Monday, November 24, 2014

අරුමැසි මල් උයන


මහා අඳුරත් සමඟ කළු බණ්ඩා අඩිය ඉක්මන් කළේය. අන්ධකාරයේ සැඟව යන කනමැදිරි එළියක් බඳුය ඔහුගේ විදුලි පන්දම. ඔහුගේ නිවසට දොරගල කඳුවැටියේ හරි කාලක් තරම් වූ දුරක් යන්නට තිබුණු 'මුත් කලු බණ්ඩාට එය ඒ හැටි කජ්ජක් නොවේ. කළුවරේ ගාටන තරමට වුව ඔහුට පාර වලංගුය.

වනගුලාවට පිවිසෙන අඩි පාර වැටෙන්නේ ගල් ඔය අද්දරිනි. හවස වැටි වැහි පංගුවට පාර ලිස්සන්නාක් වැනිය. ගල් ඔයෙහි හෝ හෝ හඬත් රාත්‍රිය දෙදරුම් කවන රැහැයි හඬත් ඔහුගේ කන් අගුළු ලා වැනිය. පාළුව යන්නත් එක්ක කයියක් කියන්ඩත් ඔහුට හිතෙන්නේය.. වෙනදා පාලුවටත් එක්ක පස්සෙන් වැටී එන බලු නගුටාවත් නැති හැටි..

එක හැල්මේ ආ කළු බණ්ඩා ගල් ඔයෙන් එගොඩ වන්නට විය. හවහ වැස්සට වතුර වැඩි වී ඇති බවක් ඔහුට දැනුණි. පය යන්තමට ලිස්සා යෑමක් සමඟ ඔහුට යන්තමට ඉහළ බැලුණේය.

අ..හා! කවර දර්ශනයක්ද බඹර ගල! බඹර ගල දොරගල සතු එක්තරා සලකුණකි. උස් වූ ගලකි. එහි එක් පසක් හෙළකට මුව ලා සිටී. ඒ පස විශාල බඹර ගෝඨ සිය දහසකි. ගලට නම වැටුණේද එහෙමය. කළු බණ්ඩා සිය ඇස් මුදාගත නොහැකි ව තවමත් බලා සිටී. බඹර ගල වසා සිටින තනි රක්ත සේලයකි. එය කළුවර පළුදු කරමින් දර්ශනය වෙයි.

වහා බිම බලා ගත් ඔහු තවත් අඩිය වේගවත් කළේය. බඹර ගල පසු කරනවාත් සමඟ හිතේ නැඟි අමුතු ඝෝෂාව පහව යන්නාක් මෙන් ඔහුට සිතිණ. හැරී නොබැලූ ඔහු තව තවත් ඉදිරියට ගාටයි. තවත් වේගයෙන් යන්නට බැරි මෙනි. පාර අසල ගලක් දුටු ඔහු එක් වරම එහි හිඳගත්තේය. ඔහු සමඟ තවත් කෙනෙකු ගල මත හිඳ ගති.

කළු බණ්ඩා හැරුණේය. අහා, අතිශය මනෝඥ ස්ත්‍රියකි. ඔහුට සිතෙන්නේ එපමණකි. ඇයගේ දෑස ඔහු පතලක් කරන කල ලැබුණු මැණික් ගල මෙන් දිස්න දෙයි. ඇගේ අක්බඹරු කෙස්! එතරම් ලක්ෂණ කෙස් කළඹක් ඇයට කොහෙන් නම් ලැබුණාද? ගෙදර උන්දෑටත් මෙහෙව් කොණ්ඩයක් නැති හැටි.. ඔහුට ඇය අල්ලා බලන්නට සිතෙයි. මේ ගණාන්ධකාරයේ කවුරු දකින්නද? එහෙත්, විනීත ස්වරයෙන් ඔහු මෙසේ කීවේය. "යං ගෙදර"

ඇයද ඔහුට අවනතය. ඔහු ඉදිරියෙන් යයි. නැවත ඇය එනවාදැයි හැරී බලයි. තවත් මඳ දුරක් යයි. නැවත හැරී බලයි. පාරේ කටු පඳුරු, ගල් බොරළු නොතකා ඇය ඔහු හා එන්නීය. පතා ආවක් වැනි යැයි ඔහු සිතයි.

තවත් හෝරාවකින් ඔහු ගෙට සේන්දු වුණේය. ඇය ගෙමිදුල නැවතුණේ එක වරම ගෙට එන්න බෑ වගේය. කන්දට හරක් පැන හොයන්නට ආ විදානේ ඇත්තෝද අමුණේ උන්දෑද ඇතුළු කීපපොලක්ම ඉස්තෝප්පුවට වී විට හපමින් සිටිති.

"එන්න එන්න" තවමත් ඔහු අත වනයි. භවෙන් භවේ පතා ආ බිරියක් වැනි ඇය මිදුලෙහි රැඳෙන්නේ ඇයි? හාමිනේ ගැනවත් නොතකා ඔහු අතවනයි.

"කාටද උඹ ඔය අත වනන්නේ" අමුණේ උන්දෑ විදානේ උන්දෑ දෙස ඇහැ කොණින් බලමින් කළු බණ්ඩාගෙන් යමක් අවබෝධ කොට ගත්තාක් මෙන් අසයි. ඩිංගිරි මැණිකේ ගල් ගැසී මෙන් බලා හිඳී. "ඉක්මනට ගනින් ඔය කණ්ණාඩියක්" අමුණේ උන්දෑගේ හඬින් තිගැස්සුණු ඈ පිළිකන්නේ එල්ලා තිබූ කණ්ණාඩි කෑල්ල රැගෙන දුව එයි.

විදානේ උන්දෑ කණ්ණාඩිය එළියට හරවා බලයි. එළි පහළිය වෙනුවට අරුමයකි, අරුමැසි මල් උයනක් මතුව එයි. මල් උයන තුළින් යාන්තමට රත් පෑ සේලයක් ඇදී එන කල.. "ඉඳා,, උඹට" අමුණේ උන්දෑ කණ්ණාඩිය බිම වැටෙන්නට ගසයි. ඒ හා ම, සිහි මූර්ජා වූ කළු බණ්ඩා පිල මත වැටී සිටිනු පෙනෙයි. "කණ්ණාඩියෙන් ඉතුරු රඟ දැක්කා නම්, අපට වෙන්නෙත් ඔය හරිය තමා. අද මෙහෙම හිටු" අමුණේ ඇත්තෝ කියයි.

හදවත පලා එන මහත් වේදනාවක් කළු බණ්ඩාට දැනෙයි.

Picture - Daniel Maclise, 1806-1870

7 comments:

  1. මා විශ්මයට පත්වන්නේ සියල්ල කියවා නිමකොට, බොහෝ වේලා ගතවූ පසුය... :-O

    ReplyDelete
  2. පට්ටයි...
    ඔයාගෙ කතාවත් කවියක් වගෙයි...
    අපූරුයි

    ReplyDelete
  3. අපේ මීමුත්තෙකුත් පාරේ හිටපු යකින්නියෙක් අරන් ඇවිත් ගෙදර වැඩ ගත්තලු.. මිනිහට නම දාලා තිබ්බෙ යම රජ්ජුරුවෝ කියලා.. මේ භාෂා විලාශය කතාවට නොගැලපේ.. යම් තැති ගැන්මක් ඇති කළ හැකිව තිබුනි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම, මේ වගේ වෙලාවට බය හිතෙන් නෑ.. බය හිතෙන්නේ හුඟ වෙලාවක් ගියාට පස්සෙයි! :)

      Delete
  4. අපූරුයි කඳූ.... ලස්සන හීනයක් දැක්කා වගේ.

    ReplyDelete
  5. ස්තූතියි හැමෝටම!

    ReplyDelete