Sunday, July 22, 2018

නිශ්ශබ්දතාව මිනීමරුවෙකිය


ඔහු මිය 'ගියේය'
ඔහු ගිය පසු කිසිවෙකු
ඇවිද ගියේ නැත
අලුත් වූ ලේ සලකුණු මත
ඔහුගේ දින සටහන් පවා
පැහැර ගත්තෙහිය ඔවුන්

විශ්වයෙහි කළු කුහරය මත
රැඳී ඇත ඔහු පා සටහන්
තාරකා එළි මෙන් පත්තු වී නිවෙයි තවමත්
වැළපුණු සංඥා එළි මෝටර් රථය මත

බොහෝ මිනිසුන් බොහෝ තැන්වල
මරදාන ගාමිණී හෝල් බොරැල්ලේ
කොටුව පිටකොටුව තුම්මුල්ලේ
වැඩකරමින් සිටින අතර - ඇවිද යන අතර
ටවුන්හෝල්වලදී ඔහුගේ හිසට වෙඩි තැබූහ ඔවුහු

මිනිසුන් කෙත්හි වපුරන කල නෙළන කල
උස් කඳු මුදුන් නිහඬව විඩාලන කල
ගංගා හීන්දෑරිව ගලායන කල
විසන්ධි කළහ ඔවුහු ඔහු, 'ඉතා පහසුව'

කෑරලුන් දහසක් කෑ ගසා ඉගිල ගියා මිස අහසට
නිශ්ශබ්දය සියලු දෙය
සියලු දෙන ඇවිද යන මහ-මඟ
මිනිසෙකු වෙඩි තබා මරා ගිය රටක
ඉනික්බිති නිශ්ශබ්දතාව..
මරණය තරං සීතලය
නිශ්ශබ්දතාව මිනීමරුවෙකිය

Picture - Joseph Zbukvic, Australian

Monday, July 9, 2018

වසන්තය, ඔව්, ආයෙම



වේදනාව මා වටා පැතිරෙන කල
සමනල්ලු ගී ගයයි තුටින්
වසන්තයේ ඡායා අතර
හිම දියැවෙයි නැවුම් හිරු කිරණ වැද
ගලවා දමා ගැඹුරු සාලුව
මිදී යමි නැවුම් දිය මත

නිදහස
පෑදි දිය යට ඇත් දළ පෑති ගල් කැට
නිදි කිරන රෑ බදුල්ලන් ප්‍රීතිව
කඳු මුදුන් හැර යන මිහිදුම

වසන්තය, ඔව්, ආයෙම

Picture - Gavin Hardcastle, https://www.fototripper.com