Tuesday, September 17, 2013

හුස්මක් වැරදුණත් අම්මේ

Albert Oehlen, Mirage of Steel

හුස්මක් වැරදුණත් අම්මේ
පඩිපත ම හූරලා ගන්නවා
අටේ ඉඳලා අටට වැඩ
විධායක යැයි කියනවා
ඕටීත් නෑ කියනවා

පෝය දා විතරයි නිවාඩුව
ගමේ සඳ මට පෙනෙනවා
හීන කන්දෙන් එබෙනවා
නෙළා අරලිය පුරා සුදුවට
අම්ම එක්ක ම වෙළෙනවා
වෙල් එළිය මැද හඳපාන වී
අම්ම පන්සල් වඩිනවා
හිතින් මං දණ නමනවා

බෝඩිමට පන්දාහයි
කන්න බොන්නත් ලෝබයි
ආත්තම්මගෙ බේත් පංගුව පෙනෙනවා
වතුර උගුරෙන් හිත තෙමාගෙන
වැඩපොළට මං දුවනවා

රේල් පාරේ ගෝරනාඩුව
කන් අගුලු ලා ඇහෙනවා
අම්මගේ සුදු මුහුණ පෙනිලා
ඉතින් මං අහක බලනවා
කඳුළු බිඳුවක් පිපෙනවා
ඒත් හැමදම රෑට හීනෙන්
අම්ම ළඟ මං නිදනවා
ආත්තම්මගෙ බණ කතා මට ඇහෙනවා
සක්‍ර දෙයියොගෙ ආසනේ
උණු වෙන්නෙ නැතුවද හිතෙනවා

ගෙදර එන්නට පාර නැති වුණ
සාවියොත් මෙහෙ ඉන්නවා
පාර පෙනුණත් ගෙදර එන්නට
තටු නැතුව මං ඉන්නවා
හිතින් ගෙයි පිල්කඩට වී ගෙන
කහට උගුරක් අහනවා

Picture -
Albert Oehlen, German, Born 1954

2 comments:

  1. වෙනදාට වඩා සරල බසක් යොදාගෙන. මේකත් අපුරුයි. ඔබට ඔනෑම හැඩයකට කවි මැවිය හැකියි. ජය.!.

    ReplyDelete