Tuesday, July 23, 2013

මිහිරි සිහින!!

The Canyonකඳු :                                       
අහස මත
දහසකුත්
කඳු පැල්ලම්

උපේක්ෂා ප්‍රේමතිලක :    
කඳු මත
අමතකව ගිය
මිහිදුම් රෙදි...

කඳු :                                     
රත් පැහැ ව ගිය මුහුණක්
මතු වෙයි අහස අග

අසංග බණ්ඩාර :           

කඳු නම් දෙවගකි

ශේෂ කඳු හා මෙතෙක් ශේෂ නොවූ කඳු ලෙස

කඳු :                            
රෙදි අපුල්ලන්නෙක් හඬයි

වලාකුළකට මුවා ව

උපේක්ෂා ප්‍රේමතිලක :                     

ඉරී ගිය

ලාකුළු
හෙලයි
දහසකුත්
මුතු බිඳු...


කඳු :                                                         
මුතු එකින් එක
කූඩයකට ඇහිඳ
තුහින නූලක අමුණයි
කුඩා දෙවඟනක

උපේක්ෂා ප්‍රේමතිලක :               

තෘණ පත් අග
සීරුවට

කඳු :                                  
කුඩා තණ පතක්
ගෙලෙහි බැඳි හර සොලවා
කෝල මුහුණක් මවයි
කඩවසම් කුමරෙකුට

අසංග බණ්ඩාර :               
රාත්‍රී සංගීත සන්දර්ශනය ඇරඹෙයි

වාදක මණ්ඩලය
රෑසියන් වෙතින් ගෙම්බන් අතට පත්ව

උපේක්ෂා ප්‍රේමතිලක :     

ළා හිරු කිරණ
බබළවයි තව
මුතු පොට
කුමරුට
නොබලා සිටිනු නොහැකි ලෙස

කඳු :                    
කුඩා රෝස පොකුරක්
සතුටු බව අඟවයි
සියුමැලි අතක බැඳෙන්නට

කාංචනා කරුණාමුනි :           
කුඩා රෝස පොහොට්‍ටු

කිවිසුම් යතැයි බියෙනි


උපේක්ෂා ප්‍රේමතිලක :           
සියුමැලි ලතාවක්
වෙලෙයි

සියොළඟ
මහා නුග ගසක

අසංග බණ්ඩාර :                                                     
වෙන වෙනම නම් නැතත්
තෘණ මල් වුනත් කැමතියි
සියුමැලි අතක පැටලෙන්න

උපේක්ෂා ප්‍රේමතිලක :                      

පව්ඩර් මල් නම්
සුළඟටම පෙම් බඳින

කාංචනා කරුණාමුනි :   
ආලයේ අන්තිම මන්දස්මිතය
නුපුරුදු දෙතො
ගය
හමා යන්නද මුදු සුළඟ
පොහොට්‍ටු ඈ සිඹ සිඹ එක පෙළට


කඳු :                    
ලේන්සුවක් දෙන්නදැයි අසයි
සුදු පාට ගාඩිනියා මලක්
 
කඳු :                            
වරා මල් සුළඟ හා
මවයි රුසිරු නර්තන අතර

උපේක්ෂා ප්‍රේමතිලක :

අහා බාල් නැටුමක්!
කඳු :                          
රෝස පැහැ බැලරිනා යුගලක්
අහසින් පොළොවට


රසිකා ගුණවර්ධන :  
මට මොටද සපත්තු
උස ගසක් අසයි

උපේක්ෂා ප්‍රේමතිලක :
බාල් නැටුමට වයස මදියැයි
බිම බලාගෙන තරු මල්*


කාංචනා කරුණාමුනි :                         
මගේ මුහුණම ඔබේ උරහිස මත
මහත් උණුසුම් තාලයකි වැයෙන
සොඳුර,
හද උයන හැරදමා
එමි මම ඔබ සමඟ

/
කඳු :                                                                     
සඳ අදිසි ලෙස

දුරේක්ෂයක් ගෙන තැනෙක

 
රසිකා ගුණවර්ධන :                                                
සංගීතකරුවන් ඔහොමමයි
වයන්නෙම
වැරදි තනු


කාංචනා කරුණාමුනි :                                            
සඳේ දුර වැඩියි සුවඳ දැනෙන්නට
එනු හනික
වලාකුළු වැල් පාලමෙන් එල්ලීගෙන


කඳු :                                                                       
අහල පහල මන්දාකිණිහි
නොසිතූ ලෙස
සියුම් ගැස්මක්


උපේක්ෂා ප්‍රේමතිලක :                
ප්‍රේමයෙන් ආසාත්මික
රෝස මෙනවිය
වසයි තම කඩු කිනිසි
නොපෙනෙන ලෙසට සුළඟට

අසංග බණ්ඩාර :                         
නැටුම් ගැයුම් නිකමටවත් බැරි රෑ බදුල්ලෙක්
නිදාගන්න යනවදැයි සිතමින්!

කඳු :                                       
උන්මත්තකයන් රැළක්

පැන ඇති ය මිහි මතට
ඇස් තඩිසි කර ගෙන
ක්ෂීරපථය

 
රසිකා ගුණවර්ධන :                                                
සඳ හරි හොරා
විලෙත් හිටියා
මඩ වලෙත් හිටියා
උපේක්ෂා ප්‍රේමතිලක :                     
මම බලාගෙන අහසෙත්
තරු එල්ලමින් හිටියා

අසංග බණ්ඩාර :               

ඒ විලේ හඳ
මේ මඩේ හඳ !


කාංචනා කරුණාමුනි :                                            
සඳේ මට වෙළෙන්නට ඔබ අතේ
රෝස පොකුරක් ඕනෙමයි මේ වෙලේ
 
උපේක්ෂා ප්‍රේමතිලක :   
ගෙනැත් දෙන්නද තරු පොකුරක්?

රසිකා ගුණවර්ධන :                             
කෝ ඉතින් මගේ හඳ?
.
කඳු :                                             
වට්ටක්කා ඇඳුම් ඇඳ

තක්කාලි නැටුම් නටත්
සපත්තු මල් ගොන්නක්
සීත සුළඟින් මත් ව

අසංග බණ්ඩාර :                              
කෝ !
.
උපේක්ෂා ප්‍රේමතිලක :       
උරහිසට උඩින් බලන

මේ මගේ හඳ
මුදු ලෙස මුහුණ
සිඹින


කාංචනා කරුණාමුනි :                
මගේ සඳ ගිලිහුණා පුරපස
දුරින් හිඳ කිතිකවා මගේ හද


කඳු :                                         
උදෑසන මල් මිටින් ගෙන
සුරඟනන් එහෙ මෙහේ යන
නුබ ඉසින් මල් නෙළා 'විත්
ඈ හදේ පළන්ඳන
මෙන්න මා සොරාගත් ඇගේ සුකොමල හද


උපේක්ෂා ප්‍රේමතිලක :                                            
අටවකත් නරක නෑ

කඳු :                                                      
එ සඳ සඟවා මලෙක වන පස
කඳුළු හැලුවා හදෙහි කවි පද


රසිකා ගුණවර්ධන :                      
හද වටකර
මුදු හදමුද?


උපේක්ෂා ප්‍රේමතිලක :             
පිහිනන මාළුවන්
සඳ එළිය දිගේ
ඉගිල්ලෙන්නට හදන
තරු මුහුණු හකුලන


කාංචනා කරුණාමුනි :                    
වෙනත් තැනකය පුරුදු සිසිලය

මගෙත් නොමවන මගේ ඒ හද


කඳු :                                  
මුදු මුදු මුදු

කවි බඳිමුද?


උපේක්ෂා ප්‍රේමතිලක :       
ඒ හඳ
අපේ හඳ
අපි හැමෝගෙම
හද
හොරකම් කරපු හඳ


කඳු :                                                        
සොරා ගත් සඳ
මඩේ ලූ සඳ
සඳ සඳ නොවේ
උන් කියූ සඳ
උපේක්ෂා ප්‍රේමතිලක :                        
නිදන්නට යැයි බලකරන
මගේ සඳ
කෙටි පණිවුඩ මඟින්
තර්ජනය කරන


කඳු :                                                  
විරුදු අසමින් කණ රිදුණු සඳ

වලා කොට්ටා තබයි සවනග


රසිකා ගුණවර්ධන :                          
තරු ඇස් වසා
නිදන් පුන් සඳ!


කඳු :                          
දැන් බඩගිනියි මට
සුබ කවි හැමෝටම!!

උපේක්ෂා ප්‍රේමතිලක :       
සුබ රැයක් හැමෝටම
මිහිරි සිහින පෙනෙන

රසිකා ගුණවර්ධන :
මිහිරි සිහින!!

මලිති විජේසේකර :                             
අපි නිදි අතරේ

මෙන්න වැහැලා කවිම වැස්සක්!


* අනවසරයෙන් පළ කරන ලදී.

Pictures - 1.
Alfred Mitchell, American, 1888 - 1972 2.  Josephine Wall  3. Anne Marie Zilberman 4. Christiane Vleugels 5. Eugene de Blaas (1843-1932) 6. Eric Montoya 1968 7. Edgar Degas (French, Post-Impressionism, 1834–1917) 8. Angela Morgan 9. Alleya_Parusa 10. Phan Thu Trang 11. Alberto Quintero 12. Alexandrina Karadjova 13. Daniel F. Gerhartz 14. Jean-Paul Avisse 1948 15. Jean-Paul Avisse 1948 16. Laurie Kaplowitz 17. Ernesto Arrisueno 18. Greg Spalenka


3 comments: