Tuesday, May 27, 2014

සැලසුම් කරන ලද ජීවිතය



පැමිණ රැගෙන යන්න හැකිනම්
පුරුදු දිවියට නැවත
උදේ රෑ දිවා උයා වෙහෙසෙන
බිම අමැද සෝදා කොඳු ඇටද කකියන
වතුර පෝච්චිය අරන් මල් ගස් වෙත දිව යන
සිහිනයක් දකින්නට පවා ඉඩ නැති වන
ආලය කරන්නට අමතකම වෙන

හැකිනම් පැමිණ රැගෙන යන්න
නැවතත් පුරුදු දිවියට
සෝදා රෙදි කඳු දෙඅත් දියවෙන
සෝදන මැසිම හදා දෙන්නට ඔබට අමතක වෙන
ලියන්නට පාඩම් කරන්නට මොහොතක් වෙන් නොවෙන
ලියන මේසයද ඇඳද අපේ නොව ඔබේ වෙන

උතුරා යන ප්‍රේමයක ගිලී නැති නම් මා මියයනු ඇත
සංස්කෘතික කන්‍යා පටලය ඉරා ප්‍රීතිමත් ගැහැනියක වනු ඇත
ඇතැම් විට ඔබටත් වඩා බොහෝ උස යනු ඇත
එබැවින් දෙන්න මට ඔබ විසින් සැලසුම් කරන ලද ජීවිතය
එවිට සහ එවන් ලෝකයක
ඉතා ගෞරවාන්විත ලෙස මට මා අමතක වනු ඇත

මෙවන් ලොවක පුරුෂයිනි
තොපට හැක ධජ නඟන්නට
කකුල් දෙක මේසය මත තබා
බොමින් රහමෙර අනේක
සැම තැනම ලොව ඉහළින්
වැජඹෙන්නේ පිරිමින්ය කියමින්!

Picture - Max Gasparini

No comments:

Post a Comment