Thursday, June 19, 2014

මුතු බෙල්ලිය



හොඳටම නිදාවැටිල හිටිය මුතු බෙල්ලිය හදිස්සියෙම ඇහැරුණේ එක පාරම ඇහුණු මහා කන්කරච්චල් හිනාවකින්. "ර් ර් ක්.. මොන කරදරයක්ද මේ.." කියල බැලින්නම් දඩි බිඩි ගගා ඇඳුමුත් උස්සගෙන හූ තිතිය දුවන කෝච්චියට මුහුදෙ ගෑවි ගෑවි තිබ්බ වලාකුළක් හිකි හිකි ගගා උඩ පැන පැන හිනා වෙනවා.

හෙමින් ඇස් ඇරල මුතු බෙල්ලිය අහස දිහා බැලුවා. ඇස් දෙකට එන හිරු රැස් ඇගේ ඇස් කිති කැව්වා.. හෙමින් හෙමින් ළා පාට වැල්ලේ අඩි තිය තියා මුතුබෙල්ලිය මුහුද දිහාට ඇදුණා.. ඊයේ මුළු රෑම මහන්සි නොබලා වැඩ කළ නිසා ඇගේ ඇඟපත හොඳටම රිදෙනවා.. නාගන්න ඕනෑ.. කුඩා මුහුදු රැල්ලක් පාගන ගමන් ඈ හිතුවා..

ඈ මූදෙ නිල් පාට රැළි ඈත් කර කර ඈතට ඈතට පීනුවා.. නිල් පාට නිල් පාට රැළි වළලු ඈ වටා කැරකුණේ මැරිගෝ රවුමක ඈ ගෙන යන්නා වගෙයි.. ඈ සතුටින් සතුටින් ප්‍රීතියෙන් කෑ ගැහුවා. එහේ මෙහේ දුවන දිය බුබුළු ඇගේ කණට මිහිරි වචන මිමිණුවා.. "වතුර බුබුළු, ඔයාලා කොච්චර ලස්සනද? කරුණාවන්තද?" ඈ ඔවුන්ට අත වනමින් කිව්වා.. කරුණාවන්ත වුණාම, ඉවසිලිවන්ත වුණාම කවුරුත් ලස්සන වෙනවා කියල මුතු බෙල්ලිය දැනගෙනයි හිටියේ.. එහෙම නැතුව කොහොමද එයා ලස්සන ලස්සන සුදු පාට, රිදී පාට, රත්තරන් පාට, කළු පාට මුතු හදන්නේ.. 

වැලිකැටයක් මුතුබෙල්ලියකගේ කුසේ හිර වුණාම මොනතරං රිදෙනව කියලද හිතන්නේ.. ඇත්තටම ඒ ලොකුම ලොකු වැඩක්.. කුසේ ඇනි ඇනී රිදෙන වැලි කැටය වටේ කැල්සියම් කාබනේට් ශ්‍රාවය ගල්වන එක.. දවසක් දෙකක්ද.. ඒත් මුතු ඇටය හැදෙන කං මුතු බෙල්ලියගෙ කාලය ගියේ එහෙම තමයි.. ඇය මහන්සිය වැඩි කමටමයි මුහුදු වැල්ලෙ ටිකක් ඇලවුණේ.. ඒත් ඉතින් වෙලාවක් නැතුව දුවන කෝච්චියකටයි ඔහේ උඩ පාවි පාවී ඉන්න වලාකුළකටයි ඒක තේරෙනවද?

ගැඹුරු නිල්පාට මුහුදු තලය මැදින් ඇය තව තවත් ගැඹුරටම පීනුවා.. පුංචි පුංචි මුහුදු මල් පැළෑටි හුස්ම ගන්න හඬත්, කතා කරන හඬත් ඇයට ඇහුණා.. ඈ කොහේ යනව කියලද හිතන්නේ... හිනා වෙවී ඈ පීනමින් හිටියේ මුතු ගබඩාවටයි.. ආහ්.. ඒක මොනවගේ තැනක් කියලද හිතන්නේ.. ඔයාලට හිතාගන්නවත් බැරි තරං ලස්සන තැනක් ඒ.. එක මුතු ඇටයක් වුණත් කොච්චරක් නං දිස්නෙ දෙනවද? මුතු ඇට ගොඩාක් එකතු වුණාම... ඒක රිදී පාට, රත්තරන් පාට, තව පාට පාට එළි විහිදෙන දිව්‍ය ලෝකයක් වගේ.. හැමෝම මුතු ඇට ගෙනත් ගබඩා කළේ එතැනනේ.. මුතු වලින් හදපු මුතු කුසුම් පුංචි දිය තරඟ එක්ක එහාටත් මෙහාටත් වැනි වැනී අපූරු නැටුම් නැටුවා.. බැලේ නැටුමක් වගේ කැරකි කැරකි නැළවුණු විදිහ ඔයාල දැක්ක නම්!

මුතු වැල් අතරින් නික්මුණේ එස්රාජයක වාදනය... එය ඉහළ පහළ යමින් මුළු මුතු ගබඩාවම විනෝදවත් කළා.. සමහර මුතු වල තිබුණේ තාරුකාවක කාන්තිය.. තවත් සමහර මුතුවලින් පුළුල් ආසන පනවල තිබුණා. මුතු බෙල්ලියන් සැන්දෑවරුවල ඒ අසුන්වල හිඳගෙන කවි කිව්වා.. සමහරු රතුම රතු වයින් බිව්වා.. කවියක් තරං ලස්සන මුතු හදන මුතු බෙල්ලියන්ගේ කවි කොයිතරං ලස්සනයි කියලද හිතන්නේ? සිය යහළු යෙහෙළියන් මතක් වෙලා පීනීම නතර කළ මුතු බෙල්ලිය හිනාවෙන්න ගත්තා... ඇගේ හදවතේ සතුටට ඇස්වලින් ලා නිල්පාට එළි විහිදුණා.

මුතු ගබඩාවේ ඉඳල මතුපිට මුහුදට වැටෙන උසම උසම උසම උස ඉනිමඟක් තිබුණා.. හඳ පායන රාත්‍රීන්වල විසිතුරු විසිතුරු පාට පාට කොට ගවුම් ඇඳගත්තු මුතුබෙල්ලියන් හඳ එළිය නාන්න උඩට ආවා.. සඳ එළිය වැටෙන රාත්‍රීන් තමයි ලෝකේ සුන්දරම රාත්‍රීන්.. එදාට මුහුදු මතු පිට ඉඳුනිල් මිණි තලාවක් වගේ අපූරුවට දිස්න දුන්නා.. නිල්පාට රැළි අගිස්සේ කැලතෙන රිදී පැහැය කොහොම නං විස්තර කරන්නද? මතක් කරන කොට, හදවතේ ප්‍රීතිය මුහුදු රළ වගේ කැලතෙනවා මුතු බෙල්ලියට දැනුණා.. රාත්‍රී මුහුදු ගීතය ගැයුණේ බජන් ගීයක් වගේ.. මුළු ලෝකයේම සුන්දරත්වය, ආදරය වෙනුවෙන් ගැයෙන ඒ බජන් ගීය මධ්‍ය ළයකින් මුළු රාත්‍රිය පුරාම වැයුණා.

මුතු බෙල්ලිය හෙමි හෙමින් මුතු ගබඩාවේ දොරටුවට කිමිදෙන්න ගත්තා. මුතු ගබඩාව බලා කියා ගන්න භාර වෙලා තිබුණේ මුතු බෙල්ලියට. ඒත් ඒක එයාට එහේ මෙහේ යන්න බාධාවක් වුණේ නෑ.. මුහුදු පතුලේ මුතු හොරකම් කරන්න කවුරුත් හිටියෙ නෑනේ.. අනිත් අයගේ දේවල් අහන්නේ බලන්නේ නැතුව ගන්න එක, අරන් ආපහු නොදන එක හුඟක් කැත දෙයක් කියලයි මුහුදු ලෝකේ සැලකුණේ.. ඉතින් එහේ කවුරුත්ම කැත අය වෙන්න කැමති වුණේ නෑ..

මුතු බෙල්ලිය හෙමින් හෙමින් මුතු ගබඩාවේ දොරටුව ළඟට ආවා.. ඇය දැක්ක දෙයින් ඇයට කතාකරගන්න බැරිවුණා.. "දෙවියනේ.." ඇය වෙවුලමින් කෑ ගෑවා.. මුතු ගබඩාවේ එකම එක මුතු ඇටයක්වත් ඉතිරි වෙලා තිබුණෙ නෑ.. මුතු කුසුම්, මුතු වැල්, මුතු අසුන්... එකක්වත්ම ඉතිරි වෙලා තිබුණෙ නැහැ.. "දෙයියනේ.. දැන් මම මොකක්ද අනිත් අයට කියන්නේ.." ඇගේ ඇස් කඳුළුවලින් පිරෙන්න ගත්තා..

එතකොටම, අලංකාර සේලයක් සමඟ ඉතා කඩවසම් කුමාරයෙක් ඇය ඉදිරිපිට මතු වුණා.. මෙන්න, ඔහු පිටුපස මුතු ඇට කරත්තයක්.. මුතු ගබඩාවේ තිබුණු මුතු ඇට ඔක්කෝම ඒ කරත්තයේ තිබුණා.. ඈ විස්මයට පත්ව ඒ දිහා බලා හිටියා..

ඔහු පොළොවේ ජීවිතය ගෙවෙන දුක්බර විදිහ ඇයට කිව්වා.. සිඟිති දරුවන් හාමතේ සිටින හැටි, පෙර පරම්පරාවල මිනිසුන් හිතුමතේ ගස් කපා, ගහ කොළට පරිසරයට ආදරය නොකර සියල්ල විනාශ කර ඇති හැටි, දුක්පත් මිනිසුනට වගා කරන්න බිම් නැති හැටි, ඔවුන්ට වගා බිම් නිදහස් කර දෙන්න රජතුමා මුතු කරත්තයක් ඉල්ලූ හැටි, මුතු සොයන් මුහුදට කිමිදුණු හැටි ඔහු කියද්දී මුතු බෙල්ලිය අහන් හිටියෙ හරිම දුකින්.. කුමාරයාගේ ඇසුත් තෙතමනයකින් දිලිසෙමින් තිබුණා.

"මුතු කරත්තය ඔබ ගන්න.." මුතු බෙල්ලිය හෙමින් මිමිණුවා. "ඔබට ස්තූතියි.." ඔහු ස්තූතිපූර්වක හඬින් කිව්වා.. මුතු කරත්තය රැගෙන කුමාරයා නික්ම යන අයුරු මුතු බෙල්ලිය බලන් හිටියා.. හිස් මුතු ගබඩාව තවදුරටත් ඇය තුළ වේදනාවක් ඇති කළේ නෑ..

ඒත්, තවත් සුළු මොහොතකින් කඩවසම් කුමාරයා මුතු බෙල්ලිය ළඟ පෙනී හිටියා.. මුතු කරත්තයත් ඔහු සමඟ තිබුණා.. "කුමරිය, මේ මුතු කරත්තය මට එපා! මට ඔබේ හදවත දෙන්න; ඔබේ හදවත තුළ ඇති දෙය දෙන්න.." ඔහු ඉතා මෘදුව ඇගේ අත ගෙන මිමිණුවා. "මහ පොළොවට ඕනෑ ඔබේ වගේ හදවත්.." ඔහු ඇගේ දෑසෙහි කිමිද මිමිණුවා.

කතාව - ෂසිකා අමාලි මුණසිංහ
Picture - Katerina Shtanko

8 comments:

  1. Its s better try my friend!! I like it very much. This is called a fairy tale for sure

    ReplyDelete
    Replies
    1. It’s All Thanks to You!! Happy!!

      Delete
  2. මහ පොළොව මත මුතු බෙල්ලියන් බිහිවෙන දාක මේ බිම වඩා සුන්දර සැබෑම සුරංගනා ලෝකයක් වෙයි. හිත අමුතුම මිහිරකින් පුරවපු කතාවක්.

    ඇත්තෙන්ම ඔබේ කවිකාර කම් නම් ඕනි තරම් දැක තියෙනවා. ඒත් ඔබේ කතාවක් කියෙව්වෙ පළමු වතාව මෙන්. කවි සිත වගේම කතන්දර සිතත් ඉතාම පිරිපුන් ඔබේ. අතරින් පතර හරි මේ වගේ කතා ලියන්න. අපි ආසයි කියවන්න.

    ජයවේවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි.. :)

      Delete
  3. පට්ට කියන්නෙ හොදම එක...
    පවි විතරක් නෙවී කදු කතාත් ලියනව වගේ...ඒත් අමනො ්කියන්න වගේ කතාවක් කියෙව්ව පළවෙනි පාරට
    ලස්සනයි...
    ඒක නෙවී...
    එස්රාජයක වාදනය///
    මොකද්ද මේ...
    මට තේරුන්නෑනෙ

    ReplyDelete
    Replies
    1. Refer
      http://en.wikipedia.org/wiki/Esraj

      Delete
  4. මුතු සුරංගනාවී..... ලස්සනයි කතාව.

    ReplyDelete