Tuesday, July 29, 2014

මඟුල් ගෙදරක්



උස් කර සාරි හැට්ටයේ සමනලයෙක් ගැසූ මම දිලිසෙන ලා කොළ පාට සපත්තු දෙක අතින් ගත්තා. "ඔක්කොම හරි, ඉක්මන් කරන්න.. ඉක්මන් කරන්න.." ඉබ්බත් අරන් ගේට්ටුවට දුවන් ගියා.. සිසිරයේ සීතල සුළං අතරේ වටපිට ලා පාට වෙලයි තිබුණෙ.. "කොහෙද දුවන්නෙ.. මෙන්න මෙහෙ එන්න.. දැනටමත් කියපු වෙලාව පහුවෙලා" සුළඟත් එක්ක දුවන්න සැරසුණු සාරි පොට ඒ හඬට හැරිල බැලුවා.

එතකොටම කුලියට ගත්තු මෝටර් රථය උද්‍යාන වීථියෙන් මතු වුණා. මා උස්සාගත් එය වේගයෙන් ගාලු පාර වෙත ඇදී ගියා.

"පෝරුව දහයට. අනිවාර්යයෙන්ම එන්න" මට ටෙලිෆෝනය දිගේ ආ ඒ කටහඬ මතක් වුණා.. දැනටම දහයයි.. කඩ වීථි පසු කරමින් ඉස්සි ඉස්සී උඩ බලන මුහුදු වෙරළවල් පසු කරමින් ඉගිල්ලෙන්නා වගේ වේගයෙන් මම දකුණටත් වමටත් පැද්දුණා.. ක්ෂණ කිහිපයක නින්දකට පසු ඇහැර බලද්දී, නගර මාවත් ගහ කොළින් පිරුණු මාවතක් බවට පෙරළී තිබුණා.. රියැදුරා වෙනසක් නැතිව සුක්කානම කරකවමින් සිටියා..

ඉදිරිපිට පාරේ තිබුණේ අලුපාට ස්වභාවයක්.. මිහිදුමක්ද? ඇස පෙනෙන මානයෙන් නොසෙලවෙන තාලෙට ගඟක්.. ගස් අතු සලිත කරන සුළඟක්.. "තැන හරි" විශාල ගල් බංගලාවක් ඉදිරිපිට වාහනය නතර වුණා.."හරි වෙනස්" මට හිතුණා.. ඈතින් පෙනෙන විශාල ගල් බංගලාව වෙත ගමන් කළ ගල් ඇල්ලූ පාර දෙපස කප්පාදු කළ උස් පඳුරුවලින් ගහණ වෙලා තිබුණා..

සපත්තු දෙක ඇතුළේ කකුල් සිරකරගත්තු මම හෙමින් හෙමින් පාර දිගේ ඉහළට ඇදුණා.. ගඟ දෙසින් දිගින් දිගටම සුළං හමා ආවා..

"ඇතුළෙද දන්නෑ මඟුල් ගේ.. කෝ මේ පින්තූර ගන්න කෙනෙක්වත් නෑනේ පෙනෙන්න.. කොහෙන්ද මේකට ඇතුළු වෙන්නේ.."

රතු පාට තොල් සායම් ගා ගත් කාන්තාවක් පිළිගැනීමේ කවුළුවේ සිටියා.. ඇගේ දෙතොල් අතරින් නිවාගන්නට බැරිව දැල්වෙන හිනාවක්! "වෙඩින් එක කොහෙද?" මම ඇහුවා.. "ඒක ඉවරයි නෝනා" ඇය කිව්වා.. හරිම අමුතුයි.. මම ගල් බංගලාවෙන් එළියට බැස්සා

සුදු පැහැති විශාල කිරිගරුඬ පිළිම  ඉහළ එස වූ අත් සමඟ උද්‍යානයේ තැන තැන නැඟී සිටියා.. බිම පුරා තැන තැන ජපන් රෝස මල්..පය පැකිළෙන්නට ගිය මා දිය බිඳි විදින ජල මලක් ළඟ සිමෙන්ති බංකුවක වාඩි වුණා.. දෙවඟනකගේ විශාල  කිරි ගරුඬ පිළිමයක් ජල තටාකයක් මතට වතුර ඉහිමින් උන්නා... එක් වරම උද්‍යානය පුරා නැඟී සිටි කිරි ගරුඬ පිළිම මහා හඬින් හිනා වෙන්න ගත්තා..

සපත්තු දෙක අතින් ගත් මං ගේට්ටුවෙන් එළියට විසි වුණා. ඔර්ලෝසුවේ දහයයි හතළිස් පහ සටහන් වෙලා තිබුණා.

Picture - Michael & Inessa Garmash

3 comments:

  1. හෑ ..... විනාඩි 45හේ වෙඩිමක් ...... ඊයේ තිබිච්ච එකකට අද ගියා වෙන්න බැරිද ??? ... :P

    ReplyDelete
  2. කොහොම නමුත් මේක ඇත්ත අත්දැකීමක්.. වෙලාව, දවස, තැන නොවැරදුණු!

    ReplyDelete