Wednesday, May 28, 2014

අරවින්දයකි තවම ම'හද විල් තෙර පිපෙන

 

අලුයම අවදි වූ මම හදිසියේ වට අදහසකින් මිහිදුම තල්ලු කර විවර කළෙමි ජනෙල්පත්. කඳුකරය මත බැස යන්ට තනන පහන් තරුවක් මෙන් ඔබේ කුටියෙන් පෙරී එන ආලෝක බිඳුවක් මට පෙනේ. හිරු රැසට ගෙල ලූ මුතුහරෙක පලින් පල දිදුලන්නාක් මෙන් විල්ලුව පාලම මතින් යනෙන වාහන එළි කඳුකරය මත මං සලකුණු කරයි.

නාසය අසල වායුගෝලය ඝනීභවනය වන්නට තනන්නාක් මෙනි. මම කිවිසුමක් සමඟ පාඩම් මේසයට පාත් වුණෙමි. සුජාතා සීතලෙන් ගැහෙමින් මා දෙස බලා සිටියි. මහා විද්‍යාලයේ ඉහළ පන්තියේ දැල් කවුළුව අසලදී ඇය මට මුල්වරට හමු විය. මම දැල් කවුළුව අසලට වී පාසල පහළ බෑවුම් සහ නෙරුවල පිපී ඇති කුඩා රෝස පාට සරක්කු මල් දෙස බලමින් සිටියෙමි.

"ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කළෙහිය. දැන් මගේ ඒකායන ප්‍රාර්ථනය.." පහළ මාලය දෙසින් නන්දා මාලිනීගේ කටහඬ ගලා එයි. මම ද ඈ සමඟ මුමුණන්නට වීමි. "ද්වාරය විවර කළාට කම් නැත සොඳුරිය. කවුළු පියන්පත වසන්නට බැරිද?" අපි ඇසෙන්නට නො ඇසෙන්නට සිනා වුණෙමු. එහෙත් ඈ කවුළුව නොවසනා බව මම දනිමි.

ඔබේ කවුළුව අසල
එළි බිඳට මුවා වී
නිදන කුරවියක මම
නොදන්නා වුවද ඔබ

තුරු අතර මීදුමෙන් වසාගෙන අප දෙදෙන
නොපෙනෙනා දෙතැනකට ගෙන ගිහින් වසන්තය
කඳු ගබෙහි වැළපෙනා කාලයෙන් වසන් වුණ
අරවින්දයකි තවම ම'හද විල් තෙර පිපෙන

ඔබේ කවුළුව අසල අන්ධකාරයෙහි දැන්
කඳුකරය ගිලගෙනය මේඝයක වලාවන්
මට ද මා සොයා ගනු නොහැකි සැඩ විලාසෙන්
ඔබෙ දෑස ගෙන ගිහින් පුර සඳෙහි කලාවන්

තනිකඩව ගල් ගැසී පලා පැහැ අතු ඉතී
ඔබ යනෙන මඟ තවම මුණ ගැහෙනවා ඇතී
ඔබේ ඇස රිදන බැල්මක් නැතිව දුක හිතී
කඳු කඳුළු වසා ගෙන වලා සළුවෙහි එතී

Picture - Yayoi Kusama (Japanese; Contemporary, Conceptual Art, Installation; b. 1929)

No comments:

Post a Comment