Monday, September 14, 2015

සුදු නෙළුම් මල මියැදී ගියා



පිය සමර දහසක් තියා
සුදු නෙළුම් මල මියැදී ගියා
යළි හමුවෙන්න පැතුමක් තියා
නිල දියෙන් නික්මී ගියා

Picture - Richard Childs http://bit.ly/1LbnpTI

කවිය රෝගයකි



කවිය රෝගයකි
ප්‍රේමය පිළිකාවකි
තද කරන්නෙය සිය ගැට
මිදිය නොහැකි වන ලෙස

Picture Source - Faerie Magazine Copyright- Anonymous

සමාවෙනු මැන සකිසඳ; මගේ ආදර පළමු කාරය



එම්බා යෞවනය
වසන්තෝදයෙන් විකසිතව ඔබ
ඔසවා මා ගෙන ගියේය කඳුකරයට
තද නිලැති කියුඹු වැල් ගසා යද්දී සුළඟට
මේ ලොව මිහිරිම වචන
ගායනා කළෙමු අපි දෙදෙන

පණ'කුරුවලින් පිරී ඔබ සිටියෙහිය මඳහසින්
කඩවසම් ගත කුල්මත් කළේය මා සිත
කඳුකරයේ ඇතැම් රාත්‍රීන්හි
ඔබ උර මත නිදා නයනාභිරමණී අහසට කතාකළෙමු අපි
ලිස්සා යන තරුවලට ඇමතීමු මහ හඬින්

අප්‍රාණවාචික බවක් නම් හඟවා නැත කිසි දිනෙක ඔබ මට
මා සිටියේ ඔබ උර වැළඳගෙන එවන් විට

වැහි අඳුරැති අද හවස
සයොනාරා කීමට
පැකිළෙන්නෙ හිත
ඔබ අතැර යනවාට
සමාවෙනු මැන සකිසඳ

Sunday, September 13, 2015

මිහිරි වීණා නාදයක් මෙන්



සෙයිබා ගස් ගැන අප කතා කළේ දිගු රාත්‍රීන්වල
ඉක්මනින් සෝවාන් වෙන්න එපා කියලා හිනා වුණේ ඔබ
පොඩි ළමයෙකුගෙ පැන කුණාටු වගේ විසි වුණේ කවුළුවෙන්
ඊයේ රෑත් මම දැක්කා උත්තර ලියනවා ඔබ මට
ඔබ ළඟයි තිබුණෙ හැමදේටම උත්තර

පැවරුම් කොපි කරන්න දෙන්නද හිත හිතා ඉඳලයි ඇහුවෙ
අනියම් ප්‍රේමයන් ගැන පිළිකුලයි මම කිව්වෙ
ඉංග්‍රීසි රෝගියා ළඟ ගල් ගැහුණෙ හීතලට 'හෙම නොවෙයි
මඩ වලවල්වල වැටුණමයි ඔබ හිනැහුණේ 'සිනා!'

කෑලි කැපියැහැකි ගනඳුරයි හැමතැනම
ඔබ කොතැනද නොදන්නෙමි මම
හිස ගසා ගෙන පොත්වලින් පිරී අවුල් වී ගිය මේසයට
ගිය පාර පොත් සල්පිලේදී 'බත් අරන් දෙන්නද?' අහපු හැටි මතක් කරනව තාම

සන්ධි ගැන විසන්ධි ගැන සිංහල වචන ගැන තාල තත්සර ගැන ආයෙ කතාවක් නැතුවද
ඔබේ බුනීල මල් සහ මගේ කූඩලු මල් ගංහෝ දියෙන් 'වට තැනි තලාවෙන්
මිහිරි වීණා නාදයක් මෙන් නික්මුණේ ඔබ
සදාකල්හිම සවන් තුළ රැව් දෙන, ජීවිතය අමතන
මිහිරි වීණා නාදයක් මෙන්

Picture -  Andreas Wonisch Landscape Photography

පිය සමර,



මගේ කවි පොත්වලට
අඩුවක් නොදැනෙන්න
පෙර වදන් පසු වදන් ලියා
නික්ම ගොස්
ඔබ

Picture - Holyrood Abbey - Edinburgh By David P http://bit.ly/1i4cxAb

ඔබ ලියූ සියලු කවි වසරකදි නිම වුණු හැටි



එක වසරයි ඇතැම් විට
ඔබට තබාගන්න පුළුවන් වුණේ විවාහය
සුළං මෝලක ගැටී නන්නත්තාර වන වා බිඳක් මෙන්
නික්ම ගියේ ඔබ

විදුලි වේගයෙන් දිව යන ජල රථයක
රළු පරළු පයකට හසුව විසිර යන දිය බිඳක් මෙන්
මැකී ගියේ ඔබ
ඔබ දෙතොල් මත ලියූ කවි
ග්‍රීෂ්මර්තු සුළඟින් සදහටම වියැළුණි

අස්ව ලොම් පීරන සුළං දැති රැළි මතින්
තණ නිල්ල මත ඇවිද ගිය නිදහස නිමා විණ
මල් පිපෙන්නට නොහැකි තරමට බුබුළු ලූ දිය තලයක
පොපියමින් ප්‍රාර්ථනාවෝ පහළ බැස ගති

Picture - Ballysaggartmore Towers, in Ireland! http://bit.ly/1shzvnM

Tuesday, September 8, 2015

ඒ අපූරු ආකාශය



අළු පැහැයත් කළු පැහැයත් මුසු වූ අඳුරෙහි සුලලිත ලීලාවන් තැනිතලාවේ සන්ධ්‍යා සමය සිපගද්දී ගෝනුන්ගේ ඇස් නිල් පැහැයෙන් බැබළෙන්නට විය. මිහිදුම හීන් සුළඟ හා මුසු වී ගසා එන්නට පටන් ගත් තැන කුඩා තණ පඳුරු ශීතෙන් හිස නවා ගති.

තැන්න එපිටින් දෙව්ලොවෙහි විදුලි බුබුළු දල්වෙන'යුරු නොදුටු විලාසෙන් කඳුකරයට ඇහිපිය සැලිය හැකි වෙද? ඒ අපූරු ආකාශය ජීවිතයේ ඇති ඉතාම සොඳුරු බව පුරවාගෙන රාත්‍රී සාදයට සූදානම් වෙමිනි! අඳුරත් ආලෝකයත් එකට මුසු වූ තැන, බලන්න මන්දහාසීව වලාකුළක ඇති හැඩ!

ඒ ආකාශය දැන් අතීතයය. එහෙත්, එය මැවූ සෞන්දර්යය සදාකල්හිම අධ්‍යාත්මය වසා පවතින්නේය.

Picture -
© Kusal Kanushka Suraweera

Monday, September 7, 2015

එතරම් පාළු සැන්දෑවක

 

ඇතැම් විට මට කියන්න
ඔබේ නම කවියක් වැනිය
පිනිබිඳු මුතු කැට වගේ දිලෙන කොට
සන්ධ්‍යාව කොතරම් අගෙයිද..

හරි ගනයි මිහිදුම
දොළ පාර කට කට හඬින් ගැහෙන තරමට
නිම්නය වටා දිගු අත් විහිද
වැළඳ ගෙන සිටී මිටියාවත

එතරම් පාළු සැන්දෑවක
යන්න ගියේ ඔබ

Picture - Kusal Kanushka Suraweera, Sri Lanka

Thursday, September 3, 2015

මරණය පෙම්වතෙකු සේ වැළඳ ගමි



මරණය පෙම්වතෙකු සේ වැළඳ ගමි
පියෝනී මල් සුවඳ ගඟ දියට ඉහළින් සුළඟ හා මුසු ව ගලා යයි
වස්දඬු රැවින් මුසපත්ව කඳු මුදුන් අත වනයි
මරණය පෙම්වතෙකු සේ වැළඳ ගමි ඉතින්

තිබිණි බෝ යහ පැතුම් පොබවනු වස් හැකි ලෙසින්
එඩි නොපෑ'මුත් හඬමින් දැරූවෙමි ගල් මුල් සුළං
රන් පෑන් ගෙන අතින් නොලියූ බැවින් 'කුරු බැහැර වූ යුතින්
මරණය වුණත් වැළඳ ගමි මුළු හදින් හද බැතින්

මුළු මහත් එළියම අල්ලාගෙන සිටි බැවින් මිසදිටු දන
අඳුරෙහි සොයා ගත හැකි වුණි සිහිල් පෑ අමොඳ මල්
දේදුනු දුටුවෙමි එකදු එළියක් නොමැති කළුවර කල
ඉතින් අවසර මිදී කළුවෙන් අත වනමි නව එළියට

Picture - www.shelbyrobinsonphotos.com/