Monday, September 24, 2012

පින්මඳ දියණිය

නිහැඬියාව මෙතරම්
බර වැඩි ව නැත කිසි විටෙක
කුඩා වුව සොම්නස්
වී ය පැල හෙවණ
රස බොජුන් මවා දුන්
දර ඉපල් අත් සිහි නැතිව
නුඹ යන්න යන තුරු ම

අප්පච්චී හිඳී පිලෙහි උඩ තනි ව ම
ඈත ගන වන පෙත දෙස ම නෙත් අයාගෙන
වහලෙහි සිදුරු වූ තැනින්
ටීක් ටීක් හඬ දිදී වැටෙයි වැහි බිඳු

සෙලවෙනු පිණිස බියෙන් මෙන්
නුඹේ පොත් මේසයේ
පොත් පේළි මා දෙස
හෙළයි නිහඬ බැල්මන්

දින දෙක තුනක් තිස්සෙ ම
අවුලනු අවැසි නොවිණි ගිනි ගෙය
තේ කහට උගුරක්
ගල් ගැසී සිසිල් වනු පිණිස හෝ
අප්පච්චීට තනා දෙනු පිණිස
ලිප ගිනි ඇවිලිය යුතු ය අද

එක්තැන් කරනු නොහැකි ලෙද
විසිරී ඇත පෙර දා සුළි සුළඟට
දර මඩුවෙහි අරටු දර

තටු තැනෙන්ටත් පෙර
ඉගිල ගිය පින්මඳ දියණිය
වැටුණු දින නොහඳුනන ඉවුරු අස
හළ උණිඳ බිජු ගණිමින
මතක් කරපන්නැ
නුඹට නීරස වුණ
ඒ කුඩා පැල්පත

No comments:

Post a Comment