Friday, October 24, 2014

මේ මොහොතය සත්‍යය



සාරි පොට ඇද බිම දමා
තඩි පිරිමි බසයට නඟිද්දී
තෙරපෙමින් පා පුවරුවට නැඟ ගනිමි
බසයේ ගර්භයට හෙමි හෙමින් තල්ලු වෙමි

දහදියෙන් තෙරපෙමින් අවකාශ අතර ගැටෙමි
වැරෙන් නොවැටී සිටිමි
වැටෙමි නැඟිටිමි
වටපිට කිසිත් නොපෙනෙන අතිමහත් තෙරපුම් අතර
මම සිතමි

"කවරෙක්ද මා
කවියෙක්ද අතිශය සුන්දර යුවතියක්ද
එසේත් නැත්නම් වෙනත් ඉහළ නිලයක් දරන්නෙක්ද
පෙම්වතියක්ද මවක්ද පිය බිරිඳක්ද
අහෝ කවර අසත්‍යයක්ද
මේ මොහොතෙහි අන් කවරෙක්ද
විඩාවෙන් ගිනිගැනෙන බසයක සිරව
දුක් විඳින සත්ත්වයෙකු නොවන්නෙම්ද?

සත්‍යය යනු කුමක්ද
බසයෙන් බැස ගෙට ගොඩ වෙන මොහොතක් ගැන සිහින දැකිය යුතුද
සිහිලඹෙන් ගත දොවා තේ කෝප්පයක් රස විඳින අයුර සිතිය යුතුද
එහෙත් සත්‍යය නම් මේ මොහොතය
මහා අන්ධකාරයක ගිලී සංසාර දුක විඳින සත්ත්වයෙකු ලෙස පමණක්
මට මා හමුවන මොහොතය
'මම' සිඳී බිඳී දියව යන මොහොතය

කවියෙකුද දුක් විඳින්නේ මේ බසය මැද
වෙදදුරෙකුද වෙනත් යම් කිසිවෙක්ද
ගැහැනියක්ද පිරිමියෙක්ද
හුදු සසර දුක් විඳින සත්ත්වයෙකු මිස අන් කවරෙක්ද
මේ මොහොතය සත්‍යය
මේ මොහොතය දුකින් මිදෙන දොරටුව දැකිය හැකි මොහොත

බසයෙන් බැස යනු පෙර ආලෝකයට මා ළඟා වේවා
සසරට බැඳී ඇති වර පට ලිහී ගිලිහේවා!!"

Picture - Michael Tolleson

6 comments:

  1. දුම්රිය ගමනෙදි නිරන්තරයෛන් අත්දකින ඛේදයක්... මීට පස්සෙ හිරවෙලා, තෙරපිලා, හුස්ම ගන්නත් බැරිව කේන්තියෙනුයි, දුකෙනුයි ඇස්වල කඳුළු පුරවන් ඉන්න වෙලාවට ඔයාගෙ මේ කවිය මතක් කරගන්න හැකියි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. තරුරසී.. දුක කියන්නේ කෙටි පාරක් සත්‍යයට ළංවෙන්නට තිබෙන!

      Delete
  2. දුක යනු සත්‍යය කියා පෙන්වන මායාවක් නොවෙද??

    ReplyDelete
    Replies
    1. කොයි දේත් මායාවක්
      අප වටහා ප්‍රඥාව නොලබන විට තවත්!

      Delete
  3. අගෙයි.....................

    ReplyDelete