Tuesday, November 12, 2013

සැඟවීම

Vladimir Ryabchikov, Title Unknown

අලුත් ගෙදර මා ආස කළ විදිහට සරසන්නට ලැබීම සිත පිනවන්නකි. නිදන කාමරයේ ජනේලය දෙපස එළිය පෙනෙන ලෙස ලී තීරු ගසා තිබුණි. මැද පැහැදිලි වීදුරු දෙකවුළුවකි. ඉන් එපිට බිම් තීරුව අලංකාර පැළෑටි, පඳුරුවලින් අලංකාර වූවකි. ජනෙල් පඩිය තරමක පුළුල් එකකි. පාට පාට මාල පැළඳූ රෙදි බෝනික්කා පසෙකින් එල්ලී සිටියි. නිල් පාට හිනා මුහුණකින් යුතු රඳවනයක් පසෙක එල්ලා තිබේ. ජනෙල් පඩිය මත මම පොත් ගොන්නෙන් එකින් එක ගෙන සිරස් අතට සිටින ලෙස පේළියට අඩුක් කරන්නට වුණෙමි. තැනිතලා රෝස මලේ සිට කුඩා ඉංග්‍රීසි නවකතාවක් දක්වා විහිද ගිය පොත් ගොන්න සිනාසිසී මා දෙස බලා සිටී.

ඒ අතරින් පෙරී තවත් පොත් ගොන්නක් බිම වැටී ඇත. එකදු කාරුණික බැල්මකදු ලැබීමට ඉඩ නොලද ඒ කඩදාසි ගොන්න ගැන දුක හිතන්නටවත් ගෙහිමියට උවමනා නැත. කවුළුව අසල සන්තෝෂයෙන් කල්පනා කරමින් සිටීම නවත්වන්නට අනික් අතට ඔවුනට ඉඩ දිය හැකිද?

හෙමින් හෙමින් ඔවුන් තල්ලු කර ගෙන කෑම කාමරයත් ලියන මේසයත් පසු කර මුළුතැන්ගෙට ම පැමිණියෙමි. මොවුන් කොහේ තියන්නටදැයි මට නොතේරේ. සේප්පුවක් ගෙන්වා ගෙන වැරදී හෝ පෙනී සිත අසතුටක් මවනු බැරි වනු පිණිස අගුළු ලා සැඟවිය යුතු ය.

හදිසියේ පෙනුණු ශීතකරණය තුළ පැවති ආධාරක පෙට්ටියක් ගලවාගත් මම එය තුළට බිම සිටි ඈයන් අඩුක් කොට ඒ වැසෙන්නට කුඩා මල් පොකුරු රඳවන්නට වුණෙමි. සිවිල් නඩු විධාන සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය ඈ ලෙස කොටා තිබූ රන්වන් අකුරු බිඳෙන් බිඳ මල් යටින් වැසී යන්නට විය.

Picture - Vladimir Ryabchikov, Russian, Born 1967

1 comment:

  1. රැකියාව ගැන කලකිරිලා වත්ද? ගනං ගන්න එපා! මටත් ඔයවගේ අනේක වාර හිතෙනවා. විකල්පයක් නොමැත.

    ReplyDelete