිදෙන්නට මඟක්..

මට මා සිනාසෙන කොට පවා පෙනෙන්නේ ඔබ.. මගේ හැඬුමත් ඔබ... කඳුළු පිසදමන්නට ඔබේ උර නැති දුක මට කවදා කොහොමවත් කියන්නට බෑ ටොම්... මගෙ හිත පරඬලා පතක් වගේ වියැළියි.. මගේ බලාපොරොත්තු සිඳී ගිය ගඟක් වගෙයි.. මේ මහලු බව විසින් මා වෙළා ගෙන ටොම්...

ආදරය කියන්නේ මං හුඟක් කලකට පෙර දැකපු හීනයක් විතරයිද ටොම්.. ඒත් හැම ත්තපරයකම දැනෙන මගෙ හදේ පිළිස්සුම.. මට එය දරා ගන්නට බෑ ටොම්...

ජීවිතය කොතරම් අසීරුද කියල මට ලියාගන්නට බෑ.. ඒත් රළු පරළු වී යන අත් දෙකට වඩා මගෙ හිත.. ඔව්, මගෙ හිත තමා කියාගන්නත් බැරි තරම් පරලව මා පෙළන්නේ.. මා දන්නෙ නෑ.. ඔබ තනිවමද ටොම්.. තවත් මා ඔය හිතේ තියාගෙන දඬුවම් කරන්න එපා ටොම්... ආදරය කියන්නේ මුළු සක්වලක් වෙන කොට.. ආදරය කියන්නේ මේ මුළු මහත් විශ්වයම වෙන කොට.. හිත දෙකකට විතරක් හිරවෙන්නෙ කොහොමද එය මා දන් නෑ ටොම්... ඔයාට මුණගැහෙන උණුසුම්ම හදවතක ආයෙමත් ආදරය ලිව්වාට මගේ තරහක් නෑ ටොම්.. අපේ අතීතය මිරිඟුව වගේ දෙයක් නම්.. මගේ අත අත් ඇරල ඈතටම යන්න ටොම්...

මගේ ජීවිතේ ඉතුරු පිටු කොහොම වේවිද කියා මමවත් දන්නෙ නෑ ටොම්.. ඒත් මගෙ හිත මිය ගිහින්.. ආයෙ ඒ මිය ගිය හදවත කවදාවත් හුස්ම ගන් නෑ ටොම්..

කියාගන්නත් බැරි තරං ආදරෙන්,
ලැවීනියා


Picture -
The Sleeping Dictionary (2003)

මේ මහලු බව



මේ මහලු බව මට
ඉවසා දරා ගත නොහැකිය
වසකට පෙරාතුව මින්
පැහැදුල් විය සියල්ලම
වත්ත පහළට වී වියූ
කොස් කොළ තොප්පියේ කොළ ගණන පවා
ගනින්නට හැකි විය නොවැරද
බිඳෙන් බිඳ වියැකෙමින් එහෙත්
පලා ගියාය ඇය, ඒ කුඩා දැරිය

වසන්තය ගැන කවි ලියමින්
හිඳ සිටීමි රැකත්තන සුවඳ විහිදෙන සැඳෑවල
තුරැණු බව විසින් හද
අරවින්දයක් මෙන් පිබිදිණ
පරව ගිය කුසුම් පෙති විලස මා තුළ
යළිත් කිසි දින නොපිපේය එ'මිහිරැස

සීතලය සදා රැය උණුසුම් නොවේ මා හද
දැන් කිසිදු සෘතුවක් මට කියා උරැම නැත
දිරාපත් වී ගොසිනි තැනින් තැන මතකය
දිය ඌල සිඳී ගිය ඉපැරණිය හදවත

Shasika Amali Munasinghe
Picture - Michael & Inessa Garmash

අම්මා



දශක ගණනක් ඉකුත් වූ පසු
මුණගැසේ ඇතැම් පර්යාය පද
අම්මා!
අම්මා යනු වේදනාවය

කිරි කළ සතක් වෙනුවට
කිරි බිඳු සතත් සිඳි කල
කඳුළු සමුදුරක් හළ
ඇගේ නම වේදනාවය

හිඳින කල කුස හොවා
රථ තුළ අසුනකුදු නොලැබා
නොවැටී වැරෙන් දණ නමා
රැක ගත් ළඳ - ඇගේ නම වේදනාවය

විඳින කල විලි රැදා
ගැහැට විසකුරැ වදන් ඉවසා
පුතු නඟන කෙඳිරියට
මුළු හදවතම සිඳ දා

අත පුරා වෙරළු ඇහිඳියි
මඟ බලන දූ පුතුන් උදෙසා
පසුම්බිය හිස්ව යයි
ඇස නොරැඳ විලවුන් බරණ කිසිදා

දශක ගණනක් ඉකුත් වූ පසු
මුණගැසේ ඇතැම් පර්යාය පද
අම්මා!
අම්මා යනු වේදනාවය

Shasika Amali Munasinghe
Painting - Renata Brzozowska

මහත් ලොව වසා ප්‍රේමය



වාලුකා තීරයම රතු විල්ලුදක් මෙන් හද සිදුරැ වූ ලෙයින් තෙතබරිත පෙඟී ගිය
අවසාන හෝරාවෙ ගිරි ශිඛර මත වැදී නින්නාද දෙන මියුරැ කිකිණි හඬ කොයිබින්ද
උණ්ඩයක් මෙන් සෘජුව දරදඬුව පසෙක ලූ යොවුන් හදවත විලස සැලෙයි කඳු තුරු ගොමුව
යුදබිමක් කියා ලොව නොවූවා නම් කිසිත් ඒ මිහිරි වීණාව සොයා යමි නිසැකවම

කිසිදිනෙක හෙළි නොකළ බැවින් උණුසුමැති හද සීතලට ගල් ගැසී නිහඬ විය වීණාව
එ'වීණාව තත් මඳින් මඳ සලිත කර වයන්නට කිසිදිනෙක යළිත් මට වරම් නැත
එහෙත් වාලුකා තල අතර වන මැද වැතිර අවසන්ම චුම්භනය තබා යමි තුරැපතර
මේ මහත් ලොව වසා ප්‍රේමයේ නමින් එය සියලු යුදබිම් මකා මිණිදැදිරි විය යුතුය

Shasika Amali Munasinghe
Painting - Sir Thomas Francis Dicksee
Inspiration - Niluka Kadurugamuwa' Poetry

හොවාගෙන ඔබ මා දෑත් මත



මොනතරං ලස්සනද
ඔබ මා දෑත් මත තබා ගෙන
සුළඟට හිස නවන ඔසවන
තුරැලතා දෙස බලා උන්
කාලය

ඔබ පිරිපුන්ව මඳ මඳ
පායා එන හැටි සඳක් මෙන්
දකින්නට ඕනෑ විය මට
ඔබෙ කුඩා අත් පා
සෙලවූයේ කොතරම් අලංකාරයකටද
ඔබේ මිණි කැට ඇස්
පෑදි දිය මෙන් උරා දෙන තුරැ දසුන්
ඉවසිල්ලක් තිබුණිද මා හට

"කෝ අපෙ තූති මැණික
කොහේ ගිහින්ද
හුඟ වෙලාවකින් දැක්කෙත් නෑ
සෙල්ලම් කරන්නවත් ගියාද...
ආ... මේ ඉන්නෙ මෙතනම"
ඔබ සිනා ගැන් වූ හැටි
මතක තියේවිද කිසි දින

මැති ඇමැතියන් ළඟ
විස්තර කරන කල නීතිය
රස කැවිලි පාර්සලයක් අත තබන කල
මට ඕනෑ ස්ටාෆ් එක කියන කල
මෙහෙවර හිස තබා ගෙන
මුළු දවසම වෙහෙසෙන කල
පුතේ මට මතක් වෙයි ඔබ
ඇයි මේ තරං අකුරැ ඇද නීති පොත්වල

අනේ මට ජීවිතය කාලෙම
හොවාගෙන ඔබ මා දෑත් මත
සදාකාලිකව ඉන්ට ඇත්නම්
මහා ඉකියකි මගේ හිත මත

මගෙ කුරුලු පැටියා අද



මගෙ කුරුලු පැටියා අද
නිදනවා ඇති තනියම
බඩගින්න දැනි හැමවිට
උරනවා ඇති සුළැඟිලි

ගයන්නට කවි නිතරම
කුරැලු මවු දැන් ළඟ නැති
දිගු දිවා කල හෙමිහිට
අලස ලෙස ගෙවෙනව ඇති

කුඩා කෙඳිරිලි හඬ ඇසී
දුවන්නට පඩි පෙළ ඇතී
හුස්ම අල්ලා දුව එනා
ඇගෙ පියාපත් ළඟ නැතී

අතර ආ මඟ දුක දැනී
හද කඩට පැලෙනව ඇතී
මවක් වෙන එක තරම් දුක
දෙයක් මා හඳුනන් නැතී

Shasika Amali Munasinghe
02.02.2017
Picture - William Dyce, Scottish,1806 - 1864,"Omnia Vanitas"