Thursday, June 5, 2014

උයන් කොළ පලා මල් මටද මම නොඅසමී



පුරන් වුණු වෙල් එළිය උඩබැලිව වැතිරෙමී
මුදුන් කඳු සිප නැඟෙන පවන් ඇලි සනහමී
උවන් දෙනු නොහී කාලයේ වෙනසට නිමී
උයන් කොළ පලා මල් මටද මම නොඅසමී

තරුන් ඉරබටු ඈත කඳු කොණින් එබෙද්දී
සඳුන් වන පස මලක සුවඳ මුදු සිඹිද්දී
බඳුන් දිය සල සලා ළඳුන් පිය මනිද්දී
සඳුන් ගස සිඳුණ සේ* පෙර මතක ගලද්දී

කුස්සියේ මිටි බංකුවේ නිබඳ වාඩි වී
අත්තම්මගේ කතා හිත අගින් අසාවී
හොඳ දරුන් වනු කියා ගත්තු වේවැලාවී
පහර වැද හොඳ හිතක් වෙළේ වේදනා වී

නරුම බස් අස අසා නැඟෙන කඳුළැලි කෙමී
පිස දම දමා තනිව මඟ තොටේ ඇවිදිමී
දැන හිටියා නම් දුක හොඳ දරුවෙකුට හිමී
'නැහැදියන්, නැහැදියන්" කිය කියා තලාවී

Picture - Abraham Manievich (American, b. Russia; 1881-1942)

No comments:

Post a Comment