
සෙනේ බැඳන් වෙල වී 'හුරු අහුරන්ට
කොළේ බැඳන් හනිකට බැත ගෙට ගන්ට
වරේ අරන් ඉන්පසු ගඟ පීනන්ට
නඟේ ඉතින් අහවර නැත ගම එන්ට
වනේ කෝන් මොර දමුණු ද අහුලන්ටයි
උඩවැඩියා නැට්ටුවො පෙළ නටවන්ටයි
කනේ කඩුක්කන් සොයමින් ළතවෙන්ටයි
අනේ අවසරයි ආයෙ ම ගම එන්ටයි
ඒත් ඉතින් රුක් අත්තන රුක් කොහිද
මං පාවඩ අතුළ කුසුමැතිරිලි කොහිද
ඉව කර කර සෙවූ කිරි සුසුවඳ කොහිද
එන තුරු මඟ බැලූ අපෙ අම්මා කොහිද
හිර වෙන ඉකිය හද තුළ නවතා ගන්ට
විදිහක් නැතිය අත් හැරි වෙල් දැක ගන්ට
වල් යට නිදන් කළ මතකය අවුලන්ට
නගරෙ ම ගුලිවෙමිය මට බෑ ගම එන්ට
pic. - Charles Dwyer - Grace
No comments:
Post a Comment