Sunday, May 17, 2020

ඒ තමයි මාද මා සොහොයුරියනද මරා දැමූ තැන

වික්ටෝරියානු රහස් කිසිවක් නැත එම කවුළුවෙහි
සුවඳකට පවා අංක දුන් තැන
ඒ තමයි මාද මා සොහොයුරියනද මරා දැමූ තැන
අමු ලේ සුවඳ සහ සැරව ගඳ
සුවඳකැයි බොහෝ දන ස්ව පැවැත්මම උදෙසා
බජන් ගී ගැයු තැන

කොතරම් වැස්ස වැස්සද නොමැකෙයි යළි යළි අලුත් වෙන ලේ ගඳ
කිසි දාක නොමැකෙන දූවිලි සැර
දැක මා මිතුරියන් වික්ටොරියානු රහස් ගැල්වූ කවුළුව
වැළපෙයි ‘වද හිංසාව නම් සිර ගෙය, යදම්ය හිමි එයට මගෙ රට’

ඒ තමයි මා අත පෑන උදුරා බිම දැමූ තැන
කවි ලියූ හදවත සිඳූ තැන
එතැන් සිට මිතුරනට සුබ පතා නොමැත්තෙමි මම
පණිවුඩයකට උත්තර ලියා නැත
සමීපතම දුරකථන ඇමතුමකට පවා
පිළිතුරක් දී නැත

ඒ තමයි මාද මා සොහොයුරියනද මරා දැමූ තැන!

Friday, April 17, 2020

Ocean Awareness

මුහුදු සිංහයින්, මුහුදු සමනලුන් කොරල් පර ඈතට ගිහින්
මහ සමුදුරත් දැන් ඉකිගසන වැළපුමක්
හෝ හෝ කියා
ඔබේ මුදු කන් පෙති පවා
සමුදුරෙහි ගායනාවට බිහිරි වෙලා

සර සර හඬ නඟන මුහුදු ලිහිණන් පවා
තටු සලන දුක රැගෙන ඈතට ගියා
විස දියෙන් මහ මුහුද නැහැවුණා
හුස්ම ගන්නට පවා බැරි වුණා

විනිවිද පෙනෙන මුහුදක කිරි කවඩි සිනා
කතන්දරයක මුතු බෙල්ලො තනි වුණා
විසල් සමුදුරක් ඕනෑ කියා
ලියූ එළිසම කවිය විසිරුණා

- ෂසිකා අමාලි මුණසිංහ