Monday, February 24, 2014

ඔබත් අකරුණාවන්ත මිනිසෙක්ද?


මිනිස්සු කිසි ම කෙනෙකුට සවන් දෙන් නෑ.. සවන් දීමෙන් ඔවුන් කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන් නෑ කියන එක හරි ම පුදුම දෙයක්.. හැම තරාතිරමක ම මේ වගේ මිනිස්සු.. කියා නිම කරන්නත් කලින් උත්තර දෙන්නත් ප්‍රතිචාර දක්වන්නත් දඟලන මිනිස්සු.. "මිනිස්සු ඉන්නෙ හරි ම පීඩනයෙන්.. ඒකයි ඒ අකාරුණිකකම් කරන්නෙ.." කියල අයෙක් කියන්න පුළුවන්..

ඒත්, මං ඒක පිළිගන්න කැමති නෑ..

ඒක පීඩනයට වඩා ඔබ්බට ගිය දෙයක්.. කරුණාවන්තකම පුරුදු පුහුණු කරල නැති කම.. එහෙම නැත්තං පීඩනය කියන දෙයින් තම තමන්ගේ හදවත් ශෝකයෙන් බර වෙනවා.. තමන්ට සිදු වුණු දුක්ඛදායී සහ අකටයුතුකම් සිහි ව පීඩනයක් දැනෙනවා.. කීවොත්.. ඒ පීඩනයෙන් කෙනෙක් තේරුම් ගන්නේ මිනිසෙකුට ඇති විය හැකි වේදනාව ම නේද? ඒ වේදනාව තමනුත් අනිත් අයට දෙන්නේ පීඩනයට වඩා අකරුණාවන්තකම නිසා නේද?
පහුගිය සතියෙදි අම්මාව පොඩි ශල්‍යකර්මයකට රජයේ රෝහලක නැවැත්තුවා. කලින් වතාවකුත් නැවතිලා හිටියට ........ වැඩි වීම නිසා ශල්‍යකර්මය කරන්න බෑ කියල දොස්තරවරු තීරණය කරා.. මට නිවාඩුවක් ගන්න අමාරු වුණු නිසා මගේ ඥාතියෙක් තමයි අම්මාව රෝහලේ නවත්වන්න එක්කන් ගියේ.

"කලින් වතාවෙ ඔපරේෂන් එක කල් දැම්මා.." හෙදියක් අහපු ප්‍රශ්නයකට උත්තර දෙමින් මගේ ඥාතිවරිය උත්තර දුන්නා.. "දැන් ඔය කියන්න එන්නෙ අපේ වැරද්දෙන් කල් දැම්මා කියලද?.." හෙදිය ඉන් එහා කිසි ම සිහියක් නැති ව බැන ගෙන ගියා.. අප පවුලේ ඥාති සහෝදරියක් අසල වාට්ටුවක සේවය කළා.. අම්මාට බැන්න බව දැන ගත් ඇය එහි පැමිණි විට වාට්ටුව භාර සිස්ටර් " .......... මිස් නැත්තං අපි මේක කරන්නෙත් නෑ.." තවත් මහා හයියෙන් කෑගහන්න පටන් අරන් තිබුණා.. මේ බැනුම අහන්න බැරි තැන මගේ ඥාතිවරිය මට දුරකථනයෙන් කතා කර.. "අම්මා ව ඩිස්චාර්ජ් කරගෙන එන්න ද" කියා මගෙන් ඇහුවා..

මට ඇති වූ කෝපය පාලනය කරගන්නට බැරි තරං.. පුදුම වැඩක්නෙ.. රජයේ රෝහලේ අයිතිකාරයන් සාමාන්‍ය මිනිස්සු මිසක් මේ නර්ස් නෝනලයි සිස්ටර්ලයි කට්ටියද.. මම හිතුවා.. කාටද මේක කම්ප්ලේන් කරන්නෙ..මම හිතුවා..

අපේ නැන්දාකෙනෙක් රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්න බව දැන ගෙන හිටියත් මට කම්ප්ලේන් කරන්න ඕනෑ වුණේ ඊටත් ඉහළ තැනකටයි.. "ඒත් මම නැන්දාට කතා කර, අම්මා ව ඩිස්චාර්ජ් කරගෙන එන්නදැ" යි ඇහුවා.. "ඔහොම ඉන්න.. මම බලන්නම්" ඇය කියූ නිසා මම නිශ්ශබ්ද වුණා..

ඈ හවස රෝහලට ගොස් එහි මේට්‍රන් සමඟ වාට්ටුවට ගිහින් තිබුණා. ඒ සාමාන්‍ය ලෙඩෙක් බලන්න යන විදිහටමයි.. ඒ දෙන්නා දැකපු ගමන් වාට්ටුවේ අනිත් අය මොකද කියල කලබල වෙලා..

"නෑ මේ අපේ ලෙඩෙක් බලන්න.." නැන්දයි මේට්‍රනුයි දෙන්නා අම්මා ළඟට ගිහින්.. දැන් සිස්ටර්ත් ඒ පස්සෙලු.

නැන්දලා ගිහින් වෙලාවකට පස්සෙ සිස්ටර් අම්මාව කාමරයකට එක්කන් ගියාලු.. "මගේ හස්බන්ඩ් මාව දාල ගිහින්.. ළමයි දෙන්න හදාගන්නෙ මං තනියෙන්.. ........... මට හරියට කේන්ති යනවා මේවත් එක්ක" කියලා මහා අඳෝනාවක් අම්මාට කිව්වලු.. "මම එයාව දන්නෙවත් නෑනේ.. ඒ මොකද එයා මට එයාගේ පුද්ගලික විස්තර කිව්වේ.." කියා මේ නාටකය නොතේරුණු අම්මා මගෙන් ඇහුවා..

ඒක හරියට නාට්‍යයක් වගේ නේද..? එක අතකට ඒ නිරූපණය වෙන්නේ අපේ රටේ මුළු මහත් සමාජෙම හැටි නේද? තමන් වටා තමයි හැමදේම කේන්ද්‍රගත වෙලා තියෙන්නේ.. තමන්ට වාසි/අවාසි වෙන්නේ කොහොමද කියන සලකා බැලීම මතයි අනෙක් දේවල් තීරණය වෙන්නේ.. පොදු ජනයායි පොඩි පොඩි මිනිස්සුයි මෙහෙම වෙනකොට ඒකේ මුළු මහත් වාසිය ම ගන්නේ ලොක්කොයි.. ඡන්දෙ දෙනකොට වුණත් මිනිස්සු සලකලා බලන්නේ තමන් ම නේද?

ඒ සිද්ධියෙන් පස්සෙ අම්මාට සිස්ටර්යි එතැන හිටි අනෙක් අයයි බැන්නේ නැති වුණාට ඒ සිද්ධිය නොදත් අනිත් අය ඒ අයගෙ පොඩි පොඩි බැනීම් ඒ ආකාරයෙන් ම කරගෙන ගියා.. අනිත් ලෙඩ්ඩුන්ටත් එහෙමයි.. "හිනා වෙලාවත් ඉන්න දන් නෑනේ.." කෙනෙක් තවත් ලෙඩෙකුට බැන්නේ ඒක තමන්ට ම දෙන්න ඕනෑ උපදේශය බව අමතක වෙලා වෙන්න ඇති.

කොහොම නමුත්, ඒක අහගෙන හිටිය තවත් ලෙඩෙක් "හිනාවෙන්නෙ හිනා නොවී බැරි කමට" කියනවා අහගෙන හිටිය මටත් කට කොණකට පුංචි හිනාවක් නැඟුණා..

රෝහලේ අම්ම ළඟ හිටි දවස් ටිකේ ම වාට්ටුව වටේ ඇහුණ බැනුම් වල කෙළවරක් නෑ.. නොරුස්නා ස්වභාවයෙන් මිසක් සංවේදීතාවෙන්, සහකම්පනයෙන් කතා කල එක්කෙනෙක්වත් හිටියාද මන්දා.. නිල ඇඳුම් පහක විතර කට්ටිය රෝහලේ ඉන්නවා.. ක්ලීනින් සර්විස් එකේ ඉඳන් වැඩි දෙනා කට ඇරියොත් කතා කරන්නෙ නොරුස්නා ගතියෙන්, අප්‍රියජනක වචනයෙන්.. "මේ පුටුව ගන්ඩකෝ.." ක්ලීනින් සර්විස් එකේ මහත්මියකුත් මට කෑ ගැහුවා.. ඒ හැම එකට ම ප්‍රතිචාර දක්වන්න කේන්තියක් හා කලකිරීමක් හිත තුළ තිබුණත් හිත මහා ගැඹුරු තුවාලයක් වගේ දෙයක් වුණත් මේ මිනිස්සු මොන තරං පහත්ද කියන සිතිවිල්ල නිසා මම කිසිම ප්‍රතිචාරයක් දැක්කුවේ නෑ..

ලෙඩෙක් රෝහලට එන්නේ හරි ම අසරණකමකින්.. අවවාදයක් දුන්නත් ඒ කිසි ම ලෙඩෙකුට බනින්න මේ රජයේ සේවකයින්ට අයිතියක් නෑ කියලයි මම හිතන්නේ.. ක්රූර වද හිංසාවෙන් ගැලවී සිටීමට රෝගින්ගේ මූලික අයිතිවාසිකමක්. ක්රූර වද හිංසාවට මානසික පීඩනයත් අයිතියි..

අම්මාට කළේ මහා බරපතල ශල්‍යකර්මයක් නොවුණත් ශල්‍යකර්මයෙන් පසු ව බැලිය යුතු පරීක්ෂා කිරීමක් නැවත විශේෂඥ වෛද්‍යතුමා එන තුරු ම කිරීම අතපසු වීමෙන් ඈ ජීවිතෙන් ගොඩ ආවෙ අනූනවයෙන්.. දවස් කීපයක් අයි සී යූ එකේත් ඉන්න සිද්ධ වුණා.. ඈ තවමත් රෝහලේ.. මං මවිත වෙන්නේ ටිකට් කපාගෙන රෝහලෙන් එන්න කලින් තවත් මොනවා හරි නොවුණොත් විතරයි.

රෝහලට එන කවර තරාතිරමක මිනිහෙක්ට වුණත් ආදරයෙන් වචනයක් දෙකක් කතා කරන්න බැරි නම් සැර පරුෂ වචන නොකියා ඉන්න මේ මිනිසුන්ට බැරි ඇයි..? තත්ත්වයට අමුතුවෙන් සලකන්නේ, බයවෙන්නේ තමන් රාජකාරී කරන විලාසය තමන් දන්නා නිසා නොවෙයිද? අම්මාව මේ වචනවලින් බේරගන්න බැරි ව මා කොතරම් දුකක් වින්දාද? මෙය අනෙක් සියලු මිනිසුන්ටත් පොදුයි නේද?
සරළ ලේ පරීක්ෂණයක් පවා පෞද්ගලික වෛද්‍ය ආයතනවලින් කරගෙන එන්න කියන කොට, දුප්පත් මිනිහෙක් එහෙම කරන්නෙ කොහොමද කියා හිතන්න හිතක් පපුවක් මේ අයට නැත්තෙ ඇයි?

වනයක ගමන් ගන්නා කල
කොටියෙක් මුණ ගැසුණොතින්
කරුණාවන්තකමින් හිනා වී
පෙරළා සිනහවක් පැතීමත්
අඥානකමෙක්මැයි..

පෑරුණු තුවාලයක්
යළි යළිත් පාරා සිනාවෙන දනන් මුව
කඳුළක් සැලීමත් එසේමයි

කණ කටුක වදනින්
අප්‍රාණික ව යන විට ගත සිත
සසරක බියකරු බවින්
මගේ අත් පා පවා ගිලන් වෙයි

"දරුවා" යි ඉතා ඉමිහිරි හඬකින්
එවන් විට හිත තනන
වන පෙතක් මට අඬගසයි

ගිහියෙක් ව මියැදෙන
අවසන් භවය මෙය වන්නැයි
එවන් විට මා හද පතයි

Picture - Hector Garrido, Forest in southern Spain

6 comments:

  1. බෝම වැදගත් කතාවක්.. සවන් දෙන්න හුරු වෙන්න ඕන හුරු කරන්න ඕන පොඩි කාලේ ඉදලම. අනේ අහිංසක මං ඒක ඕනවටත් වඩා පුරුදු වෙලයි කියලයි මට හිතෙන්නේ..

    ReplyDelete
    Replies
    1. පොඩි කාලේ හුරු නොවුණු දේවල් ලොකු වුණා ම සිය නුවණින් හුරු වෙන්න ඕනෑ.. අපේ අම්මල තාත්තලා පොඩි ළමයින්ට කුණු කසල බස් එකේ ජනේලෙන් එළියට, මහ පාරට දාන්න එපා කියල උගන්වන්නේ නැති වෙන්න පුළුවන්.. ඒත් අපේ ලොකු මිනිස්සුන්ට පුළුවන් ඒක නුවණින් ඉගෙනගන්න.. තමන්ගේ මිදුල අතුගාල පිරිසුදු කරගෙන මහ පාර පුරාවට කුණු විසි කරල යන්නයි ඒගොල්ලො පුරුදු වෙලා තියෙන්නේ.. තරුණ උගත් කියන අයත් එහෙම වෙන එක කොච්චර කනගාටුදායකද?

      Delete
    2. අපේ පොඩි එකා නං ඒවා විසික් කරන්නෙම නෑ. කව්රු හරි විස්ක් කරොත් ඇස් උඩ යනවා.. නෝට් කියලා

      Delete
  2. ඔබගේ මවට ඉක්මන් සුවය ලැබේවා....අසනීපයකට ඉස්පිරිතාලේ නවතින්න වුනාම ඇඟට දැනෙන අමාරුවට වඩා හිතට දැනෙන අමාරුව වැඩී..එහෙම වෙලාවට හිත හැදෙන විදියට කතා කලත් ඇති...

    ReplyDelete
  3. රෝහල්වල කාර්යාලවල විතරක් නෙවෙයි අද පාරක තොටක පවා තවත් මනුස්සයෙකුට ආදරෙන් කරුණාවෙන් කතා කරන්නෙ එහෙමත් කෙනෙක්. තමන්ගෙ ගෙදර ප්‍රශ්න තියනවයි කියන එක නිදහසට කාරණයක්මත් නෙවෙයි.රවාගෙන ඉන්නවට වඩා හිනාවෙලා ඉන්න එක තමන්ටත් පහසුවක් කියල ඉතිං තමන්ම තේරුම් ගන්නකල් මේ ආකල්ප වෙනස් වෙන එකක් නැහැ කඳු..:(

    ReplyDelete
    Replies
    1. ඔව් රවී පාරක තොටකවත් කරුණාවෙන් කතා කරන කෙනෙක් හොයාගන්න හරිම අමාරුයි.. හරි ම දුක්බරයි..

      Delete