Wednesday, November 5, 2014

නිවාඩු දිනය ප්‍රීතියෙන් නිම කරමි



නිවාඩුව මහත් ප්‍රීතියෙන් අරඹමි
උදෑසන අටට නැඟිටිමි
අසුනකට වැද මඳක් ළත වෙමි
එළවලු කපමි
ලූණු තෙල් දාමි
කියවනු පිණිස කවියක් නැවතෙමි
සුළඟට ගිලිහ ගිය මේපල් පතක් ගැන සිතමි
කරවිල බැඳුම කරවීමෙන් ඇහැරෙමි

දවල් වන තුරු උයමි
මිදුල වල් ගලවමි අතු ගාමි
මල්වලට සප්පායම් කරමි
කොළ පමණක් මන්ද විමසමි
තෙත් කර මුළු මිදුල වතුර නාවමි

ගෙය තෙත මාත්තු කර හැඩ දාමි
උදෑසන සැදිය යුතු මල් බඳුන සවස් කල සදමි
තේ හදමි පළතුරු කපමි
අත් පෙඟෙන තුරු රෙදි සෝදමි

කඩපොළට යමි බඩු ගෙනෙමි
විදුලි ජල බිල්පත් ගෙවමි
වේලුණු රෙදි ගෙතුළට ගනිමි
අල්මාරි අස් කරමි කූඹි පලවා හරිමි
රෑ කෑමට එන මිතුරන්ට සංග්‍රහ කරමි

ලිවීමට පැවරුම් ඇති බව සිහි කරමි
අන්තිම දිනට කල් දමමි
සාරි මදිමි පොට නවමි
පණිවිඩවලට පිළිතුරු නොලියාම පරිගණකය නිවමි

නිවාඩු දිනය ප්‍රීතියෙන් නිම කරමි

Picture - Childe Hassam, American, 1859-1935

14 comments:

  1. නිවාඩු කියල සහතිකද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, අද නිවාඩුනේ :)

      Delete
  2. නිවාඩු දිනය තුල හුස්ම ගන්නවත් නිවාඩුවක් ලැබුනාද සැකයි. ඒත් සතුටින් ගත කරලලු. ඒ කියන්නේ හැමදෙයකම ප්‍රීතිමත් බවක් දකින්නෙක් .හැමදෙයක්ම සතුටින් කරන කෙනෙක් ;)

    ReplyDelete
    Replies
    1. ප්‍රීතිය නොවෙද උත්ප්‍රාසය?

      Delete
  3. සතුටින් වැඩ කරනවානම් හැමදාම නිවාඩු වගේ තමා!!

    ReplyDelete
  4. සතුටින් සැමදා මේ ලෙසම ගෙවේවා! සිතේ සතුට සදා සතුටයි.

    ReplyDelete
  5. වැඩට ගියා නං‘ මීට පහසුයි..

    ReplyDelete
    Replies
    1. ඒකනේ අපි වැඩට යන්නේ..

      Delete
  6. අකැමතිද සුළඟ හා නැටුමකට
    විසිතුරු පෑති චුම්භන විසි කරන්නට අහසට
    චිත්‍රයක් අඳින්නට බරාඳයට වී නිසලව
    චිත්‍රපටියක් බලන්න හිම කිරමක් රස විඳින්න?

    ReplyDelete
    Replies
    1. ඒකනේ.....එහෙමනේ කරන්න ඕන....නිවාඩු නම් නිවාඩු.

      Delete
    2. ඒ වුණාට අරහමනේ වෙන්නේ අරූ! :)

      Delete
  7. සික්..පුදුම ළමයි...පෝයත් වෙලා යන්ට එපා පන්සලකට එහෙම...

    ReplyDelete