Sunday, November 30, 2014

මැදියම



බොඳව යන සඳ දැක
හඬන කිරලෙකි;
මැදියම

Picture - Roman Liapin

Friday, November 28, 2014

නොවැම්බර් සන්ධ්‍යාව



වේල් පට සදමින් යළි යළි
අලංකාරය ගැන විස්සෝප වන
යුවතියක මෙන් ප්‍රාදූර්භූත වෙයි
නොවැම්බර් සන්ධ්‍යාව

Picture - Christina Nguyen

රඹ පාට සිතිජය



කැන්වසය මත හිස තියාගෙන
නිදන්නියකට මුහුදු වෙරළත
කතාවක් මුමුණන්න කැමතිද
පසුබිමක මුඛ්‍යාර්ථයකට
සන්ධි වන විසන්ධි වන
සියුම් තෙලි තුඩු
රඹ පෑයෙන් මුවහත් කර
ළවැල්ලෙහි අඳින්නට කැමතිද?

Picture - Carol Steinberg

Thursday, November 27, 2014

පෙම් බඳින්නේ කොහොමද?



කැට කැබලි වී බොහෝ දෙය
ගිලිහ ගිය යම් කලෙක
කවුළුවක් ළඟට වී සදළුතල
බලා ඉන්නා විට හෝ හඬ නඟා හඬන මහ මුහුද
කඳු දනව් පසු කර ඇවිත් මුහුදකට
පෙම් බඳින්නේ කොහොමද
නොතේරෙන හැටි මට!

Picture - Marcos Rodrigo

අකාරාදිය ගෙන අතට



අකාරාදිය ගෙන අතට
නුඹ නමින් නොලියූ
එකම එක අකුරක්
තියෙනවද මැන බලමි

අලුයම ඉරා ගෙන
වෙරළ ඉම් පසු කර
දුම්රිය නලා වැයෙන කල
නුඹ අසිහි කොට අවදි වුණ
එකම එක දවසක් තියෙනවද
ගැණ බලමි

ඇවිදින් අඳුරු අහස් ගැබ
සහස් එළි බුබුළු නැඟෙන කල
කිමිදෙමින් අඳුරු එළි අතර
වෙව්ලමින් හදවතම කියැවූ
රාත්‍රිය නම් සිතියමෙහි
නුඹ සොයා නොළත
එක රැ‍යක් එක කඳුළක්
එකදු සුසුමක්
තියෙනවද නොම හඟිමි

විරහව කියන්නේ එහෙම නම්
ඔබ රාත්‍රිය වෙලා
නාඬා ඉන්නේ... මන්ද තවමත්?

Picture - Edwin Georgi

Monday, November 24, 2014

මිහිරිම දවස්



ටොක් ගස් වූයේ මොර ගස් සෙවණින් මෙපිට ඇළ අයිනේය. එය අපූරු එළිමහනකි. කුඩා අත්තකට නැඟ ගත්තද හාත්පසම එක හා පෙනේ.  එවන් හවස් කල අපි ටොක් අත්තක් මත එල්ලී ටොක් මොට්ටු නළළේ තලමින් සිටියෙමු. එකකට එකක් නොගැලපෙන අප දකින කල, අස්තන් ගත වන හිරු රශ්මි කදම්භයන්ගෙන් වෙළී ගත් කඳු ගැටය සුසුම් හෙළන්නාක් මෙන්; "අනේ කෙල්ලනේ! නුඹලාගේ මිහිරිම දවස්"යි මහත් ලාලාසාවෙන් යුතුවැ මුමුණනු මට දැනිණි.  එක යායට ගොයම් කපා තිබුණු වෙල් යායෙන් එපිට වූ අපූරු දොරගල සදාතන යොබ්බනයේ සුපුල මහා පුරුෂයකු මෙන් අප හා සිනාසෙන විට හැමතැනම කහට පැල්ලම් වැටුණු ගවුම් ඇඳ මොර අතු පිටින් ඔඩොක්කුවේ දමාගෙන සිටි අපි කඳුගැටය දෙස විරිත්තාගෙන බලා සිටියෙමු.

Picture - "Minarets" (2013), Jeremy Lipking, from California (b. 1975)

අරුමැසි මල් උයන


මහා අඳුරත් සමඟ කළු බණ්ඩා අඩිය ඉක්මන් කළේය. අන්ධකාරයේ සැඟව යන කනමැදිරි එළියක් බඳුය ඔහුගේ විදුලි පන්දම. ඔහුගේ නිවසට දොරගල කඳුවැටියේ හරි කාලක් තරම් වූ දුරක් යන්නට තිබුණු 'මුත් කලු බණ්ඩාට එය ඒ හැටි කජ්ජක් නොවේ. කළුවරේ ගාටන තරමට වුව ඔහුට පාර වලංගුය.

වනගුලාවට පිවිසෙන අඩි පාර වැටෙන්නේ ගල් ඔය අද්දරිනි. හවස වැටි වැහි පංගුවට පාර ලිස්සන්නාක් වැනිය. ගල් ඔයෙහි හෝ හෝ හඬත් රාත්‍රිය දෙදරුම් කවන රැහැයි හඬත් ඔහුගේ කන් අගුළු ලා වැනිය. පාළුව යන්නත් එක්ක කයියක් කියන්ඩත් ඔහුට හිතෙන්නේය.. වෙනදා පාලුවටත් එක්ක පස්සෙන් වැටී එන බලු නගුටාවත් නැති හැටි..

එක හැල්මේ ආ කළු බණ්ඩා ගල් ඔයෙන් එගොඩ වන්නට විය. හවහ වැස්සට වතුර වැඩි වී ඇති බවක් ඔහුට දැනුණි. පය යන්තමට ලිස්සා යෑමක් සමඟ ඔහුට යන්තමට ඉහළ බැලුණේය.

අ..හා! කවර දර්ශනයක්ද බඹර ගල! බඹර ගල දොරගල සතු එක්තරා සලකුණකි. උස් වූ ගලකි. එහි එක් පසක් හෙළකට මුව ලා සිටී. ඒ පස විශාල බඹර ගෝඨ සිය දහසකි. ගලට නම වැටුණේද එහෙමය. කළු බණ්ඩා සිය ඇස් මුදාගත නොහැකි ව තවමත් බලා සිටී. බඹර ගල වසා සිටින තනි රක්ත සේලයකි. එය කළුවර පළුදු කරමින් දර්ශනය වෙයි.

වහා බිම බලා ගත් ඔහු තවත් අඩිය වේගවත් කළේය. බඹර ගල පසු කරනවාත් සමඟ හිතේ නැඟි අමුතු ඝෝෂාව පහව යන්නාක් මෙන් ඔහුට සිතිණ. හැරී නොබැලූ ඔහු තව තවත් ඉදිරියට ගාටයි. තවත් වේගයෙන් යන්නට බැරි මෙනි. පාර අසල ගලක් දුටු ඔහු එක් වරම එහි හිඳගත්තේය. ඔහු සමඟ තවත් කෙනෙකු ගල මත හිඳ ගති.

කළු බණ්ඩා හැරුණේය. අහා, අතිශය මනෝඥ ස්ත්‍රියකි. ඔහුට සිතෙන්නේ එපමණකි. ඇයගේ දෑස ඔහු පතලක් කරන කල ලැබුණු මැණික් ගල මෙන් දිස්න දෙයි. ඇගේ අක්බඹරු කෙස්! එතරම් ලක්ෂණ කෙස් කළඹක් ඇයට කොහෙන් නම් ලැබුණාද? ගෙදර උන්දෑටත් මෙහෙව් කොණ්ඩයක් නැති හැටි.. ඔහුට ඇය අල්ලා බලන්නට සිතෙයි. මේ ගණාන්ධකාරයේ කවුරු දකින්නද? එහෙත්, විනීත ස්වරයෙන් ඔහු මෙසේ කීවේය. "යං ගෙදර"

ඇයද ඔහුට අවනතය. ඔහු ඉදිරියෙන් යයි. නැවත ඇය එනවාදැයි හැරී බලයි. තවත් මඳ දුරක් යයි. නැවත හැරී බලයි. පාරේ කටු පඳුරු, ගල් බොරළු නොතකා ඇය ඔහු හා එන්නීය. පතා ආවක් වැනි යැයි ඔහු සිතයි.

තවත් හෝරාවකින් ඔහු ගෙට සේන්දු වුණේය. ඇය ගෙමිදුල නැවතුණේ එක වරම ගෙට එන්න බෑ වගේය. කන්දට හරක් පැන හොයන්නට ආ විදානේ ඇත්තෝද අමුණේ උන්දෑද ඇතුළු කීපපොලක්ම ඉස්තෝප්පුවට වී විට හපමින් සිටිති.

"එන්න එන්න" තවමත් ඔහු අත වනයි. භවෙන් භවේ පතා ආ බිරියක් වැනි ඇය මිදුලෙහි රැඳෙන්නේ ඇයි? හාමිනේ ගැනවත් නොතකා ඔහු අතවනයි.

"කාටද උඹ ඔය අත වනන්නේ" අමුණේ උන්දෑ විදානේ උන්දෑ දෙස ඇහැ කොණින් බලමින් කළු බණ්ඩාගෙන් යමක් අවබෝධ කොට ගත්තාක් මෙන් අසයි. ඩිංගිරි මැණිකේ ගල් ගැසී මෙන් බලා හිඳී. "ඉක්මනට ගනින් ඔය කණ්ණාඩියක්" අමුණේ උන්දෑගේ හඬින් තිගැස්සුණු ඈ පිළිකන්නේ එල්ලා තිබූ කණ්ණාඩි කෑල්ල රැගෙන දුව එයි.

විදානේ උන්දෑ කණ්ණාඩිය එළියට හරවා බලයි. එළි පහළිය වෙනුවට අරුමයකි, අරුමැසි මල් උයනක් මතුව එයි. මල් උයන තුළින් යාන්තමට රත් පෑ සේලයක් ඇදී එන කල.. "ඉඳා,, උඹට" අමුණේ උන්දෑ කණ්ණාඩිය බිම වැටෙන්නට ගසයි. ඒ හා ම, සිහි මූර්ජා වූ කළු බණ්ඩා පිල මත වැටී සිටිනු පෙනෙයි. "කණ්ණාඩියෙන් ඉතුරු රඟ දැක්කා නම්, අපට වෙන්නෙත් ඔය හරිය තමා. අද මෙහෙම හිටු" අමුණේ ඇත්තෝ කියයි.

හදවත පලා එන මහත් වේදනාවක් කළු බණ්ඩාට දැනෙයි.

Picture - Daniel Maclise, 1806-1870

Tuesday, November 18, 2014

කබාය සහ දෙබරු




කුඩා කල මා සතුව අගේ ඇති කබායක් තිබුණේය. එය ඇසට පිය දනවන මුදු රෝස පැහැයකින් යුතු විය. එහි මතු පිටටත් වඩා අලංකාර වූයේ ඇතුළුපිටය. ඇතුළු පිට රෝස පෑ විල්ලුදමය රෙද්ද මත අලංකාර මල් මෝස්තරයක් වැටී තිබිණ.  වැසිබර දිනයන්හිදී පාසල් යන විට අම්මා මේ කබාය තුළට තම කුඩා දියණිය බහා යැවීය.

එහෙත්, ඉතා හුරුබුහුටි වූ පිම්බුණු සොබාවැති මේ කබාය ඇඳගෙන පාසලට ඇතුළුව පන්තියට ඇතුළු වීමට තිබූ පඩි පෙළ පැන පැන යද්දී, පන්තියේ පිරිමි ළමයි 'අලියෙක් එනවා!" යි කෑ ගැසීමට කිසි කලෙක අමතක නොකළහ. හෝඩියේ පිරිමි ළමයි හොඳ වුණේ කවදාද? මේ හෝඩියේ පිරිමි ළමයිය. මා පාසලට යන විට හැමදාමත් ඔවුහු අඹ ගෙඩියක් බිම හෙළන්නට පොර කමින් සිටියහ. ඔවුන්ට එසේ කළ හැකි වී යැයි ඔබ සිතනවාද? මම ඔවුන් නොතකා මාගේ නිල්පාට වතුර බෝතලය කරකවමින් පන්තියට ඇතුළු වීමි.

ලොකු වුණාම මේ පිරිමි ළමයි එක්ක යාළු වෙන්න වෙන එක කොච්චර නරකද? ලොකු අක්කලාට සිදුව ඇත්තේ කොතරං භයානක දෙයක්ද? එහෙත්, ඔවුන් පන්තිවලට ඇතුළු වන දොරටු දෙපසට වී එකිනෙකා හා කතා කර කර සිටින්නේ මොනවාද? විවේකකාලයේ අපි කොටු පනින කොටත්, "අපි දෙන්නා යාළු - රෑට බතට මාළු" කරන කොටත් ඔවුන් නොනවත්තා කතා කර කර සිටියහ. පාසලේ උප විදුහල්පතිතුමාගේ පුතාත් ඒ අතර වූහ. "සම්බෝලේ - බොන්සාලේ සම්බෝලෙගෙ තාත්තා පන් බෝලේ" ගිරිය යටින් කෑ ගසමින් අපි ඒ අසලින් දිව යමු.

කොහොම නමුත්, පෙර කී හෝඩියේ පිරිමි ළමයි යනු කිසිසේත් සැලකිය යුතු පිරිසක් නොවේ.

ඉතින් මම මේ අපූරු කබාය පැළඳගෙන පන්තියේ වාඩි වී ඉගෙනගත්තේ මහත් උද්‍යෝගයෙනි. ඒ අපූරු කබාය පන්තියේ වාඩි වී සිටිනා හැම විටම මා පිනවමින් උන්නාය. දහවල් කෑම කද්දිත් කෑම ඉවර වී ලොලිපොප් කද්දිත් මා මගේ කබාය ගැලවූයේ නැත.

අපගේ පාසල කොණකින් රබර්වත්තක් වූ අතර ඒ රබර්වත්ත හරහා දිවෙන ගුරු පාර වැටී තිබුණේ පුරාණ රජ මහා විහාරයක් වෙතය. පෙර කාලේ දන්ත දාතූන් වහන්සේ වැඩ සිට ඇත්තේ ඒ පන්සලේය. පාසල පිහිටි ගම 'මල්ලැහැබ' වීමට හේතු වුණේ එයය. දළඳා වහන්සේ වැඳීමට මල් නෙළා ගත් වන ලැහැබ් වූ ගමය. පාසල පිටුපසින් රැළි නඟමින් දුව යන ඔය මල්ලැහැබ ඔය වුණේත් ඒ නිසාය. මට කියන්නට ඕනෑ, පාසල පිටුපස මේ කියන ඔය ළඟ තිබුණ විශාල බෝ ගහ ගැනය. බෝ ගහ ගැනත් නොවෙයි, ඒ ඔය ළඟ තිබුණු බෝ ගහේ එල්ලී තිබූ මහා විශාල දෙබර කූඩුව ගැනය.

ඒ දෙබර කූඩුව අප මීට පෙර දැක තිබුණු එකකි. වැහි මන්දාරමත් එක්ක පැමිණි උකුසු රාජයෙකු දෙබර කූඩුවට කොටන විට මා ඇඳ සිටියේ මගේ රෝස පෑ කබායයි.

"ෂූ.." කියා මුළු පාසලම දෙබරු වසා ගත්තේ අසුරු සැණකිනි. ගැහැණු පිරිමි ළමෝ කෑ ගසමින් ඒ මේ අත දිව ගියහ. මුළු පාසලම එකම භයංකාර නාට්‍යයක් වූ අතර සමහරු රැකවරණ සොයා ආවරණ ශාලා කරාත් කාර්යාල කාමර කරාත් දිව ගියහ. නොනවතින ගුම් නදක් සමඟ දබර වෙන දෙබර සේනාවකි දැන්. "ඩෙස් පුටු යට පාත් වෙන්න. හෙල්ලෙන්න එපා." ගුරුතුමී කෑ ගෑවාය. අපි හැමෝම බිම පාත් වූ අතර සමහරු ගුරුතුමියගේ මේසයට දමා තිබූ ඉටි රෙද්ද යට ගුලි විය. මගේ හිත වේගයෙන් ගැහෙයි. මමද කුඩා පුටුවක් යට දණ ගසාගෙන සිටියෙමි.

"දැන් දෙබරෙක් විදියි.. දැන් දෙබරෙක් විදියි" මගේ හිත කියයි. දෙබරු රංචුවක් මා වටකොටගෙනය. දවසක් ගෙය පහළ ඇළට යන අතර බඹරෙකු මගේ මුහුණ සපා තඩිස්සි වූ ආකාරයත් මුළු මුහුණම රිදෙන්නට වූ ආකාරයත් මට හොඳින් මතකය. එදින සීයා පුවක් පැණි ගෑමෙන් අනතුරුව වේදනාව මඳක් සමනය විය.

දෙබරු මට විදින බව යාන්තමට පෙනේ. කවර අරුමයක්ද.. එහෙත් මට රිදෙන්නේ නැත. හෝරාවකට පමණ පසුව පාසල යළිත් නිසොල්මන් වූ අතර දෙබරු ඈත්ව ගොස් තිබිණි. ළමයි කෑ ගසා හඬමින් සිටියහ. මමද මහා හඬින් අඬන්නට වීමි. පහළ ගෙදර ආර්යාත් ඇගේ මල්ලීත් මහ හඬින් අඬනු මට පෙනේ. එසැණින්ම, සියල්ලන්ටම ගෙදර යනු පිණිස පාසල කලින් ඇරිණි.

අඬමින්ම අපි ගෙදර දක්වා වූ මුළු දුරම පයින් ආවෙමි. ගෙදර එන තුරුම ආර්යාත් ඇගේ මල්ලීත් මමත් මහ හඬින් ඇඬීමු. දෙබරු විද්ද ළමයි වැඩිහිටියන්ගේ මහත් අවධානයට ලක් වූහ. "මෙයාට විදපු ඔක්කොම කබායෙනේ" මා හඬනු දුටු මඟදී හමු වූ ඈයෝ දෙඩූහ. ඔවුන් එසේ කියනවාට මහත් සේ අකැමති වූ මම පෙර හැඬුවාටත් වඩා මහ හඬින් හැඬීමි.

ආර්යාත් ඇගේ මල්ලීත් ඔවුන්ගේ ගෙදරට හැරී ගිය පසු මම හැඬුම නතර කර ඉතිරි දුර ගියෙමි.

ගෙට ගොඩ වූ සැණින්, හුස්මක් කටක් නොගෙන අම්මාටත් ආච්චීටත් මුළු විස්තරය කීවෙමි. දෙබරු මුළු පාසල වසා ගත් හැටි! "මෙයාට විදින්න දෙබරුන්ට බැරි වෙලා. මේ කබායේ තියෙන තුඩු ගානට දෙබරු විද්ද නම්, ගෙදර එන්න හම්බ වෙන් නෑ.." මගේ අපූරු රෝස කබාය මත ඇමිණි දෙබර තුඩු අරන් දමමින් අම්මාත් ආච්චීත් කතා වූහ. "ඒ වුණාට මාත් ඇඬුවා. අඬන්නේ නැතුව ආව නම් හොඳ නෑනේ.." මම කීවෙමි.

"විගහට ගිහින් අර පහළ ගෙදර දරුවො දෙන්නව බලල ආව නම්.." සීයා ආච්චිට කියනු මට ඇසිණි. මගේ අපූරු රෝස කබාය විසින් මහා විපත්තියකින් මා බේරා ගත්තේ එසේයි.

Picture 1 -
Jessie Wilcox Smith, American Illustrator (1863 - 1935)
Picture 2 - www1.macys.com

හෘදාබාධයකි උදෑසන



සර්පයෙකු මෙන් එක දිගට
යන්තමට සෙලවීමකි
කොහුවල උදෑසන
සාරි පටලාගත් නෝනාවරු
කමිස කලිසං ඇඳගත් මහත්වරු
පපුව අතගාමින් බලයි කණිසම
"ඇඟිලි සටහන ඇඟිලි සටහන"
"නෝ පේ නෝ පේ" කිය කියා
හඬයි පපුවම

හෘදාබාධයකි උදෑසන
ආඝාතයකි නැඟෙන්නේ රිය පැඩලයෙන්
නිවනට යනු බැරි සංසාර භව මෙනි
යාන්තමට කෙඳිරිගාන්නේ රිය සක්
සුක්කානමට අත තබන්නත් අලසව
රියදුරන් මනමත්වද
"ඔයා යන්න ගියා.. අනේ යන්න ගියා"
කිය කියා අඬන කැසට්පටි අතර

හිටිගමන් කඩා වැටේ දුම් දමන ආකාසය නුගේගොඩට
"පොල්ගාන්න පරක්කු නොවුණා නම් හොඳයි
පුතාත් පරක්කු වුණා ඉස්කෝලේ යන්න
ඊයේම උයාගත්තා නම් තිබුණා
නොකා සිටියා නම් තිබුණා"
අවසාන සුසුමට වුව
බිඳකුදු නොසෙල්වී විරිත්තයි රිය පෙළ

සර්ප වැස්සකි හැමතැනම
රිය පෙළේ වැඩිපුරම ළතැවෙන
නෝනාවරු මහත්වරු පවා
අඩ සිහියෙන්ය
සයිරන් නළා වමනය කරන
මුගටියෙකු ගිල ගනී සිය ගොදුර
ගින්නක්ය
සර්ප වැස්සක්ය

Picture - Kal Gujoum Libyan

Monday, November 17, 2014

ගයා නොගයනු නොහී මිහිරී..



ලියා සුසුමන් සුවඳ ඉහිරී
සොයා සුමටම වදන් විසිරී
ගයා නොගයනු නොහී මිහිරී
තබා යනවද සුවඳ කසුරී?

Picture - Acuarela de Maja Wrońska, Polonia

එකදු එක අකුරකුදු



මහා කවි පොතක් නම් මම
එකදු එක අකුරකුදු නොවන්නෙද ඔබ

Picture - Justyna Kopania

Saturday, November 15, 2014

කොටි සහ ගොයං ගස්


පස්සර දිහායින් ආ කොටි දොරගල කන්දේ වන අතර සැඟවී ඇතැයි මහා රාවයක් පැතිර යන්නට විය. ලොකු කුඩා කවුරුත් මේ ආරංචියත් සමඟ අන්දමන්ද වූහ. දවල් කල අව්වත් සවස් කල කඩින් කඩ වැසිත් වූ කාලයකි. සුගුණාත් මාත් පාසල් ගියේත් කෑවේ බීවේත් මේ ආරංචිය හිතේ කොණක තිබිද්දීයි. මින් දොහොකට කලින් දොඩම් වතු පිටින් උගුලා රබර් වැවීමෙන් පසු බිබිලේ සිට අපේ පාසල් වත්ත කොණ වනතුරු රබර් වවා තිබුණි. රබර් වත්තේත් කොටි සිටින්නට පුළුවනැයි වැඩිහිටියෝ කසුකුසු ගෑහ.

ගෙදර සිට හැතැප්මක් දෙකක් දුර පයිනි, අප පාසලට ගියේ. බෑග් මලු පිටේ එල්ලාගෙන එක රිත්මෙකට පා තිය තියා යන අතරේත් අපි නිහඬව කල්පනා කළේ මේ ගැනය. මා වඩාත්ම විස්සෝප වූයේ දවල් කල ගෙදර තනිව වසන අත්තම්මා ගැනය.

අපේ නිවසත් කොටි පැමිණියා යැයි කියන කඳුකරයත් වෙන්ව තිබුණේ කුඩා කුඹුරු යායකින් පමණි. හිටි හැටියේ අප ගෙදරට කොටි පැමිණෙයිද? ඔවුන් අත්තම්මාව දකියිද? එකවරම ගෙල සිඳ නසා දමයිද? යන සිතුවිලිවලින් මම පීඩාවට පත් වීමි. මීට ස්වල්ප දොහකට ඉහත නිල්ගලට කොටි පැන පවුල් කීපයක්ම මරා දැමූ බව ටිකිරි මාමා පහළ ගුණේ මාමා සමඟ කියනු මට ඇසිණ.

අත්තම්මාට කන් ඇසුණා නම්, උන් එන සද්දෙටවත් හැංගීමට තිබිණ. කුමක් කරන්නද? කොටි ළඟට එන තුරුම ඇයට ඒ බව දැනගන්නට විදිහක් නැත.

කොතෙක් දේ හිතුණත් මම සුගුණා හා පිළිබඳ කෙළ පිඬක්වත් නොහැලීමට වග බලාගත්තේ ඇය මටත් වඩා බයගුල්ලියක වූ බැවිනි. සුගුණා ඈතින් අපේ නෑයෙකු වන අයෙකුගේ දුවකි. ඇය අත්තම්මාගෙත් මගේත් තනියට අප නිවසේ නතරව උන්නාය. මේ නිසා ඇය නිවස හැර යනු ඇතැයි අනෙක් අතට මට  සිතිණ.

මේ දවස්වල පාසලේ ළමයිනුත් ගුරුවරුන්ට නොදැනෙන්ට කණු කුණු ගෑවේ මේ ගැනය. පාසල් ඒමට වැඩි කැමැත්තක් නොදැක්වූ රත්නපාල කීවේ අප පාසල් නෑවිත් සැඟවී සිටිය යුතු බවය. ඒ අහු අස්සේත් ඇටඹ ගසට පොලු ගැසීමටත් ගල් ඔයෙහි නෑමට යෑමටත් ඔහු සිතා සිටියේය.

එදින වැසි වැස දවාල වන විට පායා තිබූ අතර මඩව ගිය පාර දිගේ සුගුණාත් මමත් ගෙදර එන්නට වීමු. එක හමාරට පාසල් ඇරුණාට මොකෝ ගෙදරට එන විට සවස තුනටත් ළඟය. පාලම්, බෝක්කු යට රිංගා මාළු ඇල්ලීම වැනි අතරමඟ රාජකාරි බොහෝ වූ නිසා ඊට කලියෙන් ගෙදර එන්නට අපට හැකි වූයේ කලාතුරකින්ය.

ඔය සිලි සිලි නදින් ගලා බැස්සේ..වැසි කල අසිරිය කියාපාමිනි. ඇගේ ඉන රැළි එක පිට එක නැඟෙමින් තිබිණි. ඔය වතුරින් වැඩියක්ම ආඩම්බරව සිටියේ පහළ ඇළය. ඇළ පැන අප ගෙදරට ගොඩ වන විට අත්තම්මා පැදුරක් වියමින් සිටියාය. පැදුරු වියන්නට අත්තම්මා තරං සමතෙකු අහළ පහළ කිසි තැනක නොවීය. "අන්න හිඟුරල තම්බලෑති. කාහල්ලා.. කට්ට සම්බොලුත් ඇති මඩක්කුවේ" අප ආ බව දුටු ඇය කීවාය.

සුගුණාත් මමත් මඩුවේ වූ ලී බංකුවේ ඈඳි ගතිමු.

ගණිත ගුරුතුමා වස බැවින් අපි අත්තම්මා පත්තු කළ කුප්පි ලාම්පු එළිය වැටි කුඩා ලී මේසයේ දෙපස වාඩි ගෙන ගණන් හදන්නට පටන් ගතිමු. එක ගණනක් හෝ ඉවර කරගන්නට පෙර ඈතින් නොනවත්වා ඇසුණු වෙඩි හඬවල් පේළියකින් සුගුණාත් මමත් උඩ ගොස් බිම වැටුණු හැටි! "අත්තම්මා.." යාන්තමට සිහි එළවා ගත් මම කුස්සියට පැන ගතිමි. සුගුණාද මා පිටුපසය. "කොටි..කොටි" මට කීමට හැකි වුණේ එපමණකි. "ඇයි ඇයි කොහෙටද කොටි ඇවිත් තියෙන්නේ" අත්තම්මා මහ හඬින් ඇසුවාය. අත්ලෙන් ඇගෙ මුව වැසූ මම කුස්සියේ ලාම්පුව නිවා කුස්සියෙන් මෙපිට විවර ආලින්දය තුළින් ගෙට පැන ගතිමි. දොර වසා පොල්ලකින් තද කළ සුගුණා කුප්පි ලාම්පුවක් අතට ගත්තාය. "සොල්දරට නඟිමු. සොල්දරට නඟිමු" මම කීවෙමි.

සොල්දරයට නැඟීමට වූයේ පටු ඉනිමඟකි. හැංගිමුත්තන් කරන වෙලාවට සොල්දරයට නැඟීමටත් කිසිවෙකු සොල්දරය සොයාගන්නා බව හැඟී ගිය විට උළු ඉවත් කර වහලයට නැඟීමටත් ඉන් පසු දෙලුම් ගස දිගේ මිදුලට බැසීමටත් මම පුරුදු වී සිටියෙමි. සොල්දරයේ විශාල පෙට්ටගම් අහුරා තිබුණු අතර ඒ විශාල පෙට්ටගම්වල සීයාගේ කවි පොත්, මුවන්තිස්ස කුමාරයාගේ කතාව, බඩහැලිගේ කතාව වැනි කතා පොත් රාශියක් බහා තිබුණි.

සුගුණා ආ වේගයටම සොල්දරයට නැඟය නතර වුණේ. ඒත්, අත්තම්මා! අත්තම්මාව සොල්දරයට නග්ගන්නේ කෙසේද? "දැන් කොටි ළඟ ළඟ එනව ඇති" මට හැඬුම් එන්නට එයි. "සොල්දරේට නැඟගත්තොත් උන්ට එන්න බැරිවෙන්න ඉනිමඟ තල්ලු කර දාන්ඩ පුළුවන්" සුගුණා රහස් ස්වරයෙන් කියයි. "ඊට කලින් උන් එයි. අපි ඔක්කොම කපෝතියි."

"ඉක්මන් කරන්න. අපි එළියට පනිමු." දොර ලී දමා තද කොට වැසූ දොර ඇර ගත් අපි අත්තම්මාත් ඇදගෙන එළියට පැන්නෙමු. යළි නිසලභාවයට එළඹ ඇති රාත්‍රිය තුළින් අපට අපගේ හද ගැස්මත් ඇහෙන තරමි. 'ගිඩි ගිඩිස්.. ගිඩි ගිඩිස්' මගේ මුළු ඇඟම දහදියෙන් තෙත්ව ගොස් වැන්න. අවට සැලෙන තුරුපතක් පවා අපව බිය වැද්දීමට සමත් හැටි! අප දෙදෙනාට නම්, දුවන්නට හරි පුළුවනිය. ඒත් අත්තම්මා දමා යෑම කිසිසේත් කළ නොහැක.

"අපි වත්තට යමු" සුගුණා කියයි. "උන් වත්තට එයි" මම කියමි. කුඹුරු දෙසට පලා යෑම හැර වෙන විකල්පයක් නැත. රාත්‍රිය පුරා විසිර ගිය මන්දාලෝකය නොවන්නට අපට අපගේ මුහුණුවල ඡායාව පවා නොපෙනෙන සුලුය. කළුවරේ අත පත ගාමින් අපි වත්ත අයිනින් වැටි ඇළ කණ්ඩිය දිගේ සද්ද නොනගා ගමන්කරන්නට වීමු. කොයි මොහොතේ කොයි දෙසකින් උන් කඩා වදීදැයි මම දෙගිඩියාවෙන් පසු වීමි.

ටිකිරි මාමාගේ කුඹුර තෙක් ඉහළ නැඟුණු අපි එකවරම කඳු පාමුලින් මතු වූ එළි පේළියක් දැක ඉද්දගැසුවාක් මෙන් නැවතුණෙමු.

"උන් අපි දකියි" සුගුණා අඬන්නට වූවාය. "දැන් වෙන කරන්ඩ දෙයක් නෑ.. ගොයං ගස් යටට පාත්වෙමු" මම කීවෙමි. ටිකිරි මාමාගේ කුඹුරේ ගොයම් පැසී ඉහළ නැඟී තිබුණු අතර අපි තවත් අඩියකුදු නොතබා ගොයං ගස් යට වැතිර ගතිමු. කන්දෙන් බැස ආ එළි පේළි හෙල්මළු වෙල් ලියදි පසු කොට පහළට ඇදී එනු පෙනේ. මම හිස බිමටම හොවා ගතිමි. මගේ හිත එහෙත් බෙරයක් මෙන් හඬ නඟන හැටි! අප සිටි වෙල් ලියැද්දට ආවොත් ඔවුන් අපව දකිනු නිසැකය.

මොහොතකින් හිස ඔසවා බැලූ මට පෙණුණේ පහළට ඇදී ආ එළි පේළිය අප සිටි ඉසව්ව පසු කොට පහළටම ඇදී ගොස් ඇති බවය. මම සුගුණාට වැළමිටින් ඇන සැනසුම් සුසුමක් හෙලුවෙමි. තවත් වේලාවක් එහිම සිටි අපි යළිත් නිවස වෙත සේන්දු වුණෙමු.

රාත්‍රිය ගෙවී උදෑසන පහන් විය. සුගුණාත් මාත් දවල් වෙන තුරු නිදාගන්නට යෙදුණෙන් පහුව දා පාසල් යෑමක් නොවිණි. වෙනදා පාසල් යෑමට කෑ මොර තියන අත්තම්මාද එදින අපව ඇහැරුවේ නැත.

මුහුණ දෙවීමට පහළ ඇළ වෙත ගිය සුගුණාත් මාත් ගෙදර එන විට උදෑසනම කුඹුරට ආ ටිකිරි මාමා අපේ ගෙදර ඉස්තොප්පුවට වී බුලත් විටක් හපමින් උන්නේය. "පුතා අද පාන්දරින්ම ආවද?" අත්තම්මා කාරුංගා ගෙඩියක් රහින්නට සැරසෙමින් ඇසුවාය. "අනේ නැන්දම්මෙ, ඊයේ රෑ එක ලියැද්දකට ඌරො ඇවිත්. විනාසයි ගොයං ගස්." බුලත් කෙළ පහරක් ගැසීමට ඔහු කතාව නැවැත්වීය. "ඊයෙ ඊයෙමයි පැලට එන්ඩ බැරි වුණේ. ඊයෙ බිබිලෙ තිබ්බ සංගීතෙට ගියානෙ කොල්ලොත්. ඇහුණෙ නැද්ද එකරාමෙට මල් වෙඩි සද්දෙ"

Picture - Sarah Afonso, from Lisbon, Portugal (1889 - 1983)

Monday, November 10, 2014

Translation of 'මේ කවිය විසි කරමි අහසට'



கன்னத்துக்கு நீயளித்த அறையின் வீச்சில்
உடைந்து தெறித்தது மலையின் சிரசு
இடையறாது குருதியோடும் சதுப்பு நிலமாய் இதயம்
புதைந்தது குளிர்ந்த பள்ளத்தாக்கினிடையே


அருளும் பாதுகாப்பும் தரும்படி நாம்
உருவச் சிலைகளுக்கு மலர் வைக்கும்போதும்
நேசித்த மலை பற்றியே முணுமுணுத்தோம்

 தென்னோலைக் கூரையினூடே தென்படும் வானத்தை நோக்கி

வசந்தங்களைக் கேட்டபோதும்
உழைத்துத் தேயும் கரங்களுக்குக் கிடைக்காது ஒருபோதும்
எனவே இக் கவிதையை எறிகிறேன் ஆகாயத்தின் மீது
உறங்குகிறேன் மண்ணின் கீழே வழமைபோலவே


கவிஞர் பற்றிய குறிப்பு - கவிதாயினி ஷஸிகா அமாலி முணசிங்க..

Translated by M. Rishan Shareef

Original Post - මේ කවිය විසි කරමි අහසට
Picture - Chaim Soutine (French, Belarusian origin; Expressionism; 1894–1943)

Saturday, November 8, 2014

සඳ දිය පෙරෙන වන පෙතක අසබඩ..



සඳ දිය පෙරෙන වන පෙතක අසබඩ
වැතිරෙන්න ඔබ ගිරිකුළක් මත මිත
රාත්‍රිය දෙවියන්ය ඔබ හදට අමතන

ගිරි ඉස වැතිර හිනැහෙන තාරුකා අහුරක් ගිලිහ
සිලි සිලි නදින් ගඟ මත මවයි මිණි මෙවුල
එවන් රැය නුඹ හද 'ගිස වැතිර
වැළපෙන්නේ හිනැහෙන්නේ කුමක්දැයි මිතුර
ගයනු මැන!

Picture - Nathaniel Skousen, American

Friday, November 7, 2014

ඔබවම මතක් කරවන: A gift worth waiting for



Written by Manel Kusum Renu Fernando

සමුදුරු කීපයකින් ඈත
දේශයක හේමන්ත කාලයයි, මේ වගෙම
ගැහැණු පිරිමි ළමා ළපටි
එහා මෙහා ඇවිදිති උද්‍යානයක
බිම විසිරි තුරු පත් මතින්
කහ තැඹිලි රතු පෑති

තරුණියන් රෑනක්
සිනා මුසු මූණින් කැමරා කාචයකට එබීගෙන
රතු පෑති ජපන් මේපල් තුරු යට
නිදන දිව්‍යත්වයෙන් මත් වී
නටන යුවතියක ඇස්

කොහොම නම් සිර කරන්නද
සුන්දරත්වය ගෙන දෑලට
සුළඟ හා නැළවෙමින් ගිලිහෙන
පත් විසිර යන කල ඈතට

දිවයයි ඈ අහුලනු පිණිස පත්
සඟවයි කීපයක් පොතක පිටු අතරත්
"ඈටත් ඇති මට වගෙම යෙහෙළියක්
මේපල් පතකටත් පෙම් බඳින යෙහෙළියක්"
මට සිතෙයි

මේ සියලුම දසුන් මට ඔබවම මතක් කරවන
සයුරක කුඩා බිම් තිතක - පුංචි නුවරක වසන
ඔබවම මතක් කරවන


Picture - Laura Nydia Lozano

Thursday, November 6, 2014

අකැමතිද සුළඟ හා නැටුමකට?



අකැමතිද සුළඟ හා නැටුමකට
විසිතුරු පෑති චුම්භන විසි කරන්නට අහසට
චිත්‍රයක් අඳින්නට බරාඳයට වී නිසලව
චිත්‍රපටියක් බලන්න හිම කිරමක් රස විඳින්න?

Picture - Al Hogue

Wednesday, November 5, 2014

නිවාඩු දිනය ප්‍රීතියෙන් නිම කරමි



නිවාඩුව මහත් ප්‍රීතියෙන් අරඹමි
උදෑසන අටට නැඟිටිමි
අසුනකට වැද මඳක් ළත වෙමි
එළවලු කපමි
ලූණු තෙල් දාමි
කියවනු පිණිස කවියක් නැවතෙමි
සුළඟට ගිලිහ ගිය මේපල් පතක් ගැන සිතමි
කරවිල බැඳුම කරවීමෙන් ඇහැරෙමි

දවල් වන තුරු උයමි
මිදුල වල් ගලවමි අතු ගාමි
මල්වලට සප්පායම් කරමි
කොළ පමණක් මන්ද විමසමි
තෙත් කර මුළු මිදුල වතුර නාවමි

ගෙය තෙත මාත්තු කර හැඩ දාමි
උදෑසන සැදිය යුතු මල් බඳුන සවස් කල සදමි
තේ හදමි පළතුරු කපමි
අත් පෙඟෙන තුරු රෙදි සෝදමි

කඩපොළට යමි බඩු ගෙනෙමි
විදුලි ජල බිල්පත් ගෙවමි
වේලුණු රෙදි ගෙතුළට ගනිමි
අල්මාරි අස් කරමි කූඹි පලවා හරිමි
රෑ කෑමට එන මිතුරන්ට සංග්‍රහ කරමි

ලිවීමට පැවරුම් ඇති බව සිහි කරමි
අන්තිම දිනට කල් දමමි
සාරි මදිමි පොට නවමි
පණිවිඩවලට පිළිතුරු නොලියාම පරිගණකය නිවමි

නිවාඩු දිනය ප්‍රීතියෙන් නිම කරමි

Picture - Childe Hassam, American, 1859-1935

ජීවිතයට ඇති සමාන පදයකි



ජීවිතයට ඇති
සමාන පදයකි මරණය
කිසිවෙකු උගන්වනු නැත ඔබට
උගත යුතු ඔබ විසින් තනිව

අවසන් වන්නේ නැත මරණයෙන් ජීවිතය
ඒ හා ම ජීවිතයෙන් මරණය
කවර වෙනසක්ද ජීවිතය හා මරණය අතර?

Picture - Amalia Iuliana Chitulescu

රැජිණ පාරෙහි පුරුදු ලෙස



රන්වන් පාට ගෑ ආකාසය තුළින්  මතුව
ස්වර්ගය ඈතින් පෙනෙන කල
ඇවිද යමි ඉරිදා සවස් කල
රැජිණ පාරෙහි පුරුදු ලෙස

ඉඳහිට අත්භූත විලාසෙන් යනෙන
මෝටර් රථයක් මිස වෙනත් කිසිවක් නොවන කල
දැඩි තනිකමක් පැමිණ, ඇවිද යයි මා හා පෙළට
ජීවමානද කියා මා, සැකයකි නැඟ ම'සිත

සට සට ගා වැහි බිඳු වැටෙන කල
විසිවෙමි ස්වර්ගය මතුපිටට
සුළඟට බිම වට තුරුපත් අහුලන
තරුණයෙකි පටු මං පෙතක කෙළවරක....විස්මිතව

Picture - Amalia Iuliana Chitulescu

සාදය



සාදය පටන් ගැනුමට ආසන්න වන විට
ඔබ රිවෝල්වරය ගෙන මා අත තැබීය
ඉන් පසු බැලේ නැටුමක්
දිලෙන්නට විය සබා ගැබ මැද

මම පාත්තයෙකු ගෙන
විසි කර දැමීමි ඉවතට

ප.ලි. - අහිංසක පාත්තයෙකු නොවන බව කරුණාවෙන් සලකන්න

Picture - Elena Kukanova