Tuesday, October 6, 2020

Ministry of Success, පූස් වලිග සහ සෝවාන් වීම


මං ආවෙ කැට් ස්ටෝරි එකට. මට ඕන වෙලා තිබුණා පූස් වලිගයක් මිලට ගන්න. උස ගොඩනැඟිලි අස්සෙන් වැටිල තිබුණ, වික්ටෝරියා පටු මඟ දිගේ ඇවිදගෙන එන අතරෙ මං හිතුවෙ සුදු පාට සෙරමික් වලිගයක්ද අලු පාට එකක්ද තෝරගන්න ඕන කියල.
ඒක ලස්සන උදෑසනක් හිරු එළිය වික්ටෝරියා පටුමඟේ පුස්තකාලයේ වීදුරු ජනේලවලට වැටිල දිලිසෙමින් තිබුණෙ. මන් ඒක පහු කරන් ග්‍රෑන්ඩ් පැසිෆික් හෝටලය ඉස්සරහින් සුදු ඉර පනින්න හදනකොටයි දැක්කෙ, ෂේන්යා ලොබියට වෙලා පත්තරයක් පෙරළනව.
මං දැක්ක හැටියෙ, ඇගේ ඇස් දෙක විස්මයෙන් ලොකු වුණා බළල් තඩියෙක්ගෙ වටකුරු ඇස් දෙකක් වගේ. කැරට් බීම එකක් බොන්න ඕනෑ වගේ මමත් පැසිෆික් සාගරේට ඇතුළු වෙලා සැප පහසු පුටුවක කිමිදුණා.
"මං ඔයාටයි මටයි දෙන්නටම හරියන දෙයක් හොයාගත්තා" ෂේන්යා කිව්වා.
"කොහොමද නෙක්ස්ට් ජෙන් ගව් චැම්පියන් කෙනෙක් වෙන එක"
"කොහොමද ඒ?" මං ඇහුවා.
ඇය කියවන්න ගත්ත ලතාවට, අත තිබූ පත්තරේ දිහා බලාගෙනම.
"ඇරෙ යොඋ අ පුබ්ලිc ඔෆ්ෆිcඉඅල් ව්හො වන්ට්ස් ටො මකෙ අ චන්ගෙ? ‍යොඋ cඅන් බෙcඔමෙ අ නෙxට්ගෙන්ගොව් චම්පිඔන් ඉන් ඡියන්ගෞව්"
"ආව්, අයෑම් අ පබ්ලික් සර්වන්ට් ඇන්ඩ් අයි වෝන්ට් වු මේක් අ චේන්ජ්" මම කිව්වා.
සාගරයේ අනිත් පැත්තට ඇවිදලා අපි කැරට් බීම දෙකක් ඉල්ලුවා. ඒක එන්න විනාඩි තිහක් විතර යන අතරේ අපි දෙන්නා ෆෝන් එකෙන්ම ඉල්ලුම්පත පුරවන්න ගත්තා. මගෙ හිත නිකං උඩ පැන පැන තිබුණෙ වොලිබෝල් චැම්පියන් කෙනෙක් වගේ. මට ඒ විදිහට පූස් වලිග අමතක වෙලාම ගියා.
මුලින්ම තිබුණෙ ඔබ ගැන විස්තරේ ලියන්න.
"මම පා ඕ. හරියට සමනල පෙත්තක් වගේ. හුළඟක් ආවොත් ගහගෙන යන්න පුළුවන්. ඒත් හරියටම ගහගෙන යන්නෙත් සංදර්ශනයක් වගේ.."
ඊට පස්සෙ දිගටම ලියන්නයි තිබුණෙ. සේවා කාලයේ සාර්ථක වූ අවස්ථා, අසාර්ථක වූ අවස්ථා, අසාර්ථක වීමට හේතු, උගත් පාඩම් වගේ ඒවා..
"අසාර්ථක වීමයි අසාර්ථක කිරීමයි එකක්ද දෙකක්ද?" ෂේන්යා ඇහුවා. අපි දෙන්නා මූණට මූණ බලාගත්තා.
ශේන්යාත් මාත් වැඩ කළේ චියැංගෝවේ එකම ඔෆීසියක. අපි එන කාලෙ ඒක තිබුණෙ සිල්ලර කඩයක් වගේ. එතැන වැඩ කරන අය පඩිත් ගන්නව, ෆයිල් එකෙන් එකට සල්ලිත් ගන්නවා. ගෙදර යන්නෙ පොළේ ගියා වගේ. එක එක්කෙනා තම තමන්ගේ වැඩ කරගන්න තේ, කෝපි, රසකැවිලි, සාරි, අයිසින් කේක්, දූරියන්, වෙරළු, නෙල්ලි පවා ගෙනත් දෙනවා. අතිනුත් ගෙනත් දෙනවා බඩු බෙදන්නන් අතෙත් එවනවා.
"ඕව ලියල වැඩක් නෑ. තියෙන නඩු මදිවට තවත් ඒවා වැටෙයි" ෂේන්යා කියනවා.
ලාවට දෙහි දැමූ කැරට් බීම තොල ගෑවත්, ඒසී කාමරේ තාප ශක්තිය වැඩි වෙලා වගේ දැනෙනවා.
"දැන් තියෙන්නෙ උගත් පාඩම් ලියන්න" ෂේන්යා කියනවා.
"රාජ්‍ය සේවයේ සේවයක් කියල දෙයක් කරන්න කොච්චර නං අමාරුද කියල තමයි අපි ඉගෙන ගත්තෙ" ඈ ම කියනවා.
මේක අත ඇරල පූස් වලිගෙ ගන්න ගියානම් හොඳය කියල ඒ ගමන මට හිතෙනවා.
ඊළඟට අහනවා විනය පරීක්ෂණ තියෙනවද කියල. වෙනස කිරීමත් එක්ක බැඳුණු ආතල්ම සීන් එක ඒක බව චියැංගෝවේ කවුරුත් දන්නවා.
"මේකට ඇප්ලයි කරන්නෙ ලොක්කා හරහ නෙමෙයිනෙ. පොඩි ලොක්කව දැනුවත් කරාම ඇති කියලත් තියෙනවා. පොඩි ලොක්කව දැනුවත් කළාද කියල ඊළඟ ප්‍රශ්නෙන් අහනවා.
"චැම්පියන් කෙනෙක් වෙන්න නං මට විතරක් කියල බෑ, ලොක්කගෙන් අවසර ගන්න වෙයි" පොඩි ලොක්ක කියනව.
චියැංගෝවේ එහෙමයි. අර පුරාණ කතාවල එන දෙවිවරුන්ට අමතරව, ආයතන ප්‍රධානී ලොක්කා කියල දෙවි කෙනෙක් ඉන්නවා. එයාට අපට විරුද්ධව ඕනෑ දෙයක් කරන්න පුළුවන්. තප්පරයෙනුත් කාලක් විතර එහෙම දෙයකට යන්නෙ. කරපු වැරැද්ද හරි ගස්සන්න අපි අවුරුදු ගණන් නඩු කියන්න ඕනි. ගෑනු වුණත් පිරිමි වුණත් එයාලට ඉන්නවා අන්තඃ පුර. අන්තඃපුරය ලොක්කව නාවනවා, දෙපා දොවනවා, කවනවා, පොවනවා, සුවඳ ඉහිනවා. ඔය තමා ඉතිං ප්‍රධාන රාජකාරි. ඒකනේ මේ රටට චියැංගෝව කියන්නෙ.
"දැන් මේකට ඇප්ලයි කරන්න පුළුවන් ලොක්ක කැමති නං විතරයි. ලොක්ක කැමති නෑ. ඇප්ලයි කරන්නත් බෑ. සරලයි." මම ෂේන්යාට කිවුවා.
"මේ ඇඩ් එක මේ විදිහට වෙනස් වෙන්න ඕනි." ෂේන්යා කිව්වා.
"කොහොමද?" මම ඇහුවා.
"ඔබ වෙනසක් කරන්න කැමති , ආයතන ප්‍රධානියාගේ ආශිර්වාදය ලත්, රාජ්‍ය සේවකයෙක්ද? කියල."
"කැරට් වෙනුවට සැර මොකුත් නැද්ද?" මං ෂේන්යාගෙන් ඇහුවා.
"ම්-හු" ෂේන්යා කිව්වා.
දැන් දවල් වෙලා. වික්ටෝරියා පටුමඟ අවු රැස්වලින් නෑවිලා. පුස්තකාලෙ වහලය දිස්නෙ දෙනවා ඈතට. හ්ම්, මං කැමති පුස්තකාලෙ බකමූණට.
"රස්සාව මාරු කරන්න ඕනි. මට දැන් ඇති වෙලා"
ඊළඟට අපි ජොබ් පිටුවට ගියා.
"ආ.. මෙන්න, ජජස්ලා ඉල්ලනවා. මං ඇප්ලයි කරන්නෙ ලොක්කිට පේන්න, පේන්න" මං කිව්වා.
"අම්මො, මට නං බෑ, පොස්ට්-මොර්ටෙම් තියන්න" ෂේන්යා කිව්වා.
"හ්ම්, මං හිතන්නෙ, මං දැන් පූස් වලිගයක් තෝරන්න ගියොත් හොඳයි.." මං පැසිෆික්වලින් එළියට බැස්සා. ෂේන්යා හිනා වෙවී එතැනම හිටියා.
දැන් මට පුළුවන් පූස් වලිගෙත් අරන් මූද පැත්තට යන්න. සුළඟ අරගෙන එන සුවඳ විඳගන්න.
මං මුහුද ළඟ බිම වාඩි වෙලා ෂේන්යාට කතා කළා.
"අපට පුළුවන් ලොක්කගෙ පර්මිසන් නැතුව සෝවාන් වෙන්න."
"ඔවු, අපි සෝවාන් වෙමු."
අපි හිනා වුණා. මඳ සුළඟ, සුවඳ එක්ක ඈතටම ඇදුණා.

ෂසිකා අමාලි මුණසිංහ
Photo Source: blog.opentable.com

No comments:

Post a Comment