Monday, April 28, 2014

අසෝක මල් හාදුව



කාලිදාසයනි මම මේඝදූතය වෙමි
සෙමින් සෙමින් සෙමින්
ගිනි බිඳින මුදු දෑස මඟ හැර
පා කර එවමි අසෝක මලක හාදුව
නිල් ඇස් ඇති ව කවුළුවෙන් එබී
මඳ සිනහ වස්සන විට
කාලිදාසයනි මම මේඝදූතය වෙමි

සොඳුරිය
අපි වන මැදට හැලෙන වැසි වෙමු
කාන්තාර, මංමාවත්, කඳු වෙමු
ඇතැම් විට කුණාටු රළ වෙමු
ඇතැම් විට නිසසල ව ඇවිද යමු
එන්න මා හදවත මතට
අපි අලුත් ආදර කතාවක් වෙමු

මා හද සයුර සිප
ඔබ සඳක් මෙන් නැඟී එයි
එන්න වැස්සට තෙමෙන
තුරු පතක් වෙන්න
අපේ ආලය සයුරු රළ මත ලියැවෙයි
සියලු දේ දරා සිටින මුහුද මෙන් ඔබ සුන්දරයි
ඔබ දැනටමත් මා වී අහවර යි
මට ඔබ තුළ මියයන්න අවැසි යි
අප වෙනුවෙන් නිම්නවල මල් පිපෙනු ඇත
එන්න අපි ඇවිද යමු මල් පිපෙන තැනිතලා දෙසට

ඉර හඳ තරු කඳු මිහිදුම්
නිමක් නැති සයුර මා දෑස බව
කියා නොකියන ඔබ
කියන්නෙහිද මට
කේරළයේ නිලඹර
කුඩා තරු කැට දිදුලන බව
රාමායනය පහුර කොට
රාවණා බිමට පැමිණිය හැකි බව
මුහුදින් වෙන් ව සිටිය ද
අපේ හදවත් එකට ගැහෙන බව
ඉතින් මම ආලයෙන් විසංඥ වීමි
කාලිදාසය

ඔබේ ආත්මය හඬන බව
දැක ගනු පිණිස අහසට
සඳ තරු විසි කරන වග
වෙන් කළ කඳුළකින්
මුහුදු දිය ලුණු රස බව
තුරුපත් සලිත කර හමා යන සුළඟේ
සිනිඳු සිත දකින බව
ගැඹුරු නිල් පාට කඳුවලට
ආලය කරන බව
කියන්නෙහිද කාලිදාසය

සෘතු සංහාර, මේඝ දූතය
මුමුණමින් මා සවනට
පා කර එවූ අසෝක මලක හාදුව ය
තව ම මා යහන මත
කඳු සිසාරා ඇවිද යන සඳ පහන,
නිල ඇස් සහිත මහ මුහුද,
ඉඳින් මා කුමට කිමිදෙම්ද එහි පත්ල
ඔබ මා මුළු ආත්මය මලින් පූදන කල

තබා පෙම් කවි රළු දෙතොල
අමතමි කඳුකර සානුවට
නොයමි පිටස්තර ලෝකයට
රැඳෙමි මල් පිපෙන ඔබ කුඩා මිදුල
එවමි මම මේඝ දූතය
වැළපෙන ඇස් සමඟ නොපෙනී යන
ධූම පිරි කඳුකරය වෙත
දිව්‍යමය පෙම්වත
පෙම්වතිය ඔබ මල් රැගෙන
මා එනතුරු රැඳෙන්න
එහෙත් මම දොරක් නැති නිවෙස් හිමියෙක්මි
කිසි විටෙක ඔබට තුළට එනු පිණිස
ඇරයුම් නොකරන
පිට ව යන්නට
බල නොකරන

අහෝ පෙම්වත,
යාම හා ඒම නොවේ අප පිළිවෙත
රැඳී සිටීම පමණ
සෘතු නියාම විසි කර
මුහුදු දිය කලඹා
එන්න දිය බත් වෙන්න
සඳ නැගෙන තුරු ඉන්න

උදෑසන සුබ පැතුම
මඟ හැරුණු සාගරය
උණ්ඩයකින් රිදුම් ලද
සතෙකු සේ
රළ නඟා දඟලයි

ආදරිය
බැස යන හිරුගේ රත් පැහැය
මම ඔබේ මුහුණේ තබමි
තටු විහිදා පියඹා එනු මැන
උණුසුම් හාදු පිළිගෙන
මා සොවෙනි, උන්මාදයෙනි
ඔබ මා'සල නැති විට
ආලය කියන්නේ එයටදැයි
මම නොදනිමි

එක් ව යන්නට ඇති
බොහෝ සැතපුම් කණු අතර
ඉතින් මේ උදෑසන
සමනලියක් අවදි වන
මල් පිපුණු තැනිතලා පසුකොට
හමා එන සුළඟට
ඉඩ දෙන්න ඔබ කියඹු රොද
සිපගන්න සොඳුරිය

දැක ඇතිද කඳු හිස
නිල ගැඹුරු දෑස
කතා කර ඇද්ද ඔබ එයට
රොමෑන්තික භාවයෙන් උද්ධමනය ව

ආලයෙන් මම පිබිදී සිටිමි
මලානික මලක් පුනරුදය ලබන්නා සේ
එහෙත් එය මා පෙළයි

විහඟුන් කෙත් ඉහළ ඉගිල යයි
මට අවැසි යි ඔබ මුව සිඹින
වී කරලක් වන්න

හදවතට උණු දිය සලා
සොයමු මධු සඳ
කදෝපැණියන් අල්ලා
පළඳවමු ගස් මත
අහසෙ හරි මැද මැනලා
අලවමු රතු සඳ
ලොව සියලු පාලකයිනට එරෙහි ව
ගයමු අපි අපේ පන්තියේ ආදරය!!

Picture -
Brenda Burke

2 comments:

  1. ලස්සනට ලියල තියනවා..... මේ භාෂාවට මං කැමතියි......

    ReplyDelete