Friday, December 6, 2013

කෙත්වතු නියම් ගම් වෙත


නුඹ රැගෙන යන්නෙමි පියෙන් පිය
පුතේ කෙත්වතු නියම් ගම් වෙත
නුඹ සතුටු දේ ඇත තැනින් තැන
බලන්නට හිත පුරා 'තෝසෙන

කිරි කොකුන් දුටුවද ඉගිල්ලෙන
කඳු වළල්ලෙන් එහා ගුවනත
මල් පිපෙන ඉස්කෝලෙ ඇති එහෙ
ගල් ලෑලි සෙල්ලමට ඉඩ ඇති

තැනින් තැන මල් පොකුරු ගෙන අත
පනී දිය ඇලි උඩින් උඩට ම
කවුද ආ මේ ලොකු අමුත්තා
කර පොවයි නුඹ සොයා ඉහළට

මතු වෙලා තුරු විටප අතරින්
රතු වෙලා පෑ කුසුම් වුවනින්
වඩ වඩා අම සොඳුරු හදවත
පැහැය දැක පොඩි පුතුගෙ මුහුණින්

සිලි සිලී සින්දුවක ගයමින්
ඕලු මල් අතරින් පෙරී ගෙන
ඕඝයන් අත්තල නඟයි නුඹෙ
කුඩා ඇස් දෙක දැකපු සතුටින

අතුරලා මල් මඤ්ජරී වන
අඩි පාරවල නුඹට එන්නට
පුතේ ගම්බද දිවිය මිහිරියි
ඉගිලෙන්ට පෙර ඉගෙනගන්නට

Picture - http://talkvietnam.com/2013/12/supermen-in-mu-cang-chai/#.UqKQjSfE69g

No comments:

Post a Comment