Monday, October 7, 2013

කවියෙකුගේ කුටිය

House of the Singing Winds

මම ඔහුගේ කුටියේ සඳළුතලයෙන් එබුණෙමි. ඇස කොළ පැහැයෙන් වැළඳ ගන්නා හෙනවැල් ගාලක් ද කොස් ගස් කීපයක් ද ඈතට ඈතට විහිද ගිය කොළ පාටක් ද මගේ ඇස වැළඳ ගනී. "එහේ වගෙ මෙහෙ වාහන හඬ නෑ.. හරි නිස්කලංකයි.." ඔහුගේ කුටිය තුළින් මට ඇසිණි. මම ඈත මෑත හරිත පැහැය දෙස බලමින් කුමක් කියන්නටදැයි නොදැන නිහඬ ව ම සිටියෙමි. ඈත හරිත පැහැය පමණක් 'විත් මගේ ඇසේ වැදේ.

ඔහු පෙළන පාළුව පැමිණ මා ද වසා පැතිරෙන්නට ගනී.

මම කුටියට වුණෙමි. ඔහුගේ කාමරය කොණක පිලක් මෙන් අසුන්ගැන්මට තනන ලද තැනකි. එහි අසුන්ගෙන සිටිනා ඔහුගේ දෑසෙන් විදෙන ඈතට දිව යන්නට සිදුවුණු සෙනෙහසක ළසොවක් සටහන් වේ.

මා ඉදිරියේත් වටාත් ඔහු විසින් ලියන ලද, ඔහු තෑගි ලද, මිලට ගත් ආදී පොත් පේළි රාශියක් දිස්වෙයි. ඔහු ලියන මේසයට ඉහළින් කෝච්චි පාරක මා කැමති වන ආකාරයේ සිතුවමකි.

"ඒක ඔහියේ ඉඳන් බණ්ඩාරවෙල පැත්තට එන කොට මුණගැහෙන රේල් පාරේ තැනක්.." ඔහු කියයි. සිතුවම් විසින් වශී කරවනු ලබන මගේ හිත එහි මිහිදුමෙන් පිරී යයි.

පියයන් අහිමි වීම ශෝකයකි. එය තවත් කෙනෙකු හා බෙදා ගත හැක්කක් නොවේ. වෙසෙසින් ම, මා වැනි ළාබාල අයෙකු හා ඔහු කෙසේ එය බෙදා ගන්නටද? ළබාල යන්නට ද වඩා නිහඬ ළමයෙකු හා.. මට සිතේ.

ඔහුගේ පොත් පේළි අතර වැඩි ඉඩක් ගෙන ඇති නුහුරු නමක් ඇති පොත් කිහිපයක් පෙනේ. පිටු මහා ගොඩක් ඇති විශාල පොත්.. ඒ කවුරුන්දැයි මම අසමි. "ඒ පොත් ඉතින් මට කියවන්න ගෙනත් දෙනවා.. ඒත්, මං කවදාවත් ඒ එකක්වත් කියවලා නෑ.. කියවලා නෑ කියන්නේ, ඒවා කියවන්න බෑ.. රස නැති ව මිලට ලියන අයත් ඉන්නවානේ.." ඔහු කියයි.

නැවත මම නිහඬ වෙමි.

"මේ කවිය මං කියවලා තියෙනවා.." ඔහු කවියක් පෙන්වා අසයි. "ඔව්, සමහර විට.. මම ඉස්කෝලෙ කාලේ ඒක ඔබට කියවන්න දුන්නා..."

බොහෝ කාලයකට පසු, වසර දහයකටත් පසු, ඔහුට එය මතක ය. මම පුදුම වීමි.

"මේ කවිවල ආධුනික ලකුණක්වත් නෑ.." ඔහු එවක මට කීවේ ය. "මොනවද මේ වචන ගොඩන්.." පසු ව ඔහු මට හිනැහුණේ ය. "සමාජයේ දේවල් ස්පර්ශ කරන්න ඕනෑ.." ඔහු කීවේ ය.

"පොතක් ගහන්නෙ නැත්තෙ ඇයි, මෙච්චර කවි ගොඩක් තියාගෙන.." මෙවර ඔහු කීවේ ය. මම ඈලි මෑලි ලෙස සිනාසුණෙමි.

දූ ළඟ හිටියත්, ඔහුගේ හිස වසා ඇතිවුණු හිඩැස බිඳක්වත් මැකී නැත. "මේ කාමර ඔක්කෝම හිස්.. කවුරුවත් නෑ.."  පැය ගණනක් බුම්මාගෙන සිටි මා හවස්වරුවේ එන්නට හැරෙන විට ඔහු කීවේ ය.

එක තැනක ගුලි ගැහී තිබූ පාළුව එකවර ම පුපුරා ගියාක් මෙන් මට දැනිණ. මම සෙමින් සෙමින් තරප්පු පෙළ බැස්සෙමි.

මේ ඔහුගේ දහසකුත් දුවලා පුතාලට විවර ව ඇති තැනක් ය. ඉතින්, මේ කාගේ කුටියදැයි දන්නෝ දනිත්.

Picture - Theodore Clement Steele, American, 1847 - 1926

No comments:

Post a Comment