Sunday, March 15, 2015

මං කැමති යන්න


මම කැමති යන්න
යනව වගේම ආපහු නොඑන්න
පැමිණියත් ජීවත්වෙන්න වෙලාවක්
හොයාගන්න එක කොතරම් අසීරුද

ෆයිල් මිටි මිටි මේසෙට එන කොට
පෙරළ පෙරළා පිටු පිටු අත්සන් කරන කොට
මගේ නොවෙන මගෙම අත්සනක්
අකුරින් තීන්තෙන් හිරවෙලා අඬන කොට
හුස්ම ගන්නව වුණත්
ජීවත්වෙන්න වෙලාවක් නැති කොට

ගෙදර 'විත් ලහි-ලහියෙ වැඩ කරන කොට
ලියන්නට ඇති නිබන්ධන, තීන්දු හිසම හිර කරන කොට
මුළු ලොවම රාජකාරියෙන් හුස්ම ගන්න කොට
විවේක නිවාඩු ගන්න පෑනකටවත් බැරි කොට
පිට-කොඳු පවා රැයෙහි හඬන කාර්යාල ඇති කොට
රජයක් වුණත් අන්තිමට එකෙකුට දෙන්නෙකුට අයිති කොට
ජීවත්වෙන - කවි ලියන - කසල කැබැල්ලකින්වත් මහ පොළොව නොපාරන උන්
රටකට වැඩක් නැති කොට

අහසින් වලා උගුරක් උරා මිහිදුම පෙරන කඳු අස
හරිත පෑ ළපැළ'තර නිදියන්න
කඳු අතරින් ගලා එන සැරියුත්-මුගලන් මල් සුවඳ
සදාකාලික ලෝකෙකට යන්න

මං කැමති යන්න
ආයෙම නොඑන්න

Picture - Galina Ershova

No comments:

Post a Comment