Tuesday, March 5, 2013

සංතාපයේ සංධ්වනියද ගයන්නේ

සංතාපයේ සංධ්වනියද ගයන්නේ
බස් රියෙන් බස් රියට ගාටමින් ඇදෙන්නේ
වෙව්ලුවා ඇද හැලෙන ස්වරය දිග හරින්නේ
පුතෙකු හෝ දුවක යන රිය පෙළද සොයන්නේ

ළෙහි හොවා තැනු දරුන් පෙළින් පෙළ නැඟ සොඳා
දයා බැල්මක නැති ව මඟ හසර ගිය දමා
කිසි විටෙක නොදත් දරු කැලක් වෙත පය තබා
හැකිළ ගිය කුසට ඉල්විය හැකිද දරු පෙමා
නිම් තෙරක් නැති අහස දෙස බලා හිතන්නේ
ඉතින් කවි ගයන්නේ.. ඉතින් කවි ගයන්නේ

පාට කළ හැඹිලියත් අරන් එදවස මෙමා
පුතු දුවා රැගෙන දුර සිදාදියටත් ගියා
උනුන් වත සිනා ගෙනෙනා අරුම මන්තරේ
හඳුනගෙන හැඹිලියත් එදා ඔච්චම් කළා
වැල් ලිහුණු පෑ මැකුණු අතේ සිර වී මෙදා
කල් ගෙවුණු හැඹිලියත් හඬනවද මුව නොපා

pic. - www.zimbio.com


1 comment:

  1. දරුවන් හඬන විට නැළවිලි ගැයූ අම්මා
    දරුවන් හදා උන් රජ කරවූ අම්මා
    දරුවන් නැති සොවින් දුක් විඳිනා අම්මා
    දරුවනි මෙහෙ බලවු මේ සැමගේ අම්මා

    ReplyDelete