Monday, December 16, 2013

බැංකු

Monochrome Image Found on the Web

2013.12.17

කාර්ය බහුලත්වය නිසා විදුලි බිල් ගෙවීම මා අතින් අතපසු ව තිබූ අතර මම උදෙන් ම ........................ බැංකුවට ගියෙමි. ගියේ නැත. යන්නට ලැබුණේ නැත. දොරින් ඇතුළු වන විට ම මගේ උරහිසින් (මතක විදිහට, ව්‍යාකූලත්වය නිසා අතින්දැයි උරහිසින්දැයි මට හරියට ම කිව නොහැක.) ඇල්ලූ අයෙක් මා පිටුපසට තල්ලු කළේ ය. "කොහෙද යන්නෙ?" ඔහු ඇසුවේය."බැංකුවට" මම කීවෙමි. තවත් අයෙක් එතැනට පැමිණියේය.

"ඇයි බැංකු අරින වෙලාව දන් නැද්ද?" "ඔයා කවුද?"

ස්වරය තද ප්‍රශ්න කිහිපයක් ම ඇසිණි. කිසිවක් සිතා ගත නොහැකි වූ මම 'Thank you' කියා පිටතට පැමිණියෙමි. වෙලාව පෙරවරු 8.50 පසු වී ඇති බව මට පෙනිණි.

මහ පාරේදී ම මගේ ඇස් වලින් කඳුළු කඩා හැලෙන්නට විය. "තමුසෙ මොකටද අඬන්නේ? බැංකුවක් නිසාද අඬන්නේ? කාලකන්නි බැංකුවක් නිසාද අඬන්නේ?" මගේ හිත ම මගෙන් අසද්දිත් මට හැඬුම නවතා ගත නොහැකි තරමට හිත පෑරීම වැඩි වුණි.

මීට හරියටම සති කිහිපයකට පෙර අපි චෙක්පතක් ඔය කියන බැංකුවේ ම චෙක්පත් භාරගන්නා යන්ත්‍රයට දැමුවෙමු. බැංකුවල අය අතින් චෙක්පත් භාරගන්නට දැන් කැමති නැත.

අප වෙත පසු ව බැංකුව විසින් දැනුම් දෙන්නට යෙදුණේ අදාළ චෙක්පත අප විසින් භාර දෙනු ලැබ නැති බවත් යන්ත්‍රයට ඇතුළු කර ඇත්තේ තැන්පතුපත පමණක් බවත් ය. තැන්පතුපතෙහි පිටපතක් අප සතු ව පවතිද්දීත් එසේ විය නොහැකි බව බැංකුවට ගොස් අප පැහැදිලි කොට දෙද්දීත් ඔවුහු එය නොපිළිගත්හ.
"ඔයාල ඔච්චර කියනවානම්, අපි වීඩියෝ රෙකෝර්ඩින් එක බලමු" බැංකුව අපට ප්‍රකාශ කළේය. අපි මඳක් ඉන්නැයි පවසා අප තැන්පත් කළ චෙක්පත අදාළ ගිණුමට තැන්පත් වී ඇත්දැයි පිරික්සා බැලුවෙමු.

චෙක්පත නිසි පරිදි තැන්පත් වී ඇත.

එසේ නම්, එම මුදල් ගිණුමට පැමිණියේ කෙසේදැයි අපි බැංකුවෙන් ඇසුවෙමු.

බැංකුවේ මුහුණුවර වෙනස් වූයේ එතැනදීය. "එහෙනම් මිස්, බැංකුවේ ම ඇති.. මිස්ප්ලේස්වෙන්න ඇති.. හරි බලන්නම්" බැංකුව කීවේ ය.

එවන් විටවත් ක්රූර බැංකුවට පෙරළා නොබැනීමට තරං කරුණාවන්ත හදවත් මිනිසුන් කොටසකට පමණක් ලබා දුන්නේ කවුරුද?

එහෙව් බැංකුවක් අපට සලකන විදිහ ය මේ..

තවත් දවසක පශ්චාත් උපාධිය සඳහා බැඳීමට යම් මුදල් ප්‍රමාණයක් මදි ව මම බැංකුවට ගියේ එවැනි දෑට ණය ලබා ගැනීමට හැකි බව මා අසා තිබූ නිසාය. මා එසේ ගියේ කිසිවෙකුට කරදර නොකිරීමට සිතූ නිසාය. ඒ විශාල මුදලක් නොවේ.

"රුපියල් ලක්ෂයකට අඩුව අපි දෙන් නෑ.. ලක්ෂයක් ඕනි නම් දෙන්නම්.. ඒත් බේසික් එක තිස්පන්දාහක් වෙන්න ඕනි.. මාසික ආදායම පනස්පන්දාහක් වෙන්න ඕනි.. ඒක අපට පේන්න ඕනි.. මේ account.එකට වැටෙන්නැත්තං අපට ඒක පේන් නෑනේ.. ජොබ් එක permanent වෙන්න ඕන.."

මා ඒ ණය ගත්තේ නැත. මාසේ වියදම පවුලට භාර දී මම එම මුදල වැටුපෙන් ගෙවා දැමීමි.

'බැංකු තියෙන්නෙ සල්ලිකාරයන්ට' මම එදා හිතුවෙමි.

බැංකු කියන්නේ මොනතරං අසංවේදී තැනක්ද? බැංකුවල වැඩ කරන මිනිස්සුත් එහෙම වීම කනගාටුදායකය.

මගේ මතකය අවුරුදු දහයකට පෙර අතීතයකට ඇදී ගියේය. මම එකල රාජ්‍ය බැංකුවක සේවය කළෙමි. මා ළඟට සේවය ලබා ගනු පිණිස පැමිණි බහුතරය දමිළ දුප්පත් පිරිසක් විය. ඔවුන් මට කතා කළේ "පුංචි නෝනා" කියා ය. මා ඔවුන්ට කඩිනමින් සේවය ඉටු කර දී අසීමිත සතුටක් ලැබුවෙමි. මම ඔවුන්ට හැකි ඇතැම් විට කුඩා කුඩා තෑගි දුනිමි.  ඔවුන්ගේ බැංකු ගමන මා බලන්නට එන ගමනක් බවට ඇතැම් විට පරිවර්තනය වුණි.

දිනක් අපි වරුවෙන් බැංකුව වැසුවෙමු. ඊට පසු දින තෛපොංගල් දිනය විය. බැංකුව වසා අප මිදුලටත් පැමිණි පසු තෙමී ගෙන ගෝවින්දගෙයි තෙයිවානෙයි ආවා ය. ඇගේ කැඩිච්ච කුඩ තටුව වැස්සට ඉගිලෙමින් තිබිණි.ඈ ආවේ පසු දින තෛපොංගල් දවස සැමරීමට ඉලක්කම් ප්‍රමාණය කුඩා වූ පඩියෙන් කීයක් හෝ ගැනීමටය. මම කළමනාකාරතුමාට බැංකුව ඇර ඇයට මුදල් ලබා දෙමුයි පින්සෙණ්ඩු වීමි. මගේ කරදරය දරා ගැනීමට කරුණාවන්ත හිතක් වූ කළමනාකාර මහතාට නොහැකි වූයේ ය. වැසූ බැංකුව නැවත ඇරිණ. ඇය අතට මුදල් ලැබිණ.

"පුංචි නෝනා.. පින්" ඇය මුව ඇදුණු හිනාව කෙසේ කවදා නම් මා අමතක කරන්නද?

මොට්ටුවෙන් ලේ පෙරෙනවද
ගඟ ගලල දෝරෙ යනවද
තෙයිවානෙයි මේ විදිහට
ඔබට අවුරුදු එනවද?

මා බැංකුවෙන් අස් වී එන දවසේ මේ කුඩා මිනිසුන්ගේ ඇස් තෙත් වී තිබිණි. ගෝවින්දගේ තෙයිවානෙයි වයසක දමිල මිත්තණිය, අකුරු දන්නා අයෙකුට කියා සුබ පැතුමක් ලියාගෙන ඔතාගත් යමක් තුරුලු කරගෙන විත් මා අස තැබුවා ය. "හංසයින් නටන බිත්ති ඔර්ලොසුවක්"

තිසරුන් රඟන බිත්ති ඔර්ලෝසුව
හරි බරයි අත්තම්මේ
ඔබේ නහර ඇදී ගිය වියළි අත් සිහි වන විට
එ තිසර පිට නැඟී
මට දෙව් ලොව යන්න බෑ අත්තම්මේ

ඒ ඇගේ දවස් කීයක වැටුපද? තේ දළු නෙලූ ඈ මේ ඔර්ලෝසුවට දවස් කීයක් නම් නැහෙන්නට ඇතිද? මම හදින් ඇවිලී ගොස් 'එපා' යි කීවෙමි. එහෙත් ඇය නැවත එය ගත්තේ නැත. එය මගේ ජීවිතයේ මා ලද වටිනා ම ත්‍යාගයක් විය යුතු ය.

එ කල මා වෙත පැමිණ අයෙක්.. "ඔයාලගෙ බැංකුව වගේද, අර ................... බැංකුවට ගිහින් බලන්න ඕන එතික්ස්" නිතර මුමුණා ගියේ ය.

මිනිස ඔබ වගේ ම යි ඒ බැංකුව
සම්මානෙන් පිදෙන පිදෙන තරමට ම අධම වෙන

මම අද ඔබට පිළිවදන් දෙමි.

Picture owner - unknown, Source - Bert Christensen's collection

14 comments:

  1. මැඩම්, බැංකුව නෙවෙයි ඒවයේ ඉන්න මිනිස්සුයි හොඳ හරි නරක හරි.
    චෙක් එකේ ප්‍රශ්නය.මොනවා කරන්න ගිහින්ද ඔය තත්ත්වය ආවේ?ඔයා දාපු චෙක් එක බැර වෙලා තියේ නම් ඕක ඒක නැති වුනාද නැද්ද හොයන්න ඕන නෑනේ.
    ණය ගැටලුව.
    අඩු වටිනාකම් ණය දෙන එක සමහර බැංකුවලට පාඩුයි.
    විදුලි බිල් ගැටලුව.
    උදේ 9.00ට බැංකු අරින්නේ.www.amuthisithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. මම දන්නවා බැංකුව නෙමෙයි, හොඳ නරක වෙන්නේ මිනිසුන් කියලා.. බැංකුව කියන්නේ නෛතික පුද්ගලයෙක් වුණාට ජීවී දෙයක් ම නෙමෙයි නෙ.. ඒත් 'බැංකුව' දැනගන්න ඕනි තමන්ගේ පහළ මට්ටමේ සේවකයන්ට පවා අඩු තරමෙ තව මිනිහෙක්ගෙ හිත නොරිදෙන විදිහට කතා කරන්න උගන්වන්න.. ඒක උගන්නන්න බැරි නම්, ඒ වගේ හොඳ මිනිස්සු බඳවාගන්න. දැනුම දෙන්න පුළුවන් වුණාට ගතිගුණ දෙන්න බැරි නම්, ඒ වගේ මිනිස්සුන් ව බඳවාගන්න. එහෙම නොවුණා ම දිගින් දිගටම අනිසි දේවල් වෙන කොට බැංකුවේ නම කැත වෙනවා..

      චෙක් එක නැති වුණා ද නැද්ද හොයන්න ඕනි නැති කතාව ඔයා බැංකුවට යි කියන්න ඕනි. අපි ඒක හොයන්න එතැනට ගියේ නෑ.. ඒගොල්ලොයි අපි ව කැඳවුවේ..

      ණය ගැටලුව - මට නම් ඒගොල්ලන්ගෙ ණය නැති වුණාට කමක් නෑ.. මට තවදුරටත් එතැනත් එක්ක ගනුදෙනු කරන්නත් ඕනි නෑ..

      මහත්මයා/මහත්මිය ස්තූතියි දැනුවත් කළාට. ඒත් අත්වැරදීම් වෙනකොට වුණත් සලකන විදිහක් තියෙනවා.. අන්න ඒක ගැනයි මම කතා කරන්නේ

      Delete
    2. ඔයාව තල්ලු කරලා දාන්න හදන්න ඇත්තේ ආරක්ෂක නිලධාරීන් බව මම සිතමි.එහෙම දෙයක් ආයි වුනොත් කළමනාකරුට පැමිණිලි කරන්න.
      අර චෙක් එකේ ගැටලුව නම් හරි පුදුමයි.මොකද අපිත් ඔය වාගේම ගැටලුවකට මුහුණ දුන්නා.එතනදි කැමරා දර්ශන අපැහැදිලියි.චෙක් පත ගිණුමට ගිහිල්ලත් නෑ.යන්ත්‍රයෙත් නෑ.summary report එකේත් නෑ.ඔතනදි එයාලා කරන්න ඕන මූලිකම පරීක්ෂාව කරලා නෑ.www.amuthusithuwili.wordpress.com

      Delete
  2. අක්කේ පරිස්සමෙන් ජීවත් වෙන්න. මෙළෙක් හිතක් තියාගෙන හැමවෙලෙම ජීවත් වෙන්න අමාරුයි

    ReplyDelete
  3. මම මාතෘකාව වෙනස් කරන්නම්. ඒත් කවුරු වුණත් දැනගන්න ඕනි තවත් කෙනෙක්ගේ ඇඟට අත තියන්න කලින් දෙපාරක් හිතන්න. මගෙ අතේ තිබුණේ විදුලි බිල් දෙකක් හා මුදල් කොළයක් පමණක් වෙන කොට හෝ.. අඩු තරමේ බෑගයක් වත් නැතිවෙන කොට හෝ..

    ReplyDelete
  4. එහෙම අල්ලලා තල්ලු කළා නම් කොම්ප්ලේන් එකක් දාන්න අනිවාරියෙන් / /

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලො කරන දේවල් ඒ ගොල්ලො අරන් යයි.. නොදැනුවත්කමනේ.. මොකටද කාටවත් කරදර කාලවල් උදා කරන්නේ..
      ඒත් බැංකුවයි දැනගන්න ඕන ඒ අය පුහුණු කරන්න..
      මං පෞද්ගලික ව දන්නා විදිහට ගොඩක් ව්‍යාපාරවල අයිතිකාරයන් ඒ වගේ දේවල්වලට යන මුදලත් ඉතිරි කරගන්නයි යන්නේ.. ඒවා අයෝජන කියා හඟින්නේ නෑ..
      ස්තූතියි

      Delete
  5. මේ වගේ ලිපි දානකොට බැංකුවේ නම් ගම් ඇතුළුව දානව නං බොහොම හොඳයි. අන්තර්ජාලයෙන් වෙන්න ඕන ඒ දේ.
    මම කොළඹ ඉන්න කාලෙ මගේ පඩිය ගියේ සෙලාන් බැංකුවට. ඔන්න හා හා පුරා ණයක් අරගෙන ඒකත් ඒ ‍ බැංකුවෙම දාල තිබුන. ඔය අතරෙ මට ඕනවුනා බයික් එකක් ගන්න. ඒ සෙනසුරාද දවසක්. (සෙනසුරාද වරුවක් සෙලාන් ඇරල). මම ගිහිල්ල 110000ක් බැංකුවෙන් ඉල්ලුව. කවුන්ටරේ හිටිය නෝන කියනව සෙනසුරාදට දෙන්න පුළුවන් උපරිමය ලක්ෂයයි කියල. ඊට වැඩිය ඕන නං කලින් ඉල්ලන්න ඕනලු. ඒ ගමන මටත් මල පැන්න. මම ඇහුව එකවුන්ට් එක ක්ලෝස් කරල ගන්න පුළුවන්ද කියල. ඒත් සල්ලි ගන්න වෙන්නෙ සඳුදලු. මම කිව්ව එහෙනං මම සඳුද ඇවිල්ල පොත වහල දාල සල්ලි ගන්නව කියල. ඔන්න ඒ ගමන යැව්ව මැනේජර් මහත්තය ලඟට. එයා බොහොම කාරුණිකව පැහැදිලි කරල මුළු මුදලම මට දුන්න. (ගිණුමක් වහගන්නවට වැඩිය එයාලට ඒක ලාභයි නෙව). ඊට පස්සෙ අවුරුදු තුනකින් ගමට එනකල්ම ඒ බැංකුවත් එක්කයි මම ගණුදෙනු කලේ.

    ඔයාගෙ බැංකුවෙ තියන අවුල තමයි ගණුදෙනු කරුවාගේ වටිනාකම අවබෝධ කර නොගැනීම. බැංකුවෙ තියෙන්නෙ අපේ සල්ලි. එයාල පවතින්නෙ අපි නිසා. එතකොට එයාලගෙ වගකීමක් තමයි අපිට හොඳින් සැලකීම. (මතක තියාගන්න ඒක එයාලගෙ වගකීමක් මිසක් අපේ බෝනස් එකක් නෙවේ). ඔයවගේ දෙයක් මට උනානං මම ගිණුම වහල වෙන බැංකුවකට යනව. මොකද මිනිස්සුන්ට හොඳට සලකන බැංකු ඕන තරම් තියනව.

    ReplyDelete
    Replies
    1. මේක ඔය නිතරම හොඳම බැංකුව, හොඳම බැංකුව කිය කිය සම්මාන ගන්න බැංකුව.. මම නම දාලයි තිබුණෙ.. පසුවයි අයින් කළේ .. හොඳම බැංකුව කියල අන්තර්ජාලය පිරික්සුවම මේකෙ නම තමයි උඩටම එන්නේ.

      පොත වහලම අරන් යන්න විදිහක් නෑ.. මගේ සැලරි යන්නෙ මේ බැංකුවට විතරයි.. ඒත් ඒ හැර වෙන කිසි ම ගනුදෙනුවක් මේ බැංකුවත් එක්ක නම් කරන් නෑ කියල මම හිතා ගත්ත.

      Delete
  6. මට නං බැංකු අප්පිරියයි.. බොහොම කීපදවසයි තාමත් ගිහින් තියෙන්නෙ.. දැනට මට බැංකුවක් හොඳයි , හොඳ මිනිස්සු ඉන්නවා කියලා හිතිලා තියෙන්නෙ කොට්ටාවෙ සෙලාන් එකයි මහරගම NSB එකයි විතරයි... අනිත් ඒවා හැම එකකම මහ මරුමුස් කට්ටිය ඉන්නෙ කවුන්ටර් වලත්.... ඒවයෙ ඉන්න කෙල්ලො හිතං ඉන්නෙ එයාල තමයි පොෂ්ම කියල... කමර්ෂල් තමයි ඔක්කොටම හපන්...

    ReplyDelete
    Replies
    1. අනේ ඔව්, කවුන්ටර්වල ඉන්න කෙල්ලො ගැන නම් කියල ම වැඩක් නෑ.. ඔළුව පුම්බගෙන ඉන්න හැටි දැක්ක ම හිනාත් යනවා.. හරියට අපි එයාලගෙ සල්ලි ගන්න යනව වගෙයි සලකන්නෙ..

      Delete
  7. ඕක නිසා තමයි මං නම් බැංකු එක්ක බොහොම අතේ දුරෙන් ගනු දෙනු කරන්නේ කඳු. මටනම් එපා වෙලා. යාලුවෙක් ඉන්න තැනකට විතරමයි යන්නේ. මාරම ස්ට්‍රෙස් හෝ වෘත්තීය හීනමානයකින් හෝ අධිමානයකින් කටයුතු කරන පිරිසක්. හරියට එයාලගෙ සල්ලි ගන්න හදනවා වගෙයි කතාව.

    ReplyDelete
  8. මුල ඉඳලා අගටම ඉතාම ප්‍රවෙසමනේ කියෙව්වා. මොකද මමත් බැංකුවක(රාජ්‍ය) වැඩ කරන නිසා. බැංකුව මොකක් වුණත්, එක එක තැන් වල එක එක විදියයි.

    ReplyDelete
    Replies
    1. hm.. හිත් රිදවීම්, සැලකීම් ආකාර එක අතකට මිනිස්සු පිළිබඳ දෙයක්..
      කරුණාවෙන් ඇමතීම කෙනෙක් තවත් කෙනෙක් වෙනුවෙන් බැංකුවකදි විතරක් නෙවෙයි කොතැනකදි වුණත් කළ යුතු දෙයක්.

      Delete